• Home »
  • Sinhala »
  • මහනුවර දිගන ගැටුම් වලට මහසෝන් බළකායේ පිරිස සම්බන්ධ කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්

මහනුවර දිගන ගැටුම් වලට මහසෝන් බළකායේ පිරිස සම්බන්ධ කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්

yajangani

මහනුවර දිගන ගැටුම්වලට මහසෝන් බළකායේ පිරිස සම්බන්ධ කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනාවලින් හෙළිවන නිසා මාස හතක් තිස්සේ චෝදනා නොමැතිව සිරකර සිටින තම සැමියා ඇතුළු පිරිස පිළිබඳ කාරුණික අවධානය යොමු කර ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයි රක්‍ෂිත බන්ධනාගාර ගත කොට සිටින මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතාගේ බිරිය වන ජයංගනී සිතුම් කුමාරි මහත්මිය පැවැසුවාය.
ඇය එම අදහස් පළකළේ ඊයේ (17දා) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්ය. සිංහලේ ජාතික ව්‍යාපාරය සංවිධානය කොට තිබූ එම මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.

මහනුවර ප්‍රදේශයේ පසුගිය මාර්තු මාසයේ ඇති වූ ගැටුම්වලට සම්බන්ධ බව කියමින් රක්‍ෂිත බන්ධනාගාරයේ රදවාගෙන සිටිනවා. අධි චෝදනා ගොනු කරන්න අවශ්‍ය බව කියමින් නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට එකඟ වෙන්නේ නැහැ. කිසිදු චෝදනාවක් නැතිව, නඩු පැවරීමක් නැතුව මෙලෙස මාස හතක් තිස්සේ රඳවාගෙන සිටීමේ අසාධාරණය ගැන මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම ඇතුළු ආයතන ගණනාවකට කිව්වා. ඒත් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ.
මේ අතර දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර නමැති අයෙක් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ගැන හෙළිදරව්වක් කොට තිබෙනවා. එම කරුණු අනුව මගේ මහත්තයා වන අමිත් වීරසිංහ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක්ද යන සැකය ආයෙත් ඇති වෙනවා. කොච්චර දැඟලුවත් අමිත්ට ඇප නොදෙන්න හිර කරලා තියෙනවා කියලත් එම හෙළිදරව්වෙන් පැහැදිලි වෙනවා.
පෙට්රල් බෝම්බ තිබිලා අත්අඩංගුවට ගත්ත කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවකදී කිව්වා. ඒත් මහසෝන් බළකාය කාර්යාලයේ බඩු අත්අඩංගුවට ගැනීමේදී අස්සනක් ගත්තා. එවැනි බෝම්බ තිබූ බවට කිසිදු සඳහනක් එහි නැහැ. ගෙදර බෝම්බ තිබුණෙත් නැහැ. එසේ තිබියදී බොරු චෝදනා නඟන්නේ ඇයිද කියන ප්‍රශ්නය අපට තිබෙනවා.
මහසෝන් බළකාය තහනම් කරන්න කියලා මුස්ලිම් මන්ත්‍රිවරු 21 දෙනෙක් අස්සන් කරලා ජනාධිපතිගෙනුත්, අගමැතිගෙනුත් ඉල්ලා තිබුණා. ඒත් එම සංවිධානය කළේ දුප්පත් පන්සල්වලට ජනතාවට උදවු කිරීම පමණයි. එම නිසා තහනම් කළේ නැහැ. එවැනි පසුබිමකයි අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රදවා තිබෙන්නේ.
මම මේ ගැන කියන්න මානව හිමිකම් කොමිසමට වාර 4ක් ගියා. කොළඹින් කියනවා මහනුවර කාර්යාලයට යොමු කළා කියලා. මහනුවරින් කියනවා කොළඹට යොමු කළා කියලා. ඒත් කිසිම විමර්ශනයක් නැතුව මඟහරිනවා. එසේ කරන්නේ අපිට මේ රටේ මානව හිමිකම් අහිමි නිසාද?

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා මහනුවර ගැටුම්වලට සම්බන්ධ බව කිව්වොත් පවුලටම විදේශ රටක ජීවත් වෙන්න උදවු කරනවා කියලා අමිත්ට ත්‍රස්ත විරෝධී ඒකකයෙන් කියා තිබෙනවා. ඒත් එවැනි දෙයක් ගැන ඔහු කියලා නැහැ.
තෙල්දෙණියේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මුස්ලිම් ජාතිකයන් පිරිසකට පසුවදාම ඇප දුන්නා. පෙට්රල් බෝම්බ ළඟ තබා ගැනීම තමයි ඔවුන්ට චෝදනාව. නීතිය සිංහලයන්ට වෙනස් ආකාරයකට ද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ?
එක එක්කෙනාට වුවමනා ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන නිසා මමත් දරුවන් දෙදෙනාත් ගොඩක් අසරණ බවට පත් වෙලා. මේ අසාධාරණය ගැන සොයා බලන්න කියලා මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා.

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා,
නාවික හමුදාවෙන් 2009දී පැන ගිය නාමල් කුමාර ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා ගැන කළ හෙළිදරව්වක් අනුව අමිත් වීරසිංහ ඇතුළු සිංහල ජාතික සංවිධානවල නියෝජිතයෝ, හාමුදුරුවරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට සිදු කොට තිබෙන කුමන්ත්‍රණ අනාවරණය වෙනවා. ඒ නිසා දැන්වත් සිංහල සංවිධානවලට සාධාරණයක් ඉටු කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියාගේ වැඩ තහනම් නොකොට ඔහු තොරතුරු තාක්‍ෂණ අංශයට මාරු කරලා වැඩක් නැහැ. මේ විදියට විධිමත් විමර්ශනයක් කරන්න බැහැ. ඔහු වගේම පොලිස් ඇඳුමට ගරු කරන්න දන්නේ නැති පොලිස්පතිත් ඉවත් කළ යුතුයි. ඔහුට වඩා හොඳ කොස්තාපල්වරු පොලිසියේ සිටිනවා.
හෙළ සොයුරෝ ජාතික සංවිධානයේ මහ ලේකම් ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා,
තෙල්දෙණියේ මහෙස්ත්‍රාත් මුස්ලිම් ජාතිකයෙක්. පෙට්රල් බෝම්බ සමඟ අත්අඩංගුවට ගෙන තිබූ පිරිසට ඇප දුන්නේ ඔහුයි. උසාවිය ගැන ජාතිවාදී හැඟීමක් මෙතුවක් නොතිබුණත් ත්‍රස්ත විමර්ශන ඒකකය ඒ සඳහා කටයුතු කර තිබෙනවා.

ඡායාරූප – උදේශ් රණසිංහ

දෙනගම ධම්මික රණවීර

416 Viewers