• Home »
  • Sinhala »
  • මහින්දටත් ගැනීමට අපහසු තීරණයක් ගත් මෛතී‍්‍ර

මහින්දටත් ගැනීමට අපහසු තීරණයක් ගත් මෛතී‍්‍ර

ජනාධිපති සහ ශී‍්‍රලනිප නායක මෛති‍්‍රපාල සිරිසේන තමාටත් ගැනීමට අපහසු තීරණයක් පසුගිය ඔක්තෝබර් 26 දා ගත් බව නව අගමැති මහින්ද රාජපක්‍ෂ පැවසූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක පවසයි. ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්‍ෂ එකතු කිරීමට වෙහෙස වූ දිසානායක මේ බව පැවසුවේ ඔක්තෝබර් මස 28 දින දහවල් පත් කළ මන්තී‍්‍ර තිලංග සුමතිපාලගේ පුංචි බොරැල්ලේ නිවසේ මාධ්‍යවේදීන් සමග පැවැති මාධ්‍ය හමුවකදීය. සුමතිපාල නිවසේ රථ ගාලේ පසුගිය කාලයේ සෑම අඟහරුවාදා ම මාධ්‍ය හමු පැවැත්විණි. 2018 අපේ‍්‍රල් මස මුල් සතියේ ශී‍්‍ර ලනිපයේ 16 ක මැති ඇමැති කණ්ඩායමක් එජාප ප‍්‍රමුඛ රජයෙන් ඉවත් විය. එම වෙන්වීමට ප‍්‍රධාන හේතුව වූයේ එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ශී‍්‍ර ලනිපයේ මන්තී‍්‍ර කණ්ඩායමේ කොටසක් කටයුතු කිරීමයි. එස්. බී. දිසානායක එම පාවාදීමට එරෙහි වූ කණ්ඩායමේ ප‍්‍රබල සාමාජිකයකු විය. පසුව 16 කණ්ඩායම 15 විය. දයාසිරි ජයසේකර 16 කණ්ඩායම අතහැර නැවත ශී‍්‍රලනිප ප‍්‍රධාන කණ්ඩායමට එකතු විය. 15 කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණ වූයේ මෛතිී‍්‍ර, මහින්ද නැවත එකතු කිරීම විය. මාස කීපයකට පෙර 15 කණ්ඩායම ජනපති සිරිසේන මහා බි‍්‍රතාන්‍යයේදී හමු විය. එස්. බී. දිසානායක පවසන පරිදි මහින්ද රාජපක්‍ෂ, මෛති‍්‍ර ගත් එජාපයට අදහාගත නොහැකි තීරණය තමාටත් ගැනීමට නොහැකි තීරණයක් ලෙස පිළිගනියි. පසුගිය ඉරිදා (ඔක්තෝබර් 28) ජනාධිපති සිරිසේන තමා ඇතිවූ තත්ත්වය පිළිබඳව කළ ප‍්‍රකාශයේදී (පටිගත කර විකාශය කළ) ඔක්තෝබර් 26 දින ගත් තීන්දුව සම්බන්ධයෙන් සඳහන් කළේය. එම සඳහන් ජනාධිපතිවරයාගේ වචනයෙන්ම ජනතාව දැන ගත යුතුය. තමන් 2014 නොවැම්බර් මස 21 දින පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට ගත් තීරණය (බරපතළ දේශපාලන අභියෝගයක් ඒ වගේම අවදානමක් ලෙස සඳහන් කළ ජනපතිවරයා මෙසේ පැවසීය. ‘‘ඒ වගේම පසුගිය 26 වැනිදා මා විසින් ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වැනිදා ගත් තීරණයටත් වඩා ප‍්‍රබල වූ අභියෝගාත්මක වූ අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා. ඔබ විශ්වාස කරනු ඇතැයි කියා.’’

