• Home »
  • Sinhala »
  • රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන්න සෙල්ලම් දහයක් !

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන්න සෙල්ලම් දහයක් !

(Courtesy Divaina)
book
ලෝකයේ මේ වන විට බෙදා වෙන්කොට ඇති රටවල් 26 න් කිසිදු රටක් යුද්ධයක් මඟින් පාර්ශ්ව දෙකක් විසින් මායිම් දමා ගැනීමෙන් වෙන්වී නැත. රටක් වෙන් කිරීමේ ක‍්‍රියාවලිය තුළ යුද්ධය හෝ ප‍්‍රචණ්ඩත්වය උපාංගයක් ලෙස යොදාගනු ලබන්නේ වෙනම රාජ්‍යයක් ලෙස වෙන් කෙරෙන භූගෝලීය ප‍්‍රදේශය සලකුණු කෙරෙන බල ව්‍යුහයක් නිර්මාණය කරගැනීම සඳහාය. එම බල ව්‍යුහය බොහෝවිට ෆෙඩරල් හෙවත් සන්ධීය හෝ කොන්ෆෙඩරල් හෙවත් සහසන්ධීය බල ව්‍යුහයකි. ශ‍්‍රී ලංකාව වැනි රටක් ගත්විට යුද්ධය මගින් කේවල් කොට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා නිර්මාණය කළ බල ව්‍යුහය ඒකීය ලේබලය සහිත ෆෙඩරල් බල ව්‍යුහයකි. එවැනි බල ව්‍යුහයක් නිර්මාණය කිරීමේ ක‍්‍රමවේද දෙකක් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් යොදාගෙන ඇත. පළමු වැන්න, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පවතින ව්‍යවස්ථාව සංධීයකරණය කිරීමය. දෙවැන්න ව්‍යවස්ථාවට පිටින් ජාත්‍යන්තර ගිවිසුමක් මත එවැනි බල ව්‍යුහයක් නිර්මාණය කිරීම ය.

ශ‍්‍රී ලංකාව සහ කොසෝවෝ වැනි බෙදුම්වාදයට ගොදුරු වූ රටවල වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බල ව්‍යුහය නිර්මාණය කරනු ලැබුවේ ව්‍යවස්ථා සංශෝධනයක් මගිනි. එහෙත් සුඩානයේ දී එම අරමුණු ඉටු කරගනු ලැබුවේ නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් අත්සන් කරනු ලැබූ ජාත්‍යන්තර ගිවිසුමක් හරහාය. එනම් යුද්ධය නැවැත්වීමේ මුවාවෙන් අත්සන් කළ සටන් විරාම ගිවිසුම හරහා තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙනි. පසුව එනම් 2011 දී වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ එසේ තාවකාලික ආණ්ඩුව ලෙස දේශ සීමා සලකුණු කළ භූමි ප‍්‍රදේශය යි. අද එය දකුණු සුඩානය ලෙස හැඳින්වෙන අතර එම රාජ්‍යය සුඩානයෙන් වෙන් වී ගිය ද දේශසීමා අතර මරා ගැනීම අවසන් වී නොමැත. කෙසේ වෙතත් 2003 දී රනිල් වික‍්‍රමසිංහ මහතා ලෝකය පිළිගත් එම ක‍්‍රමවේද දෙක දෙමුහුුන් කිරීමට එකඟ විය. එනම් ඒ වනවිට ව්‍යවස්ථා සංශෝධනයක් මගින් නිර්මාණය කළ පළාත් සභාව නම් බල ව්‍යුහය සටන් විරාම ගිවිසුම යටතේ තාවකාලික ආණ්ඩුවක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමය. ජාතික බලවේග විසින් එම උත්සාහය ව්‍යර්ථ කිරීමෙන් පසුව සුනාමි ව්‍යසනයට මුවා වී එම බල ව්‍යුහය සුනාමි සහන මණ්ඩලය නමින් පිහිටුවීමට උත්සාහයක් ගත් බව රහසක් නොවේ. එහෙත් එම උත්සාහය ද ජාතික බලවේග විසින් පරාජය කෙරුණි.

