• Home »
  • Sinhala »
  • මේ ආණ්ඩුව මවුබිමට කරන්නේ ලොකු අසාධාරණයක් – ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති

මේ ආණ්ඩුව මවුබිමට කරන්නේ ලොකු අසාධාරණයක් – ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති

(Courtesy of Mawbima)

‘ගෝලීය ශ්‍රී ලංකා සංසදය’ ගැන මුලින්ම හැඳින්වීමක් කළොත්?

මේක ලෝකය පුරාම විසිරී සිටින ලාංකික දේශප්‍රේමීන්ගේ එකතුවකින් ඇති කරගත් සංවිධානයක්. ශ්‍රී ලංකාවට එරෙහි බෙදුම්වාදීන් පිරිසක් ගෝලීය දෙමළ සංසදය ලෙස සංවිධාන ගත වී සිටිනවා. ඒත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයට එකතු වී සිටින්නේ මවුබිම ගැන හිතන, ස්වෛරීත්වය අගයන පිරිසක්.

මේ වන විට රටවල් කොපමණ සංඛ්‍යාවකින් ශ්‍රී ලාංකිකයන් එක් වී සිටිනවාද?

මේ වන විට රටවල් 12ක සිටින පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ හැම රටකම ගෝලීය ශ්‍රී ලංකා සංසදය විදියට නිල වශයෙන් හෝ නිල නොවන විදියට ඒ අය සංවිධානගත වී සිටිනවා. ඔවුන් සියලු දෙනාටම තිබෙන්නේ දේශප්‍රේමී එකම අරමුණක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ස්වීඩනය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සිංගප්පූරුව, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල් රැසක් ප්‍රධාන වශයෙන් මීට සම්බන්ධ වී සිටිනවා. තවත් රටවල සිටින දේශප්‍රේමීන් මීට සම්බන්ධ වෙන්න විමසමින් සිටිනවා.

මේකට සම්බන්ධ වන්නේ සිංහල ඩයස්පෝරාව විතරද?

මෙහෙමයි. අපේ අරමුණ බෙදී වෙන්වී යෑම වැළැක්වීමයි. ජාත්‍යන්තර වශයෙන් බෙදුම්වාදී අභියෝග විශාල වශයෙන් මේ වන විටත් එල්ල වෙනවා.
ඒක දේශීය වශයෙනුත් සිදුවෙනවා. ඒ නිසා මවුබිමේ ඒකීය බව, ස්වාධීන බව වෙනුවෙන් පෙනී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකුට මීට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ජාති, ආගම් භේදයකින් තොරව සම්බන්ධ වෙන්න පුළුවන්. ලෝකයේ ඕනෑම රටක සිටින දේශප්‍රේමී ඕනෑම ශ්‍රී ලාංකිකයකුට ඒ අවස්ථාව තිබෙනවා.

ඔබලා හඳුනාගත් ආකාරයට දැනට ශ්‍රී ලංකාවට එරෙහිව තිබෙන තර්ජන මොනවාද?

ඉතා පැහැදිලියි. වසර 30ක යුද්ධයෙන් පසුවත් බෙදුම්වාදීන්, ඊළාම්වාදීන් බලාපොරොත්තු වූ අරමුණ ඉටු කර ගන්න බැරි වුණා. දැන් යුද්ධයෙන් බැරි වුණු දෙය කලාපයීය වශයෙනුත්, ලෝක පරිමාණයෙනුත් විවිධ බලපෑම්, උප්පරවැට්ටි මඟින් ඉටු කර ගන්න යනවා. ඒ අනුව ජාත්‍යන්තරයේ සහායෙන් ඊළාම්වාදීන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙලා සහ සම්පාදනය වෙමින් තිබෙනවා.