එස්. බී. දිසානායක කියන පරිදි මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 දින ගත් තීරණය පිළිබඳව පළ කළ අදහසට එකඟය. කෙසේ වෙතත් එස්. බී. දිසානායක මහින්ද රාජපක්‍ෂ පැවසුවේ යැයි කියූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සඳහන් කළේ ජනපතිවරයා තම විශේෂ හෙළිදරව්ව කිරීමට පෙර ය.

මෛති‍්‍රපාල සිරිසේන ගත් අභියෝගාත්මක තීන්දු තීරණ 2014-2018

2004 අපේ‍්‍රල් මස මෛති‍්‍රපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් කළ මැදිහත්වීම නොවන්නට එතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයා ලෙස පත්වීම ලැබෙන්නේ නැත. එවකට ජනපති චන්ද්‍රිකා කුමාරතුංග සමග ජවිපෙ ඇති කර ගෙන තිබූ එකඟතාව මත අගමැතිවරයා ලෙස පිළිවෙළින් යෝජනා වී තිබුණේ ලක්‍ෂ්මන් කදිර්ගාමර්, අනුර බණ්ඩාරනායක සහ මෛති‍්‍රපාල සිරිසේන බව රහසක් නොවේ. එම එකඟතාව කඩ කළහොත් තම පක්‍ෂය රජයට එකතු නොවන බව ජවිපෙ තර්ජනය කළේය. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහින්ද රාජපක්‍ෂ අගමැතිවීම වැළැක්වීම අරමුණු කරගෙන 2004.4.5 දින කුමාරණතුංග මැතිනියට ලියූ ලිපිය එම පක්‍ෂයේ චේතනාව හෙළි කළේය. එවකට පක්‍ෂයේ මහා ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන ගුවන් හමුදා හෙළිකොප්ටරයකින් හදිසියේම කොළඹට ගෙන්වා ගත් ජනාධිපතිවරිය එතුමාගේ සහාය ජවිපෙ යෝජනාවට පැතීය. මෛතී‍්‍රපාල සිරිසේන එම යෝජනාව සුදුසු නැති බවත් පක්‍ෂයේ මහත් බෙදීමක් එමගින් ඇතිවන බවටත් අනතුරු ඇඟවීය. මෛති‍්‍රපාල සිරිසේන ගත් ස්ථාවරය කුමාරණතුංග කිසිදා බලාපොරොත්තු නොවූ බව පැහැදිලිය. මහ මැතිවරණයේ මන්තී‍්‍ර ආසන 36 ජයග‍්‍රහණය කර සිටි ජවිපෙ ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ ආසන 5 ක් ලබාදීමට නියමිතව තිබිණි. නමුත් ජවිපෙ මහත්මා දේශපාලනයේ යෙදෙමින් ලැයිස්තුවේ ආසන 3 පමණක් ලබා ගැනීමට කිසිදු හෙට්ටු කිරීමකින් තොරව කැමැති විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂට හිමි අගමැතිකම 2004 දී ලබාගැනීමට මෛති‍්‍රපාල සිරිසේන ප‍්‍රබල දායකත්වයක් කළ බව පිළිගත යුතුය. එසේ නොවන්නට අප රටේ ඉරණම වෙනස් වන්නට තිබිණි.

කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්‍ෂ දෙවැනි වර අගමැති ලෙස ඔක්තෝබර් 26 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම ජනාධිපති සිරිසේන ගත්, තීරණය ඉතාම අපහසු තීන්දුවක් බව පැහැදිලිය. 2015 ජනපතිවරණයේදී තමන් පරාජය වූවා නම් අඩි හයක් යට බව කීපවරක් ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා හිටපු ජනපතිවරයාට නැවත අගමැතිකම භාර ගැනීමට ආරාධනා කිරීම එක්තරා ආකාරයකට දෛවයේ සරදමක් දැයි සිතේ.

