• Home »
  • Sinhala »
  • ‘බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ඔප නොදැමූ මාණික්‍යය’ බද්දේගම වාදයට වසර 155 ක් සපිරේ

‘බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ඔප නොදැමූ මාණික්‍යය’ බද්දේගම වාදයට වසර 155 ක් සපිරේ

sara4-1

(Courtesy of Divaina)

වර්ෂ 1865 පෙබරවාරි මස 08 වන දින ලාංකේය ආගමික ඉතිහාසයේ ස්වර්ණමය කඩයිමක් සනිටුහන් කළ දිනයකි. එදා සිට අද දක්වා ලාංකේය ගමන් මෙඟ් දේශපාලන, ආගමික, සාමාජීය මෙන්ම අධ්‍යාපනික දිශානතිය තීරණය කිරීමෙහිලා සුවිසල් බලපෑමක් සිදු කළ දිනය වූයේ එදින ය. එනම් බද්දේගම වාදය පැවැත් වූ දිනයයි. පංචමහා වාද ලෙසින් ප‍්‍රසිද්ධව ඇති බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ දේශන මාධ්‍යයේ උච්චතම අවස්ථා පහ තුළ පළමු වැන්න වූයේ එයයි. වසර දහස් ගණනක් පුරා ලක් ධරණි තලයේ මුල් බැස පැවති බෞද්ධ සංස්කෘතිය දැඩි ලෙස විවේචනයට බඳුන් කරමින් යුරෝපීය ආකල්ප සමාජගත කරමින් 1804 වර්ෂයේ සිට ලංකාවට පැමිණ ක‍්‍රියාකාරකම්හි යෙදෙමින් සිටි මිෂනාරීන්ගේ පරවාද මඬිමින් ප‍්‍රසිද්ධ ජන සමාජයක් මැද ලාංකේය ස්වවාදය උස් හඬින් පැවසීමට හෙළයේ මහා යතිවරුන් දැරූ ප‍්‍රයත්නයේ මූලාරම්භය වූයේ බද්දේගම වාදයයි. 1865 පෙබරවාරි මස 08 වන දින සිට 2020 වර්ෂයේ පෙබරවාරි 08 වන දින වන විට මෙකී ඓතිහාසික සිදුවීමට වසර 155ක් සපිරේ. 1873 වර්ෂයේ පැවති පානදුරාවාදයේ අන්තර්ගතය හා එහි ක‍්‍රියාදාමය බොහෝ දෙනාගේ අවධානයට යොමු වුවද බද්දේගම වාදය එසේ නොවුණි. එනිසාම ඔප නොදැමූ මැණිකක් මෙන් මෙහි වටිනාකම වත්මන් සමාජය හඳුනාගෙන සිටින්නේ ද යන්න ප‍්‍රහේලිකාවකි. මෙම ලිපියේ අරමුණ එකී ඔප නොදැමූ මැණිකක් බඳු වූ බද්දේගම වාදයේ නොපළ පසුතලය ඉදිරිපත් කිරීමයි.

නූතන ලාංකේය ඉතිහාසයේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය පිළිබඳ අධ්‍යයනයක නිමග්න වන විද්‍යාර්ථීන් බද්දේගම වාදය පිළිබඳ සලකා බලනුයේ බොහෝ සෙයින් එහි අන්තර්ගත කරුණු දෙස පමණි. නමුත් මෙම වාදය ආරම්භයට පසුබිම කෙසේ සැකසුණේ ද යන්න පිළිබඳ අධ්‍යයනයට යොමු වන පිරිස අතලොස්සකි. බද්දේගම වාදය පැවැත් වූයේ කොහිදී ද, කවුරුන් විසින් ද, එයට පසුබිම වූයේ කුමක් ද යන්න ඉතිහාසයේ සැඟව ගොස් ඇති තොරතුරු බවට පත්ව ඇත.

දකුණු පළාතේ ගාල්ල දිස්ත‍්‍රිකයේ ගිං ගඟ මිටියාවතින් සරුසාර හා අලංකාර වූ බද්දේගම සිදු වූ මෙම ඓතිහාසික ක‍්‍රියාදාමයට ප‍්‍රධාන ලෙසම හේතු සාධක වූ ස්ථාන වූයේ බද්දේගම ශ‍්‍රී පාද ගොඩැල්ල පංසල හා ක‍්‍රිස්තු දේව පල්ලිය යන්න මූලාශ‍්‍ර සාධක සහිතව අද වන විට තහවුරුව ඇත. ලංකාවට පැමිණි මිෂනාරීවරුන් 19 වන සියවසේ දෙවන දශකයේදී බද්දේගම ස්වකීය මිෂනාරි ආගමික හා අධ්‍යාපනික කටයුතුවල නියැළෙන්නට විය. මෙම අවධිය තුළදීම බද්දේගම ගොතටුව අලංකාර කඳු ගැටයක් මුදුනෙහි 1825 වර්ෂයේදී කාල්වානේ රතනපාල නම් හිමි නමක් විසින් පන්සලක් ආරම්භ කරන්නට යෙදුණි. මෙකී සිදුවීම බද්දේගම වාදයේ මූලාරම්භයට අනාගතයේ හේතු වන්නේ යැයි කිසිවකු නොසිතන්නට ඇත.

