• Home »
  • Sinhala »
  • රට බෙදීමේ අලුත්ම න්‍යාය… 20 වැනි සංශෝධන ගැටය

රට බෙදීමේ අලුත්ම න්‍යාය… 20 වැනි සංශෝධන ගැටය

sanso
යෝජිත 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව මේ දිනවල සිදුවන සංවාදය තුළ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ අරමුණ යටපත් වී ඇත. ඒ නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට අතුරු සංවාදයක්‌ ගොඩනැඟී ඇත. ඉන් අදහස්‌ වන්නේ 13 වැනි සංශෝධනය ඉතා භයානක නමුත් විධායක ජනාධිපති ක්‍රමය තිබෙන තුරු එම භයානකකම යටපත් කිරීමට හෝ පාලනය කිරීමට හැකි බවය. නමුත් එය අර්ධ සත්‍යයක්‌ පමණි. විධායක ජනාධිපති බලතල නිසා එම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට ඇතුළු කළ බරපතළ ෆෙඩරල් ප්‍රතිපාදන තුළින් පැනනඟින රට බෙදීමේ අනතුර යම් පමණකට පාලනය කළ හැකි බව සත්‍යයකි. එදා වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයා විසින් වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළ අවස්‌ථාවේදී වහාම විධායක ජනාධිපති බලතල භාවිත කොට එම සභාව ජනාධිපති ගේ පාලනයට යටත් කළ හැකි විය. එසේම 1987 දී 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව අනුව ද විධායක ජනාධිපති බලතල නිසා එම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවීය. ඉන් අදහස්‌ වන්නේ විධායක ජනාධිපති බලතල නිසා රටේ ස්‌වෛරීභාවය සහ භෞමික අඛණ්‌ඩතාව යම් පමණකට හෝ ආරක්‌ෂා වන බවය.

එහෙත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව ඒකීය ව්‍යවස්‌ථාවක්‌ ලෙස හැඳින්වුවද 13 වැනි සංශෝධනය මගින් සැබෑ ලෙසම ඉන්දියාවටත් වඩා බරපතල ෆෙඩරල් රාජ්‍යයක්‌ බිහි විය. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මාවෙයි සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩු තීන්දුව අනුව ඒකීය ලේබලය යටතේ ප්‍රායෝගිකව ෆෙඩරල් රාජ්‍යයක්‌ පැවතිය හැක. ශ්‍රී ලංකාව ඊට හොඳම උදාහරණයකි. ඊට හේතු වන්නේ ඒකීය වගන්තිය වෙනස්‌ නොකර 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ බවට පත්කිරීමය. නමුත් ඒකීය ලේබලය යටතේ කොන් ෆෙඩරල් හෙවත් සහසන්ධීය රාජ්‍යයක්‌ පැවතිය නොහැක. දැන් ටී.එන්.ඒ පක්‌ෂය උපක්‍රමිකව ඉල්ලා සිටින්නේ ඕනෑම අවස්‌ථාවක ඒකපාර්ශවීයව වෙන් විය හැකි සහසන්ධීය රාජ්‍යයක්‌ නිර්මාණය කරන ලෙසය.

එහෙත් නැගෙනහිර ටිමෝරය වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළව පෘතුගාලය විසින් ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ පැනවූ නඩුවේ තීන්දුව අනුව වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරීම ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ යටතේ සිදු විය හැක. ඊට අනුව ජනතාවක්‌ ලෙස හඳුන්වන ජන කොටසක්‌ ජීවත් වන ප්‍රදේශයක ජනතාවට විශේෂිතව ලබාදී ඇති පරමාධිපත්‍යයේ බලතල නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් බාධා පමුණුවන්නේ නම් එම ජනතාවට වෙන්ව යැමේ අයිතිය ඇත. ඊට අමතරව එවැනි ජනතාවක්‌ අවමන් සහගත පීඩාවට ලක්‌ වන්නේ නම් හෝ සමූල ඝාතනයට ලක්‌වන්නේ නම් එම ජනතාව වෙන්වීම හෙවත් වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ සාධාරණීකරණය කෙරේ. ඒ අනුව දැන් බෙදුම්වාදීන්ට අවශ්‍ය වන්නේ මධ්‍යම රජය සහ පළාත් සභාව අතර ව්‍යවස්‌ථාව මගින් නිශ්චිතව පරමාධිපත්‍යයේ බලය බෙදා වෙන් කිරීම පමණි. එනම් පළාත් ආණ්‌ඩුවට සහ මධ්‍යම ආණ්‌ඩුවට අනන්‍ය වූ බලතල වෙන්කොට දැක්‌විය යුතු අතර එක්‌ බල ඒකකයකට අනෙක්‌ ඒකකයේ කටයුතුවලට බාධා පැමිණවීමට ව්‍යවස්‌ථානුකූලව ඉඩක්‌ නොතිබිය යුතුය.

