• Home »
  • Sinhala »
  • වෙට්ටුව, මට්ටුව හා පොහොට්ටුව

වෙට්ටුව, මට්ටුව හා පොහොට්ටුව

2015 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කරගත් “එක්සත් ජනතා පෙරමුණින්” පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වීම දේශපාලනික “වෙට්ටුව”කි. ඒ සමගින් මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන්ද, එතුමාගේ ආණ්ඩුව 2015 මහමැතිවරණයෙන්ද පරාජයවීම අපි දකින්නේ දේශපාලනික “මට්ටුවක්” ලෙසිනි. ප්‍රස්තුථ 2018 පළාත් පාලන මැතිවරණයේදී වාර්තාගත (හෝ ආන්දෝලනාත්මක) ජයක් ලබාගැනීමට සමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් “පොහොට්ටුව” සමකාලීන දේශපාලන මඩ ගොහොරුවෙන් මතුවී එන්නේ ඒ “මට්ටුවේ” ප්‍රතිඵලයක් වශයෙන් යැයි අපි සිතන්නෙමු. එහෙයින් මෙම විග්‍රහයේ අරමුණ මැතිවරණයේ ජය පරාජය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක නියැලීම, යම් පිරිසකට පරිභව කිරීම හෝ ආවැඩීම හෝ නොවේ. අප උත්සහ දරන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලය ජාතිකවාදී දෘෂ්ටියකින් විග්‍රහ කරමින් ඒ පිළිබඳ සදය භාවිකථනයක නිරතවීමටයි.

“වහා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න”යි ආණ්ඩුවට අභියෝග කරමින් පොහොට්ටුව ලද ජයග්‍රහණයේ උද්දාමය එම පක්ෂයෙන් පළට වෙයි. තවත් නොනිල ආරංචි මාර්ග කියන්නේ එක්සත් ජාතික පක්ෂයද, ද්‍රවිඩ සන්ධානයද, නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයද එක්ව අමුතු පෙරළියකට සැරසෙන බවය. එම වාර්තා ජනාධිපති කාර්යාල නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ වනාහී පරාජයේ හෝ මහජනයා විසින් නිර්දය ලෙස ප්‍රතික්ෂේප කර තිබීමේ තත්ත්වය හෙවත් ස්වකීය දේශපාලන බංකොලොත් භාවය, විග්‍රහ කිරීමට සාධාරණ ප්‍රාමාණික හේතු සෙවීමෙහි නිරතවීමක් පමණකි. එය ඇඳිවත උනා ලැජ්ජාව මැඩ ගැනීමට මුහුණ වසා ගැනීමට බෙහෙවින් පර්යාය ය.

2018 පළාත් පාලන මැතිවරණය තවත් එක් මැතිවරණයක් නොවේ. එය සමකාලීන දේශපාලනික, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සම්බන්ධයෙන් සිය මතය ප්‍රජාතන්ත්‍රවාදීවත්, දේශපාලනිකවත් ප්‍රකාශයට පත්කිරීමට මහජනතාව උත්සුකවීමේ ප්‍රවණතාව විදහා දැක්වුණු අවස්ථාවකි. අප පළමුව අගය කරන්නේ මහ ජනතාවගේ දේශපාලන උපේක්ෂා සහගත භාවයයි. කාලීන දේශපාලන විපර්යාසයන්ට එරෙහිව ස්වකීය ප්‍රතිවිරෝධය සමගින් වීථි බසිනු වෙනුවට, දියුණු ප්‍රජාවක් සතු දේශපාලනික ඉවසීම පළට කරමින්, මැතිවරණයකදී ස්වකීය ප්‍රතිචාරය දක්වන තුරු උපේක්ෂා සහගතවීම මෙන්ම මැතිවරණය නොපැවැත්වීමේ දේශපාලන අයුක්තිය ඉවසීමද අපි අගය කරන්නෙමු. අපේ රටේ මානව හිමිකම් කඩවීම් ගැන අප්‍රමාණව වෙහෙසෙන ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව මේ මැතිවරණය නොපවත්වා අයුක්ති සහගත ලෙස කල් මැරීම ගැන උරන නොවූයේ එය ඔවුන්ගේ “ජාත්‍යන්තර මිණුම් දඬු” වලට එකඟ නිසා විය යුතුය.