කාල්වානේ රතනපාල හිමියන් තම ශිෂ්‍ය බඹරැුන්දේ රේවත හිමියෝ අධ්‍යයන කටයුතු සඳහා තොටගමු පිරිවන වෙත ඇතුළත් කරන ලදි. එහිදී බඹරැුන්දේ රේවත හිමියෝ පාලි භාෂාවෙහි දක්‍ෂයෙකුව සිට ඇත. මෙකල ගාලූ දිසාව භාර දිසාපතිවරයාහට පාලි භාෂාව ඉගෙනීමේ අවශ්‍යතාවක් ඇති වූ හෙයින් ඔහු තොටගමු පිරිවන වෙත ගොස් ඇත. එහිදී සුදු ජාතික දිසාපතිවරයා වෙත පාලි ඉගැන්වීමේ කර්තව්‍යය බඹරැුන්දේ රේවත හිමියන්ට බාර වූ බවත් එමඟින් ගොඩනැගි මිතුදම ලාංකේය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමෙහිලාද ඉවහල් වූ බවත් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ නිගමනයයි. තමාට පාලි ඉගැන්වීම වෙනුවෙන් හිමිපාණන් වහන්සේට ඉංග‍්‍රීසි ඉගැන්වීමට හෙතෙම බාරගත් අතර බඹරැුන්දේ රේවත හිමියන් හා උන්වහන්සේගේ සහෝදර බද්දේගම සුමංගල හිමියන් ඉතා වුවමනාවෙන් ඉංග‍්‍රීසි අධ්‍යාපනය හදාරා ඇත. බද්දේගම වාදයේ නොපළ පසුතලය පිළිබඳ අධ්‍යයනය කළ ජනමාධ්‍යවේදී සමන් සී. ලියනගේ මහතා ස්වකීය ග‍්‍රන්ථය වන ‘බද්දේගම වාදයේ නොපළ පසුබිම’ නම් කෘතියේදී පෙන්වා දෙන්නේ බඹරැුන්දේ රේවත හා බද්දේගම සුමංගල යන හිමිවරුන් ගොතටුව පන්සලේ සිට සුදු ජාතික දිසාපතිවරයාගේ අනුදැනුම මත ඉංග‍්‍රීසි ඉගෙනගත් බවයි. එමෙන්ම බද්දේගම ක‍්‍රිස්තුදේව පල්ලිය සමඟ ද මනා සබඳතාවක් උන්වහන්සේලා ගොඩනඟා ගෙන සිට ඇති බව ද හෙතෙම මූලාශ‍්‍ර සාධක සහිතවම පෙන්වා දෙයි.

19 වන සියවසේ මැද භාගයේදී ගාලූ දිසාව භාරව සිටි දිසාපතිවරයාට නැවත එංගලන්තයට යෑමට සිදු වූ හෙයින් හෙතෙම ගොතටුව පංසලට පැමිණ බඹරැුන්දේ රේවත හිමියන්හට පැවසූයේ,

‘හාමුදුරුවනේ ලොව හොඳම ඉංග‍්‍රීසි තියෙන්නේ මේ පොතේ, මේ පොත බලන්න’

මෙලෙස පැවසූ ඔහු බයිබලයක් ලබා දී ඇති අතර එය ගොතටුව පන්සලේ අද වන විට ද ඓතිහාසික වටිනාකම් රැුසක උරුමයක් ලෙස පැවතීම වැදගත් සාධකයකි. බඹරැුන්දේ රේවත, බද්දේගම සුමංගල යන හිමිවරුන් බයිබලය කියවීමෙන් පසුව කිතු දහම පිළිබඳ පැන නැඟී ප‍්‍රශ්න සියල්ලටම ලිඛිත පිළිතුරු බද්දේගම පල්ලියේ මිෂනාරී පියතුමන්ලාගෙන් බලාපොරොත්තු විය. කළුකොඳයායේ පඤ්ඤාසේකර හිමියන් සිය පුවත්පත් සඟරා ඉතිහාසය නම් කෘතියේ සඳහන් කරනුයේ බද්දේගම වාදය 1861 වර්ෂයේ දී පළමුව බද්දේගම සුමංගල නම් සාමණේර නමක් විසින් ලිඛිත වාදයක් ලෙස අරඹා ඇති බවයි. එමඟින් ද තහවුරු වන සාධකය නම් ගොතටුව පන්සලේ හිමි නමකගේ මූලිකත්වයෙන් බද්දේගම වාදයට පසුබිම සැකසුණු බවයි.