මෙම ක‍්‍රියාවලිය තුළ මූලික වශයෙන්ම පැනනගින ප‍්‍රශ්නය වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කළ බල ව්‍යුහය වෙනම රාජ්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ නොහැක්කේ කුමක් නිසාද? යන්නය. එසේම යුද්ධයේ මූලික අරමුණ ෆෙඩරල් බල ව්‍යුහයක් නිර්මාණය කරගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීම නම් එම බල ව්‍යුහය ලබාගැනීමෙන් පසුව තවදුරටත් යුද්ධය අවශ්‍යවන්නේ කුමක් නිසාද? විශේෂයෙන්ම යුද්ධය යොදා ගනිමින් ලබා ගන්නා දේශපාලන ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු කර ගත හැක්කේ දේශපාලන ක‍්‍රියාමාර්ග මගිනි. එසේ නොමැතිව යුද්ධය පවත්වාගෙන යෑම මගින් ලබාගත් දේශපාලන ජයග‍්‍රහණය ආපසු හැරවීමට ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයට අවකාශය ලැබේ. වෙනත් වචනවලින් කියන්නේ නම් යුද්ධ කිරීම තුළම යුද්ධයට එරෙහි ප‍්‍රතියුද්ධය සාධාරණීකරණය වේ. ඒ ආකාරයට යුද්ධයක් පවත්වාගෙන යමින් වෙනම රාජ්‍යයක දේශසීමා සලකුණු කළ නොහැකි නම් සහ දෙපාර්ශ්වයේ හමුදා දේශ සීමාවලින් දෙපස ස්ථානගත කළ නොහැකි නම් 13 වැනි සංශෝධනය දිනා ගැනීමෙන් පසුව තවදුරටත් යුද්ධ කිරීම අවශ්‍ය වූයේ කුමක් නිසාද?

ඊට පිළිතුරු සොයා ගැනීම සඳහා නැගෙනහිර ටිමෝරය බෙදා වෙන්කිරීමට අදාළව ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පෘතුගාලය විසින් ජාත්‍යන්තර අධිකරණය හමුවේ පැනවූ නඩුවේ තීන්දුව විමසා බැලිය යුතුය. එම නඩු තීන්දුව අනුව ජනතාවකට හෙවත් ජනවර්ගයකට වෙන් වූ රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීමේ හැකියාව ලැබෙන්නේ එම ජනතාවට හෙවත් ඔවුන් ජීවත්වන භූගෝලීය ප‍්‍රදේශයට පරමාධිපත්‍යයේ බලය බෙදී යන ආකාරයට බලය බෙදීමක් සිදු කොට ඇත්නම් පමණි. එම මූලධර්මය හඳුන්වන්නේ අනුපූරකතාවය නමිනි. එනම් ජනතාවගේ පරමාධිපත්‍ය බලය මධ්‍යම රජය හරහා මෙන්ම පළාත් සභාව හෝ පළාත් බල ඒකකය හරහා ඒවාට අනන්‍ය ලෙස ද ක‍්‍රියාත්මක වේ. එසේ පරමාධිපත්‍යයේ බලය එම බල ව්‍යුහ දෙක අතර නිශ්චිතව බෙදී වෙන්වීම ව්‍යවස්ථාව විසින් තහවුරු විය යුතුය. පසුගිය දිනවල පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාළව ලබාදුන් නඩු තීන්දුව මගින් පළාත් සභා මැතිවරණය යනු පරමාධිපත්‍ය බලය ප‍්‍රතිනිර්මාණය කරන මැතිවරණයක් බව තහවුරු කෙරිණි. ඊට පෙර මාවෙයි සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩු තීන්දුව මගින් ඒකීය ව්‍යවස්ථාවක් තුළ පළාත් සභාවකට ෆෙඩරල් බලතල ලබාදිය හැකි බව තහවුරු කෙරිණි.

නමුත්, එදා 13 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් ඉන්දියානු නිලධාරීන් විසින් සකස්කොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ උගුරින් පහළට තල්ලූ කරන විට ඔහුු එය කැමැත්තෙන් ගිල දැමුවේ නැත. එම නිසා තව එක් ප‍්‍රශ්නයක් ඉතිරි වී ඇත. එනම් ඔහු විසින් එම සංශෝධනයට යම් ව්‍යවස්ථාමය බාධක ප‍්‍රමාණයක් ඇතුල් කළ බැවින් ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් ලක්‍ෂණ සහිත එම ව්‍යවස්ථා සංශෝධනයේ බෙදුම්වාදී ෆෙඩරල් ප‍්‍රතිපාදන යටපත් වී ඇත. එනම් මධ්‍යම රජයට සහ පළාත් සභාවට බලතල නිශ්චිතව වෙන් කොට නැත. එම නිසා මධ්‍යම රජයට පළාත් බලය අභිබවා ක‍්‍රියාත්මක වීමේ අවස්ථාව එම බාධක නිසා ලැබී ඇත.