පසුගිය වසරක කාලය තුළ අපි ඉතා සංවේදී කරුණක් තිව්ර වනු දේශපාලනිකව නිරීක්ෂණය කළෙමු. එනම්, එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ ක්‍රියාකාරීන් (හෙවත් දෙමළ ඩයස්පෝරාවේ අත් රූකඩය වූ ටී. එන්. ඒ. දේශපාලනඥයන්) මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රකෝප ගන්වන සුළු හැසිරීම් පෙන්නුම් කිරීමයි; ප්‍රකාශ නිකුත් කිරීමයි. එයින් ඔවුන් උත්සහ දරන්නට ඇත්තේ සිංහලයන් ප්‍රකෝප ගන්වා රට තුළ නැවත කළු ජූලියක් ඇත් කොට මිලිටරිමය වශයෙන් පරාජිත බෙදුම්වාදයේ දේශපාලනික නිෂ්ඨාවන් මුදුන් පමුණුවා ගැනීමට විය හැකිය. කවදත් බහුතර සිංහල ජනතාව දේශපාලන ප්‍රගතිශීලීත්වයක් පෙන්නුම් කරද්දී 1971, 1988-89 පන්නයේ සංහාරයකට පාලකයින් පුලපුලා බලා සිටියා වන්නටද පිළිවන. එහෙත් ස්වකීය ජනමතය ප්‍රජාතාන්ත්‍රීයව ඉදිරිපත් කිරීමට මැතිවරණයක් එනතෙක් සංයමයෙන් සිටීමට බහුතර සිංහල ජනතාව කටයුතු කිරීම සතුටට කරුණකි. එය ඓතිහාසික ජාතියක දීර්ඝ කාලීන ජාතික විමුක්ති අරගලයකට ඇති සූදානම තරමකට හෝ පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හෙවත් “පොහොට්ටුව” මේ රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලයා හා දේශප්‍රේමී දෙමළ හා මුස්ලිම් සහෝදරයින් ඉදිරියේ ඇති අභියෝග ජයගැනීම සඳහා හොඳම විසඳුම නොවිය හැක. එසේම එය දේශපාලනිකව 100% නිවැරදි සුපිරිසිදු චරිත වලින් සමන්විත නොවනවාද විය හැක. එහෙත් පසුගිය කාලය තුළ රට ජාතිය හා ශ්‍රී සම්බුද්ධ ශාසනයට සෘජුව, නොබියව හා අලජ්ජීව එල්ල වූ ප්‍රහාර දකිත්ම, රටේ සිදුවූ මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා දකිත්ම, එසේම නීතියේ ආධිපත්‍යය සෝදාපාළුව දකිත්ම, දේශයේ ස්වෛරීත්වය නිර්ලජ්ජිතව පාවා දෙන්නට තිබූ සූදානම දකිත්ම කකියන්නට පටන්ගත් පුරවැසියන්ගේ ජනමතය, පවතින ක්‍රමයට අභියෝග කිරීමේ ශක්තිය සහිත එක් කඳවුරකට ගොනුවී ඇත. ඒ කඳවුරෙහි නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ නිදහස් පාක්ෂිකයින් සිටියද, ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් සිටියද, පිවිතුරු හෙළ උරුමයේ පිරිස් සිටියද, මහජන එක්සත් පෙරමුණේ පිරිස් සිටියද අප දකින්නේ එය වෙනත් හා නව අරමුණක් හෝ අරමුණු කීපයක් වටා ජන බලය ගොනුවීමක් ලෙසය.