බද්දේගම වාදය පිළිබඳ මනා අධ්‍යයනයක නියැළුණු මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාට අනුව මෙසේ ගොතටුව පන්සල හා බද්දේගම පල්ලිය අතර බොහෝ කාලයක් ලිඛිත වාදයක් ලෙස පැවතුණු ආගමික සංකල්ප පිළිබඳ මතවාදය වඩාත් පුළුල් වී ඇත්තේ මෙකල බද්දේගම මිෂනාරි කටයුතු කරමින් සිටි ‘කතිසේරුවරුන්’ පිරිසක් ගොතටුව පන්සලටම පැමිණ වාචිකව වාද කිරීමට පෙළඹීම තුළිණි. එය ප‍්‍රදේශය පුරා වඩාත් පුළුල් ප‍්‍රචාරණයක් හා සංවාදයක් ලෙසින් ව්‍යාප්ත විය. ක‍්‍රමයෙන් මෙකී සංවාදය පිළිබඳ ධර්මපාල වැනි ගිහි ප‍්‍රභූවරුන්ගේ ද හික්කඩුවේ සුමංගල වැනි මහා යතිවරයන් වහන්සේලාගේ ද අවධානය යොමු වූ අතර අවසන් ප‍්‍රතිඵලය 1865 වර්ෂයේ පෙබරවාරි 08 වෙනි දින පැවැත් වූ ප‍්‍රසිද්ධ බද්දේගම වාදය විය. බද්දේගම වාදය කිනම් ස්ථානයක දී පැවතියේ ද යන්න විවාද සම්පන්න කරුණකි. නමුත් මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත බොහෝ මූලාශ‍්‍ර පෙන්වා දෙන්නේ එය ‘ගනේගම ශාලාව’ තුළ පැවති බවයි. මෙකල ගොතටුව පන්සල ද ගනේගමට අයත් වූ නමුත් මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කළ ජනමාධ්‍යවේදී සමන් සී. ලියනගේ මහතාගේ නිගමනය නම් වත්මන් ගනේගම රතනසාර විද්‍යායතන පිරිවන පවත්නා ස්ථානයේ එය සිදු වන්නට ඇති බවයි. නමුත් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට විද්‍යාර්ථීන්හට තවමත් අවකාශ ඇත.

වර්තමානයේ පුරන් කුඹුරු අස්වැද්දීමට කිනම් සමාජ රැුල්ලක් පවතී ද, බිතු සිතුවම් ඇඳීමට කිනම් රැුල්ලක් පවතී ද, එලෙසම මිෂනාරී ව්‍යාපාරයට එරෙහිව දේශීය බෞද්ධ ජනයා හා යතිවරුන් පෙළගස්වා ආගමික සංකල්ප පිළිබඳ වාදයන් ඇරඹීමේ සමාජගත රැුල්ලේ පෙරගමන්කරු බද්දේගම වාදය බැව් නොරහසකි. 19 වන සියවසේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ වැදගත් පසුබිමකට ශක්තිමත් අඩිතාලමක් දැමූ බද්දේගම වාදය පිළිබඳ ඓතිහාසික තොරතුරු සමාජගතව පවතිනුයේ කෙතරම් දුරට ද යන්න ගැටලූ සහගතය. ඒ නිසාම වසර 155 ක් සපිරෙන අවධියක වුව බද්දේගම වාදය පිළිබඳ සමාජ කතිකාව හීන මට්ටමක පවතී. ඔප නොදැමූ මැණිකක් බඳු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ බද්දේගම වාදය පිළිබඳ ඓතිහාසික තොරතුරු වඩ වඩාත් අධ්‍යයනය කොට එකී මාණික්‍යය ඔප දැමීම අප සැම සතු වගකීමක් බැව් සිහිපත් කරමි.

ගෞරව ශාස්ත‍්‍රවේදී වඳුරඹ ධම්මවංශ හිමි
ශ‍්‍රී පාද චෛත්‍යාරාමය – බද්දේගම

149 Viewers