• Home »
  • Sinhala »
  • මුහුදු මහා විහාරය අසල වැලි නිධිය කපන වැලි හොරු….

මුහුදු මහා විහාරය අසල වැලි නිධිය කපන වැලි හොරු….

පොතුවිල මුහුදු මහා විහාරය කියන්නේ නිරන්තරයෙන් ගැටුම් ඇතිවෙන ස්‌ථානයක්‌. ඒ නිසා බොහෝ දෙනෙක්‌ ඒ ගැන දැඩි වුවමනාවෙන් ඉන්නේ. මේ ස්‌ථානයේ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල් සෙනරත් පරණවිතාන මහතාගේ සමයේ මෙම ඉඩම අක්‌කර 72ක්‌ පමණ පුරා විද්‍යා බිමක්‌ බවට පත් වෙලා තිබ්බා. ඊට පස්‌සේ ඒක අක්‌කර 38කට අඩුවුණා. ඊට පස්‌සේ තවත් අවුරුදු ගාණක්‌ යද්දි අක්‌කර 14 කට අඩුවුණා. දැන් ඒකට තවත් ගැටලු ගොඩයි. දැන් මේ වෙද්දී පන්සල් බිමට අක්‌කර කීයක්‌ ඉතිරිවෙයිද දන්නේ නැහැ.

පසුගියදා නැවතත් මෙම විහාර භුමිය උණුසුම් වුණා. ඒ වැලි ආරවුලක්‌ නිසා. අදාළ වගකිවයුතු ඇස්‌ වහලා හෝ ඒ නිලධාරීන් මෙම ජාවාරමට හවුල් නිසා අකටයුතුකම් ගොඩක්‌ වුණා.

ඒ ගැන මෙම පුදබිමේ වැඩ වාසය කරන උඩතලමත්තේ රතනප්‍රිය හිමියෝ මෙහෙම කීවා.

මුහුදු මහා විහාරයේ ගැටලු ගොඩක්‌ තියෙනවා. මේ වන විට පුරා වස්‌තුවලට දැඩි හානි වෙලා තියෙනවා. වෙරළ සංරක්‌ෂණේ මහත්තයෙක්‌ ඇවිල්ලා මගෙන් බලපත්‍රයක්‌ පෙන්නලා ඇහුවා ඉස්‌පිරිතාලෙන් වැලි ටිකක්‌ ඉල්ලනවා, ඇද ගන්නද කියලා. මම කීවා මගෙන් අහන්නේ මොකක්‌ද මහත්තයාට අයිති. පන්සල් වත්තේ වැලි නිධියෙන් නැතුව වෙන ඕන තැනකින් ඇද ගන්න කියලා. ඊට පහුවදා බලද්දි පන්සල් වත්තේ වැලි නිධියෙන් අදිනවා. මම ගිහින් කීවාම එපා කියලා වෙරළ සංරක්‌ෂණේ මහත්තයා කීවා ඒක හරි මේවා පන්සල් වත්තේ ඒවා හාමුදුරුවෝ කියන නිසා අදින්නේ නැතිව ඉන්න කියලා එයා ගියා. පස්‌සේ මම පන්සලට ආවා. ඊට පස්‌සේ පැයකින් විතර මේ අය ආයෙත් වැලි අදින්න ගත්තා. මම ගිහින් ඒ පාර පාරේ වාඩි වුණා. ටිපර් වලින් සහ ට්‍රැක්‌ටර්වලින් වැලි අදිනවා. ඒ වැලි ලෝඩ් කිහිපයක්‌ රෝහලට දාලා අනෙක්‌ ඒවා ප්‍රදේශීය සභාවට දානවා. එහෙම නැතිනම් පිට විකුණනවා. මේක මහා වැලි ජාවාරමක්‌. සුනාමිය ආපු වෙලේ මුහුදු මහා විහාරයයි ඒ පිටිපස්‌සේ තිබ්බ මුස්‌ලිම් ගම්මානයයි බේරුණේ මේ වැලි නිධිය නිසා. මම මේ දිවි හිමියෙන් රකින්නේ මේ වැලි නිධිය රැක ගන්න. ජාවාරම්කරුවන්ගෙන් මුහුදු මහා විහාරය සහ මුස්‌ලිම් ගම්මානය බේරගන්න. මේ වැලි නිධිය විනාශ වුණොත් ඔක්‌කෝම ඉවරයි. මේවා ප්‍රවාහනයට බලපත්‍ර දුන්නේ කවුද ගැටලු ගොඩයි යනුවෙන් රතනප්‍රිය හිමියෝ පැවසුවා.

භුමියේ ඇති වැලි සම්පත ගැන වගකියන අවසාන බලධාරියා භු විද්‍යා සමීක්‌ෂණ හා පතල් කැණීම් කාර්යාංශයයි. මේ ගැන අපි එහි සභාපති අසේල ඉද්දවෙල මහතාගෙන් විමසා සිටියා.

මම මේ ගැන මුලින් දැනගත්තේ නාලිකා වලින් හා සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වලින්. එතන අනවසර වැලි කැණීමක්‌ ගැන කියවුණ නිසා මම අපේ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා වහාම ඒ ගැන සොයා බලා මට වාර්තා කරන්න කියලා. මේ වන විට ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක්‌ මට ලැබී තිබෙනවා. ඒ අනුව අපට පේනවා ආයතන කිහිපයක්‌ හරහා අනවසර වැලි කැණීමක්‌ හා ප්‍රවාහනය කිරීමක්‌ සිදුව ඇති බව. නමුත් මේ වෙලාවේ මම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි භු විද්‍යා සමීක්‌ෂණ හා පතල් කාර්යාංශයේ මේ ස්‌ථානයේ වැලි කැණීම් කරන්න හෝ ප්‍රවාහනයට කිසිදු බලපත්‍රයක්‌ ලබා දුන්නේ නැහැ කියලා. මේ සියලු කාරණා සිදුවී තිබෙන්නේ අපිටත් හොරෙන්. කිසිවිටකත් නිති විරෝධී වැඩවලට මගෙන් ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. මේ භුමිය ඓතිහාසික වටිනාකමක්‌ ඇති තැනක්‌ අපි සියලු වාද භේද පාට පක්‌ෂ අමතක කරලා මේ ඓතිහාසික පුදබිම රැකගන්න ඕන එක අපේ යුතුකමක්‌ වගේම ජාතික වගකීමක්‌.

74 Viewers