• Home »
  • Sinhala »
  • ශී‍්‍ර ලංකාව බටහිර උපායක ගොදුරක්ද?

ශී‍්‍ර ලංකාව බටහිර උපායක ගොදුරක්ද?

(Courtesy of Diwaina)


මහා බි‍්‍රතාන්‍යයේ ආරක්ෂාව සහ ආර්ථික අපරාධ අමාත්‍ය බෙන් වොලස් මැයි 2 ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා බැලීමට පැමිණීම ඇත්ත වශයෙන් පුදුමයකි. දින දෙකක සංචාරය තුළදී වොලස් මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්වූ සිනමන් ග‍්‍රෑන්ඞ්, ෂැන්ගි‍්‍රල්ලා සහ කොළඹ කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානය බැලීමට කටයුතු කළේ ඇයි? ඉන්දියාව ස්ථාපිත කළ ද්‍රවිඩ ත‍්‍රස්තවාදය පෝෂණය කළ ප‍්‍රධානම බටහිර බලවේගය මහා බි‍්‍රතාන්‍යය බව රහසක් නොවේ. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ ප‍්‍රධාන දේශපාලන පක්ෂ ද්‍රවිඩ ත‍්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියේය. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් පසු කිසිදු අවස්ථාවක බි‍්‍රතාන්‍ය අමාත්‍යවරයකු ශී‍්‍ර ලංකාවට අවශ්‍ය කුමන ආකාරයේ සහයෝගයක් ද කියා විමසා බැලීමට පැමිණියේ නැත.

2009 අපේ‍්‍රල් එවකට බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ඬේවිඞ් මිලිබැන්ඞ් ශී‍්‍ර ලංකාවට පැමිණියේ ද්‍රවිඩ ත‍්‍රස්තවාදී සංවිධානය ගලවා ගැනීමට බව අමතක නොකරන්න. එසේ නම් මුස්ලිම් ත‍්‍රස්තවාදීන් පාස්කු ඉරිදා එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු බි‍්‍රතාන්‍ය අමාත්‍යවරයකුගේ පැමිණීම පිළිබඳව රජය විමසා බැලිය යුතුය. එම අමාත්‍යවරයා පැමිණීමට පෙර බි‍්‍රතාන්‍ය විමර්ශකයන් කොළඹට පැමිණියේය.

ශී‍්‍ර ලාංකික මුස්ලිම් ත‍්‍රස්තවාදීන් එල්ල කළ ප‍්‍රහාරය ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය. වෙනුවෙන් කළ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් වීම හේතුවෙන් මහා බි‍්‍රතාන්‍යයේ අවධානයට යොමු විය.

බි‍්‍රතාන්‍ය මෙන්ම ඇමරිකාව ද ශී‍්‍ර ලංකාවේ සහයට විශේෂිත පුද්ගලයන් එවීය. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු පොලිස් සහ අනෙකුත් නිලධාරීන්ගේ පැමිණීමත් සමගම ශී‍්‍ර ලංකාව බටහිර බලවතුන් ‘ඉරාකයෙ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය. සමඟ යෙදී සිටින යුද්ධයේ කොටස්කරුවකු බවට පත් වී ඇත. මෙම බටහිර බලවේග සමඟ එකතු වීම ශී‍්‍ර ලංකාවේ ආරක්ෂාවට කෙලෙස බලපායිද?

ශී‍්‍ර ලංකාව බටහිර උපාය මාර්ගයක ගොදුරක්ද? ජාත්‍යන්තර මුස්ලිම් ත‍්‍රස්තවාදය ස්ථාපිත කිරීමට ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් 80 දශකයේ සිට කළ කාර්ය සුළුපටු නොවේ. එදා සෝවියට් දේශය 1979 ඇෆ්ගනිස්ථානයේ කළ හමුදා මැදිහත් වීමත් සමගම ඇමරිකාව – පකිස්තානය එක්වී ස්ථාපිත කළ විනාශකාරී බලය පසුකලෙක බටහිරට ප‍්‍රහාර එල්ල කිරීමට පෙළඹුනේය. මෙම විනාශකාරී බලවේග කුමන ආකාරයට හැඳින්වුවත් ප‍්‍රතිඵලය පැහැදිලිය.