13 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව නැවත යුද්ධය ආරම්භ වූ වකවානුවේ සිට බෙදුම්වාදී බලවේග ඉල්ලා සිටින්නේ එසේ ඊට ඇතුල් කළ ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ලෙසය. එදා 2006 දී ඊනියා සර්වපාක්ෂික සමුළුව තුළින් ද ප‍්‍රධාන වශයෙන් මතුවූයේ එම ඉල්ලීම්ය. මෑත කාලීනව ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලය විසින් පත් කළ මධ්‍ය පරිධිය උප කමිටු වාර්තාව මගින් ද ප‍්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වළක්වන ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ලෙසය. එසේම 2015 දී ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී ටී.එන්.ඒ. පක්ෂයේ එකඟතාව ලබා ගෙන ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව මගින් ඉල්ලා සිටින්නේ ද දහතුන් වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කරන ලෙස පමණි. එම යෝජනාව මගින් නව ව්‍යවස්ථාවක් සඳහා බල කරන්නේ නැත. එසේ නම් ව්‍යවස්ථාව මගින් පරමාධිපත්‍ය බලය පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර නිශ්චිතව බෙදී ගොස් ඇති බව තහවුරු කිරීම සඳහා ඉවත් කළ යුතු ව්‍යවස්ථාමය බාධක මොනවාද?

එසේ පළාත් සභාවක කටයුතුවලට මධ්‍යම රජය විසින් අත දැමිය හැකි ආකාරයට ඇතුළු කොට ඇති ප‍්‍රතිපාදන හෙවත් 13ට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක මූලික වශයෙන් 5 ක් හඳුනාගත හැක. ආචාර්ය දයාන් ජයතිලක මහතා කියන ආකාරයට එම බාධක ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ‘‘සුළු සුළු සංශෝධන’’ ප‍්‍රමාණයකි. එම සංශෝධන සාධාරණීකරණය කිරීම සඳහා 13 වැනි සංශෝධනය ඉක්මවා යන කිසිදු බලයක් ලබා නොදෙන ලෙස ද ඔහු අනතුරු අඟවයි. ටී.එන්.ඒ. පක්ෂය ආණ්ඩුව විසින් එසේ වැඩි බලතල ලබා දුනහොත් සතුටින් බාරගන්නා බවට සැකයක් නැත. නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ පරමාධිපත්‍ය බලය බෙදී ගොස් තිබෙන බව තහවුරු කෙරෙන සංශෝධන හෙවත් ජාත්‍යන්තර අධිකරණයේ දී ඔවුන්ට වාසි සහගත තීන්දුව ලබා ගැනීම සඳහා අවශ්‍ය අවම සංශෝධන ප‍්‍රමාණයක් සම්මත කරගැනීම පමණි.

ඉන් පළමුවැන්න පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර නිශ්චිතව බලය බෙදී යෑම වළක්වන සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කොට එහි අඩංගු බලතල පළාත්වලට සහ මධ්‍යම ආණ්ඩුවට බෙදා වෙන් කිරීම ය. දෙවැන්න ඉඩම්, පොලිස් සහ මූල්‍ය ආදී බරපතල බෙදුම්වාදී බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රඥප්ති සම්මත කර ගැනීම වැළැක්වීම සඳහා ආණ්ඩුකාරවරයා සතු බලය ඉවත් කිරීමය. ඒ සඳහා මහ ඇමැතිගේ අනුමැතියෙන් ආණ්ඩුකාරයා පත්කිරීම පමණක් ප‍්‍රමාණවත් වේ. තුන්වැන්න මධ්‍යම රජය සතු ජාතික ප‍්‍රතිපත්ති හැදීමේ බලය ඉවත්කොට පළාත් සභාවලට ද ජාතික වශයෙන් වැදගත් විෂයන්ට අදාළව ප‍්‍රතිපත්ති හැදීමේ බලය ලබාදීමය. හතරවැන්න පළාත් ඉඩම් අයිතිය පළාත්වලට පවරා මධ්‍යම රජය විසින් තම බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් පළාත් සභාවෙන් ඉල්ලා සිටින තත්ත්වය නිර්මාණය කිරීමය. එහිදී අවසාන වශයෙන් ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද ඉඩම්වල භුක්තිය ලබා දීමේ බලය පළාත් සභාවලට පැවරීම පමණක් ප‍්‍රමාණවත් වෙයි. පස්වැන්න බදු එකතු කිරීමේ බලය සහ පළාත් භාණ්ඩාගාරයක් පවත්වා ගැනීමේ බලය පළාත් සභාවලට ලබාදීමය. දැනටමත් මහ ඇමැතිවරයාට අවශ්‍ය ආකාරයට සහ විදේශවලින් පවා මුදල් ලබාගත හැකි ආකාරයට ‘‘මහඇමැති අරමුදලක්’’ පිහිටුවීමේ බලය පළාත් සභාවට ලබා දී ඇත.

