• Home »
  • Sinhala »
  • විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය වන්නේ ඇයි

විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය වන්නේ ඇයි

විධායක ජනපති ක්‍රමය ඇතිවීමේ පසුබිම -

වර්ෂ 1815 දී ලංකාවේ අවසන් සිංහල රජු බ්‍රිතාන්‍ය හමුදාවට පාවා දීමෙන් පසු  මේ රටේ රාජ්‍යත්වය අහෝසි වී එංගලන්ත කීරීටයේ බලය මෙහි ආරෝපණය විය.එංගලන්ත කිරීටයට යටත්ව ලංකාව පාලනය කිරීම පිණිස ඔවුහු ආණ්ඩුකාරවරුන් පත් කරන ලදහ.  වර්ෂ 1948 දක්වා මෙම ක්‍රමය අඛණ්ඩව පැවති අතර ඉන්පසු නිදහස ප්‍රදානය කිරීමේ දී නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මෙරටට අගමැති වරයෙකු පත් විය. මෙම අගමැතිවරයා බ්‍රිතාන්‍ය මහ රැජිනට යටත්ව ලංකාව පාලනය කළ නායකයා වෙයි. වර්ෂ 1972 දී නව ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කළ පසු එංගලන්ත මහ රැජිනට තිබෙන පාක්ෂපාතීත්වය මෙරට නාමික ජනාධිපතිවරයාට හිමි විය.නමුත් රටේ නායකත්වය උසුලන ලද්දේ අගමැති තනතුර විසිනි.මෙම අගමැති තනතුර හොබවන ලද්දේ යම් කිසි මන්ත්‍රී ආසනයකින් ජයග්‍රහණය කරන ලද නියෝජිත මන්ත්‍රීවරයෙකු විසිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අත්තනගල්ල ආසනයෙන් ජයග්‍රහණය කොට මුලු රටේම නායකත්වය හොබවන අගමැති තනතුරට මෙලෙස පත් විය.

1978 දී ප්‍රථඹ වරට විධායක ජනාධිපති ධූරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම තනතුර ඇති කරලීමට ප්‍රථම ඉදිරිපත් කරන ලද ප්‍රබලම තර්කය වූයේ එක් මන්ත්‍රී ආසනයකින් ජයගත් තැනැත්තෙකු රටේ නායකත්වයට පත් වනවාට වඩා මුලු රටේ ම බහුතර කැමැත්තෙන් නායකත්වයට පත් වන තැනැත්තා ජනතා පරමාධිපත්‍ය උපරිම වශයෙන් නියෝජනය කරන බවයි.ජයවර්ධන මහතා විධායක ජනපති ක්‍රමය පිළිබඳ අදහස මුල් වරට ඉදිරිපත් කර තිබෙන්නේ 1966 වසරේ දෙසැම්බර් 14 දින විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේ දී පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කළ අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිත කාලසීමාව  මත රඳා පවතින්නේ නැත.එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම් වලට  යටත් වන්නේ නැත.එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය.

වර්ෂ 1815 සිට අප රටට නැති වූ රජු ගේ බලය නැවත ප්‍රජාතන්ත්‍රීය ත්‍රමයට රටට ආරෝපණය වූයේ මෙම අදහස් විකසනය වීමෙනි.ජයවර්ධන මහතා තවදුරටත් මෙසේ කියා ඇත. මම ඡන්දයෙන් තේරුණු පළමුවැනි විධායක ජනාධිපති රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා  වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර එහෙයින් වගකීම් සහිත පදවියක්ද වේ. මට පසුව අන්‍යනයන්ද මෙම පදවිය දරණු ඇති  බැවින් මගේ පදවි කාලයේදි අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි. පළමුව මම නිරතුරුවම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව තුළින් කටයුතු කරන්නෙමි. ඒ සමග පෙර පැවති ලෙස කිසිදු අඩු වීමකින් තොරව පාර්ලිමේන්තු ක්‍රමය සංරක්ෂණය කරන්නෙමි.  ජනාධිපතිවරයාගේ මිනිස්සු හා ගැහැනු යනුවෙන් හැඳින්වෙන පරිදි ජනාධිපතිවරයා කෙරේ බලපාන පුද්ගලයන් කණ්ඩායමක් ගොඩ නොනගමි.සැබවින්ම මෙම අදහස් වලින් ප්‍රකට වන්නේ වර්තමානයට ගැලපෙන රාජ්‍යත්ව සංකල්පයක් ඔහු ඉදිරිපත් කළ බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය රැජිනට වග කිව යුතු නොවන ස්වාධීන පාලනයක් රට තුළ ඇති වූ බව පැවසිය හැකිය.