පාස්කු ඉරිදා ශී‍්‍ර ලංකාව එම බියකරු අත්දැකීමට මුහුණ දුන්නේය. මුස්ලිම් තරුණයෝ් හත්දෙනකු කළ විනාශය තේරුම් ගැනීමට අපහසුය. මුස්ලිම් ත‍්‍රස්තවාදය ස්ථාපිත කළ බටහිර බලවේග තමුන්ගේ තමුන් ඇති කළ එම සංවිධානවලට එරෙහිව කරන සටනට ශී‍්‍ර ලංකාව ද ඇඳාගෙන ඇත. බටහිර මෙහෙයුම් කොළඹ කේන්ද්‍රකොට ගෙන රට තුළ ව්‍යාප්ත වීම තුළ නැවතත් ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය. සංවිධානයේ අවධානයට ශී‍්‍ර ලංකාව යොමු විය හැක. ත‍්‍රස්තවාදය තවදුරටත් වර්ධනය විය හැක.

බටහිර බලවතුන්ගේ හැසිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ තේරුම්ගත යුතුය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමගම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන පැවසුවේ ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාරය මෙහෙය වූයේ මෑතකදී නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී කළ මිනිස් ඝාතනවලට එරෙහිව බවයි. නවසීලන්ත රජය විජයවර්ධන අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය වහාම ප‍්‍රතික්ෂේප කළේය. එම සිද්ධීන් සම්බන්ධ කළ නොහැකි බව නවසීලන්තය අවධාරණය කළේය. එවැනි තත්ත්වයක් තුළ බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව, ශී‍්‍ර ලංකාවේ අපේ‍්‍රල් 21 සිදු කළ මහා ලේ වැගිරීම ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය. සංවිධානයට බැර කිරීම සලකා බැලිය යුතුය.

ශී‍්‍ර ලංකාවේ සිදුකළ මහා ලේ වැගිරීමට වගකිවයුතු කවර සංවිධානයක් ද යන කාරණාව තවදුරටත් ප‍්‍රශ්නයක් විය නොහැක. බලවත් ගෝලීය ත‍්‍රස්තවාදී ජාලයක් ශී‍්‍ර ලාංකික මුස්ලිම් ප‍්‍රජාව තම ග‍්‍රහණයට හසුකර ගෙන ඇති බව සක්සුදක් ලෙස පැහැදිලිය. එම සුළුතරය පසුගියදා කළ විනාශය අප රට බලවත් අර්බුදයකට ලක් කර ඇත. පාස්කු ඉරිදා ලේ වැගිරීම හේතුවෙන් ඇති වූ අස්ථාවරතාවය ඊට සති තුනකට පසුවත් මුළු රටටම බලපා ඇත. අපේ‍්‍රල් 21 දින ඇති වූ තත්ත්වයට මුහුණ දීමට ශී‍්‍ර ලාංකිකයන්ට ශක්තියක් නැත. එසේත් නැතහොත් දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය හරහා ඇති කර ඇති නොයෙකුත් මතවාද හේතුවෙන් ජනතාව විරසක කර ඇත. මෙයට හේතුව පොදු හතුරා අපේ‍්‍රල් 21 දින මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව එල්ල කර අන්තවාදී තරුණ කණ්ඩායම සහ එම මතවාදය වෙනුවෙන් තවමත් පෙනී සිටින දේශපාලන බලවේග බව නිසියාකාරව හඳුනා නොගැනීමයි. සුුළුතරයක් වන මෙම පිරිස මුළු මුස්ලිම් ප‍්‍රජාවම ගිලගෙන ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එජාප රජය සහ අනෙකුත් සියලූම දේශපාලන පක්ෂ තවමත් එකාවන්ව රට මුහුණ දෙන තර්ජනයට අභියෝග කිරීමට අසමත් වී ඇත. විදේශීය මැදිහත් වීමත් එසේත් නැතහොත් මිතුරන් ලෙස පෙනී සිටිමින් යම් රටක් අස්ථාවර කිරීමට කටයුතු කරන බලවේග තම ඉලක්ක මුදුන් පත් කර ගැනීමට යොදා ගන්නේ එම රටේම තෝරා ගත් කණ්ඩායම් බව රහසක් නොවේ.