අප රටේ 13වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් එවැනි ෆෙඩරල් ව්‍යqහයක්‌ නිර්මාණය කළ ද එම බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව යම් ව්‍යවස්‌ථාමය බාධක ප්‍රමාණයක්‌ පනවා ඇත. එදා 1987 දී ඉන්දියානු නිලධාරීන් විසින් නිර්මාණය කළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යqහයට යම් බාධක ප්‍රමාණයක්‌ පැනවීමට ඡේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සමත් විය. ඔහු 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ බලවත් මධ්‍යගත ධනපති රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමට මිස පළාත්වලට බලය බෙදීමට නොවේ. ඔහු බලය බෙදීමට විරුද්ධ වුවත් ඉන්දියාවේ යුදමය බලපෑමට ඇමෙරිකාව විසින් අනුබල දුන් බැවින් ඔහුට යටත්වීමට සිදුවිය. නමුත් ඔහු උපක්‍රමශීලීව දැඩි පරිශ්‍රමයක්‌ දරා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අඩ තැබූ බව ප්‍රකට කරුණකි. ඒ සඳහා ඔහු එදා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්‌ඩ විරෝධය තමාගේ වාසියට හරවා ගත්තේය.

ඒ අනුව 1987 සිට ප්‍රභාකරන් දිගින් දිගටම යුද වදින්නේ එම බාධක ඉවත් කොට ජාත්‍යන්තර නීතිය යටතේ වෙනම රාජ්‍යයක්‌ දක්‌වා ගමන් කළ හැකි පළාත් බල ව්‍යqහයක්‌ දිනා ගැනීම සඳහා ය. නමුත් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිනිය පවා යුද්ධ කරමින් නව ව්‍යවස්‌ථාවක්‌ මගින් ප්‍රභාකරන්ට අවශ්‍ය දේ ලබාදීමට තමා එකඟ බව ප්‍රකාශ කළ ද ඡේ. ආර්. ජයවර්ධන තැබූ “අඩ” ගැලවීම්ට ධෛර්යවත් නොවීය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉතා දුර්වල ලෙස ජාතිවාදී බලවේග වලට යටත්ව ව්‍යවස්‌ථා සංශෝධන සිදුකළ ද ඡේ.ආර් ජයවර්ධන විසින් 13ට දැමූ බාධක ඉවත් කිරීමට කටයුතු නොකළේය. ඔහු 1988දී 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් මුස්‌ලිම් ජාතිවාදී පක්‌ෂ සතුටු කිරීම සඳහා අවම ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්‌වා අඩු කිරීමට ක්‍රියා කළේය. නමුත් 13ට එරෙහි බාධක ඉවත් කිරීම සඳහා කිසිදු ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමට ඉදිරිපත් නොවීය. මහින්ද රාජපක්‌ෂ මහතා එම බාධක තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා අධිකරණය යොදා ගැනීමට උත්සාහ කළා මිස අනෙක්‌ ජනාධිපතිවරුන් මෙන්ම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමට උත්සාහ කළේ නැත. ඒ අනුව දැන් වර්තමාන ජනාධිපතිවරයාට පැවරී ඇත්තේ ඡේ.ආර් පමණක්‌ නොව අන් කිසිදු ජනාධිපතිවරයෙක්‌ නොකළ දේ කිරීමටය.

