• Home »
  • Sinhala »
  • රටටම හොරෙන් ආණ්ඩුව හදනා මොකක්ද මේ අලූත් ව්‍යවස්ථාව…? පිටපතක් ජී.එල්.ගේ අතේ

රටටම හොරෙන් ආණ්ඩුව හදනා මොකක්ද මේ අලූත් ව්‍යවස්ථාව…? පිටපතක් ජී.එල්.ගේ අතේ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්නේ රට කරවන ලියවිල්ල ලෙසය. එය ජාතික සංවාදයකින් නිර්මිත කර ගත යුතුය. එසේ වන අතරේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් සකසමින් පවතින යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තත්ත්වය පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. හැංගි හොරා සකස් කරමින් පවතින එම යෝජිත ව්‍යවස්ථාවේ පිටපතක් තමන් සතුව ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ” පසුගියදාය. එම ලියැවිල්ලේ සඳහන් ව ඇත්තේ කුමක්ද…” එහි හිතකර අහිතකරතාවයන් මොනවාද… යන්න පිළිබඳව මහාචාර්ය පීරිස් සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මෙම රචනය සකස් වේ.

රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ අතිශය විනිවිදභාවයකින් යුක්තවයි. එසේම එය ජනතා සහභාගිත්වය උපරිමයෙන් තිබිය යුතු දෙයක්. එවැනි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකර” නිර්මාණය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට දීර්ඝකාලීන පැවැත්මක් නොමැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපරිමයෙන් භාවිතා කරමින් මේ රටේ නිර්මාණය කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වන්නේ 1972 පළවෙනි ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එම අවස්ථාවේ ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ” ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතායි. එතුමා නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීම ආරම්භ කරන ලද්දේ” මූලික ප‍්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසුයි. ඊට පසුව සමස්ත පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරමින් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා ඔහු කටයුතු යෙදුවා. යෝජිත ව්‍යවස්ථා පිටපතක් ඉදිරිපත් කරමින්” ඒ ගැන කතිකා කර ගැනීමේ කාර්යයක් ඒ මොහොතේ සිද්ධ වුණේ නැහැ. වගන්ති ඇතිවිය යුත්තේ පසුවයි. මුලින්ම අවශ්‍ය වන්නේ” ආණ්ඩුක‍්‍රමය සකස් වන මූලික සිද්ධාන්ත හෙවත් ප‍්‍රතිපත්තියි. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ ක‍්‍රියාදාමය අනුව දේශපාලන පක්ෂ” සිවිල් සංවිධාන” මහා සංඝරත්නය” සෙසු පූජක පිරිස් ආදී සියලූ සමාජ බලවේග වෙත මේ කාර්යය සඳහා

සහභාගීවීමට අවස්ථාවක් උදා වුණා. මෙය පූර්ණ ජනතා දායකත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය එක් අන්තයක් ලෙස සලකා බැලූවත්” යහපාලන රජය විසින් ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් සකස් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේ” එහි අනෙක් අන්තයේයි. මේ සඳහා කිසිම ජනතා දායකත්වයක් ලබා ගෙන නැහැ. හොර රහසේ” කුමන්ත‍්‍රණකාරී පිළිවෙතකින් මෙය නිර්මාණය වන බව පෙන්වා දීමට හැකියි. අගමැතිතුමාට සමීප දෙතුන් දෙනෙක් විසින් කරන කාර්යයක් බවට මෙය පත්වී තිබෙනවා. අගමැති කාර්යාලයේ වැඩක් ලෙස” රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම හඳුන්වා දෙන්නට බැහැ.