ජාතික තව්හිද් ජමාත් ඇතුළු අනෙකුත් මුස්ලිම් සංවිධාන විදේශීය බලවේගවල අතකොළු වූ බව පැහැදිලිය. එම විනාශකාරී හවුල වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බලවේග අදටත් කි‍්‍රයාත්මකය. හදිසි නීතිය පැනවූ පමණින් තත්ත්වය පාලනය කළ නොහැක. ජනතා නියෝජිතයන් කිහිප දෙනකුට පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන්ට චෝදනා එල්ලවී ඇත. චෝදනා එල්ල වූ පමණින් කිසිදු දේශපාලන නියෝජිතයකු වරදකරුවකු කළ නොහැක. එවැනි තත්ත්වයන් ඇත්ත වශයෙන්ම අසාධාරණය. පාර්ලිමේන්තුව නියෝජනය කරන කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමන් (එජාප) සහ සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රස් නායක වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ට බරපතළ චෝදනා එල්ල වී ඇත.

බදුර්දීන් පක්ෂයක නායකයෙකි. එජාප රජයේ කොටස්කරුවෙකි. එතුමා යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂ රජයේ ද ප‍්‍රබල කොටස්කරුවෙකි. අදටත් අමාත්‍යවරයකු ලෙස එතුමා කටයුතු කරයි.

බදුර්දීන්ට එරෙහිව පත්කළ එජාප මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී. බදුර්දීන්ට එරෙහිව සුළු බහුතරයක් පාර්ලිමේන්තුවේදී පෙන්විය හැකි බව රතන හිමි ඇතුළු එම කි‍්‍රයාදාමය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බලවේග විශ්වාසයෙන් කටයුතු කරන බව පෙනේ. නමුත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට හිතවත් මන්තී‍්‍රවරු කටයුතු කරන ආකාරය මත බදුර්දීන්ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයේ සාර්ථකභාවය රඳා පවතිනු ඇත.

විදේශීය බලවේග සමඟ කටයුතු කරමින් රට අස්ථාවර කිරීමට පෙරමුණ ගෙන සිටින කණ්ඩායම් පාර්ලිමේන්තුවේ අස්ථාවරභාවය තමන්ගේ වාසියට හරවා ගෙන ඇති බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම අස්ථාවර පාර්ලිමේන්තුව අද අප රටේ ඇති වූ තත්ත්වයට කෙතරම් වගකිව යුතුද? අප රට තුළ කි‍්‍රයාත්මක වන තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කර ඇති තත්ත්වය මහත් අවාසනාවකි.