Capture
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2002 – 2004 සමයේදී “ඔස්‌ලෝ ගිවිසුම” යටතේ අංගසම්පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමට බෙදුම්වාදී බලවේග සමග එකඟ වුවද තම මාමාට එරෙහිව යැමට ඔහු කටයුතු නොකළේ ය. එහෙත් ඔහු ඒ වෙනුවට වෙනම රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ හැකි තාවකාලික ආණ්‌ඩුවක්‌ පවතින ව්‍යවස්‌ථාවට පරිබාහිරව පිහිටුවීමට උත්සාහ කළේ නමුත් ජාතික බලවේග විසින් එය පරාජය කරනු ලැබේ. අද ආපසු හැරී බලන විට එම ක්‍රමවේදය ව්‍යවස්‌ථාවට අනුව සිදුකරන බලය බෙදීමකට වඩා ඉතා සාර්ථක බව සුඩානය බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළින් පැහැදිලි වේ. කෙසේ වෙතත් අද යුද්ධයක්‌ නොමැති තත්ත්වයක්‌ යටතේ ප්‍රභාකරන්ගේ ආයුධ වලට වඩා බලවත් ජාත්‍යන්තර රාජ්‍ය තාතන්ත්‍රික ක්‍රියාවලියක්‌ හරහා එදා බැරි වූ දේ අද වෙනස්‌ ආකාරයකට කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්‌ව ඔහු අද කිරීමට උත්සාහ කරන්නේ ඉහත සදහන් කළ ආකාරයට ඡේ.ආර් පවා නොකළ දේ ය. එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමටය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමේදී බෙදුම්වාදීන්ට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට ඔහු ඉතා ප්‍රබල උත්සාහයක යෙදී සිටි. ඔහු විසින් පත්කළ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අතුරු වාර්තාව මගින් ප්‍රධාන වශයෙන් නිර්දේශ කරන්නේ ඉහත සඳහන් කළ බාධක ඉවත් කළ යුතු බවය. නමුත් දැන් ඔහු මුහුණ දී සිටින දේශපාලන අර්බුදය තුළ ඉදිරි පෙළ සිට එය කිරීමට උත්සාහ කළහොත් සියල්ල පරාජයෙන් අවසන් වන බව ඔහුට ඉව වැටී ඇත. ඒ අනුව “අඩ ගැලවීමේ” ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ ඉදිරිපෙළ භූමිකාව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට භාරදී ඇත. නමුත් එම ක්‍රියාවේ සැබෑ අරමුණ සැඟවීම සඳහා සහ ඊට මහින්ද රාජපක්‌ෂ මහතා පටලවා ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති ලේබලය ඊට අලවා ඇත.

ආරම්භයේදී සඳහන් කළ ආකාරයට දැන් එම සංශෝධනයට විරුද්ධ පිරිස්‌ තම තර්ක ගොඩනඟන්නේ එම ලේබලය දෙස බලමිනි. එය බරපතළ සහ මාරාන්තික වරදවා ගැනීමකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක්‌ අවශ්‍ය වේ. එය මහින්ද රාජපක්‌ෂ මහතාගේ පැත්තෙන් ගත්විට “ගෙදර ගියොත් අඹු නසී – මග සිටියොත් තෝ නසී” පන්නයේ තේරීමකි. ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් ඔහුට ජවිපෙට සහ යූඑන්පියට පිටුපසින් සිට ඊට සහාය දීමට සිදු වේ. එවැනි තත්ත්වයක්‌ මගින් ඔහුගේ දේශපාලන පෞරුෂයට බරපතළ හානි පැමිණ වේ. ජනමත විචාරණය නොපැවැත්වුවහොත් නැවත වටයකින් “රතු – කොළ” පොදු අපේක්‌ෂකයාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය මගින් ජනතාව ඇන්දවීමට නැවත වටයකින් අවස්‌ථාව නිර්මාණය වේ. අවසානයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුවට කුමක්‌ වුවත් 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්‌ථාවේදී අයුතු ලෙස එකතු කරන සංශෝධන කිහිපයක්‌ මගින් බෙදුම්වාදීන්ට උවමනා දේ ලබාදීමට “රතු – කොළ” සන්ධානයට හැකිවනු ඇත. ඒ මගින් දෙපාර්ශවයම සුළු ජාතික ඡන්ද වැඩි කොටසක්‌ තමා වෙත කඩා ගැනීම්ට තරගකාරී ලෙස උත්සාහ කරනු ඇත.

