• Home »
  • Sinhala »
  • ‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද අපරාධ සිදු කර ඇත’ යන ජිනීවා මිථ්‍යාවට ඉඩ දී නිහඬ වීම : ජනපතිට කෙටි ප්‍රශ්න තුනක්…

‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යුද අපරාධ සිදු කර ඇත’ යන ජිනීවා මිථ්‍යාවට ඉඩ දී නිහඬ වීම : ජනපතිට කෙටි ප්‍රශ්න තුනක්…

army

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවේ 2015 වසරේදී ය. වත්මන් ආණ්ඩුවේ එවකට විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර ලොවම මවිත කරමින් ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් විය. එම යෝජනාවලියේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් දුර්වල හා දුර්මුඛ කිරීම ය. එසේම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ තම කුලී සේනාංකය හෙවත් කොටි සුරතලුන් සහමුලින්ම වනසා දමා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට තිත තැබූ සේනාධිනායකයා ඇතුළු ආරක්ෂක හමුදා වෙතින් පලිගැනීම ය. තව ද ‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කර ඇත’ යන මිථ්‍යාව 2015 ජනවාරි 8 වැනිදා තමන් විසින් පත් කරගත් පාලනයේ සහායෙන් සනාථ කර ගැනීම ය.

ඒ අනුව දැන් එකී පාලනය ඉහත යෝජනාවලිය අනුව යමින් එහි වන අපගේ රණවිරුවන් යුද අපරාධ දං ගෙඩියට දැක්කවීමට අදාළ තම බටහිර හාම්පුතුන්ගේ නියමයන් එකිනෙක ඉටු කරමින් සිටිති. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ඒ අනුව ය. ඒ පනතේ ආනුභාවයෙන් දැන් කොළඹ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා ඇත. එතැනින් නොනැවතී එම කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් සැමදා පෙනී සිටි නිමල්කා ප්‍රනාන්දු ප්‍රමුඛ එන්ජීඕ මාෆියාවේ නියෝජිතයන් පත් වී තිබේ.

මෙම කාර්යාලය ක්‍රියාත්මක වන්නේ අපගේ රණවිරුවන්ට එරෙහිව ඔවුන් යුද අපරාධ සිදුකර ඇතැයි යන චෝදනාව වරගන්වා ඉදිරිපත් කරන ‘චෝදනා ෆැක්ටරියක්’ ලෙස ය. මියගිය කොටි ත්‍රස්තවාදීන්ගේ ඥාතීන් ඇතුළු හිතවතුන් විද්‍යුත් තැපෑල ඇතුළු බහුවිද මාධ්‍ය ඔස්සේ කරන පැමිණිලි, සාක්ෂි පනත ද නොතකා සත්‍ය සේ සලකා රණවිරුවන්ට එරෙහිව යොදා ගැනීමට හැකිවීම මෙහි ඇති භයානකකම ය. රට බේරාගත් රණවිරුවන්ට එරෙහිව ‘යුද අපරාධ සිදුකර ඇත’ යන චෝදනාව සනාථ කෙරෙන උපකරණයක් දැන් ජනතාවගේ මුදලින් ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ නාමයෙන් ක්‍රියාත්මකව තිබේ.

එතැනින් නොනැවතී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත් වැනි සැසිවාරය පැවැත්වෙන මේ දිනවල එනම් පසුගිය මාර්තු 07 වැනිදා රණවිරු දඩයමට අදාළ දෙවැනි අතිශය භයානක පියවර ද ගෙන තිබේ. රට තුළ ඒ වනවිට උද්ගතව තිබූ ගැටුම්කාරී තත්ත්වය ද නොතකා එම පනත් කෙටුම්පත බලහත්කාරයෙන් සම්මත කර ගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි.

‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනත් කෙටුම්පත’ මෙසේ සම්මතකර තිබේ. ඒ අනුව එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය තම රටේ නීති පද්ධතියට එකතු කළ ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත සම්මත කිරීම තුළ රටටත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ටත් පොදුවේ ආරක්ෂක හමුදාවන්ටත් සිදු වන අනර්ථය සැකෙවින් මෙසේ දැක්විය හැක.