මේ පිළිබඳව දකින්නට ලැබුණු හොඳම අවස්ථාව වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය සඳහා පත් කරන ලද වැඩපිළිවෙළයි. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය සඳහා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබුණා. එම සමස්ත ක‍්‍රියාදාමයේ වැදගත් ස්ථානයක් වන්නේ විද්වත් කමිටුවයි. එම විද්වත් කමිටුව සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විතයි. මීට සති දෙකකට පමණ පෙර රජය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉක්මනින් සම්මත කර ගැනීම සඳහා උත්සාහයක් දරනු ලැබුවා. එම අවස්ථාවේදී විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු ප‍්‍රකාශ කර තිබුණේ” තමන් මෙවැනි ලියැවිල්ලක් දැක්කේවත් නැති බවයි. එවැන්නක් පිළිබඳව කිසිදු අවස්ථාවකදී විද්වත් මණ්ඩලය තුළ සාකච්ඡාවක් සිදු කර තිබුණේ නැති බව ඔවුන් පවසා සිටියා. එම නිසා මෙහි කොටස්කරුවන් වීමට අපේ කිසිදු සූදානමක් නොමැති බව ඔවුන් ප‍්‍රකාශ කළා. විද්වත් කමිටුවේ දස දෙනාගෙන් මේ ලියැවිල්ල සඳහා අත්සන් යොදා තිබුණේ හය දෙනෙකු පමණයි. එම අත්සන් හය අතුරෙන් එක් අයෙක්” මාස හයක් ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වූ පුද්ගලයෙක්. ඔහු ඔස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. එතුමා රටේ ඉඳලවත් නැහැ. මෙවැනි ආකාරයෙන් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියක් සිදු කරන්නේ කුමන මූලධර්ම පදනමකින් ද යන්න ප‍්‍රශ්න කළ යුතුයි.

ඇත්තවශයෙන්ම බලන විට මෙම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ” එම්. සුමන්තිරන් මහතා” ජයම්පති වික‍්‍රමරත්න මහතා” සුරේන් ප‍්‍රනාන්දු කියන පුද්ගලන් විසින්.

මෙම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව කූට උප්පරවැට්ටියක් යොදනු ඇතැයි ජනතාව සිතනවා. ආණ්ඩුව විසින් පළාත් සභා පනත සම්මත කර ගැනීම සඳහා කරන ලද උප්පරවැට්ටිය මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා යොදනු ඇතැයි උපකල්පනය කිරීම වරදක් නැහැ. අපේ නීතිය අනුව මුලින්ම යෝජිත පනත ගැසට් කළ යුතුයි. එසේ ගැසට් කරන ලද පනත සති දෙකක් යනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. සති දෙකකින් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. ඒ අතර වාරයේ සතියක කාලයක්” එම යෝජිත පනත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සඳහා පුරවැසියන්ට අයිතිය හිමි වෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්” එම යෝජිත පනත” සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද යන්න සලකා බැලීම සිදු කෙරෙනවා. සිය තීන්දුව” ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත දන්වා යවනවා. එම යෝජිත පනත හෝ එහි කොටසක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් එය සම්මත කිරීමට හැකිද” නැතිනම් තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය ද යන්න එතැනදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා එවනවා. මේ සියල්ල සඳහා ඉඩ ලැබෙන්නේ සතියක කාලයක් පමණයි. මේ සියල්ලෙන් පසුව පනත පාර්ලිමේන්තු විවාදයට භාජනය කොට” සම්මත කර කථානායකවරයා ඊට අත්සන් තැබූ පසු එය කිසිම අභියෝගයකට ලක්කිරීමකට නොහැකියි.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ගය පිළිබඳව මෙහිදී පැහැදිලි කළ යුතු වෙනවා. එතැනදී රජය විසින් ඉතාමත් අහිංසක පනතක් ඉදිරිපත් කළා. පළාත් සභා මැතිවරණ සඳහා කාන්තා නියෝජනය පිළිබඳව අවශ්‍යතාවය පෙන්වා දෙමින් ඉදිරිපත් කරන ලද එම සංශෝධනය සඳහා කිසිවෙක් විරෝධය දැක්වූයේ නැහැ. එය පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමෙන් පසු” කමිටු අදියරට යොමු කළා. කමිටු අදියරේදී එම පනතේ ස්වභාවයට සහ අරමුණට ඉඳුරාම වෙනස් වගන්ති ඇතුළත් පිටු තිස් පහක් ඒ සඳහා රජය පාර්ශ්වයෙන් එකතු කර තිබුණා. පනත පාර්ලිමේන්තුවට පැමිණියේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන්” එය පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණියේ නව මැතිවරණ ක‍්‍රමයක්” පළාත් සභා සම්බන්ධයෙන් ඉදිරිපත් කරමින්. ගෙන එන ලද්දේ එක පනතක්. දෙවන වර කියවන ලද්දේ තව පනතක්. තුන්වෙනි වතාවේ කියවන ලද්දේ” ඊට ඉඳුරාම වෙනස් අරමුණු සහිත පනතක්. එම කූට උපාය මාර්ගයේ අරමුණ වූයේ” ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සඳහා තිබූ අවස්ථාවට ඉඩ ඇහිරීම. මේ තත්ත්වය තුළ” පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේ” රජයට සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යය භාරය ගිලිහී යනවා. එවැනි අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය භාරය ඉටු කරන්නේ නීතිපතිවරයා මාර්ගයෙන්. එහිදී ඒවා නීත්‍යානුකූල ද නැද්ද යන තීරණය කරන ලද්දේ” නීතිපති විසින්. නීතිපතිවරයා යනු රජයේ නිලධාරියෙක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය භාරය ඔහුට ලඝු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලූ කිරීමක්.

