• Home »
  • Sinhala »
  • ලංකාවේ යුද අපරාධකාරයන් අත්අඩංගුවට ගත යුතුමයි – මානව හිමිකම් කොමසාරිස්‌ ඉල්ලයි

ලංකාවේ යුද අපරාධකාරයන් අත්අඩංගුවට ගත යුතුමයි – මානව හිමිකම් කොමසාරිස්‌ ඉල්ලයි

(Courtesy of Sunday Diwaina )
arakshawa * ජිනීවා යෝජනාවේ භයානක ප්‍රතිඵල මෙන්න!
* අසව්! අසව්!ජිනීවා යෝජනාවට එකඟවූයේ නැහැ - රජය
* 2017 සැප්තැම්බර් මස රජය ජිනීවා යෝජනාවට එකඟවුණා, මුදල් ප්‍රදානයක්‌ද කළා
- මානව හිමිකම් කවුන්සිලය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේ මාරවේශයෙන් උද්ඝෝෂණයක්‌ පැවැත්වූයේ දෙමළ උද්ඝෝෂකයන් නොව මිනීමරු කොටි සංවිධානයේ අනුගාමිකයන්ය. මේ ත්‍රස්‌තවාදී ආධාරකරුවන්ට ප්‍රතිචාර දැක්‌වීම තුළින් මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව සාවද්‍ය චෝදනා එල්ල විය. ඔහු සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ආධාරකරුවන් දියත් කර ඇති දීන මෙහෙයුම් අවසන් වී නැත. ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස්‌ දින උත්සවය පැවැති දවසේ සිදුවූ මේ සිද්ධියේ සැඟවුණු තොරතුරු දැන් හෙළිවෙමින් පවතී.

1

ඒ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌වරිය ලෙස කටයුතු කළ අමාරි විඡේවර්ධන විසින් බ්‍රිගේඩියර්වරයා වෙත ලිපියක්‌ යවමින් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම්දීමයි.

දේශපාලනඥයකුගේ ඥතියකු වූ මහකොමසාරිස්‌ අමාරි විඡේවර්ධන විසින් බ්‍රිගේඩියර්ට යෑවූ ලිපියේ මෙලෙස සඳහන් විය.

“ඔබගේ ක්‍රියාකලාපය තුළින් උද්ඝෝෂකයන් කුපිත වී මහකොමසාරිස්‌ කාර්යාලය වෙත ආක්‍රමණකාරී ලෙස සමීපවී කෝපය පෙන්නුම් කර ඇති බව මට වාර්තා විය. එසේම මහ කොමසාරිස්‌වරිය තවදුරටත් මෙරට විදේශ අමාත්‍යාංශ ලේකම් වෙත දැනුම්දී ඇත්තේ තමාගේ මෙම කරුණු දැක්‌වීම ටැමිල්ගාඩියන් වාර්තාවේ සහ වීඩියෝ පටයට ඇතුළත් කිරීමට අදහස්‌ කරන බවයි.

මෙහිදී ඇය උද්ඝෝෂකයන් ලෙස හඳුන්වා ඇත්තේ ප්‍රභාකරන් නමැති මිනීමරුවා අපේ නායකයා යෑයි හඬ නැගූ කොටි ත්‍රස්‌ත අනුගාමිකයන්ට නොවේද? එසේම මහ කොමසාරිස්‌වරිය තවදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති සහ අගමැතිගේ යහපාලන දෘෂ්ටිය මත තමා ශ්‍රී ලංකා ඩයස්‌පෝරා සමාජය සමඟ සබඳතා පවත්වා ගැනීමට සෑම උත්සාහයක්‌ම දැරූ බවයි. එසේම ටැමිල්ගාඩියන් යනු කොටි පුවත්පතයි.

එහෙත් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේ කොටි ධජ වනමින් හැසිරුණේ ශ්‍රී ලංකා ඩයස්‌පෝරාව නොව වසර ගණනාවක්‌ තිස්‌සේ කොටින්ට ත්‍රස්‌ත ක්‍රියා මෙහෙයවීමට සහාය වූ කොටි අපරාධකාර සංවිධානයේ හිතවතුන් නොවේද?

