• Home »
  • Sinhala »
  • මරුවා පෙනි පෙනී කොටි බෝම්බ වාහනය පිපිරවු විශේෂ බළකා විරුවා..!

මරුවා පෙනි පෙනී කොටි බෝම්බ වාහනය පිපිරවු විශේෂ බළකා විරුවා..!

කොටි ත්‍රස්තවාදීන් 2009 පෙබරවාරි මස 1 වැනිදා මුලතිව් නගරය යලි අල්ලා ගැනීම සදහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදි.මුලතිව් නගරය යලි අල්ලා පෙබරවාරි 4 දිනට ඊලාම් කොඩිය එසවීම ත්‍රස්තයන්ගේ අරමුණ විය.එදින දහවල් වෙද්දී සටන ඉතාමත් දරුණු අතට හැරුණු අතර යුදහමුදාපති විසින් සටනට අණ දිම සිදු කරන ලදි.අවසානයේ විශේෂ බළකායද කැදවන ලදි.මේජර් කෝසල විජේකෝන් අනදුන් එකෝ බලඝනයත් ,කපිතාන් ඉන්දික ලියනගේ යටතේ වු බ්‍රාවෝ බලඝනයත් සටනට එක් විය.මෙම කණ්ඩායම් දෙක කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලක්වාලීමට සුදානමින් පුදුකුඩිඉරිප්පු මාර්ගය දෙපස වලවල් හාරා ඒ තුල බැස සුදානමින් සිටියහ.එක්වරම බෝම්බ පිරවු කොටින්ගේ වාහනයක් වේගයන් එන බව ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ නෙත ගැටිනි.එය හමුදා ඉදිරි ආරක්‍ෂක වලල්ලේ ගැටුනහොත් විරු ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වන බව ස්ථිර හෙයින් ඔහු මාර්ගය ඉදිරියට පැන තම ජීවිත ගැනවත් නොසිතා තම අත වු ආර්.පී.ජී. අවිය ක්‍රියාත්මක කළත් උණ්ඩය ක්‍රියාත්මක නොවීය.ඔහු තවත් උණ‍්ඩයක් දමා ඉලක්කය ගන්නා විට වාහනයට දුර මීටර් 40 වත් නොවීය.මෙතරම් ආසන්නයකදී බෝම්බ වාහනය පිපිර වුවහොත් තම ජීවිතයද විනාශ වන බව දැන දැනත් අභිත ලෙස මෙම විරුවා අවිය ක්‍රියාත්මක කලේය.ඉලක්කය සාර්ථක වු අතර සෙබළ ජිවිත විශාල ප්‍රමාණයක් බේරා දි චන්ද්‍රසිරි බණ්ඩාර තම ජිවිතය රට වෙනුවෙන් පුද කරන ලදි.මෙම උදාර විරුවාගේ නම පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කීය.
———————————————————————
▶️ “මගෙ මහත්තයා වීරයෙක් එයා ගැන ආඩම්බරයි”
පරම වීර විභූෂණ සම්මාන දිනූ චන්ද්‍රසිරි බණ්ඩාරගේ බිරිඳ කියයි

පරිසරය උණුසුම්ය. එහෙත් ගාලු මුවදොර මුහුද සිප හමන මදනල වෙනදාටත් වඩා සිහිලැල්ය. ඒ රට වෙනුවෙන් අභීතව සටන් කර දිවිපිදු රණවිරුවන්ගේ ආදරණීය අම්මාවරු, පියවරු, බිරින්දෑවරු, දරුවන්… හෙළන කඳුළිනි. ඔවුන්ගේ මුවින් නැඟෙන සුසුම හද දවාලයි. පරිසරයම නිසලය. ඒ නිසල බව ගෙන එන්නේ අභිමානයකි. එක පෙළට සිටින ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය රට වටකොට බැඳි මහ පවුරක් සේය. තිස් වසරක යුද්ධයේදී දිවිපිදු සියලු විරුවනි ඔබ රටට ආඩම්බරයකි. යුද විජයග්‍රහණයේ තෙවසර සමරන දා පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබු සෙ/ 462696 කෝප්‍රල් දිසානායක මුදියන්සේලාගේ සුගත් චන්ද්‍රසිරි බණ්ඩාර නම් ඔහු හසලක ගාමිණි රණවිරුවා වැන්නෙකි.

