• Home »
  • Sinhala »
  • “වැඩිම කෘරත්වය කළේ LTTE කොටි කැරලිකරුවන්”- – – ‘පාරාදීසයේ යක්‍ෂයෝ’ (Demons in Paradise)

“වැඩිම කෘරත්වය කළේ LTTE කොටි කැරලිකරුවන්”- – – ‘පාරාදීසයේ යක්‍ෂයෝ’ (Demons in Paradise)

නිරංජනී ෂන්මුගරාජාගේ ප්‍රකාශයෙන් කොටි හිතවාදී එන්ජිඕ නඩයේ ගැලවුණු රෙදි ඇඳගන්නටත් මත්තෙන් ඔවුන් තව දුරටත් හෙළිදරව් වෙන සිද්දියක් උතුරෙන් වාර්තා වෙනවා. ඒ තමයි අද ඔක්තෝබර් 3 දා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් ජූඩ් රත්නම්ගේ Demons in Paradise චිත්‍රපටය ඉවත් කර තිබීමයි.

මෙය ප්‍රබාකරන් ඇතුළු උතුරේ එල්ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වයද විවේචනයට ලක්කරන සිනමා කෘතියක් බව සැලයි. චිත්‍ර පටයේ අධ්‍යක්ෂක චෝදනා කරන්නේ එම හේතුව පදනම් කරගෙන මෙම චිත්‍රපටය සිනමා උළලෙන් ඉවත් කර ඇති බවයි. මෙම සිනමා උළෙල සංවිධානය කරන්නේ මෙරට එන්ජිඕ ජාලයේ කපිතාන්වරියක වන අනෝමා රාජකරුණා විසිනුයි.

මෙය ජූඩ් රත්නම්ගේ කුලුදුල් සිනමා පටයයි. දකුණේ එන්ජිඕ සිනමාකරුවන් විමුක්ති අරගලයක් ලෙස ප්‍රභාකාරම්ගේ මිලේච්ඡත්වයට ආවඩද්දී උතුරේ සිනමාකරුවකු ප්‍රභාකරම්ගේ මිලේච්ඡත්වය ගැන විවේචනාත්මකව බලන්නේ නම් එය දිරි දියයුතු හොඳ ප්‍රවනතාවයක්. නමුත් ඒ වෙනුවට කර ඇත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමයි.

සිනමා උළෙලේ (එන්ජිඕ) අධ්‍යක්ෂවරිය මෙම ඉවත් කිරීමට හේතු වූ බව පවසන්නේ උතුරේ ජනයා එම චිත්‍රපටය පෙන්නනවාට විරෝධය පළකළ බවයි. නමුත් ජූඩ් රත්නම් අනෝමා රාජකරුණාට යවා ඇති ලිපියක දැක්වෙන්නේ ප්‍රජාවක්’ යයි පවසනා කණ්ඩායමකගේ පීඩනය මත සංවිධායකවරුන් මෙම චිත්‍රපටය ඉවත් කිරීමෙන් තමාගේ මුලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වී ඇති බවයි. එමෙන්ම මෙම ඉවත් කිරීම ගැන තමන්ට මෙතෙක් නිල පැහැදිලි කිරීමක් ලැබී නැති බවයි.

දැන් දකුණේ 99%ක බහුතරය විරුද්ධ චිත්‍රපටයකට වුණත් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වාරණයට එරෙහිව මරාගෙන මැරෙන සටනට එන එන්ජිඕ නඩය උතුරේ හඳුනා නොගත් සුළු කල්ලියකගේ විරෝධය වෙනුවෙන් මෙම චිත්‍රපටය ඉවත් කළේ ඇයි?

ඔවුන්ට කලාකරුවාගේ පරිකල්පනයේ නිදහස ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීමට මාධ්‍ය සාකච්ඡා,අත් පත්‍රිකා , වොයිෂ් කට් දෙන්නේ නැද්ද ?

දකුණට නම් ඒවා ඉගැන්වීමට දවස ගානේ උනන්දු වන අය දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ ඉන්නේ ඇයි. ?

ඔබලාටත් උතුරේ හදුනා නොගත් විරෝධතා කල්ලියට මෙන් ජූඩ් රත්නම් ගැන ඇත්තේ අපුලක් ද ?

ප්‍රබකාරම්ගේ මිලේච්ඡත්වය විවේචනය කිරීම තමන්ටත් දැනෙන්නේ මතවාදී පියා විවේචනය කරන ආකාරයෙන් ද ?

සැබවින්ම චිත්‍රපටයට උතුරේ විරෝධය දක්වපු අය කවුද ?
ඔවුනුත් කොටි හිතවාදී එන්ජිඕ නඩේ ගැත්තන් ද ?

අනෝමලාගේද ෆැන්ටසිය බොඳවෙන නිසා විරෝධයට උසිගන්වපු පිරිස පිටුපස සංවිධායිකාවත් සිටිත්ද?

