භික්‌ෂු චීවරයට අත නොතබනු

ථේරවාදී භික්‌ෂූන් වහන්සේලා පරමාදර්ශී සමාජයකට හිමිකම් කියන පිරිසකි. උන්වහන්සේලාගේ ඇඳුම සිවුරයි. බුදුරජාණන් වහන්සේ කුඹුරක්‌ පෙන්වා එම කුඹුරේ ලියෑදි පිහිටා ඇති ආකාරයට කඩ කපා සිවුර මසාගත යුතු බව වදාළහ. මිනී ඔතා අහක දැමූ රෙදි කැබලි එකතු කර සකසා ගත් සිවුර පාංශුකූල චීවරයයි. අනෙකුත් රෙදි වර්ගවලින් සකසා ගත් සිවුරුද භික්‌ෂූන්ට කැප බව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. අද භික්‌ෂූන් වහන්සේලා පරිහරණය කරන්නේ එබඳු සිවුරුය. වෙළඳසල්වල සිවුරු තිබුණත් එම සිවුරු මිලදීගෙන හෝ වෙනත් ක්‍රමයකින් සිවුරු සොයාගෙන කිසිදු ගිහියකුට සිවුරු දරාගත නොහැක. එසේ සිවුරු දරන කෙනෙක්‌ භික්‌ෂුවක්‌ද නොවේ. පැවිදිවීම යනු පිළිගත් උපසපන් භික්‌ෂුවකගෙන් පැවිද්ද ලබා ගැනීමයි. විනයානුකූලව සිවුරු පටිය කරේ බැඳීමෙන් අනතුරුව ගිහි ඇඳුම් උණා තබා සිවුරු පෙරවීමෙන් මහණකම හෙවත් පැවිද්ද ලබාදෙනු ලැබේ. බුදුරදුන්ගේ සමයේ සිට ගුරුවරයාගෙන් ගෝලයාට සිවුර ලබාදීමේ ක්‍රමවේදය හෙවත් පැවිදි කිරීම මේ දක්‌වා අඛණ්‌ඩව පැවත එයි. දීර්ඝ ඉතිහාසයක්‌ පුරා මෙසේ අඛණ්‌ඩව පැවත එන ථේරවාදී භික්‌ෂු චීවරය හැර වෙනත් ඇඳුමක්‌ ලොව කිසිදු සමාජයක නොමැත. බුද්ධ දේශනාවට අනුව අනාගතයේදී මහණකම සංකේතවත් කරමින් කහ පාට නූලක්‌ හෝ රෙදිකඩක්‌ කරේ බැඳගෙන පෙනී සිටින කාසාව කණ්‌ටකයා දක්‌වාම මෙම චීවර සම්බන්ධතාවය අඛණ්‌ඩව පවතියි.

විනයානුකූලව සිවුරු පොරවාගත් භික්‌ෂුවකගේ චීවරය උන්වහන්සේට අහිමි කළ හැක්‌කේ සතර පාරාජිකාවන්ගෙන් එකකට අසු වීමෙන් පමණි. එම පාරාජිකා සතර මෙසේය.

1. මෛථුන සේවනය.

2. මනුෂ්‍ය ඝාතනය.

3. රාජනීතියට අනුව මරණ දඬුවම, බන්ධනාගාර ගත කිරීම හා පිටුවහල් කිරීම යන දඬුවම් දිය හැකි බරපතළ සොරකමක්‌ කිරීම.

4. තමන් තුළ නොමැති උතුරු මිනිස්‌දම් ඇතැයි ඇඟවීම.

ඉහත වැරදි කළ භික්‌ෂුවකට එම වැරදි කර ඇතැයි ඔප්පු වුවහොත් තවදුරටත් මහණකමේ රැඳී සිටිය නොහැක. ඔහු සිය කැමැත්තෙන් සිවුර අත්හැර නොයන්නේ නම් ඔහුගේ සිවුර ගැලවීමට භික්‌ෂූන්ට අයිතියක්‌ ඇත. එහෙත් ගිහියන්ට එම අයිතිය නැත. එවන් වැදගත්කමක්‌ හා ඉතිහාසයක්‌ ඇති භික්‌ෂු චීවරයට අත තැබීම හෙවත් සිවුරු ගැලවීම වෙනත් මොන නීතියකට අනුව කළත් එය බරපතළ වරදකි. පාපයකි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට අපහාස කිරීම හා එක්‌නැළිගොඩගේ බිරිඳට බැණවැදී තර්ජන කිරීම යන චෝදනාවලට වැරදිකරු වී බරපතළ වැඩ ඇතිව මාස හයක සිරදඬුවමක්‌ ලබා මේ වන විට වැලිකඩ සිරගෙදර සිටී. මෙවැනි සුළු චෝදනා මත මෙසේ දඬුවම් නියම කිරීම ප්‍රහේළිකාවකි. මුළු රටම ආර්ථික වශයෙන් අගාධයට ඇද දැමූ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය සිදු කළ මහමොළකාරයන් කවුරුන් දැයි මේ වන විට බොහෝ දෙනා දනිති. එහෙත් කොමිෂන් සභා පත්කරමින් ඒවා ගැන දිගින් දිගට වාද විවාද කරමින් කල් මරනු මිස මහ හොරුන්ට දඬුවම් කිරීමක්‌ හෝ රටට සිදු වූ අලාභය ඔවුන්ගෙන් අයකර ගැනීමක්‌ හෝ පේන තෙක්‌මානයක දක්‌නට නොමැත. ඒ අනුව විමර්ශන බුද්ධියෙන් විමසා බලන විට ඥානසාර හිමියන්ට දඬුවම් කිරීම පිළිබඳව කිසියම් අදෘශ්‍යමාන හස්‌තයක්‌ ක්‍රියාත්මක වන්නට ඇතැයි සාධාරණ සැකයක්‌ ද ඇතිවේ. මෙය කිසියම් අනාගත දේශපාලන වැඩපිළිවෙළක සැඟවුණු කතන්දරයක්‌ දැයි ඇතැමුන් තුළ සැකයක්‌ ඇත. කෙසේ නමුත් කාටවත් අතකොළුවක්‌ නොවීමට, කාටවත් ආයුධයක්‌ නොවීමට ජාතික බලවේගවල ක්‍රියාකාරීන් විශේෂයෙන් භික්‌ෂූන් වහන්සේලා තරයේම සිතට ගත යුතුව ඇත.