තමන් ගත් තීරණය පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය අප රට අද පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වය පෙන්නුම් කරයි. ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය සලකා බැලිය යුත්තේ එතුමා මෑතක කළ ඞී. එස්. ඩඞ්ලිගේ කාලයේ තිබූ එජාපය අද නැති බවට කළ සඳහන සමඟයි. 2014 පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන විට තමන් සිතුවේ එකතු වන්නේ ඞී. එස්. ඩඞ්ලිගේ කාලයේ තිබූ එජාපයට බව පැවසීම විමසා බැලිය යුතුය.

වකට ශී‍්‍රලනිප මහ ලේකම්වරයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන 2014 දී එකතු වූයේ එජාප ප‍්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය, ජවිපෙ, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ රාජ්‍ය නොවන සංවිධාන එකතුවකින් සෑදුන දේශපාලන කඳවුරකට බව අද කාටත් අමතක වී තිබේ. එම කණ්ඩායම මුල්වරට එකතු වූයේ 2010 ජනපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා දිනවීමට බව මතක් කර දිය යුතුය. 2010 මෙහෙයුම අසාර්ථක විය. 2015 දී එම කණ්ඩායම සාර්ථක විය. හංසයා ලකුණින් තරග කළ ෆොන්සේකා සහ මෛති‍්‍රපාල සිරිසේන අද විරසක වී ඇත. හංස ලකුණ දරණ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ සභාපතිවරයා බි‍්‍රතාන්‍ය පුරවැසි භාවයට හිමිකම් කියන ශලීල මුණසිංහ විය. මෑතකදී තායිවානයේ බැංකු පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විශාල මුදල් ප‍්‍රමාණයක් පිට කර ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය බැංකුවට බැර කිරීම පිළිබඳව මුණසිංහට චෝදනා එල්ලවී ඇත. එම ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ මේ වනවිට නඩු පවරා ඇත.

ශී‍්‍ර ලංකාවේ පුරවැසි භාවයවත් නොමැති පුද්ගලයකුට දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට ඉඩ සැලසීම මැතිවරණ දෙපාර්තමේන්තුව ගන්නා ලද තීරණය ඉතා පුදුමාකාරය.

යුද්ධය දිනූ යුද හමුදාපති සරත් ෆොන්සේකාට මෙන්ම, මෑතකදී කොටි ත‍්‍රස්තවාදීන් සමග අවසන් සටන කළ කාලයේදී (2009 මැයි) රටේ දේශපාලන නායකත්වය තමා හෙබවූ බව නිව්යෝර්ක්හිදී ප‍්‍රකාශ කළ මෛති‍්‍රපාල සිරිසේන යන දෙදෙනාටම 2010 සහ 2015 පිළිවෙළින් ජනාධිපතිවරණයේදී ත‍්‍රස්තවාදී පිල්ලියක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය පෙනී සිටිය බව අමතක විය. 2001 අවසන් භාගයේදී කොටි ත‍්‍රස්තවාදීන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස ප‍්‍රකාශ කළ ආර්. සම්බන්ධන්ගේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ සන්ධානගත වීම ඇත්ත වශයෙන්ම අමාරු තීරණයකි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ උදව් උපකාර ගැනීමට මෛති‍්‍රපාල ජනාධිපතිවරයාගේ රජයට විශාල කැප කිරීමක් කිරීමට සිදු විය. 2015 ඔක්තෝබර් මස 01 දින ජිනීවා නුවරදී ශී‍්‍ර ලංකාවේ එවකට විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර රටට එරෙහි යුද්ධයට වගවීමේ යෝජනාවලියට සම අනුග‍්‍රාහකත්වය දැක්වීය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන නොයෙකුත් අවස්ථාවල එම යෝජනාවලිය ප‍්‍රතික්‍ෂේප කර ඇතත්, අද වනතුරු එම කි‍්‍රයාවලියෙන් ඉවත් වීමට කිසිදු පියවරක් ගෙන නැත. එලෙසම අසත්‍ය යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභ කිරීමට බි‍්‍රතාන්‍ය සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් මස ලබා දුන් ප‍්‍රබල සාක්‍ෂි කිසිවක් අදාළ කවුන්සිලයට භාරදීමට කටයුතු කර නැත. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා මෙම තත්ත්වය පිළිබඳව විමසීමක් අදවත් කළ යුතුය.