මේ පසුබිම මැද ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් නමැත්තා පසුගිය පෙබරවාරි 23 දා ස්‌වදේශ ලේකම් ආම්බර් රබ් සහ විදේශ ලේකම් බොරිස්‌ ජොන්ස්‌ටන් වෙත හදිසියි යන මැයෙන් සංදේශයක්‌ යවමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ බිරිය සහ දරුවන් තවදුරටත් බ්‍රිතාන්‍යයේ රැඳීසිටින බවත් ඔවුන්ට ලබාදී ඇති තානාපති වීසා බලපත්‍ර වහාම අවලංගු කර ඔවුන්ව ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලීමක්‌ කළේය. ඊට පෙර පෙබරවාරි 18 දා සුරේන් සුරේන්ද්‍රන් විසින් බ්‍රිතාන්‍ය විදේශ පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත ලිපියක්‌ යවමින් බ්‍රිගේඩියර්වරයාව නීතිමය බලයක්‌ නොමැති පුද්ගලයකු ලෙස නම් කරන ලෙසද ඉල්ලා තිබුණි.

2

මේ ලිපියට ප්‍රතිචාර දක්‌වන විදේශ ලේකම් කාර්යාලය මෙසේ සඳහන් කර ඇත.

“බ්‍රිගේඩියර්වරයා පිළිබඳ සිද්ධිය බරපතළ බව බ්‍රිතාන්‍ය රජය පිළිගනී. මේ නිසා පෙබරවාරි 4 දා සිද්ධිය ගැන විදේශ ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මාරපන වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මේ නිසා එම සිද්ධිය ඉතාමත් බරපතළ බව සිතා ශ්‍රී ලංකා රජය ක්‍රියාකරනු ඇතැයි අපට සැකයක්‌ නැත. ශ්‍රී ලංකා රජය ආරක්‍ෂක උපදේශකට කොළඹට පැමිණෙන ලෙස නියෝග කර ඇති අතර ඒ ගැන පරීක්‍ෂණයක්‌ පැවැත්වේ.

බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග දැක්‌වූයේ කොටි ඩයස්‌පෝරාවේ දැඩි බලපෑම් මත බ්‍රිතාන්‍ය රජය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නීතිමය බලයක්‌ නැති පුද්ගලයකු බවට ප්‍රකාශ කිරීමට පෙර රජය ඔහුව මෙරටට කැඳවූ බවයි.
3
මෙලෙස බ්‍රිතාන්‍ය රජය බ්‍රිගේඩියර්වරයා නීතිමය බලයක්‌ නැති අයකු බවට නම්කළා නම් ශ්‍රී ලංකා රජය කළ යුත්තේ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකද නීතිමය බලයක්‌ නොමැති අයකු ලෙසට ප්‍රකාශ කිරීමයි. එහෙත් යහපාලන රජය එවැනි දැඩි පියවරක්‌ ගනු ඇතැයි කිවහැකිද? මෙයට පෙර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණ කොටි ත්‍රස්‌තයන් බේරාගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඔහු පන්නා ගත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂය.

මේ අතර බ්‍රිගේඩියර්වරයාට එරෙහිව කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌ව ක්‍රියාකරන ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම 2015 දී ඉවත් කළේද මෙම යහපාලන රජයයි. එමානුවෙල් පියනම විසින් මෙහෙයවන මෙම ගෝලීය ද්‍රවිඩ සංසදය පසුගිය රජය විසින් තහනම් කර තිබුණි.

එමානුවෙල් පියනම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අවුත් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකරන බවට සාවද්‍ය චෝදනා නගන අයුරු අපි දුටුවෙමු. ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කිරීමෙන් පසු හිටපු විදේශ ඇමැති මංගල සමරවීර සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ලන්ඩන් නුවරදී ඔවුන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක්‌විය.

ඉන්පසු හිටපු විදේශ ඇමැතිවරයා ඩයස්‌පෝරා සැණකෙළියක්‌ පැවැත්වීමටද සැලසුම් කළේය. මේ පසුබිම මැද එමානුවෙල් පියනම ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට ගොස්‌ බෙදුම්වාදී පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ බවද අනාවරණයවිය. එසේම ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන රජයේ රූපවාහිනිය සුරේන් සුරේන්ද්‍රන් සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ද පවත්වනු ලැබීය. අද සතුරන් යළි ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වී තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද පසුගිය සඳුදා ජිනීවා නුවරදී ආරම්භ වූ 37 වැනි මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ගැන යළි ප්‍රශ්න කිරීමට බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් විය.