ඒකට අවශ්‍ය නෛතිකභාවය ව්‍යවස්ථානුකූලව දිනා ගැනීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර රටවල්, ඇතැම් අසල්වාසී රටවල් සහාය ලබා දෙන බවත් අපට ඉතාම පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අපට එල්ල වී තිබෙන පීඩනයත් ඉතා ප්‍රබලයි. 2015 ඔක්තෝබර් 1 වැනිදා ඔවුන් අපට විරුද්ධව ඕ.අයි.එස්. එල්. 30/1 නමින් යෝජනාවක් සම්මත කරගත්තා. අවසන් සටනේ්දී අපේ හමුදාව කඩ කළ බවට ආදී කරුණු 7ක් යටතේ විවිධ චෝදනා නඟා තිබෙනවා. දැන් ඒකට ඒ අයගේ තීන්දු හෙවත් අපේ රට විසින් කළ යුතු දේවල් නිර්දේශ කරල ඉවරයි. ඒකට කිසිදු විරෝධයක් එදා මංගල සමරවීර විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේ නැහැ. සම කොටස්කරුවකු බවට පත් වුණා. ඒ කොන්දේසි ඉටු කරනවාද කියලා සොයා බලන්නයි අපේ රටට විටින් විට නියෝජිතයෝ පැමිණෙන්නෙ. අපි එහෙම කළොත් අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව අනුව මවුබිම බෙදී වෙන් කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළා වෙනවා. ඒ අනතුරු අපි ඉතාමත්ම පැහැදිලිව දකිනවා.

ඔබ හිතන ආකාරයට ශ්‍රී ලංකා රජය මීට මුහුණදිය යුත්තේ කෙසේද?

පළමුවෙන්ම අපි ඔප්පු කරලා පෙන්වන්න ඕන අපි යුද අපරාධ කළේ නැහැ කියලා. ඔවුන් කරන චෝදනා පිළිගෙන සම අනුග්‍රහය දක්වලා ඒක කරන්න බැහැ. ඔවුන් කියන නීතිමය පසුබිමට යටත් වෙලා අපට එය ඔප්පු කරන්න පුළුවන්කමක් නැහැ. එල්.එල්.ආර්.සී. පරණගම ආදී දේශීය කොමිෂන් අනුව කටයුතු කරන්නට ඉඩදිය යුතුව තිබුණා. ඒ වගේම ජෝන් හෝම්ස් වැනි ජාත්‍යන්තර යුද විශේෂඥයන්ගේ වාර්තා ආදිය පසුගිය ආණ්ඩුව යොදා ගන්න හැදුවා. ඒවා භාවිත කොට ලෝකයට සත්‍යය පළ කළ යුතුයි. සැලැසුම්සහතව රාජ්‍ය අනුග්‍රහයෙන් ජන කොටසක් සමූල ඝාතනය නොකළ බව කීමට විශේෂඥ වාර්තා යොදාගත යුතුයි. ඒ වගේම අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හදපු ඕ.අයි.එස්.එල්. වාර්තාවේ නිගමනවලට ඒමට පාදක වුණු සාක්ෂි මොනවාද? කවුද සාක්ෂි දුන්නේ? ආදී කරුණු පිළිබඳ නැවත විමර්ශනය කළ යුතුයි. ඒත් ඒක පාර්ශ්වීය සකස් කළ වාර්තාව ගැන කරුණු කියන්නට තරම් පෞරුෂයක් හෝ සැලැසුමක් වත්මන් ආණ්ඩුවට නැහැ. ඒ විදියට මානව හිමිකම් සමුළුවේ රටවල් 47ට ඇත්ත කරුණු නැති නිසා ඡන්ද විමසීමකින් තොරව 30/1 වාර්තාව ඒක ඡන්දයෙන් සම්මත වුණා. උතුරේ ජනතාවට යටිතල පහසුකම් ඇති කිරීම ඇතුළුව ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සමාජගත වුණේ නැහැ. අපි කොච්චර වැඩ කළත් ඒක ලෝකයේ අනෙක් රටවල් දැනගන්න ඕන.