නිකුත්වී ඇති ප්‍රතිඵල ප්‍රකාරව ඒ සා ප්‍රභල ජනතා ආශීර්වාදයක් දිනා ගන්නට “පොහොට්ටුව” සමත් වන්නේ සමකාලීන දේශපාලන කරළියේ “කෙරුම්කාරයන්” නැතිවය. පක්ෂයක් ලෙස ස්ථාපිතව වසර දෙකකට අඩු කාලයකදී සමස්ථ රටේම ජනමතයට බලපෑමක් ඇති කළ දේශපාලන පෙරමුණක් වන්නට පොහොට්ටුව පෙන්වූ ශක්‍යතාව පුදුම සහගත බව අපිදු පිළිගණිමු. 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ ජයග්‍රහණය “පුද්ගලවාදී දේශපාලනය” පරදා “ප්‍රතිපත්ති දේශපාලනය” ජයගැනීමකැයි හුවා දැක්වීමට ඇතැම් පාර්ශව උත්සහ දැරුවද, ජනතාව ප්‍රජාතන්ත්‍රීයව ප්‍රතිපත්ති වටා ගොනුවීමේ වීවෘත ප්‍රවණතාවක් පෙනෙන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බව අපගේ විශ්වාශයයි.

ඡන්ද ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් එනම් 45% පමණ ප්‍රතිශතයක් හිමිකරගන්නා “පොහොට්ටුව” පලාත් පාලන ආයතන 249ක බලය හිමිකර ගෙන තිබේ. ඡන්ද ලක්ෂ 36ක් ඉක්මවා දිනා ගන්නා එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ පලාත් පාලන ආයතන 42ක බලය පමණි. ඡන්ද ලක්ෂ 14ක් දිනා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය නොහොත් වත්මන් ජනාධිපතිවරයා විසින් නායකත්වය දුන් පක්ෂයට දිනාගත හැකිවී ඇත්තේ පළාත් පාලන ආයතන 11ක බලය පමණක් වුවද ඡන්ද ලක්ෂ 3කට මදක් වැඩියෙන් දිනාගන්නා දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 38ක බලය දිනා ගැනීම දෛවෝපගතය! එහෙත් දැඩිව සිහිතබාගත යුතු කරුණ වන්නේ ස්වකීය දුර්වලතා අඩු කර පක්ෂය සංවර්ධනයට කටයුතු නොකරන්නේ නම්, ඒ දේශපාලන වැඩ පිළිවෙල ප්‍රජාතාන්ත්‍රීයව අතුගා දමන මට්ටමට ශ්‍රී ලාංකිකකයාගේ දේශපාලන භාවිතාව දියුණුවී ඇති බවය. ඒ “අතුගා දැමීමෙන්” බේරීමට විවිධ ඉච්ඡා බස් හා මැතිවරණ අල්ලස් නොසමත් බවද මේ මැතිවරණයේදී ක්‍රියාවෙන් ඔප්පුකර තිබේ.

පොහොට්ටුව වෙත මේ රැල්ල කුළුගැන්වී ආවේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වූ දින සිට “පොහොට්ටුව” පැවැත්වූ කුඩා කණ්ඩායම් රැස්වීම් වල සිට මහා පරිමාණ ජනරැළි දක්වා වූ මැතිවරණ සටන් වලින් පමණක් නොවේ. තාක්ෂණිකව සමාජ ජාලා මාධ්‍ය වැනි සන්නිවේදන ක්‍රමෝපාය වල සිට, කුඩා පරිමාණ සම්මන්ත්‍රණ, ජනමාධ්‍ය සාකච්ඡා, විරෝධතා, ආදී විවිධ ක්‍රම ඔස්සේ දෙස් විදෙස් දේශප්‍රේමී ජනතාව සිදු කළ මැදිහත්වීම් ඒ ජන බලය නිර්මාණය වන්නට සැළකිවයුතු බලපෑමක් කළ බව අපගේ විශ්වාශයයි. එසේම වඩාත් වැදගත් කරුණ නම් මෙම ජයග්‍රහණයේ සැබෑ අයිතිකරුවා ඡන්ද දායකයා වීමයි. මෙම මැතිවරණයේදී පොහොට්ටුව වෙත ප්‍රකාශිත ඡන්දයේ බහුතරය ගමේ පාරවල් කොන්ක්‍රීට් කරගැනීම, රැකියා ලබාගැනීම, විදුලිය හෝ වෙනත් යටිතල පහසුකම් ආදී පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම පිණිසම ප්‍රකාශ කරන ලද්දක් නොවන බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

