• Home »
  • Sinhala »
  • මේ එන්නේ භයානක ව්‍යවස්‌ථාවක්‌…

මේ එන්නේ භයානක ව්‍යවස්‌ථාවක්‌…

dineshදිනේෂ් ජාතියට අනතුරු අඟවයි 

දෙමළ ජාතික සන්ධානය විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය දක්‌වන බව ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් ඔවුන්ට හිතැති පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ කඩිනමින් ගෙන එන පොරොන්දුව නිසා යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ සහ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විමසා බැලීමට “දිවයින ඉරිදා සංග්‍රහය” ඔහුව සම්මුඛ සාකච්ඡාවකට එක්‌කර ගත් අවස්‌ථාවේදීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතාගේ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිචාරය මෙන්ම තවත් කරුණු කාරණා රැසක්‌ පිළිබඳව අප දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසීම් කළෙමු.

පහත පෙළ ගැස්‌ම ඒ මහතා සමඟ “දිවයින ඉරිදා සංග්‍රහය” කළ සම්මුඛ සාකච්ඡාව වේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම රජය ප්‍රමාද කර ඇති බැවින් එය වේගවත් කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා පසුගියදා සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රකාශය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – අප රට කොටි ත්‍රස්‌තවාදය පරාජය කළ දවසේ සිට බටහිර රටවල හා කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාව අස්‌ථාවර කර ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා නොයෙක්‌ උත්සාහ ගත්තා. බොරු තොරතුරු මත පදනම් වෙලා ජිනීවා කොමිසම අප රටට තර්ජනය කළා. 2015 ජනවාරි අටවැනිදා අලුතින් පත්වුණ මෙම රජය අප රටට විරුද්ධව ඇමරිකාව හා යුරෝපීය රටවල් ගෙන ආ යෝජනාව සමඟ එක්‌වීම නිසයි මානව හිමිකම් කොමසාරිස්‌වරයාට මෙවැනි ප්‍රකාශ කිරීමට හැකිව තිබෙන්නේ. මෙම ප්‍රකාශ රටට බලපෑම් කිරීමක්‌ ලෙසයි අප දකින්නේ.

ප්‍රශ්නය – මීට පෙර යුද අපරාධ චෝදනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්‌ෂේප කර තිබුණා.

පිළිතුර – ඔව්. එවැනි ප්‍රතික්‌ෂේප කිරීම් එතුමා කර තිබුණා. නමුත් අප රට හවුල්වෙලා ගෙනා යෝජනා නිසා රට අද දැවැන්ත හිරවීමකට ලක්‌වෙලා තිබෙනවා. අතුරුදන් වීම් පිළිබඳ පනත් සම්මත කරන්න වෙලා තිබෙන්නේ ඒ නිසයි. ඒ වගේම විදෙස්‌ අධිකරණ, විදෙස්‌ විනිසුරුවන් ගැන කතා වෙන්නෙත් මේ නිසයි. මෙය රටට බරපතළම ප්‍රශ්නයක්‌.

ප්‍රශ්නය – හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට ජාත්‍යන්තරය යුද අපරාධ චෝදනා එල්ල කරද්දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම චෝදනා පිළිගැනෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීම මෙම තත්ත්වය තවත් බරපතළ කිරීමක්‌ සිදු කළා යෑයි චෝදනා එල්ල වනවා.

පිළිතුර – “අලි මදිවට හරක්‌” කියන්නේ ඕකට තමයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියනවා ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි දීමට සූදානම් බව. මෙය අති භයානක ප්‍රකාශයක්‌. මේ තුළින් පෙනෙන්නේ රට සහ රණවිරුවන් වටලෑමේ භයානක කුමන්ත්‍රණය නොකඩවා පැමිණෙන බවයි. රට බේරාගත් රණවිරුවන් පාවා දෙන්න රණවිරුවන්ම කටයුතු කිරීම කුමන්ත්‍රණයේ දිග පළල පිළිබඳ හොඳ විවරණයක්‌ සැපයීමක්‌. එක පැත්තකින් හුසේන් කුමාරයා, තවත් පැත්තකින් ජාත්‍යන්තර නඩු, මේ පැත්තෙන් ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස සාක්‍ෂිකරුවන් නිර්මාණය කිරීම. මෙය මහා පාවාදීමක්‌. මේ සියල්ල බලාගෙන සිටීමට තරම් ආණ්‌ඩුව අද නිවටවෙලා.