එහෙත් යේමනයේ සහ ඉරාකයේ සිවිල් ජනතාව මරුමුවට පත්වූයේ බ්‍රිතාන්‍ය අවි වලින් බව මෑතකදී හෙළිවූවත් ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හෝ විදේශ අමාත්‍යාංශය ඒ ගැන බ්‍රිතාන්‍ය රජයෙන් විමසා නැත. එසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෑතකදී හෙළිකළේ ඉරාක ආක්‍රමණයේදී බ්‍රිතාන්‍ය හමුදාව යුද අපරාධ කළ බවට සාධාරණ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි.

ඉරාක ආක්‍රමණයෙන් පසු අත්අඩංගුවට ගත් සිරකරුවන් ඝාතනය කර ඇති බව අනාවරණය වුණා යෑයි ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධාන නඩු අධ්‍යක්‍ෂ පැටු බෙන්සුඩා හෙළිකළාය.

පිටු 74 ක විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කරමින් ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂකවරිය බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරද්දී බ්‍රිතාන්‍ය මන්ත්‍රී ජොනි මර්සර් පැවසුවේ ජාත්‍යන්තර අධිකරණය පැමිණිලි මත නිසිලෙස කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

මේ හැර බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ රජයද එම යුද අපරාධ චෝදනා ගැන ප්‍රතිචාර දක්‌වමින් එම චෝදනා ගැන බ්‍රිතාන්‍යය විමර්ශන සිදුකරන බවත් ඊට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය නැති බවයි. එසේම මානව හිමිකම් පිළිබඳ යුරෝපා මධ්‍යස්‌ථානයද පැවසුවේ බ්‍රිතාන්‍ය හමුදා විශාල ලෙස යුද අපරාධ සිදුකර ඇති බවත් අත්අඩංගුවේ සිටි ඉරාක රැඳවියන් 1071 කට වධහිංසා පමුණුවා ඇති බවත්ය.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ බ්‍රිතාන්‍යයයි.

එසේවූවත් බ්‍රිතාන්‍යය හමුදාව යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තර අධිකරණය චෝදනා නගද්දී නුඹලාගේ රජය අපේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි බ්‍රිතාන්‍යයෙන් විමසීමට වත්මන් ශ්‍රී ලංකා රජය ක්‍රියාකර නැත.

ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය රජය පවසන්නේ යුද අපරාධ චෝදනා පිළිගෙන ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබාදුන්නේ ලංකාවේ හිටපු විදේශ ඇමැතිවරයා බවයි. එම ප්‍රකාශය තවදුරටත් තහවුරු කරන්නේ බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ නේස්‌බි සාමිවරයායි. නේස්‌බි සාමිවරයා පසුගියදා සාමි මණ්‌ඩලයේ ආට්‌ල් ශාලාවේදී මා සමඟ පැවැති සාකච්ඡාවේදී පැවසුවේ “මම සත්‍ය හෙළි කළා. ඒ සත්‍ය ඉදිරියට ගෙනයාම ශ්‍රී ලංකා රජයේ වගකීම” බවයි.

එහෙත් නේස්‌බි සාමිවරයා හෙළිකළ යුද රහස්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට යහපාලන රජය මෙතෙක්‌ ක්‍රියාකර නැත.

ඒ වෙනුවට රජය කේවට්‌ටයන් ලවා ජිනීවා යුද අපරාධ චෝදනා බොරුවක්‌ බවත් මානව හිමිකම් ප්‍රශ්නය නතර වී ඇති බවටත් ජනතාව හමුවේ සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය.
4එසේවූවත් පෙබරවාරි 25 දා බළලා මල්ලෙන් පැන්නා යන කියමන සනාථ විය. ඒ 37 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පැය 24 කට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ පිටු 10 ක නිරීක්‍ෂණ වාර්තාව පිටවීමයි. මේ වාර්තාව මානව හිමිකම් කොමාසාරිස්‌ විසින් මාර්තු 21 දා මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කිරීමට නියමිත වූවක්‌ එය කල්තියා කොටි ඩයස්‌පෝරාවට ලැබී තිබුණි. මේ විමර්ශන වාර්තාවෙන් සෙයිද් රාද් හුසෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව පිළිබඳව මන්දගාමීව ක්‍රියාකරන නිසා මානව හිමිකම් කවුන්සිලයේ සියලු සාමාජික රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව විශ්ව සම්මුතිය නමැති අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මානව හිමිකම් කොමාරිස්‌ගේ මේ ඉල්ලීම අතිශයින් භයානක ඉල්ලීමකි. එම විශ්ව සම්මුතිය යටතේ යුද අපරාධ චෝදනා ලත් හමුදා නිලධාරීන් එම සම්මුතියට අත්සන් කර ඇති රටවලට පැමිණියහොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට බලය ලැබේ.