රට බෙදන ව්‍යවස්ථා මර උගුල, මහා පරිමාන මූල්‍ය වංචා, නීති විරෝධී මූල්‍ය වංචා විමර්ශන ඒකක හරහා නිලධාරීන් සියගණනින් අයුක්ති සහගත ලෙස අපහසුතාවට පත්කිරීම, ථේරවාදී කථිකාවත් පනත, කෘෂි සහනාධාර කප්පාදු, අක්කර ලක්ෂ ගණනින් වී ගොවිතැන විනාශ කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දු, ජීනීවා මානව හිමිකම් චෝදනා හා දෙමුහුම් අධිකරණ සඳහා වර්තමාන ආණ්ඩුවේ ඇති ගැතිකම්, සමලිංගික විවාහ, ගණිකා වෘත්තිය නීතිගත කිරීම, ආදී මේ රටේ මහා සංස්කෘතිය වූ සිංහල සංස්කෘතිය නසාලන සෑම සියලු සංසිද්ධීන් ගැනම එකී දේශප්‍රේමී සිවිල් සමාජය අවධානයෙන් සිටියා පමණක් නොව, තම තමන්ට හැකි පමණින් ප්‍රතිචාර දැක්වූහ; වාද විවාද කළහ.

ඒ ජාතිකවාදී නැඹුරුතාවන් හා පරාජිත 2015 ජනාධිපතිවරණය, මහ මැතිවරණය යන අවස්ථා ද්වයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේද, ජයග්‍රාහී 2018 පළාත් පාලන මැතිවරණයේදී “පොහොට්ටුවේ” ද ඡන්ද පදනම සකසා ඇත්තේ ජනවාර්ගික දෘෂ්ටි කෝණයකින් බලන්නේ නම් බහුතර සිංහලයන් හා අතළොස්සක් මුස්ලිම් දෙමළ වැසියන් විසිනි; එසේම මේ බලයේ කේන්ද්‍රය වී ඇත්තේ ‘ගම’ බවද පෙනී යයි. එක් එක් පක්ෂ විසින් දිනාගෙන ඇති පළාත් පාලන ආයතන දැක්වෙන සිතියමකින් ඒ තත්ත්වය මැනෙවින් විද්‍යාමාන වේ.

ඊට අමතරව, හොරගොල්ලේ දේශපාලන කේන්ද්‍රය සරණ ගිය, පත්තරෙන් රටේ සිදුවන දෑ දැනගැනීමේ විධායක ජනාධිපති කලාව ගැන “සරළ මිනිසකු රජ කර” බොහෝදෑ බලාපොරොත්තු වූ මහජනතාව තුළ ඇතිවූ පශ්චාත්තාපයද මෙහිලා බලපෑවේය. ඇමතිවරයකුව සිටියදී එවකට සිටි ජනාධිපතිවරයා තමාට ක්‍රියාකාරී නිදහස නුදුන්නේය යන දුක්ගැනවිල්ලම නව ආරකින් විධායක ජනාධිපතිව සිටිමින් අගමැති ඇතුළු පිරිස තමාට භාධා කරන්නේය වැනි අදහසකින් පැවැත්ම උදෙසා අනුකම්පාව දිනාගැනීමේ උත්සුකතාවද පුද්ගල බද්ධ පෞරුෂ ඌනතාවක් බව ජනතාව නිර්ණය කරන්නට ඇත. වත්මන් ජනාධිපතිතුමා විසින් “අත්පත් කරගත්තාවූ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සම්බන්ධන්ගේ පක්ෂය දිනාගත් පලාත් පාලන ආයතන ගණනින් තුනෙන් එකක් වත් දිනාගන්නට නොහැකි වන්නේ ඒ නිසා බවද අපි සිතමු.