“සුගත් කවදාවත් මගෙත් එක්ක යුද්ධය ගැන කතා කරලා තිබුණේ නැහැ. නිවාඩුවට ගෙදර ආවම අපි ඒ ගැන කතා කළේම නැහැ. මම ඇහුවත් මට මුකුත්ම කිව්වේ නැහැ. එයා ගෙදර ආවම දුව එක අඩියක්වත් පයින් යන්නේ නැහැ. සුගත් හිටියෙම දූ වඩාගෙන. සුගත් මැරුණම තමයි මට යුද්ධයේ බිහිසුණු බව වඩාත් දැනුණේ. තාත්තා මැරුණු බව දූට ඒත්තු ගන්වන්න හුඟක් කල් ගියා. ඒ දවස්වල දුව මගෙ පොතක ලියා තිබුණා දුරකථන අංකවලට කතා කරලා එයාගේ තාත්තා හොයනවා. තාත්තට කතා කරන්න ඕන කියනවා. සුගත් නැති වුණාම මං ජීවත් වෙන්න හිත හදාගත්තේ දූ නිසා.

මගෙ දුව පුංචි හපනෙක්. සුගත්ගෙ බලාපොරොත්තුව තිබුණේ දුවගේ අනාගතය හදන්න. මං ආයෙත් ගමට නොගිහින් නතර වුණේ සුගත්ගෙ පැතුම් ඉටු කරන්න ඕනැ නිසා. යුද්ධය නිසා අපේ ජීවිත කඩා වැටුණත් යුද්ධය නිමා වී මේ රට නිදහස් රටක් වීම නිසා මට මගෙ මහත්තයා ගැන ආඩම්බරයි. එයා මට විතරක් නොවෙයි මුළු රටටම වීරයෙක්…”

ඇය තුරුළේ සිටින දියණිය අම්මා දෙස අහිංසකව බලා හිඳී. ඇය, වන්නි මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු විශේෂ බළකායේ ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ බිරිඳ මංගලිකා කුමාරි රණසිංහය. ඇය කොතෙක් නම් හඬන්නට ඇත්ද? සුසුම් හෙළන්නට ඇත් ද? මංගලිකා පමණක් නොව යුද්ධයේදී දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ කොතෙක් නම් හඬනවා, වැලපෙනවා ඇත්ද?

“රණවිරුවෝ සදානුස්මරණීයයි.” මේ විරෝදාර රණවිරුවන්ගේ විජයග්‍රහණයේ තෙවැනි සැමරුම් උත්සවය දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අතින් ත්‍රිවිධ හමුදාවේ මියගිය රණවිරුවන් පහළොස් දෙනකු වෙනුවෙන්, ඔවුන්ගේ ළඟම ඥාතින්ට ‘පරම වීර විභූෂණ’ සම්මානය පිරිනැමිණි.

වන්නි මානුෂිය මෙහෙයුමේදී දිවිපිදු චන්ද්‍රසිරි බණ්ඩාර මරණය දැක දැක තම සහෝදර සෙබළුන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා සතුරාට බිලි වූ වීරෝදාර රණවිරුවෙකි.

