• Home »
  • Sinhala »
  • වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

දෙමළ කතා කරන ජනයාට (ඔවුන් ජාතියක් තබා ජනවර්ගයක්වත් නොවෙයි. ඔවුන් අඩුම තරමෙන් උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හා කඳුකරයේ යනුවෙන් ජන කොටස් තුනක් ලෙස ඉන්නවා. ඔවුන්ට පොදු නායකයන්වත් නැහැ) තමන් දෙමළ කතා කිරීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්ද යන්නට අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ පිළිතුරක් දීමට නොහැකිව සිංහල විරෝධීන් ගැඩවිලුන් මෙන් දඟලනවා. ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් දෙමළ කතා කරන ජනයාගේ ප්‍රශ්න විසඳන බව කී විට ඔවුන් දැඟලිල්ල නවත්තලා උඩ පනින්න හදනවා. එහෙත් ගැඩවිලුන්ට උඩ පනින්න බැහැ.

මේ අතර මා අහගෙන හිටියා එරාන් වික්‍රමරත්න කියනවා දෙමළ කතා කරන ජනයාට සමානත්වය දිය යුතු බව. ඔහු 360ට කී කතාවලින් වැදගත් වූයේ තමා රාජකීය විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටිය දී මුණ ගැසුනු විශාකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සමග විවාහ වූ බව පමණයි. අනෙක් කතා සියල්ල දේශපාලන ඕපාදූප. මේ දෙමළ කතාකරන ජනයාට මෙරට නැති සමානත්වය මොකක් දැයි ඩිල්කා සමන්මලී ඇහුවේ නැහැ. මට 360ක් ලැබෙන්නෙ නැහැ. මට දෙරණෙ ලොක්කන්වත් පොඩ්ඩන්වත් විශ්වාස නැහැ. ජනාධිපතිවරණ සමයෙ දෙරණ මගේ කිසිම ප්‍රකාශයකට ප්‍රසිද්ධියක් දුන්නෙ නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ 1979-92 වකවානුවෙ උගත් බහුතරයක් ගැන මට විශ්වාසයක් නැහැ. ඔවුන් බොහෝ දෙනකු මට විරුද්ධයි.

මෙරට ප්‍රබුද්ධයන් මට කැමති නැහැ. ඔවුන්ට අනුව මා මුග්ධයෙක්. මුහුණු පොතේ ජාතිකවාදී ප්‍රබුද්ධ පඬි නැට්ටියකට අනුව මා ලියන්නේ දෙකේ පංතියේ කතා. ජාතිකවාදීනුත් මා ගැන කියන්නේ එහෙම නම් අනෙක් ප්‍රබුද්ධයන් ගැන කියනුම කවරේද?

දෙමළ කතා කරන ජනතාවට දිය යුතු සමානත්වය ගැන මා මෙහි කියන්නම්. දෙමළ කතා කරන ජනයා සිංහලයන් සමග සමාන කිරීමට නම් තේසවලාමේ නීතිය අහෝසි කළ යුතුයි. යාපනයෙන් එළවා දැමූ සිංහලයන් හෝ ඔවුන්ගෙන් පැවතෙන්නන් හෝ දැන්වත් එහි පදිංචි කළ යුතුයි. ගුරුකන්ද විහාරයට බෞද්ධයන්ට ඇති අයිතිය තහවුරු කළ යුතුයි. ගෝකණ්න (ත්‍රිකුණාමලය) විහාරයේ ඉතිහාසය හෙළිදරවු කළ යුතුයි. අනෙක් පළාත්වල හමුදා කඳවුරු තිබෙන බැවින් උතුරු පළාතෙන් හමුදා කඳවුරු ඉවත් නොකිරීමට කටයුතු කළ යුතුයි. උතුරු පළාතෙන් දෙමළ සෙල්ලිපි අඩුම තරමෙන් පනහක්වත් සොයා ගත යුතුයි. ඊනියා අඩු කුලවල ජනයාගේ සිංහල සම්භවය හෙළි කළ යුතුයි. කෝවියාර්, නලවර්, කරෙයිවර් ආදීන් කාගේ කවුද කියා කිව යුතුයි. අවුරුදු දෙදහස් පන්සීයක්  කියන දෙමළ ඉතිහාසයේ ලංකාවේ ලියැවුණු දෙමළ පොත් පහක් නම් කළ යුතුයි. සිංහලෙන් ලියැවී ඇති පොත් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් නම් කිරීමට කියා මා කියන්නේ නැහැ. වෙල්ලාල නායකයන්ගේ තෝම්බු ප්‍රසිද්ධ කළ යුතුයි. ඒ අනෙක් දෙමළ කතා කරන ජනයාගේ දැන ගැනීම පිනිස. ලැයිස්තුව ඉවර නැහැ. ඇත්තෙන් ම දෙමළ කතා කරන ජනයාට සමානත්වයක් නැහැ.

