• Home »
  • Sinhala »
  • මේ…. පාර හදන්නේ ෆෙඩරල් රටකටයි

මේ…. පාර හදන්නේ ෆෙඩරල් රටකටයි

රටටම හොරෙන් ආණ්ඩුව හදනා මොකක්ද මේ අලූත් ව්‍යවස්ථාව…?
පිටපතක් ජී.එල්.ගේ අතේ – 02

යහපාලන ආණ්ඩුව විසින් සකස් කරමින් පවතින යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් සිදු කරන ලද විචාරයේ මුල් කොටස පසුගිය සතියේ පළවිය. මෙවර පළවන්නේ එහි දෙවැනි කොටසය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී සපුරාලිය යුතු පළමු කොන්දේසිය වන්නේ ජනතා සහභාගිත්වය සහ විනිවිදභාවයයි. මෙම ආණ්ඩුව විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී මුල සිටම එම කාරණා ද්විත්වය වුවමනාවෙන්ම නොසලකා හැර තිබෙන බව පෙනෙනවා. මෙහි පිටපතක් රහසිගත ලෙස අපට හමුවී තිබෙනවා. ඒ පිටපත අනුව යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අතිශය භයානක ලියැවිල්ලක් බව සඳහන් කරන්න පුළුවන්. මෙය එළිදැක්වූ විට විශාල විරෝධයක් ජනතාව අතරින් මතුවීම අනිවාර්ය බව අපේ අදහසයි. මේ නිසා ආණ්ඩුව විසින් මෙය හොර රහසේ සකසමින් සිටිනවා. එසේම මෙය සම්මත කර ගැනීමේ ක‍්‍රියාපටිපාටිය ද ආණ්ඩුව විසින් ප්‍රෝඩාකාරී ආකාරයට කරනු ඇතැයි සිතිය හැකියි.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී පැහැදිලි කළ යුතු වෙනවා. එතැනදී රජය විසින් ඉතාමත් අහිංසක පනතක් ඉදිරිපත් කළා. පළාත් සභා මැතිවරණ සඳහා කාන්තා නියෝජනය පිළිබඳව අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඉදිරිපත් කරන ලද එම සංශෝධනය සඳහා කිසිවෙක් විරෝධය දැක්වූයේ නැහැ. එය පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමෙන් පසු” කමිටු අදියරට යොමු කළා. කමිටු අදියරේදී එම පනතේ ස්වභාවයට සහ අරමුණට ඉඳුරාම වෙනස් වගන්ති ඇතුළත් පිටු තිස් පහක් ඒ සඳහා රජය පාර්ශ්වයෙන් එකතු කර තිබුණා. පනත පාර්ලිමේන්තුවට පැමිණියේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන්” එය පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණියේ නව මැතිවරණ ක‍්‍රමයක්” පළාත් සභා සම්බන්ධයෙන් ඉදිරිපත් කරමින්. ගෙන එන ලද්දේ එක පනතක්. දෙවන වර කියවන ලද්දේ තව පනතක්. තුන්වෙනි වතාවේ කියවන ලද්දේ ඊට ඉඳුරාම වෙනස් අරමුණු සහිත පනතක්. එම කූට උපාය මාර්ගයේ අරමුණ වූයේ” ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සඳහා තිබූ අවස්ථාවට ඉඩ ඇහිරීම. මේ තත්ත්වය තුළ” පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේ රජයට සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යය භාරය ගිලිහී යනවා. එවැනි අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය භාරය ඉටු කරන්නේ නීතිපතිවරයා මාර්ගයෙන්. එහිදී ඒවා නීත්‍යානුකූල ද නැද්ද යන තීරණය කරන ලද්දේ නීතිපති විසින්. නීතිපතිවරයා යනු රජයේ නිලධාරියෙක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය භාරය ඔහුට ලඝු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලූ කිරීමක්.

මේ නිසා යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කොළේ වසා ගසන සෙල්ලමක් බව කිව හැකියි. මෙහිදී රට ඒකීයභාවය අතිශය දුර්වල තත්ත්වයකට පත් කර තිබෙනවා. ඒ සදහා ඉංග‍්‍රීසි පිටපතේ සිංහලෙන් ඒකීයභාවය යන්න සඳහන් කරමින් ආණ්ඩුව ව්‍යාජ” වංක ක‍්‍රියාවක නිරත වෙමින් සිටිනවා. මෙය හරයාත්මක ලෙස විස්තර කිරීමේදී එහි නියම ස්වභාවය කුමක්දැයි පෙනී යනවා. මෙහි ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවන ගැටලූවයි. දහතුන්වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ” යම් යම් බලතල පළාත් සභා සඳහා පවරා දී තිබෙන නමුත් මධ්‍යම රජය සතුව වැදගත් බලතල රඳවාගෙන තිබෙනවා. එය පවා දැඩි විවේචනයකට භාජනය වී තිබෙනවා. මෙම යෝජිත ව්‍යවස්ථාවෙන් ඊටත් වඩා එහාට ගොස් තිබෙනවා.

