විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව පටු ගෝත්රවාදී අදහසක්
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔවුන් තමන්ගේ දේශපාලන පක්ෂයේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ගෝත්රවාදී අදහසකින් කටයුතු කරන බවත් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග පැවැසීය.
ජාතික ඒකාබද්ධ කමිටුව ඊයේ (25දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ගෙවිදු කුමාරතුංග මහතා මෙසේද පැවැසීය.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගේන්න ජනතා විමුක්ති පෙරමුණට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද කියලා අපි අහනවා. ඉතාම පැහැදිලිව අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඔවුන්ගේ නායකත්වය යටතේ මේ රටේ තරුණ පරම්පරාවක්ම පළාත් සභා මේ රටේ පිහිටුවීමට එරෙහිව ජීවිත පූජා කරපු ක්‍රියාවලියට නායකත්වය දීපූ පක්ෂය.
මේ රටේ ඒකීය පැවැත්මට හානියක් වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඉවත් කර ගැනීමට කිසිදු පියවරක් නොගෙන මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම ගැන අපිට ඉතාම කනගාටුයි.
ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තුව දැන් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා. එහෙම තියෙද්දී දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මේ රටේ මහ සංඝරත්නය සහ ජාතික ඒකාබද්ධ කමිටුව ඇතුළු අපගේ බලවත් විරෝධය නිසා ඒ කටයුතු ඇනහිටලා තියෙන වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මාර්ගයකින් කරන්නා වූ උත්සාහයන් අපි හෙළා දකිනවා.
2015 සිට මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාවලියට යෝජනා දීලා තියෙන්නේ පිටු දෙකක් විතරයි. මෙවැනි දේශපාලන පක්ෂයකට අඩුම තරමින් ඔවුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සූදානම් වෙනවා නම් රටේ ඒකීයභාවයට ප්‍රශ්නයක් නොවන ආකාරයට ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න ඔවුන්ට අවුරුදු 3ක කාලයක් තිබුණා. ඒ කිසිම දෙයක් නොකර පිටු දෙකක් විතරක් ඉදිරිපත් කරපු තමන්ගේ මතය දැක්වීමක් තුළ දැන් මේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යන්න අපහසු තත්ත්වයක් උදාවෙලා තියෙනවා. එවැනි අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවාද කියන එක බරපතළ ප්‍රශ්නයක්.
මේ ක්‍රියාවලිය තුළ ජනතා විමුක්ති පෙරමුණ පෙන්නුම් කරලා තියෙනවා ඔවුන් මේ රට සම්බන්ධයෙන්, මේ රටේ අනාගතය සම්බන්ධයෙන් ස්ථාවර ආණ්ඩුවක් පත්කර ගැනීම සම්බන්ධයෙන්, රටේ වුවමනාවන්ට අනුව කටයුතු කරන දේශපාලන පක්ෂයකට වඩා තමන්ගේ දේශපාලන පක්ෂයේ යම් යම් වුවමනාවල් ඉටු කර ගැනීම සඳහා ගෝත්රවාදී අදහසකින් කටයුතු කරන පක්ෂයක් බව.
ලැජ්ජා විය යුතුයි මේ රටේ අනාගතය ගැන නොසිතා තමන්ගේ දේශපාලන වුවමනාවන් ඉෂ්ට කර ගැනීමේ ඉතාමත්ම පහත් නින්දිත දේශපාලනයක අද වනවිට නිතර වීම පිළිබඳව.’
ජාතික ඒකාබද්ධ කමිටුවේ විධායක සභික ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා,
‘ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න සූදානම් වෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. 13 වැනි සංශෝධනය අහෝසි කිරීමකින් තොරව එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට සිතීම පවා සමස්ත රාජ්‍යයම අනතුරේ හෙළීමක් බව අපි අවධාරණය කරනවා.
ඒ වගේම තමයි දෙමළ ජාතික සන්ධානයේත්, උතුරු පළාතේ මහ ඇමැතිගේ වත්මන් ක්‍රියා කලාපය සලකා බැලීමේදීත් විධායක ජනාධිපති ක්රමයක අවශ්‍යතාව අද වෙනදාටත් වඩා අපිට තදින් දැනෙනවා.
උදයන්ති මුණසිංහ
970 Viewers