2019 ජනවාරි නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීම් ලැබූ පිළිවෙළින් එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාත් සාලි, බරපතළ චෝදනාවට ලක් වී සිටිති. හිස්බුල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පත්කළ මන්තී‍්‍රවරයකු ලෙස 2019 ජනවාරි තෙක් කටයුතු කළේය. ජනාධිපති සිරිසේන හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාවරයා ලෙස පත් කළේ රෝහිත බොගොල්ලාගම ඉවත් කරමිනි. 2018 පෙබරවාරි 10 පළාත් පාලන ඡන්්දය හරහා අසාත් සාලි එජනිස යෙන් කොළඹ නගර සභාවට පත් විය. ජනාධිපතිවරයාට තමන් විසින් පත්වීම් ලබාදුන් පුද්ගලයන්ට එල්ල වන චෝදනා පරීක්ෂාවකින් තොරව ඉවත දැමිය නොහැක. අදටත් (මැයි 14) තවමත් ඔප්පු නොවූ චෝදනාවලට ලක් වී සිටින කිසිදු මහජන නියෝජිතයකුගෙන් හෝ් තනතුරකට පත්කළ පුද්ගලයකුගෙන් පොලිසිය කට උත්තරයක් සටහන් කරගෙන නොමැත. රජය තම වගකීම නිසියාකාරව ඉටු නොකරන තත්ත්වය තුළ රට අරාජික වී ඇත. රජය කටයුතු කරන ආකාරය පුදුම සහගතය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැයි 13 දින රජයට දෝෂාරෝපණය කළේය. රාජ්‍ය ආරක්ෂණ යාන්ත‍්‍රණය බිඳ වැටී ඇති බවත්, සිද්ධීන් ඇති වූ පසුව ඇඳිරි නීතිය පැනවීම සහ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් පමණක් පවතින තත්ත්වය පාලනය කිරීමට නොහැකි බව පැවසීය. මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව ද පෙන්වා දුන්නේය. ඇත්ත වශයෙන්ම රජය ලජ්ජා විය යුතුය. මැයි 14 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ කථානායක කරු ජයසූරියගේ සහභාගිත්වයෙන් පැවති සම්මන්ත‍්‍රණයකදී මහා සංඝරත්නය 2015 පිිහිට වූ යහපාලන රජය රට අනාරක්ෂිත කළ ආකාරය මතක් කර දුන්නේය. අගමැතිවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයේ කටයුතුවලට සහභාගි නොවීම රටට බලපාන ආකාරය මහා සංඝරත්නය පෙන්වා දුන්නේය.

අප රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ලියාපදිංචි දේශපාලන පක්ෂවල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් විමසා බලන ඕනෑම අයෙකුට විදේශීය බලවේග අප රට තුළ කි‍්‍රයාත්මක වන ආකාරය පහසුවෙන් තේරුම් ගත හැක. බටහිර බලවේග, ඉන්දියාව, මැදපෙරදිග බලවතුන් සහ චීනයට අප රටේ මහජන නියෝජිතයෝ බලපෑම් කිරීමට අවස්ථාවක් එසේත් නැතහොත් හැකියාවක් ඇති දැයි විමසා බැලිය යුතුය. පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් විමසීමක් කළහොත් අප රට විනාශ කිරීමට විදේශීය මැදිහත් වීමක් කිසි ලෙසකින් අවශ්‍ය නොවේ. අප රටේ මහජන නියෝජිතයෝ් විනාශකාරිය. තම පෞද්ගලික ලාභ ප‍්‍රයෝජනය උදෙසා ඕනෑම ජඩ වැඩක් කිරීමට සූදානම් බව මතක තබා ගන්න.