සිංහල බෞද්ධ රාජ්‍යය සහ රාජ්‍යත්වය -

වසර දෙදහස් පන්සීයයක ඉතිහාසය තුළ මේ රටේ රාජ්‍යත්වයේ විකාශනය දෙස විමර්ශනයෙන් යුතුව බලනකල්හි පසක් වන්නේ බුද්ධ ශාසනය පෝෂණය කිරීමට  නායකත්වය ගනිමින් රටේ ධාර්මික පාලනයක් ඇති කරලීමට රජු  උත්සාහ ගෙන තිබූ ආකාරයයි. දළදා වහන්සේ මෙරටට වැඩම කරලීමෙන් පසු රාජ්‍යත්වය ඉසිලීමට දළදා භාරකාරත්වය සුදුසු කමක් විය. එයින් ගම්‍ය වන්නේ බුදුන් වහන්සේ ගේ බෞද්ධ රාජ්‍යය ලක් රජු ගේ ආරක්ෂාව යටතේ අවිච්ඡින්නව පැවතීමට වරම් ලැබූ බවයි.රාජ්‍ය අභිෂේකය පිණිස බෝධිසත්ව සංකල්පය ආරෝපණය වීමේ උපරිම අවස්ථාවේ දී නොබෝසත්හු නොරජ්වම්හ යන පාඨය තුළින් රාජ්‍යත්වය ට බෞද්ධ රාජ්‍ය සංකල්පය දැඩිව ආදේශ විය.

පැරණී රාජ නීතියෙහි පදනම දශ රාජධර්මයයි.  ලංකාවේ රජ්ජුරුවන් වහන්සේ ගේ තනි කැමැත්තට ඕනෑ වූ දෙයක් කරන්ඩ පුලුවන්ද යන්න ප්‍රශ්ණයක් වශයෙන් ෆැල්ක් ලන්දේසි ආණ්ඩුකාරවරයා එදා මල්වතු විහාරයට පැමිණ  විමසූ කල්හි මල්වතු මහ නා හිමියන්  දුන් පිළිතුර මෙසේය. ‘රජ්ජුරුවන් වහන්සේ ලෝක නීතිය යන පුරාතන පැවති නඩු අනඩු සිරිත් චාරිත්‍ර දැනීමද ධර්ම නීතිය යන ආගම පුරාගම දැනීමද යන මෙසේ  මහත් වූ නුවණ ඇති පණ්ඩිත කෙනෙක් ය. තමන්ගේ කැමැත්තට තීන්දු කරන්ඩ පුලුවන් රාජ්ජේ කාරණාවලුත් ඇත. අමාත්‍ය මණ්ඩලයෙන්ද රට වාසීන්ගෙන්ද හොඳ හැටි විචාරා කරන දේත් බොහෝ දේ ඇත.   මේ රාජ නියමයට පදනම් වී ඇත්තේ දශ රාජ ධර්මයයි. එය එම ලියවිල්ලේ සඳහන් කර ඇත්තේ මෙසේය. දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් බවය තපස් ඇති බවය. ක්‍රෝධ නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය. දන්දීම නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට යාචකයින්ට බත් පිළි ආදිය දීමය. සිල් රැකීම නම් නොකඩ කොට ආගම දැරීමය. ත්‍යාගි බව නම් කෙත්වත් ආදී උතුම් වස්තු දීමය.සෘජු බව නම් සිත වංක චාටු නැති බවය. මැදහත් බව නම් සියල්ලන්ම එකසැටි බවය. තපස් ඇති බව නම් රූප ශබ්දය ගන්ධය රසය ස්පර්ශය යන මෙකී ඇලුම් පසේ පැවති තෘෂ්ණාව මැඩ පැවැත්වීමය. ක්‍රොධ නොකිරිම නම් නිරපරාධ අයට වද නොයෙදීමය. ක්ෂමා වීම නම් නොවිචාරා වරදට නොකිපීමය. අවිරුද්ධ බව නම් සියලු අය විරුද්ද නැති බවය. ’

මෙහිදී පැහැදිලිවන්නේ රටේ නිතිය යුක්ති ධර්මය අනුව තීරණයවී ඇති බවයි. පෙර පූර්වාදර්ශ ද ගණන් ගන්නා නමුත් යුක්ති ධර්මය එහිදී ප්‍රධාන  බව පැහැදිලිය. රජු දේවත්වයෙන් සැලකීමද බෝසත් ගුණ යෙන් යුතු වීමද කල යුතු බව සම්ප්‍රදායක් විය. නුවර නාථ දේවාලය ඉදිරියේ පැවති රාජඅභිෂේකයේ දී දශ රාජ ධර්මය රකින්නට දිවුරුම් දීමෙන් ඒ බැව් සනාථ වේ. එසේ නොවුනහොත් තමන්ගේ හිස සත්කඩකට පැලේවා යයි ද රජු ප්‍රකාශ කරයි. මේ නිසා ලංකාවේ  රාජ්‍යත්වය වනාහි හිතුවක්කාර පාලනයක සංකේතයක් ලෙසට සැලකීම වැරදිය. එසේම තනි කැමැත්තට දූෂණ ක්‍රියා වලට පෙළඹෙන පුද්ගලවාදී සංකල්ප සංවර්ධනය කරන තනතුරක් ලෙස නොපැවති බවටදසාක්ෂි තිබේ.