2015 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයා පසුගිය ඉරිදා මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ප‍්‍රකාශයේ සඳහන් නොවූ ප‍්‍රධාන කරුණු දෙකක් විය. එතුමා මහ බැංකු පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් අයථා මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහට බරපතළ චෝදනා එල්ල කළත්, තමන් නායකත්වය දෙන ශී‍්‍ර ලනිපය කළ බරපතල වැරැද්ද සම්පූර්ණයෙන්ම අමතක කර දැමීය. පළමුවැනි අයථා මහ බැංකු ගනුදෙනුව 2015 පෙබරවාරි 27 සිදුවිය. දින 100 යහපාලන ආණ්ඩුව හෙල්ලිණි. එවකට කථානායක චමල් රාජපක්‍ෂ ගත් නිවැරැදි තීරණය හේතුවෙන් ඩිව් ගුණසේකරගේ නායකත්වයෙන් යුත් 13 දෙනකුගෙන් සමන්විත විශේෂ පොදු ව්‍යාපාර කාරක සභාවක් ස්ථාපිත විය. 2015 ජුනි අගවන විට ගුණසේකරගේ වාර්තාව භාරදීමට නියමිතව තිබිණි. පිටු 500 ආසන්න එම වාර්තාව හෙළි වුවොත් එජාප – ශී‍්‍රලනිප හවුල දින 100 ආණ්ඩු කාලයේදීම කඩාවැටීමට තිබිණි. ජනාධිපතිවරයා පැහැදිලිවම තවත් අමාරු තීරණයක් ගත්තේය. 2015 ජුනි මස පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එජාප නායකත්වය සැනසුම් සුසුමක් හෙළීය. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 3 ලබාගත් බවට රහස් පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වූ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ගුණසේකර වාර්තාව හෙළි කිරීම වැළැක්වීමට උසාවියේ තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය.

මහ බැංකු වංචාව යටපත් කිරීමට එජාපය නොකළ දෙයක් නැත. ජනාධිපතිවරයා 2015 ජුනි 26 මධ්‍යම රාති‍්‍රයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර මහ මැතිවරණයට 2015 අගෝස්තු 17 දින නියම කළේය. මහ මැතිවරණයට පෙර ගුණසේකරගේ වාර්තාව මාධ්‍ය අතට පත්වීම වැළැක්වීමට එජාපය උත්සාහ කළේය. එම වාර්තාව පදනම් කරගෙන මෙම ලියුම්කරු 2015 ජුනි 28 දින The Sunday Island මුල් පුවත ලෙස ‘COPE inquriy find Mahendran had intervened in bond issue’ පළ කළේය. එම පුවත ගුණසේකරගේ වාර්තාව පදනම් කරගෙන සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් සමග එක්ව කර ඇති ‘හපංකම’ අනාවරණය කළේය. එම පුවත පළ වූදා එවකට නියෝජ්‍ය අධිකරණ ඇමැති ලෙස කටයුතු කළ සේනසිංහ මෙම ලියුම්කරුට පැවසුවේ ගුණසේකර වාර්තාව ඒක පාර්ශ්වීය වීම හේතුවෙන් එය ප‍්‍රතික්‍ෂේප කරන බවය. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය 2015 ජුනි 29 දින Bond Scan: UNP rejects COPE report as biased ලෙස පළවිය. නීතිඥ සේනසිංහ පැවසුවේ අදාළ පාර්ලිමේන්තු කොමිටියේ 13 දෙනාගේම කැමැත්ත නොමැතිව ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවයි.