දහතුන් වෙනි සංශෝධනයේ නව වෙනි ලේඛනයේ ලැයිස්තු තුනක් තිබෙනවා. පළාත් සභා විෂයයන්” මධ්‍යම රජයට අයත් විෂයයන් සහ මේ දෙකටම අයත් විෂයයන් ලෙස ඒවා වර්ග කොට තිබෙනවා. දහතුන් වෙනි සංශෝධනයේදී ඉඩම් භුක්තිය පිළිබඳ වගකීම පළාත් සභාවට පැවරෙන නමුත්” ඕනෑම අවස්ථාවකදී මධ්‍යම රජයට පළාතක ඇති ඉඩම් සම්බන්ධයෙන් අවශ්‍යතාවය මතු වුණහොත්” උදාහරණයකට” හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා ඉඩමක් ලබා ගැනීමට මධ්‍යම රජයට අවශ්‍ය වුවහොත් ඒ සඳහා වන විධිවිධාන දහතුන් වෙනි සංශෝධනයේ තිබෙනවා.

එම තත්ත්වය මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කර තිබෙනවා. මෙහි 245 වන වගන්තියේ” පළමුවෙනි උප වගන්තියෙන්” පළාතක් තුළ ඇති ඉඩම්වල අයිතිය” පළාත් සභාවට පැවරෙනවා. එය ඒකීය රාජ්‍ය රාමුවෙන් එපිට තිබෙන කටයුත්තක්. ඒකීය රාජ්‍යයකදී සියලූ ඉඩම් පිළිබද අවසාන අයිතිය තිබෙන්නේ” මධ්‍යම රජයට. එම පළාත් සභාවේ එකඟත්වය හෙවත් කැමැත්ත නොමැතිව එහි ඇති ඉඩමක් මධ්‍යම රජයට ලබා ගැනීමේ හැකියාවක්” මෙම යෝජිත ව්‍යවස්ථාව ප‍්‍රකාරව හිමිවන්නේ නැහැ.

යෝජිත ව්‍යවස්ථා අනුව ආරක්ෂක හේතුවක් මත පළාත් සභාව ඉඩමක්” මධ්‍යම රජයට අවශ්‍ය වුවහොත්” ඒ සඳහා පළාත් සභාව විරුද්ධ වුවහොත් එහි අවසාන තීරණය පිළිබඳ කාර්ය භාරයක් අධිකරණයට පැවරෙනවා. එයින් කියවෙන්නේ” මේ සඳහා විශාල කාලයක් ගතවන බවයි. ජාතික ආරක්ෂාව වැනි සංවේදී කාරණයකදී” එවැනි ලෙස කාලය කාදමමින් වැඩ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මීට අමතරව ජාතික ඉඩම් කොමිසම නමින් ව්‍යුහයක් පිළිබඳව මෙම යෝජිත ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහි සංයුතිය අනුව මධ්‍යම රජයට තිබෙන්නේ” සීමිත නියෝජනයක්. පළාත් සභා සඳහා එහි විශාල නියෝජනයක් ලැබී තිබෙනවා.

ජාතික ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් තත්ත්වයක් වන්නේ හදිසි නීතියයි. එය පැනවීමේ හැකියාව අනිවාර්යයෙන්ම මධ්‍යම රජය සතු විය යුතුයි. කුමන හෝ ප‍්‍රදේශයක යම් තත්ත්වයක් මතු වී ඇත්නම්” එය සමනය කිරීම සඳහා සාමාන්‍ය නීතිය ප‍්‍රමාණවත් නොවන්නේ නම්” හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කෙරෙනවා. මෙහි 229 සහ 230 යන වගන්ති යටතේ එවන් තත්ත්වයක් තුළදී හෝ මධ්‍යම රජයට හදිසි නීතිය ස්වාධීනව පැනවීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මධ්‍යම රජය අධිකරණයේ පිහිට පැතිය යුතු වෙනවා. ඇති වී තිබෙන තත්ත්වය සඳහා හදිසි නීතිය පැනවීම සාධාරණ බව අධිකරණය ඉදිරිපිට පෙන්වා දී” අධිකරණය එයට එකඟ වන්නේ නම් පමණක් මධ්‍යම රජයට හදිසි නීතිය පැනවීමේ හැකියාව ලැබෙනවා. අධිකරණය ඒ සඳහා එකඟ නොවන්නේ නම් ඒ සඳහා අවස්ථාවක්” මධ්‍යම රජයට හිමිවන්නේ නැහැ.