මේ පදනම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඉටු කරාවි යන බිය අපට තිබෙනවා. එවැන්නක් සිදුවුවහොත් කළ හැකි කිසිම පිළියමක් නැහැ. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ජනප‍්‍රිය දෙයක් වන්නේ නැහැ. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබෙන දෙයක් වන්නේ නැහැ. එසේම පැහැදිලිවම මෙය ජනමත විචාරණයකට දැමිය යුතුයි. ආණ්ඩුවේ ප‍්‍රයත්නය වූයේ මෙය හංගා ගැසීම වුවත්” එයින් පිටපතක් අප වෙත ලැබුණා.

මෙහි සඳහන් වන ආකාරයට” එහි භයානක කාරණා රාශියක් තිබෙනවා. මෙහි වගන්ති කිහිපයක් හරහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණ ව්‍යුහය හා ස්වභාවය වෙනස් කරන ආකාරයක් තිබෙනවා. වර්තමානයේ ජනාධිපතිවරයා රටම ආණ්ඩු කරන්නේ ආණ්ඩුකාරයන් හරහා. පළාත් නවය සඳහා එක පළාතකට ආණ්ඩුකාරවරයා බැගින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් පත් කරනවා. ආණ්ඩුකාරවරු පත්වීම් ලබන්නේ” ජනාධිපතිවරයා අතින්. ඕනෑම අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. පළාත් සභා සඳහා යම් යම් විෂයයන් සම්බන්ධයෙන් නීති සකස් කරන්නට බලතල තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නව වෙනි උප ලේඛනය අනුව ලැයිස්තු තුනක් තිබෙනවා. මධ්‍යම රජයට පැවරෙන කාර්ය භාරය” පළාත් සභා සඳහා පැවරෙන කාර්ය භාරය” සමගාමී ලැයිස්තුව යන එම විෂය වර්ගීකරණය අනුව” පළාත් සභා සඳහා අයිති වන බලතල සම්බන්ධයෙන්” නීති සම්පාදනය කිරීමට පළාත් සභාවට අවස්ථාව ලැබෙනවා. එහිදී ආණ්ඩුකාරවරයාට ඒ සඳහා මැදිහත්වීමට බලතල තිබෙනවා. තාවකාලිකව එය නවත්වා” ජනාධිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යැවීමට ආණ්ඩුකාරතුමාට අවස්ථාවක් ලැබෙනවා. සමහර විෂයයන් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා මහ ඇමැතිගේ කැමැත්ත සහිතව වැඩ කරනවා. සමහර දේ සම්බන්ධයෙන් ස්වකීය කැමැත්ත අනුව” ආණ්ඩුකාරවරයා කටයුතු කරනවා. යමක් සම්බන්ධයෙන් මේ දෙකෙන් කොයි ක‍්‍රමය අනුගමනය කළ යුතුද යන්න තීරණය කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. මෙය දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙනවා. මේ ආණ්ඩුව විසින් සකස් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. එසේම වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඍජුව මැදිහත් වී” පළාත් සභා බලතල පවරා ගැනීමේ හැකියාව තිබෙනවා. පළාත් සභාව යම් ක‍්‍රියා මාර්ගයක් රටේ ජාතික ආරක්ෂාවට පටහැනි බව ජනාධිපතිතුමා විශ්වාස කරනවා නම්” එම පළාත් සභාවේ බලතල තමන්ට පවරාගන්ට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. දහතුන් වන සංශෝධනය අනුව එම බලතල පාර්ලිමේන්තුවට පැවරීමටත් ජනාධිපතිවරයාට බලතල තිබෙනවා. එසේම පළාත් සභාවක ක‍්‍රියාපටිපාටිය නිසා ආර්ථික අස්ථාවරභාවයක් එම පළාත තුළ ඇතිවෙන බව ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම්” ඒ සඳහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට බලතල තිබෙනවා. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එම අවස්ථාව ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබෙනවා.