ප්‍රශ්නය – යුද අපරාධ චෝදනා ගැන සාක්‍ෂි සපයන්න ජාත්‍යන්තරයට උදව් උපකාර කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය කියලද ඔබ කියන්නේ?

පිළිතුර – එ.ජා.ප. ය පසුගිය කාලයේ හැසිරුණ විදිහෙන් පේන්නේ ඔවුන් මේ වැරැදි වැඩේට හවුල් බවයි. ආණ්‌ඩුව ගෙන යැම ගැන, රටක්‌ ඉදිරියට ගෙන යැම ගැන මේ අය හිතුවේ නැහැ. ඔවුන් හිතුවේ බටහිරට ගැතිකම් කළොත් පහසුවෙන් ආණ්‌ඩුව ගෙන යා හැකි බවයි. නමුත් එය අද සිදුවී නැහැ. ලංකාවට එරෙහිව ජිනීවාවලදී මානව හිමිකම් පිළිබඳ යෝජනාව ගෙනාවේ එක්‌සත් ජාතික පක්‍ෂය. අද එහි වාසිය ගන්නේ හුසේන් කුමාරයයි. පැරදිලා හිටිය සරත් ෆොන්සේකා මහත්තයව පාර්ලිමේන්තුවට ගෙනාවෙත් එ.ජා.ප. යයි. මේ සියලු කරුණු කාරණා එකට බැඳුණු දේවල්.

ප්‍රශ්නය – හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇල්ලේ ගුණවංශ හිමිපාණන්ට එරෙහිව කළ ප්‍රකාශය රට තුළ මහත් කැළඹීමක්‌ ඇති කළ ප්‍රකාශයක්‌ වුණා.

පිළිතුර – එය චීවරයට සහ මුළුමහත් සම්බුද්ධ ශාසනයටම කළ මහා අපහාසයක්‌. එහෙම කරපු අය ලැඡ්ජා නැතුව තවදුරටත් ඇමැතිකම්වල ඉන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ.

ප්‍රශ්නය – ඇමැතිකම්වල තියා ගන්නවද නැද්ද යන්න තීරණය තියෙන්නේ ජනාධිපතිවරයාගේ තීරණය මතයි…

පිළිතුර – විජයදාස රාජපක්‌ෂ මහතා කළ ප්‍රකාශයක්‌ නිසා ඔහුව ඇමැතිකමින් ඉවත් කළා. ඊට වඩා බරපතළ ප්‍රකාශයක්‌ කළ සරත් ෆොන්සේකා මහතා තවමත් නිරුපද්‍රිතව ඇමැතිකමේ සිටිනවා. අපි අහන්නේ එතුමාට එරෙහිව පියවර ගන්න ආණ්‌ඩුව මැළිවන්නේ ඇයි කියලයි.

ප්‍රශ්නය – සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ආණ්‌ඩුව කුමන ආකාරයේ තීරණයක්‌ ගත යුතු දැයි ඔබ යෝජනා කරන්නේ…

පිළිතුර – ආණ්‌ඩුව අවංක නම් හමුදාව පාවා දෙන්න ඉදිරිපත් වන ඇමැතිවරයකු ඇමැති මණ්‌ඩලයේ තියාගන්න පුළුවන්ද? එහෙම තියා ගන්න බැහැ. හරිනම් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ඔහුට ඉවත්වෙලා යන්න කියන්න ඕන. සරත් ෆොන්සේකා මහතා යුද සටනේ සිටි රණවිරුවෙක්‌ තමයි. නමුත් ඔහු 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දවසේ සිට දේශපාලනඥයෙක්‌.

ප්‍රශ්නය – යුද අපරාධ පිළිබඳ සාක්‍ෂි ලබාදීම වැනි බරපතළ ප්‍රකාශ සිදු කරද්දිත් සරත් ෆොන්සේකා මහතාව ආණ්‌ඩුව ආරක්‌ෂා කිරීම තුළ පෙනෙන්න ඇත්තේ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියට රජය අනියමින් සහාය වන බව නොවේද?