එම තරගය නිසා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්‌ථාවේදී බෙදුම්වාදී සංශෝධන ඇතුළු කිරීමේ කූට ක්‍රියාවලියට වැඩි ඉඩක්‌ ලැබේ. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ එසේ කූට ලෙස යෝජනා කළ හැකි සංශෝධන හෙවත් ඡේ. ආර්. තැබූ “අඩ” ඉවත් කරන්නේ කෙසේදැයි හඳුනා ගැනීමය. බෙදුම්වාදීන් විසින් ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව දිගින් දිගටම ඉදිරිපත් කළ ඉල්ලීම් සහ වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන මණ්‌ඩලයට ඉදිරිපත් වූ යෝජනා ගැඹුරින් අධ්‍යයනය කරන්නේනම් ඒවා මොනවාදැයි හඳුනා ගැනීම අමාරු නැත. ඉන් පළමුවැන්න සමගාමී ලැයිස්‌තුවේ අඩංගු විෂයන් පළාත් ලැයිස්‌තුවට සහ මධ්‍යම ආණ්‌ඩුවේ ලැයිස්‌තුවට ඇතුළත් කොට එම ලැයිස්‌තුව ඉවත් කිරීමය. එමගින් මධ්‍යම රජය සහ පළාත් අතර බලතල එකිනෙකාට අත දැමිය නොහැකි ආකාරයට නිශ්චිතව බෙදා වෙන් කෙරේ. දෙවැන්න මධ්‍යම රජය සතු ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය දියාරූ කොට පළාත් විෂයන්ට අදාළව ප්‍රතිපත්ති හැදීමේ බලය පළාත් වලට ලබාදීමය. එවිට පළාත් විෂයන්ට අත දැමීමට මධ්‍යම රජයට තිබූ දෙවැනි අවස්‌ථාව ද අහිමි වේ.

ඒ ආකාරයට 13 සම්පූර්ණයෙන්ම බලාත්මක වීමට එරෙහිව ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් තැබූ තුන්වන ‘අඩය’ වූයේ පළාත් ප්‍රඥප්තියක්‌ සම්මත කළ පසු එය ආපසු හරවා යෑවීමේ බලය ආණ්‌ඩුකාරවරයාට ලබාදීමය. මධ්‍යම රජය විසින් යම් පනත් කෙටුම්පතක්‌ සම්මත කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යැමට මහජනයාට අවකාශය ඇත. නමුත් පළාත් ප්‍රඥප්තියක්‌ ව්‍යවස්‌ථා විරෝධී නම් ඊට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට මහජනයාට බලයක්‌ නැත. ඒ නිසා ආණ්‌ඩුකාරවරයාට එවැනි බලයක්‌ ලබා දීම සාධාරණීකරණය කළ හැකි විය. විග්නේෂ්වරන් මහඇමැතිවරයා විසින් ඩයස්‌පෝරා කළු සල්ලි නීත්‍යානුකූලව ඔහු වෙත ගෙන්වාගැනීම සඳහා මහ ඇමැති අරමුදල් ප්‍රඥප්තිය සම්මත කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේදී ජී.ඒ. චන්ද්‍රසිරි ආණ්‌ඩුකාරවරයා විසින් එය ව්‍යර්ථ කළේ එම බලය භාවිත කරමිනි. එම බලය ආණ්‌ඩුකාරවරයා විසින් භාවිත කිරීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය වන්නේ ආණ්‌ඩුකාරවරයා පත්කිරීම සඳහා මහ ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට ප්‍රතිපාදනයක්‌ ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීම පමණි. එවිට පොලිස්‌, ඉඩම්, මූල්‍ය ආදී බරපතල ප්‍රඥප්ති එකක්‌ පිටුපස එකක්‌ ලෙස සම්මත කිරීමට කිසිදු බාධාවක්‌ නැත.