ඒකට වැඩපිළිවෙළක් තිබුණාද කියන ප්‍රශ්නය අද තිබෙනවා. මොකද ජාත්‍යන්තරයේ කතාබහට ලක් වෙන්නේ කිසිම දෙයක් නොකළ, යුද්ධයෙන් අනාථ වූ ජනතාවට කිසිදු වැඩක් නොකළ, ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන තවමත් ඔවුන් දුක් කරදරයට පත් කරන රටක් ලෙසයි. මේ දිනවල පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදීත් දෙමළ ඩයස්පෝරාව ඒ කරුණු මතු කරනවා. දෙමළ ඩයස්පෝරාව කියන කතා අහගෙන ඉන්න ඕනෑම අයකුට අපේ රට ගැන ඇති වෙන්නෙ ද්වේෂයක්. ඉතින් අපට පුළුවන්කම තියෙන්න ඕන ඒ චෝදනා බොරුය කියන්න. ඒත් ලක් රජයේ නියෝජිතයෝ ඒවා නොකර සහජීවනය නමින් සෑම චෝදනාවක්ම ඉවසා විඳ දරාගන්න සොබාවයක් තමයි අපට පේන්නේ. ඒ විදියට ආණ්ඩුව බරපතළ අසාධාරණයක් අපේ මවුබිමට කරනවා.

ඉතින් ඒවට ආණ්ඩුව විදියට මැදිහත් නොවී ගෝලීය ශ්‍රී ලංකා සංසදය විද්යට මැදිහත් වීම ඵලදායකයිද?

අපි බලාපොරොත්තු වෙන්නෙ රජය විදියට මැදිහත් වෙන්න තමයි. අනෙකුත් රටවලට මෙවැනි චෝදනාවක් නැඟුණොත් ඒ චෝදනාවලට බාධා කරමින් තමන්ගෙ කරුණු දක්වනවා.

ඒ විදියට තමයි තමන්ගේ රට ගැන ඒ රටවල නියෝජිතයන් ක්‍රියා කරන්නෙ. තවමත් හමුදා කඳවුරුවල දී දෙමළ තරුණියන් දූෂණය කරනවා. යාපනයේ හමුදා කඳවුරු වධ කඳවුරු ආදී චෝදනා නඟනවා. ඒවා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව රජයට තිබෙනවා. ඒත් රජයෙන් අපි කිසිදු අවස්ථාවක එවැන්නක් දැක්කෙ නැහැ. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුණා. අපි කිරිබත් කෑවා. දෙමළ ඩයස්පෝරාව කළේ ලෝකයේ පවතින මානව හිමිකම් පාවිච්චි කරනවා. විදේශ මන්ත්‍රිවරු පාවිච්චි කරල අධිවේගයෙන් ක්‍රියාත්මක වුණා. ඒ විධියට ඔවුන් කියන දේ පමණක් පිළිගන්න ආකාරයට ජාත්‍යන්තරය ඒ තැනට ගෙන ආවා. ඒ අයට රටක්, රාජ්‍යයක් නැතිවත් සංවිධාන ගත වී අපි වැරැදිකරුවන් බවට පත් කරමින් ඒ අයගේ නියෝග පිළිපදින තත්ත්වයට පත්කර තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ ලෙස සංවිධානය වෙලා අපට හැකි දෙයක් කරන්නෙ.

මේ වන විට ගෝලීය ශ්‍රී ලංකා සංසදය රට වෙනුවෙන් අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?

ඕ.අයි.එස්.එල්. වාර්තාවේ 30/1 චෝදනා එකිනෙක අරගෙන ‘රණවිරු විත්ති වාචකය’ නමින් එම චෝදනාවලට විරුද්ධව වාර්තාවක් 2017 මාර්තුවල දී සභාගත කළා. ඉන් පසුව ජූලි මාසයේදී එම වාර්තාව ගැන ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කරමින් මානව හිමිකම් කොමසාරිස්ට චෝදනා කරමින් එහි සභාපතිවරයාට පෙත්සමක් භාර දුන්නා. අපි භාර දුන් කරුණු දැක්වීම් අනුව 30/1 යෝජනා විමර්ශනය කරන්න කියල ඉල්ලීමක් කරන්න රජයට පුළුවන්. රටවල් 17ක සහාය ඊට ලබා ගත්තොත් එම චෝදනා විමර්ශනය කළ යුතු වෙනවා. එහෙම විවාදයකට භාජන කළා නම් ඔවුන් අපට කළ සියලු චෝදනා නිෂ්ප්‍රභ කරන්න අපට හැකියාව තිබෙනවා. ඒ කාරණය අපට කරන්න සිදු වී තිබෙන්නේ රජය නිල වශයෙන් සම්බන්ධ නොවූ නිසයි. නැවත පැමිණිලි ක්‍රමවේදයක් මානව හිමිකම් සමුළුවේ තිබෙනවා. අපි මෙවර එය සිදු කරනවා. ත්‍රස්තවාදයකින් රට නිදහස් කර ගත් අපි ලබා ගත යුත්තේ ගැරහුම් නෙවෙයි.

දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කතා කරන්න විදෙස් රටවල මන්ත්‍රිවරු සිටිනවා. ඇයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට එවැනි සහායක් නැත්තේ?

එංගලන්තයේ නෙස්බි සාමිවරයා විසින් දරුස්මාන් වාර්තාව බොරුවක් බව ප්‍රකාශ කළා. අවසන් සටනෙ සිවිල් වැසියන් 40,000ක් මිය නොගිය බව සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

එංගලන්තයේ මේජර්වරයකු එකල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යුද කටයුතු සම්බන්ධ සේවය කළා. ඔහුගේ වාර්තා අනුවත් දරුස්මාන් වාර්තාවෙන් කියූ කරුණු සාවද්‍ය බව නෙස්බි සාමිවරයා පෙන්වා දුන්නා. නෙස්බි සාමිවරයා එංගලන්ත පාර්ලිමේන්තුවේ නැඟූ හඬ ප්‍රයෝජනයට ගන්න අපේ රජය කටයුතු කළේ නැහැ. පසුගිය පෙබරවාරි 8 වැනිදා නෙස්බි සාමිවරයා එංගලන්ත පාර්ලිමේන්තුවේදී මුණගැසුණා. මොහොමඩ් ෂෙයික් කියන මන්ත්‍රිවරයාත් ඊට සම්බන්ධ වුණා. අපි කියන කතාව ඔවුන් පිළිගත්තා. ඔබ ඔබේ රජයට කියන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. එංගලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කරන මන්ත්‍රි කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ලබන ඔක්තෝබර් මාසයේදී අපේ රට වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් කරාවි. ඒත් අපේ රජය එය යථාර්ථයක් බවට පත් කර ගත යුතුයි.

පසුගිය ආණ්ඩුවට වඩා ජාත්‍යන්තර සහාය වත්මන් ආණ්ඩුවට තිබෙන බව ආණ්ඩුවේ අය කියනවා. ඔබේ අත්දැකීම කෙබඳුද?

ජාත්‍යන්තරය මොකද අපට කියන්නෙ. අලුත් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න, ඔවුන් අපට කියනවා. දෙමළ බෙදුම්වාදීන් ඇතුළු පුරවැසියන්ගෙ අයිතිය සෙව්වට රණවිරුවන්ගෙ අයිතීන් සොයනවා. ඒ වගේම 30/1 යෝජනාවලට අපි එකඟ වුණා. ඉතිං කියන කියන එකට එකඟ වුණාම අපට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒ කාරණය මත තමයි වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය දිනාගත්ත කියලා කියන්නෙ. නමුත් ජාත්‍යන්තරය හදාගන්න ඕන අපේ රටේ ස්වාධීනත්වය පිණිස පමණයි. මේ ආණ්ඩුවට එහෙම දැක්මක් නැහැ.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ දිනවල පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට සහභාගි වී සිදු කරන්නේ කුමක්ද?

අපේ නියෝජිතයන් ගණනාව ම සමුළුවේදී අදහස් දැක්වීමට අවස්ථාව උදා කර ගත්තා. ඉරිදා උද්ඝෝෂණයක් කළා. 21 වැනිදා ඡායාරූප ප්‍රදර්ශනයකුත් ජිනීවාවලදී කරනවා. අපේ හමුදාව මානුෂීය බව පෙන්වීම එහි අරමුණයි. ඒ වගේම මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපාදන අනුව එම කොමිසම් වාර්තාව සකස් කළ ආකාරය අභියෝගයට ලක් කරනවා. ජාත්‍යන්තර කීර්තිමත් ශ්‍රී මත් ජෙෆ්රි නයිස් ඇතුළු නීති විශාරදයන්ගේ මඟ පෙන්වීමෙන් එම නඩු පවරනවා.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ  සභාපති :  සුනිල් චන්ද්‍රකුමාර 

සංලාපය : දෙනගම ධම්මික රණවීර 

 

306 Viewers