ශී‍්‍රලනිපය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයට ඉතා ආසන්නයේදී ජනාධිපතිවරයා බහුතර ශී‍්‍ර ලනිපයම අන්දමන්ද වන ප‍්‍රකාශයක් නිකුත් කළේය. මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ මහිින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් නොකරන බව ප‍්‍රකාශ කළේය. අනිවාර්යයෙන්ම එම ප‍්‍රකාශය කිරීමට ගත් තීරණය මෑතකදී (ඔක්. 26) ගත් තීරණය මෙන්ම ඉතා අපහසු වන්නට ඇත. එම ප‍්‍රකාශය ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ සන්ධානයට බරපතළ අවාසි සහගත තත්ත්වයක් ඇති කළේය. පාක්‍ෂිකයෝ අධෛර්යමත් වූහ. පළමුවැනි මහ බැංකු කොල්ලයෙන් බැට කා අසාධ්‍ය තත්ත්වයක සිටි එජාපයට වාසිදායක තත්ත්වයක් ඇති කිරීමට ජනපතිවරයාගේ 2015 අගෝස්තු මස කළ ප‍්‍රකාශ හේතුවිය. එම ප‍්‍රකාශය නොවන්නට 2015 අගෝස්තු 17 දින මහ මැතිවරණයේ ඡුන්ද ප‍්‍රතිඵලය සමහරවිට වෙනස්වීමට ඉඩ තිබිණි. ශී‍්‍රලනිපය ප‍්‍රමුඛ කණ්ඩායම ආසන 95 හිමිකර ගත් අතර එජාපය 107 (මුස්ලිම් කොන්ග‍්‍රසයෙන් තරග කර ජයග‍්‍රහණය කළ අයකු ඇතුළුව) ලබාගත්තේය. ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 16 ක් හිමි විය. ජවිපෙට ආසන 6 ක් ලැබිණිි. ද්‍රවිඩ ඊළාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට 1 ආසනයක් හිමිවිය.

2015 මහ මැතිවරණයෙන් සන්නද්ධ වූ එජාපය 2016 මාර්තු මස දෙවැනි මහ බැංකුු කොල්ලය මෙහෙයවීය. 2015 ජුනි මස පාර්ලිමේන්තුව විසුරුවීම දේශපාලනික වශයෙන් එම අවස්ථාවේ කළ යුතුව තිබූ නමුත් ශ‍්‍රී ලනිපය කළ බරපතළ වරද හේතුවෙන් මුදල් පද්ධතිය මාස 13 ක් තුළ දෙවරක් අපචාරයට ලක් විය.

ජනාධිපතිවරයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන පාර්ලිමේන්තුව 2015 ජුනි මස 26 රාති‍්‍රයේ විසුරුවා හැරීම එතුමා ගත් බරපතළම දේශපාලන තීන්දුවයි. ජනවාරි මස බලයට පත්වී දින 100 තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් එහි වරදක් නැත. නමුත් මහ බැංකු වංචාව පිළිබඳ ගුණසේකර වාර්තාව සභාගත වීම වැළැක්වීමේ පරමාර්ථයෙන් පාර්ලිමේන්තුුව විසුරුවා හැරීම ඇත්ත වශයෙන්ම බරපතළ තීන්දුවකි. කිසිදා ගත යුතු නැති තීන්දුවකි. 2015 සිදු කළ මහ බැංකු වංචාවට එජාපය වගකිව යුතු නම් 2016 සිදුවූ කොල්ලයට එජාපය සහ ශී‍්‍රලනිපය වගකිව යුතුය.

