• Home »
  • Sinhala »
  • ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ

ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ප‍්‍රකාශවලට අනුව කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් පෙබරවාරි 4 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතය. ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය පවා තීරණ ගත යුත්තේ ඔවුන්ගේ උපදෙස් අනුවය. එවැනි බලයක් ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා නැවත බලයට ගෙන එ්ම සඳහා ඔවුන් විසින් ඉටුකළ කාර්යභාරය නිසා බවද ඔහු විසින් පවසා ඇත. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීම සඳහා අවශ්‍ය වන තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය ඔවුන් ද ඇතුළත් වන ආණ්ඩුවට ලැබී නැත. ඒ සඳහා ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ නියෝජනය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයෙන් මන්ත‍්‍රීවරු 24ක් ආණ්ඩුවට ගත යුතුය.

මේ වන තුරු එම අභියෝග ඔවුන්ට ජයගත නොහැකි වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ප‍්‍රබල දේශපාලන තීන්දුවක් නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට යන මන්ත‍්‍රීවරුන්ට ඇමැති පදවි ලබා නොදෙන බවට ඔහු විසින් ගනු ලැබූ දැඩි තීන්දුව නිසා චන්ද්‍රිකා මැතිනිය ගේ ‘කණවැල’ අල්ලන මන්ත‍්‍රීවරුන් පිරිස තවමත් දෙගිඩියාවෙන් පසු වෙති. එහෙත් දෙමළ ඩයස්පෝරාව විසින් එකාට රුපියල් මිලියන 500ක් බැගින් ලබාදීමට නියමිත බවට පැතිරෙන කට කතා අනුව එම තත්ත්වය එක් දවසක දී වුවද වෙනස් විය හැක. කෙසේ වෙතත් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් කුමන හෝ හේතුවක් නිසා දින වකවානු සඳහන් කිරීමට සමගාමීව අගමැතිවරයා විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කැඳවා නව ව්‍යවස්ථා කෙටුම්පතක් එම සභාවට ඉදිරිපත් කොට ඇත. නමුත් අගමැතිවරයා පවසන්නේ එය කෙටුම්පතක් නොව වාර්තාවක් බවය. එසේ වුවත් එම වාර්තාවේ ඉංග‍්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කොට ඇති පිටකවරයට පසුව එන පූර්විකාවේ සිංහල භාෂාවෙන් සඳහන් වන්නේ මෙසේ ය. ‘‘මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප‍්‍රදානය කර සිටිනු ලැබේ.’’ එම පිට කවරයේ ඉංග‍්‍රීසියෙන් සඳහන් වන්නේ මීට පෙර නිකුත් කළ අතුරු වාර්තා සහ උප කමිටු වාර්තා මත පදනම් වූ වාර්තාවක් ලෙස එම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බව ය.

