• Home »
  • Uncategorized »
  • ලෝකයට අලූත් හමුදාවක්… බුද්ධි අංශ රකින්න නව පනතක්… රණවිරු දඩයම ආපසු හරවමින් දසනායක රියර් අද්මිරාල් ධුරයට…

ලෝකයට අලූත් හමුදාවක්… බුද්ධි අංශ රකින්න නව පනතක්… රණවිරු දඩයම ආපසු හරවමින් දසනායක රියර් අද්මිරාල් ධුරයට…

army1

ලෝක යුද හමුදා ඉතිහාසය වෙනසකට භාජන කරමින් නවතම යුද හමුදාවක් මේ සතියේ ඇමරිකාව විසින් ලෝකයට හඳුන්වාදෙනු ලැබීය. අභ්‍යවකාශ යුද ක‍්‍රියාදාම සඳහා වෙන්වූ නවතම හමුදාවක් වූ, එය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ හමුදාව (ීච්ජැ ත්‍දරජැ) නමිනි. මෙය එක්සත් ජනපද ගුවන් හමුදාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. ජනාධිපති ට‍්‍රම්ප් විසින් මේ නවතම හමුදා අත්දැකීම විස්තර කරනු ලැබුවේ ”ලෝකයේ යුද ගැටුම් සඳහා වන අලූත්ම අවකාශය” ලෙසිනි. ”ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති බරපතළ තර්ජන හමුවේ, අභ්‍යවකාශය තුළ ඇමෙරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීම ඉතා තීරණාත්මකයි අපි ඉදිරියෙන් ඉන්නවා. නමුත් ඒක ප‍්‍රමාණවත් නැහැ. බොහොම කෙටි කාලයකදී අපි බොහෝ ඉදිරියෙන් හිඳීවි” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය. නව හමුදාව සඳහා මුදල් වෙන්කරමින් ඩොලර් බිලියන 738 ක් වූ වාර්ෂික එක්සත් ජනපද හමුදා අයවැයට, ජනාධිපති ට‍්‍රම්ප් පසුගිය වසරේ අගභාගයේදී අත්සන් තබනු ලැබීය. ඉන් ඩොලර් මිලියන 40 ක මුදලක්, නව අභ්‍යවකාශ හමුදාව සඳහා පළමු වසරේ ප‍්‍රතිපාදන ලෙස වෙන් කර තිබේ.

පෘථිවි කක්ෂය වටා හමුදාව ස්ථානගත කිරීමක් මෙහිදී සිදු නොවුණද, සන්නිවේදන හා නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කෙරෙන සියගණනක් වූ චන්ද්‍රිකා හී ආරක්ෂාව, මෙම නවතම හමුදාවට පැවරෙනු ඇත. ඇමරිකානු ගුවන් හමුදා ලේකම් බාබරා බැරට් සඳහන් කළ පරිදි ගුවන් හමුදා සහ සිවිල් පුද්ගලයන් 16,000 කින් නව අභ්‍යවකාශ හමුදාව සමන්විත වනු ඇත. නව අභ්‍යාවකාශ හමුදාවේ අණදෙන නිලධාරි ලෙස ගුවන් හමුදා ජෙනරල් ජේ. රේමන්ඞ් පත් කර තිබේ.

නව බුද්ධි පනතක්…

ඇමරිකාව ලෝකයට නව හමුදා අංශයක් හඳුන්වා දෙන අතරේ ශ‍්‍රී ලංකාව ද සිය බුද්ධි ජාලය ශක්තිමත් කර ගැනීම සඳහා වන යෝජනාවක් පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

ජාතික ආරක්ෂාව සුරක්‍ෂිත කිරීමේදී කැපවී කි‍්‍රයා කරන බුද්ධි අංශ නිලධාරීන් වෙත නෛතික මුක්තිය ලබා දෙමින්, නිශ්චිත බලතල සහිතව රාජකාරි කිරීම සඳහා රාජ්‍ය බුද්ධි පනත නමින් නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයාට බලය පැවරීමට කැබිනට් අනුමැතිය එහිදී හිමිව තිබේ. බුද්ධි අංශ සඳහා නව බලතල ලබා දෙන අතරේ බුද්ධි අංශ නිසි පරිදි නියාමනය කිරීම මෙහි අරමුණ වී තිබේ. යහපාලන රජය විසින් රණවිරු දඩයම සිදු කරමින්, බුද්ධි අංශ නිලධාරීන්ට දිගින් දිගටම පහර ගැසීම හේතුවෙන් පසුගිය කාල සීමාවේදී ජාතික ආරක්ෂාව පහළටම ඇද වැටුණි. අතට ලැබුණු දෙය කටේ දමා ගන්නට බැරි වන්නා සේ සියලූ තොරතුරු ලැබී තිබියදී පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීම සඳහා හමුදා අංශ අසමත් වන්නේ මෙම රණවිරු දඩයමේ ප‍්‍රතිඵලයක් ලෙසය.