යම් පනතක් පළාත් සභාව විසින් සම්මත කර” එය ආණ්ඩුකාරවරයා වෙත භාර දෙනවා යැයි උපකල්පනය කරමු. ආණ්ඩුකාරවරයා ඒ සඳහා එකඟ නොවී” එම පනත යළි පළාත් සභාව වෙත එවනු ලබනවා. දෙවන වතාවට පළාත් සභාව එම පනත සම්මත කළහොත් එය ස්ථිර ලෙසම ක‍්‍රියාත්මක වෙනවා. එය නැවැත්වීම සඳහා ආණ්ඩුකාරවරයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරතුමා වැඩකටයුතු කළ යුතු වන්නේ” මහ ඇමැතිගේ කැමැත්ත අනුවයි. ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව ආණ්ඩුකාරවරයා වැඩ කටයුතු කිරීම මෙමගින් අහෝසි වී යනවා. යෝජිත ව්‍යවස්ථාව අනුව පළාත් සභාවක විධායක බලතල ඇත්තේ මහ ඇමැතිතුමා සහ පළාත් සභාවේ කැබිනට් මණ්ඩලයටයි. ඒ බව මෙම ලියැවිල්ලේ සඳහන් වෙනවා. එය විශාල වෙනසක්. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මුළු රටම සම්බන්ධයෙන් විධායක බලය ඇත්තේ” ජනාධිපතිවරයාට. මේ අනුව රටේ වෙනම ආණ්ඩු නවයක් ඇතිවෙනවා. එසේම මොන නමක් දැම්මත් මෙම ක‍්‍රමය අනුව” ඉන් පසුව ශ‍්‍රී ලංකාව ඒකීය රටක් වන්නේ නැහැ.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ යුනිටරි හෙවත් ඒකීය යන සිංහල පදය සඳහා භාවිතා වන ඉංග‍්‍රීසි වචනය සඳහන් වන්නේ නැහැ. එහි සඳහන් වන්නේ ඒකීය යන සිංහල වචනය සහ ඔරුමිත්තනාඩු යන දෙමළ වචනයයි. දෙමළ මහාචාර්යවරයකු මා සමග පවසා සිටියේ” ඔරුමිත්තනාඩු යන දෙමළ වචනයේ තේරුම සිංහල භාෂාවේ ඒකීය යන වචනයේ තේරුම නොවන බව. ඉංග‍්‍රීසි පිටපතේ යුනිටරි යන වචනය පාවිච්චි නොකර සිංහලෙන් ඒකීය යන වචනය පාවිච්චි කළේ ඇයි යන්න මෙහිදී සලකා බැලිය යුතුයි. එය ඉංග‍්‍රීසි පමණක් දන්නා කිසිවෙකුට තේරෙන්නේ නැහැ. විදේශ විශ්වවිද්‍යාල සම්මන්ත‍්‍රණයකදී” ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා නම්” ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව සිංහල වචනයෙන් කිසිවෙකුට තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙය ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය අහෝසි කිරීම සඳහා යොදන ලද කූට උප්පරවැට්ටියක්. යුනිටරි යන වචනයට ඉතා පැහැදිලි අර්ථයක් තිබෙනවා.එම වචනය පාවිච්චි කළහොත් එය දෙමළ සන්ධානයට ප‍්‍රශ්නයක් වෙනවා. දෙමළ සන්ධානයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ ඇස්වලට මෙහිදී වැලි ගසා තිබෙනවා. මෙය රැවටීමක්.