එම ලේඛනයේ අවසාන කොටසට ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය හැර සෙසු දේශපාලන පක්ෂ විසින් ලබාදුන් යම් නිර්දේශයන් ලෙස අඩංගුකොට ඇත. පිටු 253 කින් සමන්විත මුල් කොටසේ අඩංගු වන්නේ ව්‍යවස්ථා කෙටුම්පතක් බව සාමාන්‍ය පෙළ සිසුවකුට වුවද තේරුම් ගත හැක. එහි පළමු පරිච්ෙඡ්දය වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටම ‘ජනතාව, රජය සහ පරමාධිපත්‍ය ලෙස’ හඳුන්වා ඇත. එම පළමු පරිච්ෙඡ්දය සැලකිල්ලෙන් කියවීමේ දී නව ව්‍යවස්ථාවේ සැබෑ සම්පාදකයින් වන එම්. එ්. සුමන්තිරන් සහ ජයම්පති වික‍්‍රමරත්න යන මන්ත‍්‍රීවරුන් ගේ කූට සැලසුම අනාවරණය වේ. එම පළමු පරිච්ෙඡ්දයේ පළමු වගන්තියෙන් ශ්‍රී ලංකාව මධ්‍යම සහ පළාත්් යනුවෙන් බල ව්‍යුහයන් දෙකකින් සමන්විත බව තහවුරු කෙරේ. එ් අනුව එම වගන්තියටම ඇතුළු කොට ඇති එ්කීය සහ ඔරුමිත්තනාඩු යන හැඳින්වීම් දෙකෙන් ‘ඔරුමිත්තනාඩු’ හෙවත් ‘එක්සත්’ යන්න තහවුරු වේ. එම හැඳින්වීම අමතර වගන්තියකි. එවැනි නව වගන්තියක් නොමැතිව එ්කීය යන වචනය පමණක් තිබුණද එම වචනය නිර්වචනය වන්නේ මධ්‍යම රජයකින් සහ පළාත් රාජ්‍යයන්ගෙන් සමන්විත රාජ්‍යයක් යනුවෙනි. මෑතකදී ලබා දුන් චන්ද්‍රසෝම එදිරිව මාවෙයි සේනාධිරාජා නඩු තීන්දුව අනුව එ්කීය රාජ්‍යයක ඒකීය අන්තයක් මෙන්ම ෆෙඩරල් අන්තයක් ද තිබිය හැක. දැන් මෙම වගන්තිය මගින් පැහැදිලි වන්නේ එක්සත් හෙවත් කොන්ෆෙඩරල් රාජ්‍යයකට ද එ්කීය වචනය යෙදිය හැකි බවය. පවතින ව්‍යවස්ථාවේ පළමු සහ දෙවැනි වගන්ති එකට එකතු කොට සකස් කොට ඇති මෙම පළමු වගන්තියට අතිරේක වාක්‍යයක් ලෙස නොබැදුණු සහ බෙදිය නොහැකි යනුවෙන් වචන යොදා මහජනයා තුළ ව්‍යාජ ආරක්ෂාකාරී මනසක් ඇති කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් එය හුදු ප‍්‍රමිතියක් පමණකි. ලොව කිසිදු රටක ව්‍යවස්ථාවක බෙදී ඇති හෝ බෙදිය හැකිය යනුවෙන් වගන්තියක් අඩංගු විය නොහැක.

පවතින ව්‍යවස්ථාවේ 3 වැනිි වගන්තිය නව ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය බවට පත් කොට එහි ඉතා වැදගත් වගන්තියක් වන 4 වැනි වගන්තිය ඉවත් කොට ඇත. පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන පාලන ආයතන ත‍්‍රිත්වය නිර්වචනය කෙරෙන්නේ එම වගන්තිය මගිනි. ඊට අමතරව පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කරන මැතිවරණ මොනවාද යන්න සඳහන් වන්නේද එම වගන්තියේය. එම වගන්තිය වෙනුවට ඇතුළු කෙරෙන වගන්තියේ දැක්වෙන්නේ ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කළයුතු බවය. ඊළඟට පවතින ව්‍යවස්ථාවේ පස් වැනි වගන්තිය වෙනුවට යොදා ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ 4 වැනි වගන්තිය මගින් ද බළලා එළියට ිිපනි. එනම් දේශ සීමා සහ භූමිය පිළිබඳ සඳහන් කිරීමේදී පළාත් වලින් සමන්විත රාජ්‍යයක් යන්න නැවත වතාවක් තහවුරු කොට ඇත.