යහපාලනය ආරම්භයේ සිටම දෙපාර්ශවය අතර ප‍්‍රධාන කරුණු කාරණා, පිළිබඳ එකඟතාවක් විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් නොතිබූ බව ජනපතිවරයා පවසයි. එසේ නම් මහ බැංකුු වංචාව පිළිබඳව විමර්ශනය කිරීමට ජනපති කොමිසමක් පත් කිරීමට 2017 ජනවාරි වනතුරු කල් ගැනීම තීන්දු තීරණ ගැනීමේ කි‍්‍රයාවලියේ තිබූ ප‍්‍රශ්නකාරී බව පෙන්නුම් කරයි. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමින් 2016 ජුනි මස ඉවත්වී මාස 6 ක් යනතුරු ජනපති කොමිසම පත් නොකිරීම පුදුමයකි.

2015 ජුලි මස මුල් සතියේ ජනාධිපතිවරයා ප‍්‍රථම මහ බැංකු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය යුතු බව ගුණසේකර පැවසීය. ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පුවත්පත් කලාවේදීන් සමඟ පැවැති හමුවකදී ගුණසේකර පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් මාර්ගයෙන් එතුමාට මහ බැංකු පරීක්‍ෂණ වාර්තාව ලබාගත හැකි බවය. නමුත් ජනපතිවරයා එම අවවාදය ඉවත දැමීය. නිසි කලට තීන්දු තීරණ ගන්නේ නම් පළමු වංචාගත කි‍්‍රයාවලිය අවලංගු කළ හැකිව තිබිණි. එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානි දීපා සෙනෙවිරත්න අර්ජුන මහේන්ද්‍රන් 2015 පෙබරවාරි 27 දින මැදිහත්වීම සම්බන්ධයෙන් යොදා තිබූ සටහන මත එම කි‍්‍රයාවලිය වහාම නවතා දමා පරීක්‍ෂණයක් කිරීමේ හැකියාව තිබිණි. නමුත් අප රටේ ජනතාවගේ අවාසනාවකට පළමුවැනි මහ බැංකු වංචාව සිදුවීමට ඉඩ හැරියා පමණක් නොව පාර්ලිමේන්තුව විසුරුවා එම අපරාධයට වගකිවයුතු කණ්ඩායම බේරා ගැනීමට ශී‍්‍ර ලනිපය ඉදිරිපත් විය.
එජාපයට හිතවත් නීතිඥවරුන් කණ්්ඩායමක් මාර්ගයෙන් පළමුවැනි මහ බැංකු වංචාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන, එම මගඩියට ගැසීමට කළ උත්සාහය එජාපය අද අසරණ කර ඇත. පළමුවැනි වංචාව යන්තම් යටපත් කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවකදී දෙවැනි වංචාව අදාළ එම ආයතන දෙකම සම්බන්ධ වී කිරීම ඇත්ත වශයෙන්ම මෙම වංචාව කළ පුද්ගලයන් ගත් අදහා ගැනීමට බැරි තීන්දුවකි. ලංකා බැංකුව හරහා දෙවැනි මෙහෙයුම කි‍්‍රයා කිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම පිළිබඳව අදටත් නිසියාකාර පරීක්‍ෂණයක් සිදු කර නැත.