බ්‍රිතාන්‍යයද විශ්ව සම්මුතියට අත්සන් කළ රටකි. ඒ නිසා බ්‍රිතාන්‍යයේ සිටි නේපාල මාඕවාදීන් ඉදිරිපත් කළ පැමිණිල්ලක්‌ මත ලන්ඩන් නුවරට පැමිණි නේපාල හමුදාවේ කර්නල් කුමාර් ලාමා අත්අඩංගුවට ගනු ලැබීය. නේපාල රජයේ දැඩි විරෝධය නිසාම මහ බ්‍රිතාන්‍ය අධිකරණය කර්නල්ට ඇප ලබාදුන්නත් ඔහුව එරටින් පිටවීම තහනම් කර තිබුණි. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ බ්‍රිතාන්‍ය ගෝලීය සංසදය නමැති කොටි හිතවාදී සංවිධාන අද උත්සාහ කරන්නේ එවන් තත්ත්වයක්‌ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ටද සිදුකිරීමටය. මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කළ මේ ප්‍රකාශය කොටි හිතවාදීන් විසින් හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට එරෙහි ජාත්‍යන්තරය ක්‍රියාත්මක කළයුතු දැඩි පියවරක්‌ ලෙසයි. එහෙත් යහපාලන රජයේ කේවට්‌ටයන්ට මේ බිහිසුණු තත්ත්වය අවබෝධ වී නොමැත. ඔවුහු ඉදිරියටත් බහුතර ජනතාව රවටමින් රජයට වීණා වයද්දී ද්‍රවිඩ සන්ධානය මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව පිළිගෙන ඇත. එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගිනි ඇවිළවීම සඳහා තමිල් අරසු කච්චි පක්‍ෂයේ හයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා යාමට තීන්දු කර ඇත. ඊට යාපනයේ කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ මස්‌සිනාවූ කිලිනොච්චි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ද අයත්වන බව හෙළිවී ඇත.

5
මේ අතර ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය කොටි මිනීමරුවන්ගේ සාවද්‍ය ප්‍රචාරවලට ලක්‌වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජන කළ බවට දන්වමින් මෙරට කොටි හිතවාදීන්ද මෙහෙයුමක්‌ දියත් කර ඇත. එසේම බ්‍රිගේඩියර්වරයා නොකළ යුතු දෙයක්‌ සිදුකළ බවට හිටපු ජනාධිපතිගේ සිට වත්මන් ජනාධිපති වෙත සමීප වූ උපදේශකයෙක්‌ද සඳහන් කර ඇත.

මේ පසුබිම මත බ්‍රිගේඩියර්වරයාට එරෙහි උද්ඝෝෂණය මෙහෙය වූ රාජන් සොක්‌කලිංගම් තවත් ප්‍රචාරයක්‌ දියත් කරමින් ශ්‍රීලන්කන් ගුවන් යානාවල ගමන් කිරීමට පෙර ද්‍රවිඩයන් සිතා බැලිය යුතු බව පවසා තිබේ. ඊට හේතුව වූයේ බ්‍රිගේඩියර්වරයා ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් පැමිණෙන අවස්‌ථාවේ යානාවේ කාර්ය මණ්‌ඩලය සමඟ සෙල්පි ඡායාරූපයකට පෙනී සිටීමයි. මෙවන් පසුබිමක්‌ මැද කොටි ඩයස්‌පෝරාවේ අරමුදල් මත යෑපෙන එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ප්‍රකාශයක්‌ කරමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලන්ඩන් නුවරට කැඳවීමට පෙර බ්‍රිතාන්‍ය රජය ඔහුගේ යටගියාව විමර්ශනය කළයුතු බව කියා සිටියාය.