මෙම ක්‍රමය වර්ෂ 1739 අවසාන සිංහල රජුගේ පාලන සමය දක්වා පැවති බව පෙනේ. නමුත් වඩුග නායක් පාලන සමයේ දී මෙම බෞද්ධ රජ්‍ය සංකල්පය ක්‍රමයෙන් අභාවයට පැමිණියහ.වර්ෂ 1815 උඩරට ගිවිසුම ප්‍රකාරව බුද්ධශාසනය කඩ නොකොට පවත්වා ගෙන යෑමට එංගලන්ත මහරජු වෙනුවෙන් මෙරට ආණ්ඩුකාරවරයා පොරොන්දු වන්නේ පෙර පැවති සම්ප්‍රදාය අනුවයි. නමුත් කතෝලික පල්ලියේ බලපෑම් මධ්‍ය යේ බ්‍රිතාන්‍ය  කිරීටය විසින් බුද්ධ ශාසනය සුරක්ෂිත කරලීම අත් හරින ලදී. 1948 වර්ෂයේ දී මෙරට නිදහස ලද නමුත් යළි අපට රාජ්‍යත්වය හිමි නොවීය.එය නැවත ව්‍යවස්ථාමය වශයෙන් රටේ ස්ථාපිත වූයේ 1978 වර්ෂයෙන් පසුවයි.නමුත් එම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරයේ බලතල ගැන කියැවෙන විට බුද්ධ ශාසනය පෝෂණය කරලීමේ වගකීමක්  දී නැත.  ඒ වෙනුවට බුද්ධ ශාසන ඇමතිවරයෙකු පත් කිරීමක් සිදුව ඇත. මෙරට නායකත්වය බුදු දහමින් පෝෂණය විය යුතුය යන මතය එහිදී පහළට වැටීමත් සිදු වී තිබේ..ඉංග්‍රීසි පාලන සමය තුළදී සියලු ආගම් එක සමාන ලෙස සලකමින් මෙරට ඓතිහාසික සම්ප්‍රදාය හෑල්ලු කොට සැලකූ බව අප දනිමු. විධායක ජනාධිපති ධූරය අහෝසී කරලීමෙන් සිදු වන්නේ රට නැවතත් ඒ තත්ත්වයට පත් වීමයි.

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් සභා ඇති කොට ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කරන ලද පළාත් වලට ස්වාධීන වන්නට ඉඩහසර සලසන ලදී. නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරයා මගින් එම පළාත් ස්වෘධීන වන්නට තිබෙන ඉඩකඩ අහුරා ලීමක් සිදු කර තිබේ.ඉන්දියාවේ බලපෑම මත කළ මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට කැබලි වලට කැඩී යෑම යම්කිසි ප්‍රමාණයකින් නවත්වා ගෙන ඇත්තේ එසේය.මෙම දහතුන් වන සංශෝධනය අහෝසි කොට විධියකය අහෝසි කරලීම අද ඇතැමුන් යුක්ති යුක්ත කරන්නේ රට කැබලි වන්නට තිබෙන ඉඩකඩ එයින් සම්පූර්ණයෙන් ඉවත් වන බැවිනි. එහෙත් දහතුන අහෝසි කරලීමෙන් පසු විධායකය ඉවත් කළහොත් සිදු වන්නේ රටේ නායකත්ව බලයද බෞද්ධ රාජ්‍ය නිසා ඇතිවන වාසනා ගුණයද සම්පූර්ණයෙන් අහිමි වීමයි. එය රටේ ජාතියේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කිසිසේතිම හිතකර නොවේ. එම නිසා විධායකය අහෝසි කිරීමට කිසි ලෙසකින් වත් මේ රටේ ජනතාව එකඟ නොවිය යුතුය. අනාගතයේ දී අප කළ යුත්තේ විධායකය සතු කාර්ය භාර ලැයිස්තුවට සම්බුද්ධ ශාසනයේ භාරකාරත්වයද ජාතික ආරක්ෂාවද සෘජුව සම්බන්ධ කිරීමයි.

මතුගම සෙනෙවිරුවන්

133 Viewers