ශී‍්‍රලනිපය නැවත අගමැති ගලවා ගැනීම මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය අගමැති වික‍්‍රමසිංහට එරෙහිව 2018 අපේ‍්‍රල් 4 ඉදිරිපත් කළ විශ්වාස භංගය ශී‍්‍රලනිපය පරාජය කළේය. 2015 පළමුවැනි මහ බැංකු වංචාවට එරෙහිව දූෂණ සහ අල්ලස් විමර්ෂණ කොමිසමට පැමිණිලි කළ ශී‍්‍ර ලනිපය විශ්වාස භංගය මත තිබූ ඡුන්දයේදී බෙදිණි. එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් වික‍්‍රමසිංහ අගමැතිකමින් ඉවත්කිරීම වැළකිණිි. ජනාධිපතිවරයාට හිතවත් මැති ඇමැතිවරු 25 දෙනකු (ශ‍්‍රී ලනිප 23 දෙනකු සහ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ 02 ක්) ඡුන්දය දීමෙන් වැළකී සිටීම හේතුවෙන් වික‍්‍රමසිංහ එම විශ්වාස භංගය ඉතා පහසුවෙන් පරාජය කළේය. ශී‍්‍රලනිපයේ සහ සන්ධානයේ ප‍්‍රධාන තනතුරු දැරූ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක අවසන් මොහොතේ ඡුන්දය දීමෙන් වැළකී සිටියේය. ජනාධිපති සිරිසේන තම පාර්ලිමේන්තු කණ්ඩායම එක අරමුණක් වෙනුවෙන් ඡුන්දය දීමට නියෝග දීමෙන් වැළකී සිටියේය. එම තීරණයද බරපතළ තීන්දුවකි. ජනාධිපතිවරයාට හිතවත් 41 පාර්ලිමේන්තු කණ්ඩායම වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් පක්‍ෂය අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙත හේතුවෙන් දෙකඩ විය. ජනාධිපතිවරයාගේ කණ්ඩායමෙන් 16 දෙනකු වෙන්වී ඒකාබද්ධ විපක්‍ෂයට හේත්තු විය. 16 කණ්ඩායමේ සාමාජික දයාසිරි ජයසේකර නැවත ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට ආණ්ඩු කරන කොටසට එකතු විය.

විශ්වාසභංගයෙන් වික‍්‍රමසිංහ බේරා ගැනීම පිළිබඳව එජාප මන්තී‍්‍ර ආනන්ද අලූත්ගමගේ අදහාගත නොහැකි හෙළිදරව්වක් පසුගිය ඔක්තෝබර් 27 දින ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී කළේය. එම ප‍්‍රකාශය කරන අවස්ථාවේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී. එල්. පීරිස් විය. 20 දෙනකුට අධික එජාප මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවක් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංගයට ඡුන්දය දීමට සූදානම් වී සිටියත් ජනාධිපති සිරිසේන එය වැළැක්වූ බව ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කෙසේ හෝ රජය පවත්වාගෙන යෑමට උත්සාහ කළ බව පෙනේ. ඒ බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ එම තීරණය ද අපහසුවෙන් ගත් බව ස්ථිරය.විශ්වාසභංගයෙන් අගමැති ශී‍්‍ර ලනිපය බේරා ගත් බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් 30) මාධ්‍ය හමුවකදී පැවසීය.

2015 ජනවාරි 9 තීරණය ඔක්තෝබර් මස 26 දින මහින්ද රාජපක්‍ෂට නැවත අගමැති ධුරය ලබාදීම නිසා 2015 ජනවාරි මස 9 දින එවකට අගමැති දි. මු. ජයරත්න එම ධුරයෙන් පහකොට පාර්ලිමේන්තුවේ එජාප මන්තී‍්‍රවරුන් 41 පමණක් සහයෝගයට හිටි රනිල් වික‍්‍රමසිංහ අගමැති කරවීම මාධ්‍ය අවධානයට ලක්වී ඇත. ජනාධිපතිවරයාගේ එම තීරණය ශී‍්‍ර ලංකාව උඩු යටිකුරු කළ බව සහතිකය. ජනාධිපතිවරණයක් අවසානයේ පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා වෙනස් කළේය. එම තීරණය එතුමාගේ අභිමතය මත ගත් බව පැහැදිලිය. පාර්ලිමේන්තුවේ බලය වික‍්‍රමසිංහ අතට පත් කරන අවස්ථාවේ එතුමාගේ පාර්ලිමේන්තු කණ්ඩායම (එතුමන් ඇතුළුව) 42 විය. දිමු ජයරත්නට තුනෙන් දෙකක බලය පාර්ලිමේන්තුවේ තිබිණි. නමුත් අගමැතිකම වික‍්‍රමසිංහට භාර දුනි. එම තීරණය ජනාධිපති සිරිසේන අපහසුවෙන් ගත් බවක් පේන්නට තිබුණේ නැත. බටහිර තානාපති කාර්යාල ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් 2015 ජනවාරි 09 තීරණයේ වරදක් දැක්කේ නැත. පළමුවැනි මහ බැංකු වංචාව සිදුවන විට පාර්ලිමේන්තුවේ එජාප ශක්තිය මන්තී‍්‍රවරුන් 42 සීමා විය. නමුත් කළ මහ බැංකු ‘මෙහෙයුම’ පාර්ලිමේන්තුවක තුනෙන් දෙකක බලය තිබූ පක්‍ෂයක්වත් නොකරනු ඇත.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය ඔක්තෝබර් මස 30 පැවැති මාධ්‍ය හමුවේදී වික‍්‍රමසිංහ 2015 අගමැති කරවීමට අදාළ පාර්ශ්ව අතර අවබෝධයක් තිබූ බව මහින්ද සමරසිංහ පවසයි. රජයේ සම මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සහ වැඩ බලන ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ නාලක කලූවැව එම අවස්ථාවට සහභාගී විය.