පිළිතුර – ඔව්. මෙහෙම ප්‍රකාශ කරන අයව රකිනවා කියන්නේ රණවිරුවන්ව දංගෙඩියට දක්‌කාගෙන යැමට රජය නිහඬව අනුග්‍රහය දක්‌වන බව තමයි. ඒ වගේම සම්බුද්ධ ශාසනයට අපහාස කරද්දී රජය කිසිවක්‌ කරන්නෙ නැහැ. ජාතියම හරිම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලයි ඉන්නේ.

ප්‍රශ්නය – නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ සමාජය තුළ නිරන්තරයෙන් කතාබහ වෙනවා. ඒ තුළින් බුදු දහමට නිසි තැන නොලැබෙන බව ඔබ ප්‍රකාශ කර තිබුණා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ස්‌ථාවරය කෙබඳුද?

පිළිතුර – ව්‍යවස්‌ථා සංශෝධන සඳහා පත්කළ මෙහෙයුම් කමිටුවේ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වාර්තාව අනුව සම්බුද්ධ ශාසනයට ඇති නමවැනි වගන්තිය, අප රටේ ඒකීය රාජ්‍යය සුරකින බවට ඇති වගන්තිය, රටේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල පිළිබඳ වගන්ති වැනි වගන්තීන් ඉතා අහිතකර මෙන්ම හානිදායක ලෙස වෙනස්‌ කිරීමේ යෝජනාවන් ඉදිරිපත් වී තිබෙනවා. ඒ බොහෝ වගන්තිවලට අප එරෙහිවෙලා තියෙනවා. මීට මාස හතරකට පමණ ඉහතදී මම මේ අනතුර පිළිබඳව පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශ කළා. එහිදී ඇමැතිවරයා පිළිතුරු ලෙස සඳහන් කළේ එහෙම එකක්‌ නැහැ කියලයි. නමුත් මම කියපු අනතුර එලෙස තවමත් එම වගන්ති තුළ නොවෙනස්‌ව පවතිනවා.

ප්‍රශ්නය – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔබතුමා සඳහන් කරන කාල වකවානුවේදී මහානායක හිමිවරු බැහැදැක සඳහන් කළේ එවැනි අහිතකර වගන්ති නැති බවයි. ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවුණා.

පිළිතුර – ඔව්. අගමැතිතුමා මහනුවරට ගොස්‌ මහානායක හිමිවරුන්ට එහෙම සඳහන් කළා නම් තමයි. නමුත් තවමත් ඒ යෝජනාවන් එලෙසම තිබෙනවා. රට පෙඩරල් කරන ටී.එන්.ඒ. පක්‌ෂයේ යෝජනාවලට එ.ජා.ප. ය ඉඩ ලබාදී තිබෙනවා. මෙය රට මුහුණදෙන බරපතළ අනතුරක්‌. ඊළමට සහ පෙඩරල් ආණ්‌ඩු ක්‍රමයට අප විරුද්ධයි. මෙහෙම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉඩ තියන එකක්‌ නැහැ. අප ඊට ඉඩ දෙන්නෙත් නැහැ. බුලත් කොළෙන් ඡන්දය ගත් සැමගේ යුතුකම වන්නේ මෙය පරාජය කිරීමයි. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඇමැතිකම් ගත්ත එක ගැන මම කතා කරන්නේ නැහැ. ඒක වෙන කතාවක්‌. නමුත් රටට, සම්බුද්ධ ශාසනයට අහිතකර මෙම ව්‍යවස්‌ථාවට එකඟ වන්න ඔවුන්ට හැකියාවක්‌ නැහැ. එජාපයේ සිටින රටට, ජාතියට, ආදරය කරන අයත් මීට එකඟ විය යුතු නැහැ. මන්ත්‍රීකම වසර පහකින් නැතිවෙයි. නමුත් මෙම ව්‍යවස්‌ථාවට පක්‍ෂ වුවහොත් ඔබලා නැති කරන්නේ උපනූපන් පරම්පරාවට ඇති රටයි.

ප්‍රශ්නය – විසිවැනි සංශෝධනයට තම පක්‍ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා සහාය දක්‌වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා සඳහන් කර තිබුණා.