මෙම පළමු වගන්ති හතර තුළ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ මූලික අරමුණ සැඟවී ඇත. සෙසු සියලූ වගන්ති පිළිබඳ කතා කිරීම වැදගත් වන්නේ එම අරමුණ තවදුරටත් තහවුරු කෙරෙන ආකාරය සහ එහි බරපතළකම සැඟවීම සඳහා වර්ණ ගැන්වීම් කෙරෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා පමණි. උදාහරණ ලෙස 254 වගන්තිය මගින් පළාත් සහ මධ්‍යම රජයේ පාලන එ්කක වෙන් කොට පෙන්වීම තහවුරු කිරීම සඳහා පළාත් සහ මධ්‍යම වශයෙන් පොලිසි දෙකක් ඇති බව පිළිගනී. ඒ අතර ඉතා විචිත‍්‍රවත් ලෙස මූලික අයිතිවාසිකම් මගින් වර්ණ ගැන්වීම් සිදුකොට ඇත. ඊට අමතරව දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව සහ ව්‍යවස්ථා අධිකරණය යන අංග එකතු කිරීම් මගින් මධ්‍ය දුර්වල කොට පරිධිය ශක්තිමත් කිරීමට මෙම නව ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සලසා ඇත. එසේම බෙදුම්වාදී බලවේග විසින් වසර තිහක් තිස්සේ ඉල්ලා සිටි ප‍්‍රධානතම ඉල්ලීම් වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධකද මෙම නව කෙටුම්පත මගින් ඉවත්කොට ඇත. එනම් 13 වැනි සංශෝධනයට අදාළ අංග සියල්ල බාධකවලින් තොරව ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපාදන සලසා ඇත. උදාහරණ ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය මහ ඇමැතිවරයාට යටත් කොට ඉඩම් පරිහරණ බලය පළාත් සභාවට පවරා ඇත.

මෙම මූලික වෙනස්කම් කිහිපය වැදගත් වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ පූර්ව කොන්දේසියක් සපුරා ගැනීම සඳහා ය. නැෙඟනහිර ටිමෝරය වෙන්වී ය.