ඇගේ එම ප්‍රකාශයට සමගාමීව මෙරට සිටි කොටි හිතවාදියකුවූ රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තාද බ්‍රිගේඩියර්වරයාට චෝදනා කළේය. එහෙත් ප්‍රභාකරන්ගේ කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ හෙළා නුදුටු මොහු බොරු මරණ තර්ජන පෙන්නුම් කරමින් ජර්මනියට පැනගිය තක්‌කඩියෙකි. ඔහු බර්ලින් නුවර සිට ඡේ.ඩී.ස්‌ නමින් දෙදෙනකුට පමණක්‌ සීමාවූ සංවිධානයක්‌ මෙහෙයවයි.

මේ අතර කොටි සංවිධානයට සබ්මැරීන් සහ වෙනත් බෝට්‌ටු නිපදවීමේ යෙදුනු ප්‍රධාන ත්‍රස්‌තවාදියකුවූ ධර්මලිංගම් සත්‍යරූපන් නමැති කොටියා ඔස්‌ටේ්‍රලියා රජය මෙරටට පිටුවහල් කරනු ලැබීය. ඔහු ඔස්‌ටේ්‍රලියාවෙන් පිටුවහල් කිරීමට පෙර එරට මාධ්‍යවලට පැවසුවේ ශ්‍රී ලංකා රජය තමාට වධහිංසා පමුණුවන බවයි. එහෙත් පසුගිය 23 දා උදේ ඔහු කටුනායකට පැමිණියේය. එහිදී ඔහුව පිළිගනු ලැබුවේ ද්‍රවිඩ අනාථ කවුන්සලයේ කේ එස්‌ සත්‍යවේල්ය. කටුනායකට පැමිණි සත්‍යරූබන්ව රහස්‌ පොලිසිය හෝ ත්‍රස්‌ත මර්දන ඒකකය මාංචු දමා ඇදගෙන ගියේ නැත. පැය හතරක්‌ තිස්‌සේ සිදුකළ අපූරු විමර්ශනයකින් පසු මේ කොටි ත්‍රස්‌තයාට පවුලේ අය සමඟ උතුරට යැමට ඉඩ ලැබුණි. 2012 දී ශ්‍රී ලංකාවේ සිට ඔස්‌ටේ්‍රලියාවට පැනගිය සත්‍යරූබන් මෙලෙස කිසිදු චෝදනාවක්‌ නොලැබ ගෙදර යද්දී චෝදනා රැසක්‌ මත හිටපු ආරක්‍ෂක හමුදා නිලධාරීන් රිමාන්ඩ් භාරයේ පසුවේ.

ඒ සංහිඳියා ක්‍රියාදාමයේ සත්‍ය තත්ත්වයයි.

මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව දැඩි සටනක්‌ මෙහෙයවන ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වනු ඇතැයි විවිධ පාර්ශව අදහස්‌ කළහ.
6

එහෙත් පසුගිය පෙබරවාරි 19 දා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මූලස්‌ථානය සමාගම් ආඥ පනත යටතේ මෙරට ස්‌ථාපිත විය. මෙය ජනාධිපති කාර්යාලයේ සිටින මාධ්‍ය පාර්ශව වලට එල්ලවූ අතුල් පහරකි. එම සංසදය ස්‌ථාපිත කිරීමෙන් ජර්මනිය, මැදපෙරදිග, ඔස්‌ටේ්‍රලියාව, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ස්‌විස්‌ටර්ලන්තය, ඊශ්‍රායලය සහ කැනඩාව යන රටවලටද නියෝජිතවරු නම් කෙරුණි. මේ බව කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මැද පෙරදිග නියෝජිත ගැමුණු කරුණාරත්න හෙළිකළේය.

මෙම අවස්‌ථාවට පැමිණි රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසූ මේ ජිනීවා යෝජනාවට අභියෝග කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියාකරන බවයි.

“මෙය නීත්‍යනුකූල යෝජනාවක්‌ නොවෙයි. ඊට අනුමැතිය දුන්නේ හිටපු විදේශ ඇමැතිවරයායි. ඔහු ඒ සඳහා ජනපති කැබිනට්‌ටුවෙන් අවසර ගත්තේ නැහැ” යෑයි වීරසේකර මහතා කියා සිටියේය.

එසේම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය එක්‌ව කටයුතු කරද්දී ශ්‍රී ලංකා රජය නිහඬව සිටීම ගැනද රියර් අද්මිරාල්වරයා චෝදනා කළේය.

මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ විදේශ අමාත්‍යාංශයට ගෙන්වා ඔහුට දැඩි ලෙස අවවාද කිරීමට රජය ක්‍රියාකළ යුතුව තිබුණා. නමුත් අද වනතුරු එවැන්නක්‌ සිදුවූයේ නැහැ. බ්‍රිතාන්‍ය අපේ අභිමානය බිඳ හෙලද්දී අපි නිවටයන් ලෙස සිටියා යෑයි ඔහු කියා සිටියේය. මේ අතර උතුරු පළාත් සභාව ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන ලෙස සඳහන් කරමින් යෝජනාවක්‌ සම්මත කර ඇත.

මේ යෝජනාවට අත්සන් තබා ඇත්තේ උතුරු පළාත් සභාපති සී. වී. කේ. සිවඥනම් නමැත්තායි.

මෙය මෙරට හමුදාව යුද අපරාධකරුවන් කිරීමට ගත් දීන උත්සාහයකි. එසේම එම සංදේශයේ අරමුණ වී ඇත්තේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් යුද අපරාධ චෝදනා එල්ල කර ඇති හමුදා නිලධාරීන් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යටතේ විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමට ඉඩ සැලසීමයි. එහෙත් උතුරු පළාත් සභාවේ විෂය පථයට අයත් නැති මෙම සංදේශය පිළිබඳව ශ්‍රී ලංකා රජය කිසිදු පියවරක්‌ ගෙන නැත.

මේ අතර හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ විසින් කෙටුම්පත් කරන ලදුව ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් අමු ද්‍රව්‍ය යොදා ඉදිරිපත් කළ ජිනීවා යෝජනාව නීත්‍යනුකූල නොවන බවට අභියෝග කිරීමට බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ජෙප්රි නයිස්‌ එකඟත්වය පළකර ඇත.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මැද පෙරදිග සහ බ්‍රිතාන්‍ය ක්‍රියාකාරීන් වූ සුනිල් චන්ද්‍රකුමාර, යසස්‌, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නුවන් බෙල්ලන්තුඩාව ඇතුළු කණ්‌ඩායමක්‌ පසුගියදා බ්‍රිතාන්‍ය අධිකරණ සංකීර්ණයේදී රාජ නීතිඥ ජෙප්රි නයිස්‌ හමුවී පැවැත්වූ සාකච්ඡාවකදී ජිනීවා යෝජනාව නීති විරෝධී බව තහවුරු විය.

මේ පසුබිම මැද සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික පිළිවෙත මුවාවෙන් නිපදවූ තුන්දෙනෙක්‌ නමැති චිත්‍රපටය පසුගියදා තිරගත විය.

මේ චිත්‍රපටය නිර්මාණය කළේ මෙරට ආරක්‍ෂක හමුදාව අවතක්‌සේරුවට ලක්‌කළ තිදෙනෙකි.

මොවුන් සංහිඳියාව ගැන චිත්‍රපට නිපදවන්නේ ජනතාවගේ බදු මුදල් වලිනි. එහෙත් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විදෙස්‌ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලා සිටියි.

මේ අතර බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාව එරට අධිකරණය ලවා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇත්තේ 1988 බ්‍රිතාන්‍ය අපරාධ නීතියේ 134(1) වගන්තිය යටතේ බව අනාවරණය විය. මේ වගන්තිය අනුව බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් රටක සිදුවන හිංසනික ක්‍රියාවන් හෝ වධහිංසා සිදුකර ඇති අයෙක්‌ අත්අඩංගුවට ගැනීමේ බලයක්‌ බ්‍රිතාන්‍ය පොලිසියට ලැබී ඇත.

මේ අතර ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාව එකඟනොවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත. එහෙත් ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවට එකඟවූයේ 2017 සැප්තැම්බර් මසයි. ඒ අවස්‌ථාවේ මම මානව හිමිකම් කවුන්සලයේ සිටියෙමි. මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ගේ වාර්තාවේද ඒ බව සඳහන් වී තිබේ. එහෙත් එකවරම ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ නොවූබව පැවසීම හාස්‍යජනක ප්‍රකාශයක්‌ නොවේද?

කීර්ති වර්නකුලසූරිය



547 Viewers