එසේ නොවේ නම් උතුරේ ඒ බලහත්කාරී අන්තවාදී කල්ලි ගැන ඔවුන්ගේ අදහස මොකක් ද ?

ඔවුන් පුනරුත්ථාපනය කිරීම මොවුන්ගේ සාම වෙළදාමට අයත් නැද්ද ?
නැත්නම් නිරංජනීගේ දෙමළකම පරික්ෂා කළාක් මෙන් ජූඩ් රාජරත්නම්ගේ දෙමළ බව පරික්ෂා කිරීමට අවස්ථාවක් ආවාද ?

මිත්‍රවරුනි ,වාර්ගික බෙදීම ජීවනෝපායක් කරගත් කොටි හිතවාදී එන්ජිඕ නඩේ මෙතරම් අපුරුවට රෙදි ගැලවුණ තවත් අවස්ථාවන් මෑතභාගයේ තිබේ ද ?

සිනමා ශිල්පී ජූඩ් රත්නම් (Jude Ratnam) තමන්ම ප්‍රකාශ කරන ආකාරයට “ද්‍රෝහියෙකි”. දෙමළ ජාතිකයෙකුවන ඔහු, ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී විවිධ කුරිරු ක්‍රියාවල යෙදුන බවට LTTE සංවිධානයට චෝදනා කරයි.

තමන්ට එසේ හැඟෙන්නේ කුමක් නිසාදැයි, බීබීසී ආසියානු ජාලයේ (BBC Asian Network) නලිනී සිවදාසන් (Nalini Sivathasan) සමග ඔහු විස්තර කළේය.

“යුද්ධයේ අවසාන කාලය වනවිට, මට ඕන වුණේ LTTE එක පරාජය වෙනව දකින්න. මගේම ජාතියේ මිනිස්සු ඝාතනයවෙලා හරි මට ඒක අවසන් වෙනව දකින්න ඕන වුණා,” රත්නම් පවසයි.

සිංහල බහුතරයකින් සමන්විත ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් LTTE සංවිධානය පරාජයට කරනු ලබමින් 2009 දී යුද්ධය නිමාවට පත්විය.
යුද්ධය අවසන්වී දශකයකට ආසන්න වෙමින් පවතිද්දී, 100,000 ට වැඩි පිරිසක් ඝාතනය වූ වසර 26 ක ගැටුම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිනමාකරුවෝ නැවත අධ්‍යයනයක නිරතැවෙමින් සිටිති.

නිර්මලන් නඩරාජා (Nirmalan Nadarajah) සහ ඥානදාස් කසිනතර් (Gnanadas Kasinathar) වැනි දෙමළ ජාතික අධ්‍යක්‍ෂවරු, සිවිල් වැසියන් ඉලක්ක කිරීම සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ චෝදනා එල්ලකරමින් සියුම් ලෙස ශ්‍රී ලංකා රජය (ඔවුන්ගේ නිර්මාණවලදී) විවේචනය කළේය.
නමුත් රත්නම් ඊට වඩා ඉදිරියට යයි. ඔහුගේ ‘පාරාදීසයේ යක්‍ෂයෝ’ (Demons in Paradise) චිත්‍රපටයත් සමග ඔහු, දෙමළ කොටි සංවිධානය ප්‍රසිද්ධියේ විවේචනය කරන පළමු චිත්‍රපට නිර්මාණකරුවා බවට පත්වේ.

“තවත් චිත්‍රපට තිබුණා…ඒවායේ දෙමළ ජනතාව නිකම්ම වින්දිතයන් ලෙස නිරුපණය කරපු. එහෙත් එය ගැටුමකදී ඒක ප්‍රශ්න සහගතයි.”

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලදී සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානය කුප්‍රකට නමුත් ශ්‍රී ලංකාවේ සහ ඉන් පිටත වෙසෙන බොහෝ දෙමළ ජනතාව ඔවුන් වීරයන් ලෙස සලකති.

නමුත් තමන් ආරක්ෂා කළයුතුව තිබූ තමන්ගේම ජන වර්ගයට එරෙහි වඩාත් කෘරත්වය පළ කළේ කොටි කැරලිකරුවන් බව රත්නම්ගේ විශ්වාසයයි.

ltte

Child Soldiers

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 1970 දී ඉස්මතු වූ දෙමළ ජාතිකවාදී කණ්ඩායම් දෙස චිත්‍රපටයේ අවධානය යොමුවේ.
නමුත් එම කණ්ඩායම එකිනෙකා මරා ගන්නට වීමත් සමග දෙමළ කොටි සංවිධානය ජයග්‍රාහකයන් ලෙස ඉස්මතු විය. එක් සමූල ඝාතනයකදී, කොටි සංවිධානය ඔවුන් තමන්ගේ සතුරු ටෙලෝ (TELO) සංවිධානයේ සාමාජිකයන් සිය ගණනක් මරා දැමුවේය.