පිළිතුර – ඔවුන්ට පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ කඩිනමින් ගෙන එන බවට රජය පොරොන්දු වී තිබෙන නිසයි දෙමළ ජාතික සන්ධානය එහෙම කියන්නේ. එසේම උතුරු නැගෙනහිර එකතු කිරීම, ව්‍යවස්‌ථාවේ නව වැනි වගන්තිය වෙනස්‌ කිරීමට අදාළ පොරොන්දු දී ඇති නිසයි ඔවුන් එහෙම කියන්නේ. මේ කියන්නේ පළාත් සභා ඡන්ද නොතියා ටී. එන්. ඒ. එක ඉල්ලන දේ දෙන්න රජය ලෑස්‌ති වන බවයි. රට බරපතළ අනතුරකයි තියෙන්නේ. විසිවන සංශෝධනය පරාජය කිරීම අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා රටේ ඒකීයභාවයට ඇති ආරක්‍ෂාවක්‌ බව මතක්‌ කළ යුතුයි. එය පරාජය කළ යුතුයි.

ප්‍රශ්නය – පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල් දමමින් තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබුණේ මේ වසරේදී ඡන්දයක්‌ නොපැවැත්වෙන බවයි.

පිළිතුර – අවුරුදු දෙකක්‌ තිස්‌සේ අපි ඡන්දය පවත්වන්න කියල කළ බලපෑම් අති මහත්. ඒ නිසයි ආණ්‌ඩුව ඡන්දයක්‌ තියන්න එකඟ වුණේ. මැතිවරණ කොමිසමක්‌ ඇතිකර තිබෙන්නේ මැතිවරණ තියන්න බෑ කියන්න නෙමෙයි. මැතිවරණ කොමිසම පමණක්‌ නොවෙයි හැම කොමිසමක්‌ ම අද කඩාවැටිලා. මැතිවරණ කොමිසම ආණ්‌ඩුවේ කොමිසම වෙන්නේ නැතිව රටේ ව්‍යවස්‌ථාවෙන් හැදුව කොමිසමක්‌ ලෙස වැඩ කරන්නයි දැන් තියෙන්නේ. පළාත් පාලනය අද කඩාවැටිලා. ඊට පළාත් පාලන කොමසාරිස්‌ට බැණලා වැඩක්‌ නැහැ. ඡන්දය වෙලාවට පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක්‌. ඡන්ද නොතියන මැතිවරණ කොමිසමක්‌ වැඩක්‌ නැහැ.

ප්‍රශ්නය – ඉදිරියේදී පැවැත්වෙන ඡන්දයක්‌ සඳහා සූදානම කෙබඳුද?

පිළිතුර – අප ඒ සඳහා හොඳින් සූදානම්. ඡන්දයක්‌ නොපවත්වන එකයි ප්‍රශ්නයකට තියෙන්නේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර යම් රහසිගත සාකච්ඡාවක්‌ තිරය පිටුපස සිදුවන බව ඇතැමුන් කියනවා.

පිළිතුර – තිරයෙන් පිටුපස නොයෙක්‌ නොයෙක්‌ දේවල් වෙනවා. ඒකාබද්ධයේ වැඩපිළිවෙළට සහාය දෙන සැවොම ගන්න තමයි අපේ බලාපොරොත්තුව. අරුන්දික ඇමැතිතුමා අයින් කළෙත් ඔය කාරණා නිසයි.

ප්‍රශ්නය – මේ සිදුවීම් ඒකාබද්ධයට සහයට තව පිරිස්‌ පැමිණෙන බවට ලැබෙන පෙරනිමිතිද?

පිළිතුර – බොහෝවිට එහෙම තමයි. ආණ්‌ඩුවේ බලකණුවක්‌ වන අධිකරණ ඇමැති ගැලවිලා යයි කියලා කවුද හිතුවේ. කොටි ඩයස්‌පෝරාවයි, දෙමළ ජාතික සන්ධානයයි එක්‌සත් ජාතික පක්‍ෂය කනෙන් අල්ලලා හොළවපු නිසයි ඔහුව ඉවත් කළේ. මේවා තමයි තිරය පිටුපස ඇති භයානක තත්ත්වයන්. ඔබ කිව්වා වගේ පෙරනිමිති ගණනාවක්‌ දැන් ඇතිවෙලා. මෙය අයවැය වෙනකොට තව වැඩිවෙනවා.