දැන් 13 ට එරෙහිව පවතින හතරවැනි බාධකය වන්නේ ඉඩම් පරිහරණ බලය සම්පූර්ණයෙන් පළාත් සභාව අතට ගැනීමට නොහැකි වීමය. ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වීම ඔවුනට ගැටලුවක්‌ නොවේ. ඉඩම් පරිහරණ බලය පළාත්වලට පැවරීම සඳහා අවශ්‍ය වන්නේ වචන හරඹයක්‌ මගින් කරන සුළු සංශෝධනයක්‌ පමණි. එසේම බෙදුම්වාදීන්ට ඉවත් කර කරගැනීමට අවශ්‍ය පස්‌වැනි බාධකය වන්නේ පළාත් වලට ස්‌වාධීන මූල්‍ය බලතල නොතිබීමේ ගැටලුවයි. පළාත් විසින් බදු පැනවීමේ බලය ව්‍යවස්‌ථාව මගින් ලබා දුන් විට පළාත් භාණ්‌ඩාගාරයක්‌ පවත්වාගෙන යැමේ බලය ඒ සමගම ලැබේ. ඒ ආකාරයට ඡේ. ආර්. ජයවර්ධන මහතා තැබූ අඩ සියල්ල ගලවා දැමූවිට පළාත් සභ මධ්‍යම ආණ්‌ඩුව අතර බලතල නිශ්චිතව බෙදී වෙන්වේ. එනම් පරමාධිපත්‍ය බලය බෙදී වෙන් වී පවතින බව තහවුරු වේ. ඒ මඟින් ජාත්‍යන්තර අධිකරණය මගින් වෙන්ව යැමේ අයිතිය තහවුරු කර ගැනීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය වේ. මෙම සංශෝධන තුළ පොලිස්‌ බලතල පිළිබඳව වචනයක්‌ හෝ සඳහන් වීම අවශ්‍ය නොවේ. ඊට අදාළ ප්‍රතිපාදන 13 වැනි සංශෝධනය තුළ අඩංගුව ඇත. අවශ්‍ය වන්නේ ප්‍රඥප්තිය ගෙන ඒම පමණි. එම සංශෝධන ප්‍රමාණය සිදු කළ පසුව විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබුණද එම බලතල භාවිත කිරීමට අවස්‌ථාවක්‌ නොලැබේ. එයට හේතුව වන්නේ වර්ධරාජා පෙරුමාල් කළ වරද බෙදුම්වාදීන් විසින් නැවත සිදු නොකිරීම ය. එනම් ඒක පාර්ශවීය ඊළම ප්‍රකාශයට පත් කිරීමට ඔවුන් කටයුතු නොකරනු ඇත. ඒ වෙනුවට ජාත්‍යන්තර අධිකරණයේ මූලධර්ම වලට අනුව පළාත්වලට ලබා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීම සඳහා තත්ත්වයක්‌ නිර්මාණය කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉඩම් හෝ පොලිස්‌ ප්‍රඥප්ති සම්මත කොට එම බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන තත්ත්වයක්‌ නිර්මාණය කොට මධ්‍යම ආණ්‌ඩුව ගැටුමට තල්ලු කිරීම ය. එම ගැටුම තුළ කොසෝවෝ බෙදා වෙන් කිරීමේදී සිදු කළ ආකාරයට මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ බිල්ලට ගත් විට ජාත්‍යන්තර මැදිහත්වීමට පාර කැපේ. නිරායුධ සිවිල් ජනතාව හා ආරක්‌ෂක හමුදා අතර ගැටුමක්‌ නිර්මාණය කිරීමෙන් එම තත්ත්වය ඇති කළ හැක.

එම කොන්දේසි සපුරා ගැනීම සඳහා ව්‍යවස්‌ථාවේ ඒකීය වගන්තිය හෝ බුද්ධාගමට හිමි තැන වෙනස්‌ කිරීමට අවශ්‍ය නැත. බුද්ධාගමට හිමි තැන ප්‍රායෝගිකව අහිමි වන්නේ රට බෙදා වෙන් කොට අහිංසක සිවිල් ජනතාව මරා ගැනීමට සැලැස්‌වූ පසුවය. බෙදුම්වාදීන් එම කරුණු දෙක මතු කරන්නේ සිංහලයා ගොනාට ඇන්දවීමට සහ ඔවුන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීම සඳහාය. එසේම විධායක ජනාධිපති බලය අහෝසි කිරීමට එරෙහිව පවතින විරෝධය මෙන්ම 13 වැනි සංශෝධනය තිබෙන තුරු විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ නොකළ යුතුය යන මතය ද බෙදුම්වාදීන් විසින් තම වාසියට යොදා ගනු ඇත.