උතුරු පළාතේ ඇත්තේ ප්‍රශ්න දෙකක්. එකක් වෙල්ලාලයන්ගෙ ප්‍රශ්නය. අනෙක වෙල්ලාල නොවන ජනයාගෙ ප්‍රශ්නය. වෙල්ලාලයන්ගෙ ප්‍රශ්නය ඉංගිරිසින් විසින් ඇති කෙරුණු දෙමළ ජාතිවාදය (මා මෙහි ඉතිහාසය 1829 දක්වා දැක්කා. එහෙත් දැන් පියසිරි අමරකෝන් හා ටික්කම මහින්ද කුමාර මහත්වරු ඒ ඉතිහාසය එයටත් එහාට ගෙන ගොස් තියෙනවා) ඔස්සේ ලංකාවේ නායකයන් බවට පත්වීමට බැරි නම් අඩුම තරමෙන් උතුරු, නැගෙනහිර පළාත්වල හා වන්නියේ වෙනම රාජ්‍යයක් ඇති කර එහි පාලකයන් වීමට ඇති දොළදුක. මේ දොළදුක සංසිඳවීමට බටහිර රටවල් හා ඉන්දියාව ආධාර කරනවා. ඊයේ පෙරේදා මෙහි පැමිණි පකිස්ථාන විදේශ ඇමතිවරයා කියා සිටියේ තමන් කිසි දිනෙක ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගැසීමටවත් රට අස්ථායි කිරීමටවත් කටයුතු කර නැති බවත් එහෙත් අනෙක් රටවල් ගැන කිසිවක් නොකියන බවත්. ඔහු නොකියා කිවුවේ කුමක් දැයි අමුතුවෙන් කියන්න ඕන නැහැ.

වෙල්ලාලයන් නොවන්නන්ට තියෙන්නෙ වෙල්ලාල කුල පීඩනය. වෙල්ලාලයන් නොවන්නන් අති විශාල බහුතරයකගෙ සම්භවය සිංහල. ඒ නිසා ඔවුන් සිංහලයන් යැයි මා කියන්නේ නැහැ. ඔවුන් දෙමළකරණයකට ලක් වූ අය. අද ඔවුන්ට කුල පීඩනය නිසා අර එරාන් වික්‍රමරත්න කියන සමානත්වය නැහැ. ඔවුන්ගේ කිසිම ප්‍රශ්නයකට උතුරු පළාත් සභාවෙන්වත් විසඳුමක් දී නැහැ. 1850න් පසු දුම්කොළ වගාවට මෙරටට ගෙනෙන ලද මලබාර්වරුන්ගෙන් පැවත එන විග්නේස්වරන් වෙල්ලාලයන්ට අවශ්‍ය ආකාරයට රට බෙදා ඊනියා දෙමළ නිජ බිමෙහි පාලකයන් වීම ගැන මිස යාපනයේ ගොවියන්ගේ ප්‍රශ්නය විසඳීම ගැන කතා කෙළේ නැහැ. උතුරු පළාත් සභාවට වෙන් කෙරුණු ප්‍රතිපාදනත් ඔහු ආපහු එවලා.