ප්‍රශ්නය – පෙර මඟ සුබ බවද නොකියා කියන්නේ?

පිළිතුර – මම මෙහෙම කියන්නේ පුද්ගලික තරහකට නොවෙයි. ආණ්‌ඩුව හැම අතින්ම අසාර්ථකයි. ආණ්‌ඩුවෙන් වාසි ගන්න පිරිස හැරෙන්න රජයට හොඳ කියන කිසිවකු නැහැ. මේ නිසා පෙර මඟ සුබයි.

ප්‍රශ්නය – වංචා දූෂණ පිටුදකිනවා යෑයි සඳහන් කරමින් බලයට පැමිණි ආණ්‌ඩුව බැඳුම්කර ගනුදෙනු හරහා මහා වංචාවක්‌ සිදුකර ඇති බව හෙළිවෙමින් තිබෙනවා.

පිළිතුර – මෙය අප තමයි මුලින්ම හෙළි කළේ. අපි නොසිටින්න මෙම හොරකම හෙළිවෙන්නේ නැහැ. පැය ගණනාවකදි පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බිලියන ගණනක ලාබ ඉපැයුවා. මහ බැංකු අධිපති ඉවත් කරන්න කියලා අප නැගූ හඬ නිසා ජනාධිපතිවරයාට ඔහුව ඉවත් කරන්න සිදුවුණා. මේ ගනුදෙනුව අප රටේ පමණක්‌ නෙමෙයි මුළු ලෝකයේම කතාබහට ලක්‌වෙනවා. අප රටේ සිදුවන අනෙක්‌ ප්‍රවෘත්තිවලට වඩා මෙම මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ලෝකයේම මාධ්‍ය අවධානය යොමු කර තිබෙනවා. පිටරට ආයෝජකයෝ බලන්නේ රටේ මූල්‍ය ස්‌ථාවරය සහ මූල්‍ය වංචා ගැනයි. මේ තත්ත්වය තුළ මොළේ ඇති ආයෝජකයකු අප රටේ ආයෝජනය කරයිද පසුගිය කාලයේදී අප රටේ විදේශ ආයෝජකයන් විසින් කළ ඇමරිකානු ඩොලර් බිලියන තුනකට වැඩි ප්‍රමාණයක්‌ විශ්වාසය නැතිකම නිසා ආපහු අරන් ගියා.

ප්‍රශ්නය – බැඳුම්කර වංචාව නිසා ඇමැතිකම අත්හරින්න සිදුවුණේ මුදල් ඇමැතිකම දැරූ රවි කරුණානායක මහතාට පමණයි. මෙය ප්‍රමාණවත්ද?

පිළිතුර – නැහැ… නැහැ… මෙය පරීක්‍ෂා කරලා මීට හවුල් සියලු දෙනා හෙළිකර ගත යුතුයි. මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝප් කොමිසමටවත් නොකී දේවල් අද කොමිසම හමුවට ඇවිත් හෙළි කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව අසන ප්‍රශ්නවලින් නොසිතපු දේවල් එළියට එනවා. මහා බැඳුම්කර මගඩිය තවම ඉවර නැහැ. මෙය එකින් එක සොයා ගත යුතුයි.

ප්‍රශ්නය – මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම තුළින් වැරදිකරුවන් හෙළිකර ගත්තත් ඔවුන්ට දඬුවම් දීම සඳහා ප්‍රමාණවත් බලයක්‌ ඊට නැහැ නේද?

පිළිතුර – මෙම කොමිසමට ඇති බලය වාර්තා කිරීම පමණයි. නඩු දැමීමට නම් නීතිපතිවරයා හරහා අධිකරණයට යා යුතුයි. ජනාධිපති කොමිෂන් වාර්තා මීට පෙර කොතරම් ලබාදී ඇත්ද නමුත් ඒවා ක්‍රියාත්මක නොවීමයි තිබෙන ප්‍රශ්නෙ.

ප්‍රශ්නය – විගණන පනත ගැන කතා කළත් තවම එය සම්මත නොවීම පිළිබඳ නොයෙක්‌ පාර්ශව තුළින් මැසිවිලි නැගෙනවා.