දිනය දෙදහස් නවය වසරේ පෙබරවාරි මස තුන්වෙනිදාය. ත්‍රස්තවාදීන් විසින් වන්නි මානුෂිය මෙහෙයුමේදී නිරතව සිටි හමුදාව ඉදිරියට අධිබලැති පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මරාගෙන මැරෙන වාහනයක් ඔවුනගේ ආරක්ෂක වළල්ල වෙත ධාවනය කෙරිණි. එවිට වේලාව සවස 4.30 ට පමණ ඇත. ආර් පී ජී අවියක් ද අත දරා සිටි ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි බණ්ඩාර ඉදිරියෙන් එන වාහනය පිළිබඳව විමසිල්ලෙන් පසුවිය. ඔහු ආර් පී ජී අවිය ඒ දෙසට එල්ලය බලා ක්‍රියාත්මක කළත් එය සාර්ථක වූයේ නැත. සිදුවිය හැකි මහා විනාශයක් නතර කිරීමේ අරමුණින් තම ජීවිතය අහිමි වන බව දැන දැනම ආර් පී ජී අවියට බෝම්බයක් අටවා ගෙන තමන් ඉදිරියට වේගයෙන් එන පුපුරන ද්‍රව්‍ය පිරවූ වාහනයට ප්‍රහාරයක් එල්ල කළේය. ගතවූයේ මොහොතකි. මහා හඬක් නංවමින් ඇසිල්ලකින් සියල්ල පිපිරී ගියේය. ලොරිය මුළුමනින්ම විනාශ විය. ඒ ප්‍රහාරයෙන් චන්ද්‍රසිරි බණ්ඩාරගේ කණ්ඩායමේ නායකයා ද තවමත් සෙබළුන් කිහිප දෙනෙක් ද මිය ගියහ.

“එයා නිවාඩු ආවේ ජනවාරි දාහත්වැනිදා. ඒ නිවාඩු කාලේ අපි දෙන්නම වෙහෙසුණේ දුව ඉස්කෝලෙකට ඇතුළත් කරගන්නයි. එයා දුව ගල්කිස්ස උසස් බාලිකා පාසලට යනවා දැක්කෙ දවස් දෙකයි. ඊළඟ දවසේ එයා මඟින් බැහැලා උතුරට යන්න ගියා. ඉස්කෝලේ ළඟට ආවේ නැහැ. දුව දාලා යන්න බැහැ කියල. එයා මට යනකොට කියලා ගියා එයාට කතා කරන්න බැරි වුණොත් කඳවුරට කතා කරලා අහන්න කියලා. කොහොමහරි ඔය සිද්ධිය වෙන්නට පෙර එයා යුද පෙරමුණට යන්න කලින් මට කතා කළා. එයා නැති වුණ දවසට කලින් දවසේ රෑ මට විකාර හීන පේන්න ගත්තා. නින්ද ගියේ නැහැ. පහුවදාත් ඒ වගේමයි. මං හැන්දෑවේ කඳවුරට කතා කළා. එහෙන්් කිව්වා එයා එළියේ කියලා. ඊළඟ දවසේ හමුදාවෙන් මට කතා කරලා කිව්වා අම්මලා ළඟට යන්න මහත්තයාට පොඩි අනතුරක් කියලා. ඒත් මං හිතුවේ නැහැ. මේ වගේ දෙයක් වෙලා ඇති කියලා.”

ඒ වන විට මංගලිකා හිටියේ රත්මලාන තෙලවල පාරේ පුංචි කුලී නිවසකය. චන්ද්‍රසිරි බණ්ඩාරගේ උපන් ගම බිබිල වුවද මංගලිකා බදුල්ලේ වුවද විවාහයෙන් පසු ඔවුන් රත්මලානේ කුලී නිවෙසක පදිංචියට ආහ. ඒ පුංචි ගෙදර ඔවුන්ගේ ලෝකය ගොඩ නැඟුව ද එහි අසිරිය විඳින්නට ඔවුන්ට නොහැකි විය. යුද්ධය සියල්ල උදුරා ගත්තේය. තම සැමියාගේ මරණයත් සමඟ තවත් අසරණ වූ මංගලිකාට කුවෙට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයකු විසින් හොරණ ගුරුගොඩ ප්‍රදේශයෙන් නිවෙසක් පරිත්‍යාග කරන ලදි. අද ඔවුන් වෙසෙන්නේ ඒ නිවෙසේය.