මා වෙල්ලාල කුල පීඩනය ගැන කියන්නෙ ඔබ්සර්වර් පත්‍රයේ හිටපු සංස්කාරක මහින්දපාල මහතා ඒ ගැන සඳහන් කරන ආකාරයට නොවෙයි. වෙල්ලාල කුල පීඩනය අමතක කිරීමට වෙල්ලාලයන් රට බෙදන්න ඉල්ලන්නෙ නැහැ. වෙල්ලාලයන් රට බෙදන්න තල්ලු කෙළෙ ඉංගිරිසින්. ඒ තනිකරම සිංහල, විශේෂයෙන්ම සිංහල විරෝධී ව්‍යාපාරයක්. එය හා වෙල්ලාල කුල පීඩනය අතර සම්බන්ධයක් නැහැ. කුල පීඩනය වෙල්ලාල නොවන්නන්ගේ ප්‍රශ්නය, රට බෙදා පාලකයන් වීම වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය. ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් විසඳන්න යන්නෙ වෙල්ලාල නොවන්නන්ගෙ ප්‍රශ්නය.  ගොවියන්ගෙ ධීවරයන්ගෙ රා මදින්නන්ගෙ ආදීන්ගෙ ප්‍රශ්න. ඒ ගැන ගැඩවිලුන් උඩ පනින්න හදන්න ගිහින් ෆොන්සේකාගෙ උදලු පහරට අහුවෙන්න බැරි නැහැ.

ඉන්දියාවෙ අගමැති මෝදි නව දිල්ලියේ දී ජනාධිපති ගෝඨාභයට කියා සිටියේ ඊනියා සංහිඳියාව ඇති කිරීමටත්  දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමටත්. ගෝඨාභය ඒ අවස්ථාවේ එයට පිළිතුරු දී නැහැ. මා ඒ ගැන ගෝඨාභයට දොස් කියන්නේ නැහැ. එහෙත් ඔහු හින්දු පත්තරේට තම ස්ථාවරය කියා තිබෙනවා. ඔහු කියා ඇත්තේ දහතුන දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත් එහෙත් පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට දිය නොහැකි බවත්. මා හිතන්නේ දැනට එසේ කීම ප්‍රමාණවත් කියා. එහෙත් අප ඉන් සෑහීමකට පත් වෙන්නෙ නැහැ.

ඉන්දියාව හා බටහිර රටවල් පකිස්ථානය චීනය රුසියාව මෙන් මේ වෙල්ලාල ප්‍රශ්නයෙන් ඉවත් විය යුතුයි. එවිට වෙල්ලාල ප්‍රශ්නය ඉන්ධන නැතිව මග හිටීවි. අප කොහොමටත් වෙල්ලාල නොවන්නන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන. ඒ සිංහලයන්ගෙ එවැනිම ප්‍රශ්න විසඳන ආකාරයට. ඉන්දියාව හා බටහිර රටවල් කරන්නෙ වෙල්ලාලයන්ගෙ දෙමළ ජාතිවාදය යොදා ගෙන සිංහලයන්ගෙ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගෙ උරුමය නැති කිරීම. අප එයට කිසිසේත් යට විය යුතු නැහැ.

දහතුන වැඩක් නැති සංශෝධනයක්. එය නැති ප්‍රශ්නයකට ගෙනා විසඳුමක්. ඒ නිසාම එය අභව්‍ය විසඳුමක්. එය අභාවයට පත් කරන්න ඕන. එය අවසථා තුනකින් ක්‍රියාත්මක කරන්න ඕන. දැනට පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට නොදිය යුතුයි. දෙවැනි අවස්ථාවේ දී ඉන්දියාවේ ප්‍රාන්තවලට නැති එහෙත් පළාත් සභාවලට ඇති බලතල ඉවත කළ යුතුයි. තුන්වැනි අවස්ථාවේ දී වැඩකට නැති මහජන මුදල් කන ආයතන වූ  පළාත් සභා අහෝසි කළ යුතුයි. ඒ සමහර දේ තීරණය වන්නේ 2020 මහා මැතිවරණයෙන්. අප දැනට කළ යුත්තෙ එය උපරිමයෙන් කර ගැනීමට ජාතිකවාදී  මතධාරීන් වැඩි දෙනකු සිටින පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමයි.

නලින් ද සිල්වා

157 Viewers