2015 බලයට පැමිණි යහපාලන රජය පසුගිය වසර හතර තුළදී සෑම ක්ෂේත‍්‍රයක්ම දුර්වල කර ඇත. 2015 ජනවාරි 8 ජනපතිවරණයෙන් දින 50 පසුව පළමු මහ බැංකු මංකොල්ලය සිදු කළේය. එම වංචාව පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සිදු කළ වාර්තාව 2015 ජුනි මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීමට ජනාධිපතිවරයා සමත් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් මාස 8 පසු නැවත මහ බැංකුව මංකොල්ල කෑවේය. කිසිදු ආකාරයක පරීක්ෂණයක් සිදුකිරීමට වැළැක්වීමට පාර්ලිමේන්තුවේ බලය තිබෙන එජාපය කටයුතු කළේය. 2015 සහ 2016 සිදුවූ මහ බැංකු වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට 2017 ජනවාරි මස තෙක් කල් ගන්නේ ඇයි දැයි සිතා ගැනීමට අපහසු නැත. එජාපය සහ ශී‍්‍රලනිපය ඉතා පැහැදිලිව කෙසේ හෝ් යහපාලන යාන්ත‍්‍රණය ඉදිරියට ගෙන යෑමට උත්සාහ කළ බව පැහැදිලිය. පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල්දැමීම මෙම මෙහෙයුමේ කොටසක්ම විය. 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයෙන් අන්ත පරාජයක් ලැබීමත් සමගම ජනාධිපතිවරයා නව කි‍්‍රයාමාර්ගයකට එළැඹිනි. අගමැති වික‍්‍රමසිංහ ඉවත් කර එජාප ප‍්‍රබලයකු එම තනතුරට පත් කිරීමට බලවත් උත්සාහයක් ජනාධිපතිවරයා ගත් බව අපට මතකය. කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස සහ රංජිත් මද්දුම බණ්්ඩාර යන තිදෙනාම අගමැති කම භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළේ්ය. පසුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද තමන්හට අගමැති කම භාර ගැනීමට ආරාධනා ලැබුණ බව පැවසීය. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ/ ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඉතා පහසුවෙන් පැරදවීමට එජාප නායකයාට හැකි විය. 2018 අපේ‍්‍රල් පළමු සතියේ තම බලය පාර්ලිමේන්තුවේ ස්ථාවර කරගත් එතුමා ද පෙරළා ජනාධිපතිවරයාට පහර දුන්නේය. එජාප – ශී‍්‍රලනිප හබය රට තවදුරටත් අස්ථාවර කළේය. ජනාධිපති සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මරා දැමීමට කළ සැලැස්මක් සම්බන්ධයෙන් එවකට ඇමැති ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට චෝදනා එල්ල විය. ජනාධිපතිවරයා දිගින් දිගටම ෆොන්සේකාට චෝදනා එල්ල කළේය. එවකට ත‍්‍රස්තවාදී විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම පරීක්ෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුන අතර අදටත් රක්ෂිත බන්ධනාගාරයේ පසු වේ. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ද සැකයට භාජනය විය. නමුත් ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමට 19 සංශෝධනය ඉඩ ලබා දුන්නේ නැත. පොලිස්පතිවරයාව ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවත්තු එජාපයට දිගින් දිගටම චෝදනා නැඟීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට එජාපය කළ යෝජනාව හේතුවෙන් එම පක්ෂය සහ ජනාධිපතිවරයා අතර සටන උග‍්‍ර විය. 2015 ජනපතිවරණයේදී තමා පරාජය වූවා නම් නිසැකවම රාජපක්ෂ රෙජීමයේ ගොදුරක් විය හැකිව තිබූ බවට චෝදනා කළ සිරිසේන ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26 දින එජාප ප‍්‍රමුඛ රජයෙන් එ. ජ. නි. ස. ඉවත් කර ගත්තේය. අගමැතිවරයා බලයෙන් පහ කළේය. මහින්ද රාජපක්ෂ අගමැති කර පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට උත්සාහ කළේය. එම උත්සාහය වැළැක්වීමට එජාපය සමත් විය. ජනාධිපතිවරයා 2018 නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 ජනවාරි 05 දින මහ මැතිවරණයකට දින නියම කළේය. එජාපය – ජවිපෙ – ද්‍රවිඩ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය අධිකරණයේ පිහිට පැතූ අතර, එම කි‍්‍රයාමාර්ගය තුළ සිරිසේන – රාජපක්ෂ මෙහෙයුම අසාර්ථක විය.

මුස්ලිම් ත‍්‍රස්තයන් තම පළමු මිනිස් බිල්ල 2018 නොවැම්බර් 30 ගන්නේ එවැනි ව්‍යාකූල දේශපාලන තත්ත්වයක් තුළ බව මතක තබාගත යුතුය. පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශය නිසියාකාරව පරීක්ෂණ නොකිරීමේ හේතුවෙන්් 2018 නොවැම්බර් 30 දින මඩකලපුවේ වවුනතිව් හිදී සිංහල සහ ද්‍රවිඩ පොලිස් නිලධාරීන් මරා දැමීම හිටපු කොටි ත‍්‍රස්තවාදීන් පිට පැටවිනි. අදාළ පරීක්ෂණ නිසියාකාරව සිදු කළේ නම් 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව වැළැක්වීමට පවා හැකියාවක් තිබිණි. වවුනතිව් සිද්ධියේදී මරා දැමූ පොලිස් නිලධාරීන් දෙදෙනාට අයිති රාජකාරි අවි මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ට අයත් වනාතවිල්ලූවේ පවත්වාගෙන ගිය රහස් කඳවුරකින් සොයා ගැනීමට පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසුව හැකි විය. වවුනතිව් මිනීමැරුම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු කොටි සාමාජිකයා මඩකලපුව මහෙස්ත‍්‍රාත් හරහා නිදහස් කෙරිණි.