මීට අදාළව පෘතුගාලය එරෙහිව ඔස්ටේ‍්‍රලියාව යන ජාත්‍යන්තර අධිකරණයේ නඩු තීන්දුව අනුව යම් ජනතාවකට හෝ ජන කොටසකට වෙන්වී යෑම සඳහා සපුරා ගත යුතු කොන්දේසි අතුරින් පළමුවැන්න එම ජනතාවට රටේ පරමාධිපත්‍ය බලය බෙදී ගොස් තිබීමය. දෙවැන්න එම ජනතාව සමූල ඝාතනයකට ලක් වී සිටීමය. විග්නේෂ්වරන් මහා ඇමැතිලා තොරතෝංචියක් නැතිව සමූල ඝාතන ගැන කතා කරන්නේ කුමක් නිසා දැයි එ් තුළින් පැහැදිලි වේ. තුන්වැන්න එම ජනතාවට අගතිගාමී සහ නින්දා සහගත ලෙස හෙවත් ජාතිවාදී පදනමෙන් සැලකීම ය. එසේ පරමාධිපත්‍ය බලය බෙදීගොස් ඇති රටක ජනතාවට එම බලය ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් ඉඩ ලබා නොදේනම් එම ජනතාවගේ වෙන්ව යැමේ අයිතිය ජාත්‍යන්තර නීතියට අනුව තහවුරු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු පරිච්ෙඡ්දය මගින් සිදු සිදුකරන්නේ මෙම න්‍යායාත්මක පදනම තහවුරු කිරීමය. එනම් ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය මධ්‍යම සහ පළාත් යන එ්කකවලට බෙදී ගොස් ඇති බව තහවුරු කිරීමය. සෙසු ප‍්‍රතිපාදන වැදගත් වන්නේ එම එය දුරටත් වර්ණගන්වා ශක්තිමත් කිරීමටය. එ්කීය වචනය සහ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් කිරීම යන කරුණු වලට බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව කිසිදු වැදගත් කමක් හිමිවන්නේ නැත. එ්වා වැදගත් වන්නේ සැබෑ සංවාදය වෙනතකට යොමු කිරීම සඳහා පමණි. ඕනෑම මොහොතක එම වෙනස්කම් සිදු නොකරන බවට ප‍්‍රකාශ කොට ඊට එරෙහි වන්නන්ගේ ආයුධ උදුරා ගැනීමට හැකියාව ඇත. එය ඉතා දියුණු මානසික යුද උපක‍්‍රමයකි. බොහෝ දේශපාලනඥයන් පමණක් නොව නීති විශාරදයින්ද ඊට ගොදුරු වනු දක්නට ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ද වැදගත් වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ බෙදුම්වාදී උවමනාව සඟවා ඊට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුහුණක් සවිකිරීම සඳහා බව පැහැදිලිව හඳුනාගත හැක. ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කළ පසුව සහ ව්‍යවස්ථා අධිකරණය මගින් විධායකය දුර්වල කොට දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලය මගින් පාර්ලිමේන්තුව දුර්වල කළ විට විධායක ජනපතිට කළ හැකි දෙයක් නැත. 1987දී ඉන්දු ලංකා ගිවිසුම මගින් බෙදුම්වාදී මාර්ග සිතියමේ මූලික පියවර ලෙස ව්‍යවස්ථාව මගින් පළාත් බල එ්කකයක් පිහිටුවන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඒකීය වචනය ව්‍යවස්ථාවේ එසේම තිබියදීය. නමුත් එතනින් ඊළඟ පියවරට යෑම පමා වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය හෝ එ්කීය වචනය නිසා නොව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පනවා තිබූ බාධක නිසාය. මෙම නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් එම බාධක සියල්ල ඉවත් කෙරේ. එ් ආකාරයට මෙම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි අන්තර්ගතයට අදාළ අරමුණ පැහැදිලි කළ හැකි වුවත් එම ක‍්‍රියාවලියේ අරමුණ පැහැදිලි කිරීම පහසු නැත. නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් බෙදුම්වාදී මාර්ග සිතියමට අවශ්‍ය ආකාරයට මූලික ව්‍යවස්ථාමය කොන්දේසි සැපිරෙන බවට විවාදයක් නැත. එමගින් බෙදුම්වාදයට පක්ෂපාතී 35%ක පමණ යැයි සැලකෙන සුළු ජනකොටස්වලට සහ ඔවුන්ට නායකත්වය දෙන දේශපාලන කප්පම්කරුවන්ට යම් ධෛර්යයක් ලැබේ. ඊට අමතරව ආණ්ඩුවට එරෙහිව පවතින ජාත්‍යන්තර පීඩනය ද යම් පමණකට සමනය වේ. නමුත් මෙම නව ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ඇත්තේ ක‍්‍රම දෙකක් හරහා පමණි. පළමුවැන්න විප්ලවීය ව්‍යවස්ථාවක් ලෙසය. නමුත් එවැන්නක් සඳහා ඡුන්දයක දී මහජන අනුමැතිය ලබාගෙන නැත. එසේම ව්‍යවස්ථා සම්පාදක සභාව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යෝජනාව අනුව එම සභාවේ සම්මතයෙන් පමණක් ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කළ නොහැක. එවැනි උත්සාහයක් නීති විරෝධී වේ. එසේනම් කළ හැක්කේ මෙම ඊනියා වාර්තාව නැවත කෙටුම්පතක් ලෙස ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කොට එය සාමාන්‍ය බහුතරයෙන් සම්මත කොට පාර්ලිමේන්තුව හරහා අමාත්‍ය මණ්ඩලයට යැවීමය. නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය දීමේ දී ජනාධිපතිවරයාගේ තීන්දුව තීරණාත්මක වේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය තුළ නියෝජනය වූයේ නැත. ඊට අදාළ කිසිදු වාර්තාවක් ඔහුට නිල වශයෙන් ලැබුණේ නැති නිසා එම කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ඔහු විසින් කමිටුවක් පත්කොට කාලය ගැනීම සාධාරණීකරණය වේ. විශේෂයෙන්ම ජේ.ආර්. පේ‍්‍රමදාස හා චන්ද්‍රිකා යන ජනාධිපතිවරු නොකළ දේ කිරීමට ගොස් එ් පාපය තම හිස හිස මතට දමා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා සූදානම් වනු ඇතැයි සිහිබුද්ධිය ඇති කිසිවකුට පිළිගත නොහැක.