එසේම හදිසි නීතිය මාස තුනකට වඩා දීර්ඝ කිරීමට මධ්‍යම රජයට අවශ්‍ය වේ නම්” ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් මධ්‍යම රජයට අවශ්‍ය වෙනවා. තුනෙන් දෙකක බලයක්” ආණ්ඩුවකට ලැබීම සුවිශේෂ තත්ත්වයක්. එය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මේ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති ආණ්ඩුවක් තිබෙන විට” තුන් මාසයකට වඩා හදිසි නීතිය පවත්වාගෙන යෑමට එම රජයට හැකියාවක් නැති වෙනවා. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය මගින් තීරණය කෙරෙන හදිසි නීතිය” තුනෙන් දෙකක බලයක් දක්වා වැඩි කරන්නේ කුමන හේතුවක් මතදැයි අප ප‍්‍රශ්න කළ යුතු වෙනවා.

243 සහ 249 යන මෙහි සඳහන් වගන්ති දෙක එකට කියවන විට පෙනී යන්නේ” උතුරු පළාතේ ඇති ඉඩම් සඳහා තේසවලාමේ නීති පද්ධතිය යටතට බලපැවැත්වෙන බවයි. තේසවලාමෙහි නීතිය අනුව” යාපනයේ දෙමළ මිනිසුන්ගේ ඉඩමක් වෙනත් ජාතිකයකුට විකිණීමට පෙර තම ඥාතීන් වෙතින් විමසිය යුතු වෙනවා. ඔවුන් මිලට නොගන්නේ නම් පමණක් වෙනත් ජාතිකයකුට එය විකිණිය හැකි ලෙසයි එම නීතිය සකසා තිබෙන්නේ.

180 වන වගන්තියේ හයවන උප වගන්තිය යටතේ” ඒ පළාතේ මහාධිකරණය විසින් වරදකරුවකු කරන ලද ඕනෑම පුද්ගලයකුට සමාව දීමේ හිමිකම” ආණ්ඩුකාරවරයාට පැවරෙනවා. වර්තමාන පළාත් සභාවකදී මෙන් නොව” මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ” ආණ්ඩුකාරවරයා සියලූ බලතල පාවිච්චි කළ යුත්තේ” මහ ඇමැතිවරයාගේ අභිමතය පරිදියි. එසේ නම් වරදකරුවකුට සමාව දීමේ අයිතියත් ප‍්‍රයෝගික වශයෙන් ලැබෙන්නේ” මහ ඇමැතිවරයා වෙතයි. ‘විජයකලා සිද්ධිය. වැනි තත්ත්වයක් මතුවුවහොත්” අධිකරණය ඉදිරියේ එවැනි කෙනෙකුට දඬුවමක් ලැබුණහොත්” එය ක‍්‍රියාත්මක වීම අවසාන වශයෙන් සතු වන්නේ” මහඇමැතිගේ අභිමතය අනුව බව මෙයින් පෙනී යනවා. විජයකලා මහේෂ්වරන් හට නඩු පැවරීමට හැකියාවක් ලැබෙන්නේ” වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හය වෙනි සංශෝධනය සඳහන් ‘ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය සුරැකීම උදෙසා කැපවෙන බවට. ලබා දෙන දිවුරුම් ප‍්‍රකාශය නිසයි. එම දිවුරුම ද මෙම යෝජිත ව්‍යවස්ථාව මගින් අතිශයින් දියාරු කර තිබෙනවා.

මෙම යෝජිතය මගින් මධ්‍යම රජයේ පොලිසිය සහ ප‍්‍රාදේශීය පොලිසිය ලෙස විශේෂීකරණයක් ඇති කර තිබෙනවා. එයින් අවසානයේදී ප‍්‍රාදේශීය පොලිසිය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව වැනි රටක ප‍්‍රාදේශීය පොලිසි සංකල්පය ක‍්‍රියාත්මක කරන්නට බැහැ. ඉන්දියාව වැනි රටකදී එය ප‍්‍රයෝගික වූවාට ශ‍්‍රී ලංකාව විෂයේදී එහි දුර්විපාක මිස කිසිදු වාසිදායක තත්ත්වයක් ඇත්තේ නැත. ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තය ගෙන බැලූවහොත් එය ශ‍්‍රී ලංකාව මෙන් විසි පස් ගුණයකට වඩා විශාලයි. එහිදී ප‍්‍රාදේශීය පොලිසි සංකල්පය ප‍්‍රයෝජනවත් විය හැකියි. ශ‍්‍රී ලංකාවේ යම් මිනීමැරුමක් සඳහා දකුණු පළාතේ සැලසුම් කර” එය බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මක කර” අපරාධකරුවන් නැගෙනහිර පළාතේ සැඟවී සිටිනවා” යැයි සිතුවහොත් ඒ සඳහා ප‍්‍රාදේශීය පොලිසි කිහිපයක හෙවත් පළාත් සභා කිහිපයක” අවසර