එම අවස්ථාවේදී හමුදා සහ බුද්ධි නිලධාරීන්ගේ සඳහා කිසිදු නෛතික ආරක්ෂාව නොතිබීම හේතුවෙන්, සිය දේශය වෙනුවෙන් අසීමිත කැපකිරීමක් සිදු කරන ලද එම පිරිස් අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටුණේය. මේ සඳහා වන නෛතික රැකවරණයක් ලෙස නව පනතක් හඳුන්වාදීමට නව රජය සැලසුම් කරන්නට ඇත්තේ එම කාරණය ද සැලකිල්ලට ගෙන විය යුතුය.

දසනායක වෙත රියර් අද්මිරාල් ධුරය…

army2

රණවිරු දඩයමට හසුව සිරගත වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කොමාන්ඩර් ඞී. කේ. පී. දසනායක මේ සතියේදී රියර් අද්මිරාල් නිලයට උසස්වීම ලැබුවේය.

මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේ වත් හානියක් නොකර ඔවුන්ට අභය දානය ලබා දුන් කොමදෝරු දසනායක වෙත, යහපාලනය යටතේ ලැබුණු උපහාරය වූයේ ඇති පදමට නඩු සහ සිරබතය.

යුද්ධයේ අවසන් දින කිහිපය අතිශය සංකීර්ණ විය. කුඩා බෝට්ටු 700 පමණ පැමිණි සිවිල් වැසියන් 13000 ආසන්න ප‍්‍රමාණයක්,
නාවික හමුදා ආරක්ෂක වළල්ලට ඇතුළු වූහ. මේ පිරිස නිරුපද්‍රිත කිරීමේ වගකීම දැරුවේ දසනායකය. එහෙව් දසනායකට කප්පම් පතා මිනිස් ඝාතන කළා යැයි චෝදනා එල්ල කරමින් ඔහු නාවික හමුදා සේවයෙන් ඉවත් කිරීම සඳහා යහපාලන අනුහසින් බලතල අතට ගෙන ක‍්‍රියා කළ, රහස් පොලිසිය සිය උපරිම උත්සාහය යොදවනු ලැබීය.

ඞී. කේ. පී. දසනායක දැනට නාවික හමුදාවේ සිටිනා විශිෂ්ටතම නිලධාරීන් අතලොස්ස අතරින් කෙනෙකි. 1987 වසරේදී 16 වැනි බඳවා ගැනීම යටතේ, නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්වීමේ සිට අධිකාරි ලබන තෙක් ඔහු කැපී පෙනෙන නාවිකයෙක් විය. බැඡ් ටොප් හෙවත් සිය කණ්ඩායමේ පළමු වැනියා වූ දසනායකගේ සේවා කාලය වසර 30 කට අධිකය. ඔහු නාවික හමුදාවේ තමා හදාරන ලද පාඨමාලා තුළ බැඡ් ටොප් වූයේ වරක් දෙවරක් නොවේ. පසුගිය යුද සමයේ දසනායක අතින් සිදුවූ සංග‍්‍රාමික මෙහෙවර සුවිශේෂය.