මෙම තත්ත්වය ආණ්ඩුව සහ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රමුඛ බෙදුම්වාදී බලවේග නොදන්නවා යැයි සිතිය හැකි ද? එසේ නොවන්නේ නම් ඔවුන් සතුව ‘ෆැලෑන් බී’ එකක් තිබිය යුතුය. එය කුමක්ද? දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනය මගින් ඊට මඟ විවර වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට භාර ගනු ලැබුවේ ඔවුන්ගේ තනි තීන්දුවක් මගින් නොවන බව කුඩා දරුවකුට වුවද තේරුම් ගත හැක. මෙම සංශෝධන කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී ඇති අතර එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. එය දැන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් පමණි. ඉහත සඳහන් කළ ආකාරයට ඩයස්පෝරා සල්ලි හරියට වැඩ කළහොත් 20 වැනි සංශෝධනය එක් දිනකදී විවාද කොට සම්මත කළ හැක. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කළ ආකාරයට 20 වැනි සංශෝධනය නම් වුු පිට කවරය ඇතුළට ඕනෑතරම් සංශෝධන කාරක සභා විවාදය අවස්ථාවේදී ඇතුළු කළ හැක. බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන 4 හෝ 5 ඊට ඇතුළු කිරීම සඳහා විනාඩි දහයක්වත් වැය නොවනු ඇත.

ඒ ආකාරයට 20 වැනි සංශෝධනය සම්මත කිරීමේදී බෙදුම්වාදීන් සතුව සැලසුම් දෙකක් තිබිය හැක. පළමුවැන්න මැතිවරණය ක‍්‍රමය වෙනස් කිරීමට අදාළ සංශෝධන ඊට ඇතුළු කිරීම මගින් පාර්ලිමේන්තු මැතිවරණය ඔවුන්ගේ මාර්ග සිතියම අවසන් වනතුරු කල් දමා ගැනීමයි. මෙම ක‍්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට පැනීමට නියමිත මන්ත‍්‍රීවරුන්ට තව කාලයක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටීමට අවස්ථාව ලැබේ. ඔවුන් ඡුන්දවලට බිය වීම පුදුමයක් නොවේ. පවතින දුර්වල පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යෑම බෙදුම්වාදීන්ට වඩා වාසි සහගත වෙයි. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඇඟිල්ලක් ඔසවන විට අගමැතිවරයා සහ සභානායකවරයා නිහඬ කළ හැකි පාර්ලිමේන්තුවක් දිගටම පවත්වාගෙන යෑම ඔවුනට වඩා වාසි සහගත නොවේද? එම පළමු සැලසුම් ව්‍යාර්ථ වන තත්ත්වයක් යටතේ ඊට ප‍්‍රතිවිරුද්ධ යැයි පෙනෙන දෙවැනි සැලසුම ඔවුන් විසින් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇත. ඒ 20 වැනි සංශෝධනය සමග පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා වන යෝජනාව ගැට ගැසීම ය. එ් මගින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයේ ඡුන්ද ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කිරීම පුදුමයට කරුණක් නොවේ. කුමන ආකාරයකට හෝ 20 වැනි සංශෝධනය සම්මත කොට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග සතුටු කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මගින් එසේ දිනා ගන්නා තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සිදු කළ හැක. නව ව්‍යවස්ථා කෙටුම්පත වැදගත් වන්නේ එසේ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට සුජාතභාවය ලබා දීම සඳහා ය. එනම් ඉදිරි ජනාධිපතිවරණය නව ව්‍යවස්ථාවක් සම්මත කරන ජනමත විචාරණයක් බවට පත් කිරීම සඳහාය.

209 Viewers