පිළිතුර – විගණන පනත 19 වැනි ආණ්‌ඩුක්‍රමය තුළින් ඇති කළ දෙයක්‌. මේ ගැන පසුගිය අයවැය අවස්‌ථාවේදි මම ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. එතුමා විනාඩියක්‌ තුළ නැගී සිට සඳහන් කළේ පසුගිය ජනවාරි මාසයේ එය ගෙනෙන බවයි. නමුත් මාස අටක්‌ ගත වී ඇතත් තවම විගණන පනත සම්මත කර නැහැ. මේ නිසා විගණකාධිපතිවරයාට නිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට මහතා සිල් රෙදි බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිරගත කර තිබෙනවා.

පිළිතුර – මේ තීරණය සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. එය ඉතා ඉක්‌මනින් සලකා බලයි කියලා අප හිතනවා. සිල් රෙදි ක්‍රියාවලිය දීර්ඝ ක්‍රියාවලියක්‌. එය ක්‍ෂණිකව ගත් තීරණයක්‌ නොවෙයි. එය රජය ගත් පුළුල් වැඩපිළිවෙළක්‌. එය ක්‍රියාත්මක කිරීම පමණයි ලලිත් වීරතුංග මහතා කර තිබෙන්නේ. එතුමා සිදුකර ඇත්තේ ප්‍රතිපත්තිමය තීරණයක්‌ ක්‍රියාත්මක කිරීමයි. මෙතන ප්‍රශ්නේ ජනාධිපතිවරණයක්‌ පැමිණීමයි. ඊට බොහෝ කලක සිට තමයි මේ කටයුතු සිදු කර තිබෙන්නේ. සිල් රෙදි බෙදපු ඇමැතිවරුන් අද ආණ්‌ඩුවේ ඉන්නවා. එහෙමනම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද?

ප්‍රශ්නය – යහපාලන ආණ්‌ඩුවට රට කරගෙන යැමට නිසි ඉලක්‌කයක්‌ නොමැති බව ඔබ සඳහන් කර තිබුණා.

පිළිතුර – හවුල් ආණ්‌ඩුවක්‌ වීම තමයි ආණ්‌ඩුවට තිබෙන ප්‍රශ්නය. මේ ආණ්‌ඩුව හතර වටේ යනවා. නිසි ඉලක්‌කයක්‌ ඔවුන්ට නැහැ. ඇත්තටම ඔවුන්ට දැන් ආණ්‌ඩුව කරගෙන යැමට බැරි තත්ත්වයකට පත්වෙලා ආණ්‌ඩුව කැඳ හැළියක්‌ වෙලා. ඇමරිකානු වාර්තාවක්‌ අනුව අප රටේ පාස්‌පෝට්‌ එක ලෝකයේම අන්තිම දහයට වැටිලා. හිතන්න පුළුවන්ද ඔවුන් එම වර්ගීකරණය කරන්නේ රටේ පවතින තත්ත්වය තුළ. මේකයි රටේ ඇත්ත තත්ත්වය. රටේ සිදුවන සියලු දේවල් ලෝකයට වාර්තා වෙනවා.

ප්‍රශ්නය – රටේ පවතින තත්ත්වය හොඳ නැති බවත් ලෝක මට්‌ටමෙනුත් රට අගාධයට වැටී ඇති බවත් ඔබ සඳහන් කරනවා. අනාගතයේදී ඔබලාගේ සහායෙන් ඇතිවන ආණ්‌ඩුවක්‌ තුළින් මෙම තත්ත්වයට පිළියම් කළ හැකි වේවිද?

පිළිතුර – රටට ආර්ථිකයට පුනර්ජීවයක්‌ දෙන්න අපට හැකියාව තිබෙනවා. වැරදි වැඩ යළිත් ඇති නොවන ලෙස කටයුතු කරනවා. අලුත් පරම්පරාව බලාපොරොත්තු වන විශ්වාසදායක, දියුණු රටක්‌ බිහිකිරීමේ වගකීම අප අනිවාර්යයෙන්ම ඉටුකරනවා.

දිවයින පුවත්පත අනුග්‍රහයෙන් 

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර 

612 Viewers