මිලේනියම් උගුල

(Courtesy of Divaina)

ශ‍්‍රී ලංකාව ස්වෛරී රටකි. එහෙත් එම ස්වෛරීත්වයට විවිධ බලපෑම් එල්ල කරමින් ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට විවිධ  ගිවිසුම් හරහා ඇඟිලි ගැසීම් සිදු කිරීම මේ වන විට බොහෝ දැඩි වී තිබේ.

ජනාධිපතිවරයා මෙන්ම රටේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (Millennium Challenge Corparation)  කෙසේ හෝ හැකිතාක් ඉක්මනින් අත්සන් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ගන්නා උත්සාහය තවමත් අත්හැර නොමැති බව පෙනෙන්නට තිබේ.

ආර්ථිකමය වශයෙන් ශ‍්‍රී ලංකාව තම ග‍්‍රහණයට ගැනීමේ ඇමෙරිකා එක්සත් ජනපද අභිප‍්‍රාය මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් පිළිබිඹු වන බව මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඉදිකෙරෙන ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ලබාදීම සඳහා නව නීති ඇති කරන්නටත් ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වා කිලෝ මීටර් 200 ක් දිවෙන ඉඩම් අක්කර ලක්ෂ 12 ට ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්, පරිසර සංවේදී කලාප ඇතුළත් වන සේ මිනුම් කටයුතු සිදු කරන බවටත් බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ. මේ යටතේ මෙරට ඉඩම් වෙළඳපොළ විදේශිකයන්ට විවෘත වන බවටත් ඉඩම් සංවර්ධන විශේෂ පනත මගින් බලපත‍්‍රලාභීන්ට ඉඩම් හිමිකම් ලබාදීම තුළින් හා රජයේ ඉඩම් බැංකුවකට පැවරීම හරහා ඇමරිකාවට මෙම ඉඩම් කිසිදු අපහසුවකින් තොරව අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන බවටත් චෝදනා එල්ලවෙමින් තිබේ.

එම නිසා මෙවැනි ඉඩම් පනත් ගෙන ඒමට ප‍්‍රථම මෙරට කිසිදු ඉඩමක් ශ‍්‍රී ලාංකික පුරවැසියන් නොවන අයට සින්නක්කරව මිලදී ගත නොහැකි වන ලෙස නව නීති රීති ගෙන ආ යුතු බව අපගේ අදහසයි.

එසේම ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට, නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත‍්‍රාත්කරුවන්ට ඇමරිකාවේදීවත් නැති වරප‍්‍රසාද ඉල්ලමින් සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව උත්සහ කරමින් සිටී.

ශ‍්‍රී ලංකාවට වීසා නොමැතිව පැමිණෙන්ටත්, ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කිරීමෙන් තොරව මෙරටට ගෙන එන්නටත්, නිදහසේ ශ‍්‍රී ලංකාව තුළ සැරිසරන්නටත්, අධිආරක්ෂිත කලාපවලට ඇතුළු වීමත් ඇතුළු බොහෝ කාරණා එය තුළ තිබේ.

එසේම මෙම ගිවිසුම් දෙකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බව සාමාන්‍ය නීතිමය දැනුමක් ඇති අයකුට වුවද පෙනේ. ඒ අනුව මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡුන්දයෙන් සම්මත කර ගෙන ඉන් පසුව රටේ ජනතාව වෙත ගොස් ජනමත විචාරණයකින් ද සම්මත කර ගත යුතුය. එම නිසා වර්තමාන පාර්ලිමේන්තු ව්‍යුහය තුළ මෙන්ම රට තුළ ද එය යථාර්ථයක් බවට පත් කර ගැනීම පහසු කටයුත්තක් නොවේ.

මේ අතර Millennium Challenge Corparation  ගිවිසුම යනු සංවර්ධනය සඳහා සහායවීමේ ආධාරයක් බවටත්, ඉදිරි කටයුතු කරගෙන යාමටත්, ගිවිසුම අත්සන් කිරීමටත් අවසාන අනුමැතිය ලැබෙන තුරු තමන් බලා සිටින බවටත් ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙස්ලිට්ස් පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.

ඉඩම් හිමිකම් තොරතුරු පරිගණක ඩිජිටල්කරණයට භාජන කිරීම මගින් ඉලෙක්ට්‍රොනික පිටපත් ඇති කිරීම, රජයේ ඉඩම් සිතියම්ගත කිරීම ආදිය සිදුකරන බවත් මෙරට ආර්ථික වර්ධනයට බාධකයක්ව පවතින්නේ ප‍්‍රවාහනයේ අඩුපාඩු, යටිතල පහසුකම් හා ඉඩම් පරිපාලනය බවත් ඇය පවසා තිබේ.

ශ‍්‍රී ලංකාවට බලහත්කාරයෙන් ආධාර ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදයට ඇති වුවමනාව අපට බරපතළ ප‍්‍රශ්නයකි. එය තමන්ට අවශ්‍ය පරිදි ශ‍්‍රී ලංකාව හසුරුවා ගැනීමේ ක‍්‍රමවේදය යැයි බොහෝ දෙනා සැක කරන්නේ එම නිසාය.

මේ බලපෑම් අතරතුර අපේ රටේ නව යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පවා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට බලපෑම් කරන්නට පටන් ගෙන තිබීමද බරපතළ සැක උපදවන කාරණයකි.

අවසානයේ කිව යුතුව ඇත්තේ රටට අහිතකර මෙවැනි ගිවිසුම් අත්සන් නොකරන බවට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ප‍්‍රතිඥාවක් රටේ ජනතාවට වහාම ලබා දිය යුතු බවය.

124 Viewers