ඉහත සඳහන් කළ නඩු තීන්දුවට අනුව උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාව ‘‘ජනතාවක්’’ ලෙස ජාත්‍යන්තර නීතිය යටතේ හැඳින්වීම සඳහා අවශ්‍ය මූලධර්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වක‍්‍රව ඇතුළු කොට ඇත. එනම් තිම්පු මූලධර්ම හෙවත් දෙමළ ජනතාව වෙනම අනන්‍යතාවයක් සහිත ජනතාවක් බව, ඔවුන්ගේ ඓතිහාසික වාසභූමිය උතුරු සහ නැගෙනහිර පළාත් බව සහ ඔවුන්ට අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා ගැනීමේ අයිතිය තිබෙන බව 13 වැනි සංශෝධනය මගින් පිළිගෙන ඇත. උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුල් කෙරෙන්නේ එම පිළිගැනීම මතය. ඒ අනුව ඉහත සඳහන් කළ ඊනියා සුළු සංශෝධන ප‍්‍රමාණය සම්මත කළහොත් ජාත්‍යන්තර නීතියට අනුව උතුරු – නැගෙනහිර ජනතාවට පරමාධිපත්‍යයේ බලය බෙදී ගොස් ඇති බව තහවුරු වේ.

එසේ තහවුරු කර ගැනීමෙන් පසුව කළ යුතු දේ ආර්. සම්බන්ධන් මහතා විසින් 2012 මැයි 25 දින මඩකලපුවේ දී පැවැත්වූ ටී.එන්.ඒ. පක්ෂයේ මහ සමුළුවේදී ප‍්‍රකාශ කළේය. ඊට අනුව ඔවුන් ඊළාම් අරමුණ අත්හැර නැත. නමුත් ඒ කරා ළඟාවන උපායමාර්ගය වෙනස්කොට ඇත. එනම් යුද්ධය වෙනුවට නිරායුධ සිවිල් ජනතාව ගාන්ධිවාදී වීදි සටන් සදහා යොමු කෙරෙනු ඇත. එම ජනතාව මර්දනය කළහොත් ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත් විය යුතු බවට සම්බන්ධන් මහතා එම සමුළුවේදී ජාත්‍යන්තර මැදිහත්වීමකට ආරාධනා කළේය. නමුත් ඒ විදී සටන් ආරම්භ කිරීම පමා වන්නේ මේ වනතුරු දහතුන්වන සංශෝධනයේ බාධක ඉවත් කරන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පමා වීම නිසාය. එම පූර්ව කොන්දේසිය ඉටුකර ගැනීමට පෙර වීදි සටන් ආරම්භ කළහොත් ඒවා මර්දනය කිරීමට ආණ්ඩුවට ව්‍යවස්ථානුකූලව ඉඩ ලැබේ. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට පරමාධිපත්‍යයේ බලය බෙදී යන ආකාරයට උතුරු නැගෙනහිර ජනතාවට බලය ලබා දී ඇති විටෙක එම බලය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් සහ ඊට එරෙහිව විදී සටන් කරන ජනතාව මර්දනය කරන්නේ නම් එම ජනතාවට වෙන්වී යෑමේ අයිතිය ලැබේ.