නාවික හමුදාවටම තුන් දෙනයි

යුද්ධයේ අතිශය තීරණාත්මක වූ සඵල නාවික මෙහෙයුම වූයේ කුඩා යාත‍්‍රා මෙහෙයුම්ය. මේ කුඩා යාත‍්‍රා මෙහෙයුම් හඳුන්වාදීම සඳහා මේ වනවිට අයිතිකරුවන් දහස් ගණනකි. එහෙත් මේ සංකල්පය නාවික හමුදාවට හඳුන්වා දුන්නේ දසනායකය. අවසන් මහා සටනේ දී මුලතිවු මුහුදේ නාවුක වළල්ලේ අණදෙන නිලධාරීයා වූයේ ඔහුය. නාවික හමුදා ඉතිහාසයේ විශාලම මෙහෙයුම වන්නේ සාගර බලය මෙහෙයුමය. එල්.ටී.ටී.ඊ. නැව් විනාශ කිරීමේ මේ ඓතිහාසික මෙහෙයුමේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ වූයේ දසනායකය. මේ වික‍්‍රමයන් නිසා යුද්ධයෙන් අනතුරුව ඔහු අධිශ්‍රේණියක් සඳහා නිර්දේශ කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කළේය. එය සලකා නොබැලූවත් මීට පෙර අවධියක නොකඩවා සංග‍්‍රාම භූමියේ දක්වන ලද නිර්භීත භාවය වෙනුවෙන් ලූතිනන් ධුරයේ සිට ලූතිනන් කොමාන්ඩර් ධුරයට ඔහු අධිශ්‍රේණි ලබා තිබිණි. එවන් වික‍්‍රමයන් වෙනුවෙන් අධිශ්‍රේණි ලද නිලධාරීන් නාවික හමුදාවටම සිටින්නේ තිදෙනෙකි. දසනායක ඉන්එක් අයෙකි. ශ‍්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ දැවැන්තම චරිතය වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සිය යුද අත්දැකීම් අළලා රචනා කරන ලද අධිෂ්ඨානය කෘතිය කියවන විට රියර් අද්මිරාල් දසනායක මේ රටට කරන ලද සේවය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.

වර්ෂ 1992 වන විට එල්.ටී.ටී.ඊ යට යාපනය සම්බන්ධ කරනා එකම සැපයුම් මාර්ගය පිහිටි කිලාලි කලපුවේ නව අනුඛණ්ඩ පිහිටුවා එම මාර්ගය අවහිර කරනු ලැබීම, රිවිරැස මෙහෙයුම ඇරඹී තිබූ වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ හමුදා සෙබළු 250 ක් සමඟ එල්.ටී.ටී.ඊ බෝට්ටු 12 කට කොටු වූ රණගජ නෞකාව මුදා ගැනීමට 486 ඩෝරා යාත‍්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, වර්ෂ 1995 – 96 කාලවලදී කොළඹ වරාය ආශ‍්‍රිත මුහුදු මංකොල්ලකෑම් වැළැක්වීම, වර්ෂ 1997 පරාක‍්‍රමබාහු නෞකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර වලක්වා, එය බේරා ගැනීමට කටයුතු කළ පී 440 ඩෝරා යාත‍්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, එම යාත‍්‍රාවේම අණ බාර නිලධාරියා ලෙස කොටි වෛද්‍ය අංශ ප‍්‍රධානී දොස්තර ඩෙස් ඇතුළු සිව් දෙනෙක් යාත‍්‍රාවක් සමග අත්අඩංගුවට ගෙන එල්. ටී. ටී. ඊ. බෝට්ටු 3 විනාශ කිරීම, ඇතුළු ක‍්‍රියාන්විත ගණනාවක් රියර් අද්මිරාල් දසනායක සිය නාවුක හමුදා සංග‍්‍රාම ජීවිතයේදී සිදුකර තිබිණි. යුද සමයේ නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ඔහු කටයුතු කළේය. ඒ අවසන් මහා සටනේ දී මුලතිවු මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස ද කටයුතු කරමිනි.

ජනාධිපති ප‍්‍රශංසාව

ජනාධිපතිවරයෙක් විසින් ලිඛිතව ප‍්‍රශංසාවට ලක්ළ දැනට නාවික හමුදාවේ සිටිනා එකම නිලධාරියා දසනායකය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙනේනේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිව් දෙනෙක් යටතේ ප‍්‍රශංසා ලේඛන 10 ක් ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික‍්‍රම පදක්කම් 04 ක් දිනා ගත්තේය. රණ සූර පදක්කම දිනා ගත්තේය.

