• Home »
  • Sinhala »
  • යුද සැමරුම් ඉවත් කරන්න – TNA ජනපතිගෙන් ඉල්ලයි

යුද සැමරුම් ඉවත් කරන්න – TNA ජනපතිගෙන් ඉල්ලයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එක්කොට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන අන්දමේ දේශපාලන විසඳුමක් ලබාදී ස්ථිර සාමයක් උදා කරන තුරු උතුරේ ඇති සියලූම යුද ස්මාරක ඉවත් කරන මෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේ්ෂ්වරන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස්‌ දක්‌වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය පසුගිය 15 වැනිදා ජනාධිපතිවරයාට යෑවූ බවයි.

යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශවල ජයග්‍රහණ විදහා දැක්‌වෙන ස්‌මාරක උතුරේ ඉදිකොට තිබීම නිසා බාල පරම්පරාවට පහත් අන්දමේ වැටහීමක්‌ ඇති විය හැකි බව ප්‍රධාන අමාත්‍යවරයාගේ අදහසයි.

ආරක්‍ෂක අංශ යුද්ධ කොට දෙමළ ජනතාව පරාජය කොට ඔවුන් පමණක්‌ ජය ලබා ඇති බව මෙම ස්‌මාරක මගින් නිරූපණය වීම බරපතළ වරදක්‌ බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා රට පුරා ස්‌ථීර සාමයක්‌ උදාවීමෙන් පසුව ඒ සාමය උදාකරලීමට කැපවූ අයගේ ස්‌මාරක ඉදිකිරීම සාධාරණ බවද පවසා තිබේ.

වත්මන් රජයේ අභිප්‍රාය ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරවීම නම් එක්‌ පාර්ශවයක පමණක්‌ මෙවැනි ස්‌මාරක තැනීමෙන් කිසිවිටකත් ජාතික සංහිදියාවක්‌ ඇති නොවන බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා ඉන් ඇති වන්නේ වෛරයක්‌ හා පිළිකුලක්‌ පමණක්‌ බවද කියා සිටියි.

 



615 Viewers