• Home »
  • Sinhala »
  • විරු සැමරුම් (මල්ලෙන් “කොටියා” එළියට පැනීම)

විරු සැමරුම් (මල්ලෙන් “කොටියා” එළියට පැනීම)

සංහිඳියාව වෙනුවෙන් බොහෝ විහිළු වැඩකරන රටක අලුත්ම සුපිරි විහිළුව වී ඇත්තේ “විරු සැමරුම්ය” ඒ, දකුණේ නොව උතුරේය. 1976 වඩුක්‌කොඩෙයි සමුළුවෙන් පටන්ගෙන ඒ සමුළුවද ඉක්‌මවා ගොස්‌ රට ලේ විලක්‌ කළ කෲරතර ත්‍රස්‌ත නායකයකු සහ ඒ සහපිරිවර සැමරීම මේ විරු සැමරුම්වල ඉලක්‌කය වී තිබේ. එම විරු සැමරුම් පවත්වන්නේද සාමකාමීව නොවේ, සංහිඳියාව ආරක්‍ෂා වන ආකාරයට නොවේ. මධ්‍යම ආණ්‌ඩුවටත් සිවිල් ජනතාවටත් (කොටි හිතවාදී නොවන) “චැලේන්ඡ්” එකක්‌ වන පරිදිය. කොටින්ම කීවොත් සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරේ. පසුගිය දිනෙක යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්‌ඩපයේ සිංහල සිසුන්ට ඇතැම් දෙමළ සිසුන්ගෙන් මරණීය තර්ජන එල්ල වූ බවක්‌ වාර්තාවී තිබිණි. ඒ “ප්‍රභාකරන් සැමරුමට” ඒ සිසුන් සහභාගී නොවුණා යෑයි කියන හේතුවක්‌ මතය. ආණ්‌ඩුවේම සමහර දේශපාලනඥයන්ගේ, දිව මන්තරයක්‌ වී තිබෙන “සංහිඳියාව” උතුරේ දේශපාලනඥයන්ට “කට ගැස්‌මක්‌” වී තිබේ. ද්‍රවිඩ දේශපාලනඥයින් “වචනය” භාවිතා කළාට “කෙරුවාව” එහෙම නැත. සංහිඳියාව විහිළුවක්‌ව “විරු සැමරුම” ත්‍රස්‌තවාදී ආකාරයට කරන්නේ පුරුද්ද නිසාය.

මේ නරක පුරුද්ද උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ටී.එන්.ඒ. පෙරමුණට පමණක්‌ අදාළ කාරණයක්‌ නොවේ. 1949 සිට දලුලා වැඩුණු දෙමළ ජාතිවාදී සියලුම දේශපාලන පක්‍ෂවලත් ඒවායේ නායකයන්ටත් පොදු ධර්මතාවකි. දෙමළ ජනතාවට ඊනියා විමුක්‌තියක්‌ පෙන්වමින් අන්තවාදයත් අවස්‌ථාවාදයත් වැපිරීම හැර අන් මඟක්‌ මේ නායකයන්ට සහ දේශපාලන පක්‍ෂවලට නැත. දකුණේ දේශපාලනයටද මේ ගැන වගේ වගක්‌ නැත. මේ රටේ මෑත කාලයේ සෑහෙන ප්‍රමාණයක්‌ කා දමා ඇත්තේ මේ තුප්පහි දේශපාලනයයි. ඉතිරිය රාජ්‍ය නොවන සංවිධාන නමැති බටහිර හිතවාදී, බෙදුම්වාදී ආයතන සහ ඒවාට වැඩකරන පුද්ගලයන් කා දමා තිබේ. තවදුරටත් එසේ කරමින් සිටින බව තදින් සිහිතබා ගන්න. කොටින්ම කීවොත් රට දෙකඩ කිරීම වෙනුවෙන් මේ රටට පැමිණෙන (ඒ උදවිය එන්නේ “සංහිඳියාව” වෙනුවෙන් නමැති බෝඩ් ලෑල්ල පෙරටු කරගෙනය.) සියලුම බලගතු විදේශිකයකුම සාකච්ඡා කර අදහස්‌ උදහස්‌ ගන්නේ පෙර කී කණ්‌ඩායම්වලින් නිසා ඇත්ත කතාව කොහොමටවත් එළියට එන්නේ නැත.

මේ කියන බටහිර රටවල් එල්ටීටීඊයත් එය මෙහෙයවූ පිරිබාහරන්වත් ත්‍රස්‌තවාදියකු ලෙස නොව විමුක්‌තිකාමියකු ලෙස දකින්නේ ඒ නිසාය. ඒ අයට අනුව පිරිබාහරන් යනු “මැන්ඩෙලා” වර්ගයේ ආදර්ශකයකි. ඒ මගම යමින් මේ රටේම සමහර උදවිය එනම් සංහිඳියාව ගැන දෙමළ “ඩයස්‌ප්‍රොaඩාව” සමග සංවාදයේ යෙදෙන මහත්හොරු දකුණේ “ඉල්මහ විරු” සමරුවද උතුරේ “මහවිරු” සමරුවද සමාන කර දක්‌වන්නට උත්සාහ කරති. නොඑසේනම් උතුරට ද එවැනි අයිතියක්‌ ඇති බව කියති. මේ කිසිවෙකුටත් උතුරෙත් දකුණෙත් ම්ලේච්ඡ ලෙස සිවිල් වැසියන් ඝාතනය කළ, රටේ සෑම තැනකම බෝම්බ අටවා විශාල විනාශයක්‌ සිදුකළ, කණ්‌ඩායමක්‌ ත්‍රස්‌තවාදීන් ලෙස දකින්නේ නැත. එසේ නොදකින තෙක්‌ මේ රටේ සංහිඳියාව ඇති කිරීමත්, මල්ලෙන් එළියට පනින බළලා නොව කොටියා නවතාලන්නවත් හැකියාව ලැබෙන්නේ නැත.

66 Viewers