රට වට බැඳි රන් වැට යන්න නාවික හමුදාවට ඔබින පාඨයක් බවට පත් කළේ, දසනායක වැනි සෙන්පතියන්ය. එසේ වුවත් පසුගිය රජය විසින් දසනායක ඇතුළු නාවික විරුවන් සිරගත කරන ලද්දේ, ඔවුන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ ත‍්‍රස්තයන් සමග එකටය. නාවික හමුදාවේ අනාගතය භාර දිය යුතු එවැනි නිලධාරීන් යහපාලනයෙන් සිරගත කර, උසස්වීම් නවතා දමා, ඔවුන් හමුදා සේවයෙන් ගෙදර යෑමට සැලසුම් සකස් කරද්දී, ආණ්ඩු මාරුවට පිං සිදු වෙන්නට දසනායක වෙත රියර් අද්මිරාල් නිලය ලැබී තිබේ. ශ‍්‍රී ලංකා නාවික හමුදාව සතුව සක‍්‍රිය රියර් අද්මිරාල් තනතුරුලාභීන් විසි දෙනකු සිටින අතර ඉන් දාහතර දෙනකු විධායක හෙවත් නාවික හමුදාපති තෙක් දුර ගමන් කිරීමට සුදුසුකම් සපුරා ඇති පුද්ගලයෝ වෙති. නව තනතුර සමග ඞී. කේ. පී. දසනායක ද, මේ විධායක රියර් අද්මිරාල්වරු ගොනුවට එක් විය.

කුමාරප්පෙරුම සහ රවිප‍්‍රිය විශ‍්‍රාම ලබති

army3

යුද හමුදාවෙන් විශ‍්‍රාම ලැබීමට නියමිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහ මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය යන නිලධාරීන්ගේ සේවය ප‍්‍රශංසාවට ලක් කරමින් ඔවුන් වෙත සංකේතාත්මක සමරු තිළිණ ප‍්‍රදානයක්,

පසුගිය සතියේදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කළේය. ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ අණ හා මණ්ඩලික තනතුරු රාශියක් හොබවා ඇත. ඒ අතරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මෙන්ම යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් ප‍්‍රධාන මාණ්ඩලික, සැලසුම් අධ්‍යක්ෂ, වන්නි ආරක්ෂක සේනා ආඥාපති යන තනතුරු ප‍්‍රධාන වේ.

ආරක්ෂක ලේකම් ගුවන් හමුදා මූලස්ථානයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය පළමු සංචාරය පසුගියදා සිදු කළේය. එහිදී නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් ඔහු කියා සිටියේ රටේ ජාතික ආරක්ෂාව අස්ථාවර කිරීම සඳහා වන ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා ආරක්ෂක හමුදාවන් දැඩි සූදානමෙන් සිටින බවයි.”සන්නද්ධ අරගලයක් මගින් එල්ටීටීඊයට අත් කරගත නොහැකි වූ දේ ඉටු කර ගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානයට යළි පණපෙවීම කිරීමට දෙමළ ඩයස්පෝරාව උත්සාහ කරන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය ඇතිව රජයට එරෙහි බලපෑම් සිදු කිරීමෙනි” යනුවෙන් පැවසූ ආරක්ෂක ලේකම්වරයා, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සිදුකිරීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබා දෙන බවට ප‍්‍රතිඥා ලබාදෙමින්, ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ රට ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂාව පවත්වා ගැනීමට තමා හට සහයෝගය ලබා දෙන ලෙසය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මේ සතියේදී පත්විය. ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ආර්. පලිහක්කාර ද පත්වූ අතර නව පත්වීම් ප‍්‍රදානය ආරක්ෂක ලේකම්වරයා අතින් පසුගියදා සිදු කරනු ලැබිය.

පොදු සමාවක්…

නිවාඩු නොමැතිව සේවය අතහැරගොස් සිටින සියලූම ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සතියක පොදු සමා කාලයක් රජය විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. මෙහිදී ඔවුන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට හෝ මවු රට වෙනුවෙන් තවදුරටත් සේවයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය මත නිවාඩු නොමැතිව සේවයෙන් බැහැර වී සිටින හමුදා සාමාජිකයන් සඳහා මෙම පොදු සමා කාලය ප‍්‍රකාශයට පත්කර තිබේ. 2020 පෙබරවාරි 5 වන දින සිට දින හතක කාලයක් පුරා එය බලාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වේ. විවිධ තත්ත්වයන් මත විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී රට ජාතිය වෙනුවෙන් සේවය කළ නමුත්, නිසි ක‍්‍රියාපටිපාටීන් අනුගමනය නොකර සේවාවන් අතහැරගිය ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට යළි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මෙම පොදු සමා කාලය අදාළ වන්නේ 2019 සැප්තැම්බර් 30 දිනට පෙර නිවාඩු නොමැතිව, සේවයට වාර්තා නොකළ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පමණක් බවද එම නිවේදනයේ දැක්වේ.

මනෝජ් අබයදීර

85 Viewers