“ගමට ගියොත් මගෙ දරුවට උගන්න ගන්න බැරි වෙනවා. මහත්තයගේ සිහිනය වුණේ දුවට උගන්වන්න. ඒත් හොරණ ගුරුගොඩ ඉඳලා ගල්කිස්සට ඉස්කෝලේ යන්න අමාරුයි. ප්‍රවාහන සේවයක් නැහැ. දුව කොළඹ ඉස්කෝලෙකටවත් දාගන්න ලැබෙනවනම් ඒක ලොකු සහනයක්.”
රණවිරු චන්ද්‍රසිරි බණ්ඩාරගේ දියණිය කරාටේ හපනියකි. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය විවිධ කරාටේ තරගවලින් රන් පදක්කම් රැසක් දිනා සිටින්නීය.

“දුව ඉන්දියාවේ පැවැත්වුණ තරගයකට ගිය අවුරුද්දේ සහභාගි වුණා. එහිදී බර පන්ති විස්සයි විසිපහ අතර තරගයෙන් රන් පදක්කමක් දිනා ගත්තා. මේ වෙනකොට දුව රන් පදක්කම් හතක් දිනාගෙන ඉන්නවා.”

සිය සැමියා අහිමි වී යද්දී ජීවිතයේ එකම බලාපොරොත්තුව පුංචි දියණිය නිසා නැඟි සිටින මංගලිකාගේ එකම අරමුණ දියණිය සමාජයේ ඉහළ තලයක රඳවා තැබීමය.

“මහත්තයා නැති වුණහම මට දැනුණේ මගෙ ජීවිතේ කඩා වැටුණා වගේ. ඒත් මං දුව වෙනුවෙන් ජීවත් වෙන්න හිතුවා. යුද හමුදාවෙන් අපි ගැන නිරන්තරවම සොයලා බලනවා. මගෙ පවුලේ අය වගේම මහත්තයගේ පවුලේ අයත් අපි ගැන බලනවා. ඒ වුණත් සුගත් නැති අඩුව විඳගන්න අමාරුයි. සුගත් නැති වෙලා තුන් මාසේ දානේ දීලා සතියකට විතර පස්සේ තමයි යුද්දෙ ඉවර වුණේ. ඒ වෙලාවේ හිතට දැනුණේ සතුටක්. ඒ වගේම කියාගන්න බැරි තරමේ දුකක්. එදා ජනාධිපතිතුමා අතින් පරම වීර විභූෂණ සම්මානය ගනිද්දි මට ලොකු ආඩම්බරයක් දැනුණා. මගෙ මහත්තයා මැරුණේ රට වෙනුවෙන්. එයා යුද වීරයෙක්. එයාගේ නම මේ රටේ ඉතිහාසයට එකතු වෙනවා…” මංගලිකා පවසන්නීය.

“මට තාත්තා ගැන ආඩම්බරයි. මම ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙනවා.” අම්මාගේ තුරුලේ හිඳ ඇගේ කඳුළු දෙස නිසොල්මනේ බලා උන් සසිකලා සිතුමිණි චන්ද්‍රසිරි පුංචි දියණිය සෙමෙන් පවසන්නීය.

හැන්දෑ කළුවර පරිසරයේ පාළු බව වැඩි කරයි. ජාතියේ මුර දේවතාවන් වන් වූ මේ රණවිරුවන් දිවි පුදා ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගත් නිදහස් රටක අද අපි බියක් සැකක් නැතිව ජීවත් වෙමු. ඒ බිය සැක නැති රට අපට උරුම කර දුන්නේ චන්ද්‍රසිරි බණ්ඩාර වැනි අභීත රණවිරුවන්ගේ ලේ දහඩිය කඳුළුය…

අපි හිස නමා ආචාර කරමු. සැරයන් චන්ද්‍රසිරි බණ්ඩාර පමණක් නොව රට වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන්ගේ නාමයට.



214 Viewers