කලින් ප්‍රතිවාදී දෙමළ සංවිධානයක සටන්කරුවෙකු වූ ඔහුගේ මාමා අනුගමනය කරන අතරවාරයේ රත්නම්ට ඔහුට කොටි සංවිධානය විවේචනය කරන්නන් හමුවිය. එක් දර්ශනයකදී පුද්ගලයෙක් කොටි සංවිධානයෙන් තමන්ට විඳින්නට වූ වධ හිංසා පිළිබඳ විස්තර කරයි.
“මගේ තාත්ත නිදාගෙන ඉඳිද්දී ඔවුන් ඇඳ පිටින් ම අරගෙන ගියා. ඔවුන් ඉස්තිරික්කයක් යොදාගෙන ඔහුට වධ දුන්නා. ඔහුගේ පිටුපසට ඉස්තිරික්කය තැබුවා. ඉඳිකටුවලින් ඔහුගේ ඇස හෑරුවා. ඔවුන් ගොඩක් දෙනාට ඒ වගේ වධ දුන්නා.”

2017 වසරේ ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ (Cannes Films Festival) මුලින්ම තිරගත වීමත් සමග ‘පාරාදීසයේ යක්‍ෂයෝ’ චිත්‍රපටයට විශාල විචාරක පිළිගැනීමක් ලැබිණි.

“ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලංකාව පිළිබඳ කරන ලද ඉතාමත් අවංක, ධෛර්යසම්පන්න සහ වැදගත් කලා නිර්මාණයක්,” යනුවෙන් ද ඩේලි මිරර් (The Daily Mirror) පුවත්පත එය හඳුන්වා දී තිබිණ.

කොටි සංවිධානයේ බොහෝ නායකයන් 2009 දී මරා දමනු ලැබුණ බැවින් පාරාදීසයේ යක්‍ෂයෝ චිත්‍රපටයේ නැගෙන චෝදනාවලට ඔවුන්ගේ ප්‍රතිචාරය ප්‍රේක්ෂකයන්ට කිසි දින දැනගැනීමට නොහැකිවනු ඇත.

කෙසේ වෙතත් පුළුල් දෙමළ ජන සමාජය තුළින් චිත්‍රපටය කෙරෙහි එල්ලවූයේ කෝපයකි.

දෙමළ අනන්‍යතාව පිළිබඳ විශේෂඥයෙක්වන නොර්වේ හි පදිංචි අතිතන් ජයපාලන් (Athithan Jayapalan), කොටි සංවිධානය අපරාධ සිදුකළ බව ප්‍රතික්ෂේප නොකරයි.

“මේ හැම වෙලාවකම ශ්‍රී ලංකාව ලෝක අවධානයෙන් ගැලවුණා, දැන් මේ චිත්‍රපටයත් ඇවිත් … ශ්‍රී ලංකා රාජ්‍යය කෝ? ඒක චිත්‍රයෙන් එළියේ තියෙන්නේ.”

දෙමළ ඩයස්පෝරාවට අනතුරු ඇඟවීම

දෙමළ ජන සමාජයට, විශේෂයෙන්ම වෙනත් රටවල වෙසෙමින් කොටි සංවිධානය පිළිබඳ සිහින දකින දෙමළ ජනතාවට අනතුරු ඇඟවීම සිය අභිලාශය බව රත්නම් පවසයි.

නමුත් ශ්‍රී ලංකාවේ වෙසෙන මානව හිමිකම් නිතීඥ මතුරි තමිල්මරන් (Mathuri Thamilmaran) ඒ අදහස සමග එකඟ නොවේ. ඇය ‘පාරාදීසයේ යක්‍ෂයෝ’ නැරඹුවේ කොළඹදීය. චිත්‍රපටය දෙමළ ජනතාව වෙසෙන රටේ අනෙකුත් ප්‍රදේශවල තිරගත කිරීමට රැගෙනයාමෙන් වැලකී සිටින්නේ මන්දැයි ඇය රත්නම්ගෙන් ප්‍රශ්න කරයි.

“දෙමළ ජනතාව පිළිබඳව මේ චිත්‍රපටය දෙමළ ජනතාවට නොපෙන්වීම හාස්‍යජනකයි. මට ඒ ගැන සැකයි.”

පසුගිය දශකයේදී, ඡායාමාත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට නැවත සාමය උදාවිය. නමුත්, ශ්‍රී ලංකාව තවදුරටත් ජනවර්ග මත බෙහෙවින් බෙදී සිටින බවට ‘පාරාදීසයේ යක්‍ෂයෝ’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර තවත් උදාහරණයකි.

පෙරලා කරන පහරදීම් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන නමුත් සිය සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ ජනතාව අතර සහජීවනයක් ඇති කිරීමට උපකාර වනු ඇතැයි ජූඩ් රත්නම් උදක්ම කියා සිටියි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



416 Viewers