පවතින රෝම ලන්දේසි නීතිය අනුව බරපතළ වැඩ ඇතිව සිරගත කරනු ලැබූ භික්‌ෂුවකගේ චීවරය ගලවා ජම්පරයක්‌ ඇන්දවීමට බන්ධනාගාරයේ නිලධාරීන්ට අයිතියක්‌ ඇතැයි පැවසේ. නීතිය කාටත් එක සමානය යන කියමනද මෙහිදී ඉදිරිපත් කෙරේ. එහෙත් ඉතිහාසය පුරා වර්ෂ දෙදහස්‌ ගණනක්‌ බුද්ධ ශාසනය ආරක්‌ෂා වූ ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයම පිළිගන්නා ශ්‍රී ලංකාවෙහි එම සාසනය ආරක්‌ෂා කිරීමෙහිලා මූලිකයන් වූ භික්‌ෂූන් වහන්සේගේ ඇඳුම වන චීවරය ඇන්දවීම හා ගැලවීම පිළිබඳව රෝම ලන්දේසි නීතියට අනුව, එනම් අද මෙරට පවතින නීතියට අනුව තීරණගත නොහැක. එසේ තීරණ ගන්නේ නම් එය භික්‌ෂු චීවරයට මෙන්ම බුද්ධ ශාසනයටද සිදුකරන නිගරුවකි. හානියකි.

1818 සිංහල විමුක්‌ති සටනට සහාය දුන් භික්‌ෂූන් වහන්සේ සුද්දන්ගේ ග්‍රහණයට අසු වූ අවස්‌ථාවේ උන්වහන්සේලා සිවුරට අත නොතබන ලෙසට සුද්දන්ට තර්ජනය කළහ. එම වචනයට ගරු කිරීමක්‌ වශයෙන් හෝ බියවීම නිසා හෝ සුද්දෝ භික්‌ෂු චීවරයට අත නොතැබූහ. අපවත්වන තුරුම සිරගත කොට තැබූහ. අද මෙරට පවතින්නේත් සුද්දන්ගේ නීතියයි. එය ක්‍රියාත්මක කරවන්නේ සුද්දන් නොව කළු සුද්දන්ය. අනගාරික ධර්මපාල තුමා එදා පැවසුවා සේ සුද්දන්ටත් වඩා ඉහළින් කළු සුද්දන් උන්ගේ නීතිය ක්‍රියාත්මක කරන බව පෙනේ. කැලේ ගහක්‌ නසන්නට කැලේ ගසක්‌ම උපකාරවන්නා සේ භික්‌ෂූන්ට එරෙහිව ඇතැම් භික්‌ෂූන්ම ඉදිරිපත්ව ප්‍රකාශන පවා නිකුත් කිරීම මොනතරම් නිර්ලඡ්ජිත දැයි නුවණින් විමසා බැලිය යුතුය. මෙහි දී භික්‌ෂු නායකත්වය ඉදිරිපත්ව භික්‌ෂුවගේ පොදු ගෞරවයට හානි වන ක්‍රියාවන් වලක්‌වාලීමට පියවර ගත යුතුය. එසේ නොවුණොත් අනාගකයේදී භික්‌ෂුවකට මහ පාරේ වැඩම කිරීම නොව පන්සලක රැඳීසිටීම පවා අපහසුවන තැනට කරුණු යෙදෙනු ඇත.

ධර්මිෂ්ටකම් ගැන බොරු සෝබන වචන යොදා දේශනා පවත්වමින් බුද්ධ ශාසනය හා භික්‌ෂූන් වහන්සේ ආරක්‌ෂා කරන බවට වේදිකාවල බෙරිහන් දෙමින් එහෙත් ඒ කිසිවක්‌ ක්‍රියාත්මක නොකර වෙනත් කවුරුන් හෝ සතුටු කිරීමට හෝ තමන්ගේම සතුටට භික්‌ෂූන්ට, භික්‌ෂු චීවරයට අවමන් කරන එවුන් හඳුනාගෙන ඔවුන්ට නිසි පාඩම් ඉගැන්වීමට මෙරට භික්‌ෂූන් වහන්සේ හා සිංහල බෞද්ධයන් පමණක්‌ නොව රටේ අනන්‍යතාව හා වැදගත්කමට ගරු කරන සියලුම දෙනා සිතට ගත යුතුය. එසේ නොවුණොත් ඉහත සඳහන් කළ කළු සුද්දන් හා උන්ගේ කල්ලි කණ්‌ඩායම් භික්‌ෂු සමාජය පමණක්‌ නොව අහිංසක ජනතාවද මර්දනය කරමින් මුළු රටම අඳුරු අගාධයකට ඇද දැමීම වැලැක්‌විය නොහැකි වනු ඇත. භික්‌ෂුවගේ, භික්‌ෂු චීවරයේ ගෞරවය රැකුණොත් මෙරට සියලු ජනතාවගේ ගෞරවය හා අයිතීන් රැකෙනු ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
ජාතික හිමිකම් සංවිධානයේ සභාපති


450 Viewers