  1. එම පනත මගින් ප්‍රධානතම යුද අපරාධයක් ලෙස සැලකෙන අතුරුදහන් කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් හෙවත් දේශීය යුද අපරාධ අධිකරණයක් පිහිටුවන අතර ඒ මගින් අණ දීමේ වගකීම සොයා දඬුවම් කළ හැකි ය.
  2. පනත ක්‍රියාත්මක වීමත් සමඟ අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීම සඳහා රට තුළ පිහිටවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට අදාළව බලපෑම් කිරීමේ බලය ජාත්‍යන්තර කමිටුවකට ලැබේ. ඒ අනුව මීට පෙර අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යන නමින් පිහිටු වූ අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු මෙහෙයවීමේ හැකියාව ද එම ජාත්‍යන්තර කමිටුවට ලැබේ.
  3. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසමේ පැමිණිලි විභාග කිරීමේ දී සාක්ෂි ආඥා පනත අදාළ නොවේ. ඒ අනුව බොරු සාක්ෂි ගොතා පිටරටවල දැනටත් ජීවත් වන ඩයස්පෝරා සාමාජිකයින් පවා අතුරුදහන් කළ බවට, ආරක්ෂක හමුදා සාමාජිකයන් චූදිතයන් කළ හැකි ය. නව පනත මගින් එවැනි චූදිතයන්ට රට තුළ දඬුවම් කිරීමට ඉඩ ලැබේ. ඊට අමතරව එම පනත යටතේ එවැනි චූදිතයින් ජාත්‍යන්තර නීතියට නිරාවරණය වේ.
  4. එම නිසා එසේ එක් පනතක් මගින් ව්‍යාජ සාක්ෂි මත චූදිතයන් බවට පත් කෙරෙන ආරක්ෂක හමුදා නායකයින්, දෙවන පනත යටතේ පිටුවහල් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කළ සම්මුති රාජ්‍යයක් විසින් ඉල්ලා සිටියහොත් ඔහු එම රටට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වේ.
  5. එසේම එම ප්‍රතිපාදන අනුව චූදිතයින් බවට පත්වන හමුදා නායකයින් එවැනි විදේශ රටකට පය තැබුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන එම රටේ දී යුද අපරාධ නඩු පැවරිය හැක.
  6. තව ද ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් යම් රටකට පිටුවහල් කරනු ලබන ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන හමුදා නිලධාරියකුට හෝ සෘජුව විදේශයක දී අත්අඩංගුවට ගනු ලබන චූදිතයකු ලෙස සැලකෙන එවැන්නකුට අදාළ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට ඇත්නම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් දඬුවම් කළ හැක. එහිදී ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නොමැති වීම යන කරුණ සැලකිල්ලට ගැනෙන්නේ නැත.
  7. මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ පිටුවහල් නීතිය ඉබේම සංශෝධනය වන අතර යම් රටවල් අතර පිටුවහල් ගිවිසුමක් නොතිබුණා වුවත් එම රටවලට චූදිතයන් පිටුවහල් කිරීමට ප්‍රතිපාදන සැලසේ.
  8. ඒ අනුව මෙම පනත සහ ඊට පෙර සම්මත කළ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත එක්ව ක්‍රියාත්මක වන විට තෝරාගත් හමුදා නිලධාරීන් ලැයිස්තුවකට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කොට ඔවුන් චූදිතයන් බවට පත්කොට දේශීය යුද අපරාධ අධිකරණයේ දී හෝ පිටුවහල් කොට විදේශීය රටක අපරාධ අධිකරණයක දී හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් හෝ දඬුවම් කිරීමට ඉඩ සැලසේ.
  9. එසේම එම පනත් දෙක එකට ක්‍රියාත්මක වන විට රටින් පැනගොස් ජීවත් වන දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් පවා අතුරුදහන් බවට බොරු චෝදනා ඉදිරිපත් කොට හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට ඉතා පහසු නීතිමය පදනමක් සක්‍රිය වේ. එසේ ම එම ක්‍රියාවලියට ජාත්‍යන්තර රටවල්වලට අත පෙවීමට සහ බලපෑම් කිරීමට ද හැකියාව ලැබේ.
  10. මෙම පනත සම්මත කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ පිටපත් ලබාදීමෙන් තොරව ය. එම නිසා මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ප්‍රඥප්තියේ සඳහන් බරපතළ කරුණු නොදැන ය.

කෙසේ වුවත් 2017 සැප්තැම්බර් 21 වැනිදා මෙම රණවිරුවන්ට සුවිශාල අනර්ථයක් සිදු කරන ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අගමැතිවරයා ගත් උත්සාහය නතර වූයේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත ය. එහිදී මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා එම පනත් කෙටුම්පත සම්මත කිරීම කල් දැමීමට කටයුතු කළ අතර ඉදිරියේදී එය සම්මත කිරීමට ඉඩ නොතබන බවට ද පොරොන්දු විය.

එහෙත් පසුගිය මාර්තු 07 වැනිදා මෙම විනාශකාරී පනත් කෙටුම්පත සම්මත විය.

  1. එසේ නම් ජනාධිපතිවරයා සිදුකොට ඇත්තේ මෙම රණවිරු දඩයමට පාර කපන පනත් කෙටුම්පත තමන් බලයේ සිටින තාක්කල් සම්මත වීමට නොදෙන බව කියමින් මහා සංඝරත්නය රැවටීම ද?
  2. නැතිනම් ජනාධිපතිවරයා බටහිර බලවතුන්ගේ බලපෑමට යට වූවා ද ?
  3. නොඑසේනම් අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා මත වරද පැටවෙන ලෙස මේ විනාශකාරී පනත් කෙටුම්පත සම්මත කර ගත්තා ද? යන ප්‍රශ්න තුන, ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදු කර ඇත.’ යන ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ තහවුරු කිරීමට උත්සාහ කරන මිථ්‍යාවට එරෙහි සියලු ශ්‍රී ලාංකිකයන් තුළ පැන නැගීම නිසඟයෙන්ම සිදු වේ.

ඒ කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට ජනාධිපතිවරයාට ඉඩ දෙන අතරේ ඉහත කී ‘ජීනිවා මිථ්‍යාවට’ එරෙහිව ජාතියක් ලෙස සටන් වැදීය යුතු ය. බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදවා ගෙන සාමයේ අරුණලු දැල් වූ රණවිරුවන් වෙනුවෙන් කෘතගුණ දත් ජනතාවගේ යුතුකම ඒ හැර අන් කිසිවක් නොවේ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

103 Viewers