දැන් 20 වැනි සංශෝධනයට එරෙහිව පවතින සංවාදය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් බෙදුම්වාදීන් විසින් ඉටුකර ගැනීමට නියමිත සැබෑ අරමුණ යටපත් වේ. ඉහත සඳහන් කළ සංශෝධන 5 හෙවත් ඡේ.ආර් ජයවර්ධන මහතා විසින් 13 ට එරෙහිව තැබූ අඩ 5 ඉවත් කළ පසුව විධායක ජනාධිපති ක්‍රමයට කුමක්‌ සිදු වුවද බෙදුම්වාදීන්ට ගැටලුවක්‌ නැත. ඔවුන් විසින් විධායක ජනාධිපතිවරුන් පත්කිරීම සඳහා සුළු ජාතික ඡන්ද විකුණා බෙදුම්වාදයට හිතකර බොහෝ දේ ලබාගත් බව රහසක්‌ නොවේ. නමුත් දැන් ඉතිරි දුර යැම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය අවශ්‍ය නිසා එය ඉටු වූවා හෝ නො වූවා හෝ එම සටන්පාඨය අතට ගැනීමට බෙදුම්වාදී බලවේග පසුබට නොවේ.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය දැන් ඉතා වැදගත් වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණට එය කැත නැතිව ඔසවාගෙන යා හැකි බැවිනි. එම සටන් පාඨයට මුවා වී බෙදුම්වාදී සංශෝධනවලට පාර කැපීම මගින් ඔවුනට විශේෂ වාසි කිහිපයක්‌ ලැබේ. පළමුවැන්න ඔවුන්ගේ සුළු ජාතික ඡන්ද පදනම වැඩි කර ගැනීමය. දෙවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් එම ක්‍රියාවලියේදී පෙරමුණ ගෙන දේශපාලන වශයෙන් පිම්මක්‌ පැනීම ය. තුන්වැන්න ජනමත විචාරණය නොපැවැත්වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය ඉදිරි ජනාධිපතිවරණය දක්‌වා කර තබා ගෙන ගොස්‌ එහිදී දෙවැනි වටයටත් ඉදිරිපත් කෙරෙන ඊනියා පොදු අපේක්‌ෂකයා තේරීමේ සදාචාර බලය අත්පත් කර ගැනීම ය.

රනිල් වික්‍රමසිංහ මහතාට කළ නොහැකි දේ ඉටු කර දීමේ හිලව්වට ලැබෙන තුටු පඬුරු යොදා ගනිමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී සැලකිය යුතු ආසන ප්‍රමාණයක්‌ දිනා ගැනීමට ඔවුන් විසින් සිහින දැකීම පුදුමයට කාරණාවක්‌ නොවේ. කෙසේ වෙතත් ඒ සියල්ල තම සාමාජිකයා ඉදිරියේ සාධාරණීකරණය කිරීම සඳහා ඉන්දියාව විසින් දෙනු ලබන ව්‍යාජ සහතිකය ඔවුනට ඉතා වැදගත් වේ. ඒ බලය බෙදීම මගින් රට බෙදෙන්නේ නැති බව සහ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට ඉන්දියාව ඉඩ නොදෙන බවට ව්‍යාජ ආරක්‌ෂාකාරී මනසක්‌ සකස්‌ කිරීම් සඳහාය. එම ව්‍යාජ තර්කය ඔවුන් විසින් සාධාරණීකරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම මගින් ඉන්දියාව තුළ බෙදුම්වාදී තර්ජනයක්‌ මතු වන බවට පවතින ව්‍යාජ අනතුරු ඇඟවීම භාවිත කරමිනි.

එහෙත් සැබැවින්ම සිදු වන්නේ බෙදී වෙන් වන ඊළාම් රාජ්‍යය ආරක්‌ෂක සහ ආර්ථික ගිවිසුම් මගින් අර්ධ කොළනියක්‌ ලෙස තමිල්නාඩුවට ඈඳා ගැනීමය. එපමණක්‌ නොව ත්‍රිකුණාමල වරායේ සිට ඉන්දියාවට භාණ්‌ඩ ප්‍රවාහනය කිරීම සඳහා දැනටමත් සැලසුම් කොට ඇති දුම්රිය මාර්ගය ආරක්‌ෂා කිරීමේ නාමයෙන් ඉන්දියන් හමුදාව ඊළාම් රාජ්‍යය තුළ පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ ඉතිරි කොටසේද ස්‌ථානගත කිරීමට අවස්‌ථාව නිර්මාණය වේ. ඊට හේතුව එම දුම්රිය මාර්ගයෙන් කොටසක්‌ පවතින්නේ ඊළාම් රාජ්‍යයෙන් පිටත මැදවච්චියේ වීමය. ඒ නිසා ව්‍යවස්‌ථා සංශෝධනයේ සිට උතුර නැගෙනහිර පළාත්සභාව ඊළාම් රාජ්‍යය දක්‌වා “පරිණාමය” වීම සිදු වන කාලය තුළ එම දුම්රිය මාර්ගය පමණක්‌ නොව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරන හනුමාන් පාලම ඉදිකිරීමටද ඉන්දියාව විසින් නිර්ලෝභීව ආධාර කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කළේ එතුමා 2003 දී අගමැති පුටුව හොබවන විටය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්‌ඩාර

117 Viewers