2015 සිදුවූ “වෙනස” නිර්මාණය කරන්නේ බෙදුම්වාදී හා දක්ෂිණාංශික න්‍යායපත්‍ර සඳහා විජාතික මැදිහත්වී මතය. ඒ පරිවර්තනය සඳහා ජනතාව පෙළගැසුනේ ඇයි? රටක් වෙලාගත් කුරිරු ත්‍රස්තවාදයක් මිලිටරිමය වශයෙන් පරාජය කිරීමේ මෙහෙයුම අද්විතීය බව සැබෑය. එහෙත් 2015 මට්ටුවීමට හේතුවූ ස්වකීය දුර්වලතා පොහොට්ටුවට සදාකාලිකව හා අවංකව මතක තිබිය යුත්තේ ඒ නිසාය. මැතිවරණ ප්‍රතිඵලය සමග විවිධ වෙනස්කම් සිදුවිය හැකිය. ඊයේ ද්‍රෝහියා අද මිත්‍රවීම තරම් මේ දේශපාලන ක්‍රමයේ අප්‍රසන්න තවත් යමක් නැත. රෑ වැටුනු වලේ දවල්ද හිතාමතාම වැටෙන්නේ නම් හේ උකටලී ආභාධිතයකු බව සිතන්නට මහජනතාව පසුබට වන්නේ නැත. එහෙයින් අප සිතන්නේ බලයේ ස්ථාවරත්වය පිණිස රිළවුන් එකතු කරනු වෙනුවට, නව දේශපාලන සංස්කෘතියකට මුළ පුරන්නට උත්සුක වන්නේ නම් හොඳ බවය. ඒ සඳහා ලැබී ඇත්තේ මහඟු අවස්ථාවෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා/හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ස්වභාවික මරණයක් කරා යෑම නවතා ඒ වයෝවෘධ පංචස්කන්ධයට පණ නල පිඹීමේ “දේශපාලන දරහැව තොවිලයක්” පැවැත්වීම අගුණය. එසේම 2015 පරිවර්තනයට මැදිහත්වූ ජාත්‍යන්තර බලවේග සියල්ල මේ නව ප්‍රවණතාව ගැඹුරින් විමසා මොනයම් හෝ ක්‍රමයකින් එය නිශ්ක්‍රිය කරන්නට ක්‍රමෝපාය ගළපනවා නොඅනුමානය.

1815දී සිදුවූ රාජ්‍යතාන්ත්‍රික “පාවාදීම” 2015 සිදුවූ දේශපාලනික සිදුවීම් සමග ගළපන්නටත්, 1818 දී සිදුවූ නැගිටීම 2018 පර්යායව විග්‍රහ කරන්නටත් ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එහෙත් සිංහල සංගේදමේ අපි එතරම් සර්ව සුභවාදී වන්නට හෝ අධිතක්සේරුවක් කිරීමට ඉක්මන් වන්නේ නැත. 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හුදු සංඛ්‍යාත්මක හෝ ප්‍රතිශතාත්මක විචාරයන්ගෙන් ඔබ්බට යමින් ගුණාත්මකව “දිරවාගෙන” බොහෝ පාඩම් ඉගෙන ගන්නට පොහොට්ටුව සමත් වෙතැයි අපි සිතමු. එසේම, තවමත් විකසිත නොවූ, එහෙත් නොපමාව විකසිත වන්නට ජනතා ආශීර්වාදය නොමඳව ලත් පොහොට්ටුව විකසිතවත්ම ඒ තුළද කඳපනුවන්, ගුල්ලන්, ගොඩවෙල්ලන්, කීඩෑවන්, පුරුක් පණුවන් දකින්නට බලාපොරොත්තු සහගත ශ්‍රී ලාංකිකයා සූදානම් නැත. එහෙයින් පොහොට්ටුවෙන් පිබිදෙන්නේ නැවුම් නෙළුඹුවක්, පියුමක් මිස දුගඳ හමන කිඩාරං මලක් නොවිය යුතුය.

සිංහල සංගේදම බුද්ධි මණ්ඩලයේ
ආචාර්ය චමිල ලියනගේ


81 Viewers