ඒ අනුව කොසෝවෝ බෙදුම්වාදීන් සාර්ථකව අත්හදා බලන ලද ක‍්‍රමය එනම් නිරායුධ අහිංසක ජනතාවගේ මළමිනී මතින් ජාත්‍යන්තර මැදිහත්වීමක් කැඳවීමේ ක‍්‍රමවේදය පමාවන්නේ ව්‍යවස්ථා සංශෝධනය පමා වන නිසා ය. දැන් බෙදුම්වාදීන් මුහුණදෙන ප‍්‍රධාන අභියෝගය හැකි ඉක්මනින් ආචාර්ය දයාන් ජයතිලක මහතා කියන ‘‘සුළු සුළු ව්‍යවස්ථා සංශෝධන’’ ටික සම්මත කරගැනීම ය. ඔවුන්ට නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවේ තිබෙන ඒකීය වගන්තිය වෙනස් කිරීමට හෝ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථාන ඉවත් කිරීමට අවශ්‍ය නැත. ඒවා සිංහල බෞද්ධයාට රිදවීම සඳහා වැදගත් වුවත් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට අනුව තාක්ෂණික වැදගත්් වන්නේ නැත. එම ඊනියා සුළු සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීමට පවා අවශ්‍ය නැත. ඒවා ඉතා පහසුවෙන් කාරක සභා අවස්ථාවේදී පිටතින් ඇතුල් කළ හැක. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී සහ ඊනියා කාන්තා නියෝජනය පනත පළාත් සභා මැතිවරණ සංශෝධන පනත බවට සංශෝධනය කිරීමේ දී කාරක සභා අවස්ථාවේදී සංශෝධන 40 කට වැඩි ප‍්‍රමාණයක් ඇතුල් කරනු ලැබීය.

නමුත් මූලික ගැටලූව වන්නේ කුමක් හෝ ලේබලයක් අලවා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව ඇතුළට ගෙන යෑමය. එනම් ව්‍යවස්ථා බෝම්බය පාර්ලිමේන්තුව තුළට ප‍්‍රවාහනය කිරීමය. එය පත්තු කිරීම ඇතුළේ දී ඉතා පහසුවෙන් කළ හැක. වර්තමාන ආණ්ඩුව බලයට පත් කෙරෙන්නේ බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බව සමාජයේ ප‍්‍රබලව තහවුරු වී ඇත. සිද්ධාර්ථන් වැනි ටී.එන්.ඒ. ප‍්‍රබලයන්ට අනුව ඔවුන් ආණ්ඩුව පත් කරන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටය. එම නිසා එසේ නොකරන ආණ්ඩුවක් ඔවුන්ට අවශ්‍ය නැත. අනෙක් පැත්තෙන් ගත්විට 13 වැනි සංශෝධනය සම්මත කිරීමේදී එදා ආණ්ඩුවට තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය තිබුණත් මෙදා ආණ්ඩුවට සාමාන්‍ය බහුතරයවත් නැත.

එම උභතෝකෝටිකයට මුහුණදීම සඳහා ආණ්ඩුව විසින් හෙවත් ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් දස වැදෑරුම් උපායමාර්ගික ප‍්‍රවේශයක් තෝරා ඇත. පළමුවැන්න පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහතික කර ගැනීම සහ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය පොදු එකඟතාවයෙන් කෙරෙන බවට ඊට සුජාතභාවය ලබාදීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා විපක්ෂය එම ක‍්‍රියාවලියට පටලවා ගැනීමය. දෙවැන්න සැබෑ අරමුණ සැඟවීම සඳහා ව්‍යාජ ඝෝෂාවක් මතු කිරීමය. වරින්වර විවිධ වාර්තා සහ කෙටුම්පත් ඉදිරිපත් කරමින් සංකීර්ණය ව්‍යවස්ථා සංශෝධන යෝජනා සමාජයට ඉදිරිපත් කරන්නේ එසේ අනවශ්‍ය ඝෝෂාවක් මතු කිරීමටය. ඒකීය වචනය ඉවත් කිරීම හෝ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහිමි කිරීම වැනි යෝජනා වැදගත් වන්නේ ද එම ඝෝෂාව සඳහාය.

තුන්වැන්න ව්‍යවස්ථා සංශෝධනය හෙවත් බෝම්බය කරතබා ගෙන යෑම සඳහා කුලීකරුවෙක් සොයාගැනීමය. එම කුලීකරුවා රට බෙදීමේ ක‍්‍රියාවලියට දායක නොවන හෝ ඊට විරුද්ධ වන්්නෙක් ලෙස සමාජයේ විශ්වාසය දිනා ගෙන තිබීම වැදගත්ය. ජනතා විමුක්ති පෙරමුණ හරහා 19 වැනි සංශෝධනය නමින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවය. අවසානයේ දී ජනතා විමුක්ති පෙරමුණේ කෙටුම්පත සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කෙටුම්පත දෙමුහුන් කළ විට ජනතා විමුක්ති පෙරමුණට කරතබාගෙන යා හැකි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිර්මාණය වේ. හතරවැන්න එසේ් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ව්‍යවස්ථා කෙටුම්පත් රාමුව ඉවත් කර ගැනීමේ අරමුණින් විවාදයට තුඩු දෙන ප‍්‍රතිපාදන ඇතුළු කිරීමය. එවිට ඊනියා විපක්ෂ බලවේගවලට මහා ඝෝෂාවක් කොට ඒවාට විරුද්ධ වීමේ හැකියාව ලැබේ. ඒ සමගම එම ගැටලූකාරී යෝජනා ඉවත් කරගෙන මහජනයාට ඊනියා සද්භාවය පෙන්වීමට සහ ව්‍යවස්ථා කෙටුම්පත සාධාරණීකරණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබේ.