පසුගිය මාස කිහිපය තුළදී ජනාධිපති එජාප ගැටුම් අතර ෆොන්සේකාට නිීතිය සහ සාමය අමාත්‍යාංශය භාරදී එමගින් පොලිසිය එජාපය යටතට ගැනීමට දැරූ උත්සාහය ජනාධිපතිවරයා වැළැක්වූයේය. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ෆොන්සේකාට පොලිසිය භාරදිය යුතු බව එජාපයේ ස්ථාවරයයි. එලෙසම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප‍්‍රතිත‍්‍රස්ත පනත නීතිගත කළ යුතු බව ද එජාපය පවසයි. ජනාධිපතිවරයා එම යෝජනා දෙකටම එකඟ නැත. මෙම කරුණු දෙක හේතුවෙන් පාර්ලිමේන්තුව බෙදී වෙන්වී ඇත. එජාපය සහ ජනාධිපතිවරයාගේ කණ්ඩායම සටනක යෙදී සිටී. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කෙරෙන ඉංගී‍්‍රසි ලිපියක සිංහල පරිවර්තනයක් පන්සල්වලට යැවීමට මෑතකදී කළ උත්සාහය පවතින අස්ථාවර තත්ත්වය පිළිබිඹු කරනබව අමුතුවෙන් කිව යුතු නැත.

පවතින අර්බුදය තුළ ජාතික ආරක්ෂාව බිංදුවටම වැටී ඇත. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් පිළිබඳව පුදුම විය යුතු නැත. මෙවැනි ගැටුම්කාරී අවස්ථාවක විදේශ බලවේගවලට අත පෙවීමක් කිරීමට අවස්ථාවක් ලබා දෙයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙය වූවන් ශී‍්‍ර ලංකාවට එරෙහි තම මෙහෙයුම අපූරුවට ඉදිරියට ගෙන යමින් පවතී. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් එම මෙහෙයුමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටී. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව සති හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ජාතික අවශ්‍යතාවය මතවත් පටු වාද භේද පසෙකලා එක ස්ථාවරයකට පැමිණීමට නොහැකි පාර්ලිමේන්තුවක් කුමකටදැයි සිතේ. එවැනි තත්ත්්වයක් තුළ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පාර්ලිමේන්තුව ඉලක්ක විය යුතුව තිබුණා නම් සුදුසු යැයි ජනතාව සිතන බව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පවසති. පාර්ලිමේන්තුවට සාප කිරීමට ජනතාව පෙළඹුණේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට බොහෝ කලකට පෙර බව මහජන නියෝජිතයන් මතකයේ තබා ගතහොත් වරදක් නැත. අප රටට විදේශීය හතුරෝ අවශ්‍ය නැත. පාර්ලිමේන්තුව එම කාර්යය ඉටු කරන බැවිනි.

බටහිර බලවේගයන්, චීන – ශී‍්‍ර ලංකා සම්බන්ධතාවය තමන්ට තර්ජනයක් විය හැකි බව උපකල්පනය කරමින් අප රට පිළිබඳව යම් යම් තීන්දු තීරණ ගන්නා බව මතක තබා ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂවල සහ ජනාධිපතිවරයාගේ වගකීමයි.

ෂමින්ද්‍ර පර්ඩිනැන්ඩෝ

 

115 Viewers