දේශපාලන පක්‍ෂ තමන්ගේම න්‍යාය පත‍්‍රයකට වැඩ කරන බව පැහැදිලිය. 2015 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ කණ්ඩායම මොන පදනමක් මත අගමැති ධුරය වික‍්‍රමසිංහට පූජා කළා දැයි අදටත් පැහැදිලි නැත. දිමු ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුව තිබුණේ ඊට පෙරය. පකිස්තානයෙන් ලංකාවට ගෙන එනු ලැබූ හෙරොයින් තිබූ බහාලූමක් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ එම බහාලූම නිදහස් කිරීමට පහසුකම් සැලසීමට අගමැති කාර්යාලය ඉල්ලීමක් කර තිබූ බව හෙළි විය. එවකට අගමැතිවරයාට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට රජය පසුබට විය. තීන්දු තීරණ ගැනීමට දේශපාලන නායකත්වය මැලි විය.

අගමැති වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් ජනපති සිරිසේන ඉතාම නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව පැහැදිලිය. 2018 ඔක්තෝබර් මස 26 දින වික‍්‍රමසිංහ ඉවත් කිරීමට ගත් කි‍්‍රයාමාර්ගය ව්‍යවස්ථානුකූල බව ජනපතිවරයා පවසයි. නීති විශාරදයකු වන මහාචාර්ය ජී. ඇල්. පීරිස් ඇතුළු බොහෝදෙනා ජනපතිවරයා ගත් කි‍්‍රයාමාර්ගය 19 සංශෝධනයට එකඟ බවද පවසයි. එසේ නම් මෙම ලියුම්කරු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විමසීමක් කළ යුතුමය. දෙවැනි වර මහ බැංකු වංචාව සිදුවූ අවස්ථාවේ තම කණ්්ඩායම එජාප ප‍්‍රමුඛ රජයෙන් ඉවත් කරගැනීමට කි‍්‍රයා නොකළේ ඇයි? ඒකාබද්ධ විපක්‍ෂය 2018 අපේ‍්‍රල් 4 වික‍්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය දින වීමට කටයුතු නොකළේ ඇයි? 2015 ජනවාරි ජනපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තු බලය වෙනස් කර 2015 පෙබරවාරි මහ බැංකු වංචාවට ඉඩ සැලසීම ශී‍්‍ර ලනිපය කරගත් මහා පාපයක් බව පැහැදිලිය. නමුත් එය නොදැන කළ වරදකි. කෙසේ වෙතත් 2016 කළ දෙවැනි මහ බැංකු වංචාව පිළිබඳව ශී‍්‍රලනිපය වගකිව යුතුමය. 2018 අපේ‍්‍රල් මස විශ්වාසභංගයේදී ශී‍්‍රලනිපය නිවැරැදි තීරණයක් අපහසුවෙන් හෝ ගත්තා නම් අද ව්‍යවස්ථා අර්බුදයක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

 

83 Viewers