පස්වැනි උපක‍්‍රමය ඉහත සඳහන් කළ බෙදුම්වාදීන්ට සත්‍ය වශයෙන්ම අත්‍යවශ්‍ය වනදේ සැඟවීම හෝ එම සංශෝධන අවතක්සේරු කිරීමය. එවිට මහජනයා තුළ බියක් ඇති වන්නේ නැත. එම නිසා බොහෝ විට ඒවා මූලික කෙටුම්පතට ඇතුළත් නොකර සිටීමට ද ඉඩක් ඇත. පසුව කාරක සභා අවස්ථාවේදී සැකයක් ඇති නොවන ලෙස ඒවා පිටතින් ඇතුල් කිරීම සඳහා එම ප‍්‍රවේශය ඉතා වැදගත්වේ. හයවැන්න බලය බෙදීමෙන් රට නොබෙදන බවට තාක්ෂණික තර්ක ඉදිරිපත් කිරීමය. ඒ මගින් සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පිළිබඳව පවතින අවිශ්වාසය සමනය වනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරන බව පෙනේ. නමුත් එම මතය ප‍්‍රචලිත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණු යොදා ගන්නා බවට සැකයක් නැත. විශේෂයෙන්ම ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කිරීම ඉන්දියාවට හානිකර බවට තර්ක කිරීම ද ඊට අයත් වේ. හත්වැනි උපක‍්‍රමය ආණ්ඩුව අඩියක් පිටුපසට ගත්් බව පෙන්වීමය. ඒ මඟින් මහජනයා තුළ ව්‍යාජ ආරක්ෂාකාරී මනසක් ඇතිවේ. නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට මතයක් ගොඩනගා පසුව ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ගෙන ඒම මගින් එම මානසික යුධ උපක‍්‍රම අත්හදා බැලිය හැක.

අටවැනි උපක‍්‍රමය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක සිට පැවති මහජන ඉල්ලීමක් නිසා ආරම්භ වූ බවට මතයක් ගොඩ නැගීමය. ඒ මගින් එම ක‍්‍රියාවලිය දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල උවමනාව මත දියත් වන්නක් බව සැඟවීමට ඉඩ ලැබේ. ඊට අමතරව ඒ සමග ගැටගැසී ඇති සෙසු කොන්දේසි වන යුද අපරාධ චෝදනා විභාග කිරීමේ යාන්ත‍්‍රණ පිහිටුවීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳව වියුක්තව සිතීමට මහජනයා පෙළඹේ. නව වැනි උපක‍්‍රමය පළමු වටයේ දී ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ටී.එන්.ඒ. පක්ෂය විසින් විරෝධය පළ කිරීමය. එවිට බහුතර සිංහල ජනතාව අතර ව්‍යාජ සුබවාදී මනසක් ඇති වේ. නමුත් කාරක සභා විවාදයේ දී ඔවුනට අවශ්‍ය දේ ලබා දුන් විට ඔවුන් ඡුන්දය ලබාදෙන බවට සැකයක් නැත. දසවැනි උපක‍්‍රමය මූලික ව්‍යවස්ථා කෙටුම්පතට බෙදුම්වාදී සංශෝධන ඇතුළු නොකර ඒවා කාරක සභා අවස්ථාවේදී යෝජනා ලෙස පසුව ඇතුළු කිරීමය. ඉන් පසුව එකොළොස්වැන්නක්ද තිබිය හැක. ඒ බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කර ගත් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ හෝ දුර්වල කිරීමේ යෝජනා ඉදිරි ජනාධිපතිවරණයේ ප‍්‍රධාන සටන්පාඨය බවට පත් කිරීමය.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර



116 Viewers