එසේම මෙම යෝජිත ව්‍යවස්ථාව අනුව මේ රටට ජාතික ගී දෙකක් තිබෙනවා. භාෂා ගණනාවක් ඇති ඉන්දියාවේ තිබෙන්නේ” එක ජාතික ගීතයයි. සිංගප්පූරුවේ භාෂා කිහිපයක් සහ ජාතීන් ගණනාවක් සිටිනවා. තිබෙන්නේ එක ජාතික ගීතයයි.

මේ ව්‍යවස්ථාව සාදා තිබෙන්නේ රාජපක්ෂ පවුල පිළිබඳ ද්වේශයකින් යුක්තවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා” දෙවරක් ජනාධිපති ලෙස සේවය කළා. එතුමාට රටේ නාමමාත‍්‍රික ජනාධිපති ලෙස සේවය කිරීම සඳහා මේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ අහුරා තිබෙනවා. මෙම යෝජිත ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි වී නාමමාත‍්‍රික ජනාධිපති ධුරයක් ඇතිවෙනවා. ඒ සඳහා පත් කරගන්නේ පාර්ලිමේන්තුව. දෙවතාවක් ජනාධිපති වූ අයෙකු ඒ සඳහා පත් කරගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

යම් පුද්ගලයකු ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගත්ත ද මැතිවරණයට මාස දොළහකට පෙර එය අහෝසි කරගෙන නොසිටියා නම් එම මැතිවරණය සඳහා තරග කිරීමේ හැකියාවක් එම පුද්ගලයාට ලැබෙන්නේ නැති බවට වගන්තියක් මෙම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොව එක පවුලකින් හෝ පුද්ගල කණ්ඩායමකින් පළිගැනීම සඳහා නිර්මිත ලියවිල්ලක මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වන්නේ නැහැ.

මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සෙනෙට් සභාවක් ඇතිවෙනවා. මෙම දෙවන මන්ත‍්‍රී මණ්ඩලයේ නියෝජිතයන් පනස් පහක් සිටිනවා. එක පළාත් සභාවකින් පස් දෙනා බැගින්” එයින් හතළිස් පහක් පත් කරනු ලැබෙන්නේ පළාත් සභා විසින්. අනිත් දහ දෙනා පාර්ලිමේන්තුවෙන්. එසේම පළාත් සභාව පත් කර එවන සෙනෙට් සභිකයන් ආපසු කැඳවීමේ අවස්ථාව පළාත් සභාවට හිමිවෙනවා. එයින් පළාත් සභා සඳහා විශාල බලයක් ලැබෙනවා. එසේ වුවත් එහි කාර්යය භාරය පිළිබඳව මෙහි කිසිදු සඳහනක් දකින්නට නැහැ. දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 225 දෙනාට අමතර මෙසේ මන්ත‍්‍රීවරු එකතු කිරීම” තවත් ආර්ථික බරක් රටට පැටවීමක්. අවම වශයෙන් එය ඇති කරන්නේ කුමකට ද කියා මෙහි සඳහන් වන්නේ නැහැ. මෙම හිස්තැන් පිරවීම” පළාත් සභා සංශෝධන පනතේ පරිදි කුට ක‍්‍රමයකට කමිටු අවස්ථාවේදී සිදු කිරීමට අදහස් කරන බව අපට සිතන්නට හැකියාව තිබෙනවා.

වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ශ‍්‍රී ලංකා භුමිය නිර්වචනය වන්නේ දිස්ත‍්‍රික්කවලින්. මේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එය නිර්වචනය කර තිබෙන්නේ” පළාත්වලින්. පළාත් සභා සඳහා මෙහිදී වැදගත් ස්ථානයක් ලබා දී තිබෙනවා.

අපේ රටේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියට සහ විනිශ්චයකාරවරුන්ට ආසියාවේ පමණක් නොව” බටහිර රටවල පවා වැදගත් තැනක් හිමිව තිබෙනවා. මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම අධිකරණ ක‍්‍රියාවලියට පවා අතුල් පහර එල්ල කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව විසින් විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ගෙන යමින් සිටිනවා. මෙම අධිකරණ සඳහා නඩු යොමු කිරීම පැවරීමට සූදානම් කර තිබුණේ” නීතිපතිවරයාට සහ අල්ලස් හෝ ¥ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට. මේ සඳහා නඩු පැවරීමෙන් පසු” එම අයිතිය අගවිනිසුරුතුමාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළා. එකම චෝදනාව සම්බන්ධයෙන් සමාන්තර අධිකරණය නඩු ඇසීමේදී සිදුවෙන දේ පිළිිබඳව අපි මෙහිදී සලකා බැලිය යුතුයි. ප‍්‍රදේශීය මහාධිකරණයක් තිබෙනවා. මෙම ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් තිබෙනවා. සාමාන්‍ය අධිකරණයට යන්නේ කොයි නඩුවද” විශේෂ මහාධිකරණයට යන්නේ කොයි නඩුව ද කියා තීරණය කරන්නේ කවුද…? අවසාන තීරණය අගවිනිසුරුතුමාගේ වුවත්” අගවිනිසුරුතුමාට එම නඩු යොමු කරන්නේ නීතිපතිතුමා විසින්. අගවිනිසුරුතුමාගේ අභිමතය පාවිච්චි කළ හැක්කේ එම ලැයිස්තුව තුළ පමණයි. ඒ කියන්නේ” විශේෂ මහාධිකරණය සඳහා යොමු කරන නඩු පිළිබඳව තීරණය තිබෙන්නේ නීතිපතිතුමා සතුවයි. විශේෂ මහාධිකරණයක් මුලින්ම පත් කළ යුතු වන්නේ කොයි නඩුව සඳහා දැයි” මේ රටේ ජනතාවගෙන් ජනමත විචාරණයක් තබා ඇසුවහොත්” එයින් 90%කගේ පිළිතුර වනු ඇත්තේ මහ බැංකු මගඩිය බව. විශේෂ උසාවියක් අවශ්‍ය වන්නේ එම මගඩියටයි. එසේ වුවත් එම නඩුව මේ විශේෂ අධිකරණයේ අසන්නේ නැහැ. එයින් පෙනී යනවා” මේ විශේෂ අධිකරණය දේශපාලන න්‍යාය පත‍්‍රයක කොටසක් බව. එම තත්ත්වය වඩා උග‍්‍ර වන ආකාරයේ විධිවිධාන මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරුන් පත් කරන්නේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි බව මෙහි සඳහන් වෙනවා. නීතිපති කියන්නේ අධි චෝදක පක්ෂයට. විනිසුරුවරුන් පත් කරන්නේ නඩුවේ එක් පාර්ශ්වයක උපදෙස් මත නම්” එම අධිකරණයේ තත්ත්වය කුමක්ද…? එය නීතිපතිට සුදුසු කාර්යභාරයක් නොවේ. මෙවැනි වගන්ති රාශියක් මෙම ලියවිල්ලේ තිබෙනවා. මෙය කූට මාර්ගයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරනවා. එය නෛතිකව සහ දේශපාලනිකව පරාජය කිරීම සඳහා අප සූදානම්ව සිටිනවා.

සාකච්ඡාවක් ඇසුරෙනි
මනෝජ් අබයදීර



126 Viewers