රැගෙන අපරාධය පිළිබඳව සෙවීමට සිදුවනවා ඇත. මෙය අපරාධකරුවන්ට සහ ත‍්‍රස්තවාදීන්ට වාසිදායක තත්ත්වයක් මිස රටට කිසිදු වාසියක් අත්කර දෙන්නේ නැත. එසේම මෙය පොලිස් බලතල පළාත් සභා සඳහා පැවරීමකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ අධිකරණය නමින් නව අධිකරණයක් පිළිබඳව මෙම යෝජිත ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මෙය ඉතා බලගතු උසාවියක්. මධ්‍යම රජය සහ පළාත් සභා අතර යම් ගැටුමක් නිර්මාණය වේ නම් ඒ පිළිබඳව නඩු ඇසීම සඳහා මෙම උසාවිය පත් කර තිබෙනවා. එයින් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණු බලයක් සඳහා නව ආයතනයක් යෝජනා කර තිබෙනවා. එයට විනිසුරුවරුන් පත් කිරීමේදී විනිශ්චයකාරවරුන් අවම වශයෙන් නීතිඥයන් වීමේ වුවමනාවත් සඳහන් කර නැහැ. එම අධිකරණය සඳහා සුදුසුකම් රහිත ආණ්ඩුවට හිතවත් පුද්ගලයන් පත් කිරීමේ අවදානමක් පවතිනවා. 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ අපේ රටේ එවැනි ව්‍යවස්ථා අධිකරණයක් කෙටි කාලයකට පත් කර තිබුණා. එය සාර්ථක අත්දැකීමක් නොවූ හෙයින් 77 ව්‍යවස්ථාවේදී” එය අතහැර දමා” එම සියලූ බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා දෙනු ලැබුවා. එසේම ශ‍්‍රී ලංකා අධිකරණයන්හි විනිසුරුවරුන්ට යම් චෝදනාවක් වේ නම්” ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ අයිතිය පොදු රාජ්‍ය මණ්ඩල විනිසුරුවරුන්ට පවරා දී තිබෙනවා. එය අපේ රටේ ස්වාධීනත්වයට සහ අධිකරණයේ අභිමානයට ගැලපෙන්නක් නොවේ.

මේ සියල්ලේම අවසන් ප‍්‍රතිපලය වන්නේ” මධ්‍යම රජය දියාරු කිරීමේ වැඩපිළිවෙළයි. රටේ මේ වන විට ඇතිවෙමින් පවතින තත්ත්වය සහ සමහර සාධක ගෙන බලන විට” මධ්‍යම රජය දියාරු කරන්නේ ඇයි කියා සිතන්න පුළුවන්. මෑතකදී තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිට ශ‍්‍රී ලංකාවට පැටවීම සඳහා සූදානම් කර තිබු” පුපුරන ද්‍රව්‍ය සහ මුනිස්සම් විශාල තොගයක් අල්ලා ගනු ලැබුවා. අපේ රටෙත් විටින් විට එවැනි තොග හමුවුණා. එසේම විජයකලාගේ ප‍්‍රකාශය” උතුරු පළාත් සභාවේ ක‍්‍රියාපටිපාටිය” රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ අපේ විදේශ අමාත්‍යාංශය ද පංගුකාරයකු කර ගනිමින් චෝදනා ගොනු කිරීම” ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගැනීම සඳහා මේ රජය විසින් මානව හිමිකම් කවුන්සිලයට ලබා දුන් පොරොන්දුව” මේ සියල්ල තුළින් අපි දකින්නේ” ජාතික ආරක්ෂාව සහ රටේ ඒකීයභාවය පත්ව ඇති අනතුරයි. මේ ව්‍යවස්ථාව ඒ සඳහා නෛතික ආකාරයෙන් පාර කපා දීමක් බව පෙනී යනවා.

සාකච්ඡාවක් ඇසුරෙනි මනෝජ් අබයදීර


335 Viewers