• Home »
  • Sinhala »
  • සංඝරත්නය පහළ වීමටත් පෙර ඉදිකළ ලෝකයේ මුල්ම දාගැබ ගිරිහඬුසෑය තවමත් තනිවම

සංඝරත්නය පහළ වීමටත් පෙර ඉදිකළ ලෝකයේ මුල්ම දාගැබ ගිරිහඬුසෑය තවමත් තනිවම

පූජා නගරයක් බවට ඉක්මනින් පත් කරන්න

කැකිරාව – සුදත් ඒකනායක

”සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුන්වහන්සේ සත් සතිය ගත කොට වැඩ සිටි අතර පනස්වන දිනයේදී වනයට අරක්ගත් දේවතාවියකගේ වචනය පරිදි තපස්සුභල්ලූක වෙළෙඳ දෙබෑයන් විසින් ගෞතම බුදුන් වහන්සේට ප‍්‍රථම දානය ලෙස විළඳ මී පැණි පිළිගන්වන ලදී. එහිදී චිත්ත ප‍්‍රබෝධයට පත් වෙළෙඳ දෙබෑයන් බුදුන් දහම් සරණ ගොස් ලොව ප‍්‍රථම දේවෝවාචික උපාසකයන් බවට පත්වූහ. වෙළෙඳ දෙබෑයන් වැඳුම් පිදුම් කිරීම සඳහා ගෞතම බුදුන් වහන්සේගෙන් යමක් අයැද සිටි හෙයින් හිස පිරිමැද කේශ ධාතුන් වහන්සේ බුදුරජුන් විසින් ලබාදී තිබේ.”

තපස්සුභල්ලූක වෙළෙඳ දෙබෑය පුද ලැබූ කේශ ධාතුන් වහන්සේ රැගෙන ආසන්න කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ඇත. ත‍්‍රිකුණාමලය, කුච්චුවලිය, කට්ටුකුලම් ප‍්‍රදේශයේ ගල් වරායෙන් යාං ඔය දිගේ ගිරිකණ්ඩ පර්වතයට පැමිණ පිහිටි ගල මත ජීවමාන කේශ ධාතුන් වහන්සේ තැන්පත් කොට ගිරිහඬුසෑය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්ය.

girigadu2කේශ ධාතුන් වහන්සේලා ලැබීමෙන් අනතුරුව ඒ ආසන්න කාලයේ ගිරිකණ්ඩ පර්වතයේ තැන්පත් කොට ගිරිහඬුසෑය සාදා ඇත. ගිරිකණ්ඩි පර්වතයේ ඉදිකළ සෑය ගිරිහඬු සෑය විය. නිතිපතා දැල්වුණ පහනක් තිබුණ නිසා නීතුපත්පාන නම් විය. අද වනවිට අපේ මේ උරුමයන් පිහිටි ප‍්‍රදේශවල බෞද්ධ ජනපද නැත. එය පූජා භුමියක් ලෙස ගොඩනැඟිය යුතුය. මේ සම්බන්ධව නීතුපත්පාන ගිරිහඬුසෑය හා සිරිමාපුර ශ‍්‍රී ආනන්දාරාමය යන උභය විහාරාධිපති සිරි ආනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ‍්‍රී ශාස්ත‍්‍රපති පූජ්‍ය දෙවිනුවර චන්දිම මහ ස්ථිවරයන් සමග කථානායක කරු ජයසූරිය මහතා සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කළ සාකච්ඡුාව අනුව ගිරිහඬුසෑය පුදබිම පූජා භූමියක් ලෙස ස්ථාපිත කිරීම කඩිනම් කළ යුතුව ඇත.

තිරියාය ගෝමරන්කඩවල මාර්ගයේ කිව්ලේකඩ සිට කජුවත්ත ඇතුළු ගිරිහඬුසෑය දක්වාත් පුල්මුඬේ මාර්ගයේත් සිංහල ජනපද පිහිටුවීම රජයේ පූර්ණ අනුග‍්‍රහය මත ක‍්‍රියාත්මක කළ යුතුව තිබේ. නව යාං ඔය ව්‍යාපාරය ඒ සඳහා යොදා ගැනීම සුදුසුය. මේ වැදගත් කාරණාව ක‍්‍රියාත්මක නොකළෙන් ගිරිකණ්ඩ පර්වතය පිහිටි ප‍්‍රදේශය ද තමන්ගේ යැයි ද්‍රවිඩ මන්ත‍්‍රීවරු කියනු ඇත.

ගිරිහඬුසෑය පිහිටි කන්ද සහ අවට ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන බොහොමයක් ඇත. ක‍්‍රිස්තු වර්ෂ 67 දී අනුරාධපුර රජකම් කළ වසභ රජතුමන් විසින් තැන වූ වැව නැගෙනහිර පැත්තේ නීතුපත්පාන වැව පිහිටා ඇත. මෙම වැව තිරියායකුලම් ලෙසින් ද හැඳින්වේ. මෙම වැව ඉවුරේ සිට අහස දෙස බලත්ම ගිරිහඬුවේ ආකාශ චෛත්‍ය ගිරිහඬුසෑය හා වටදාගෙය සුරලොව දෙව්විමනක් ලෙස ඇසිපිය නොහෙළා බලා සිටිය හැක. මේ චමත්කාර දර්ශනය සැතපුම් ගණනාවක් දුරට පෙනේ. ඒ එම ප‍්‍රදේශය තැනිතලා භූමියක් වූ නිසාවෙනි.

නීතුපත්පාන වැවට යාං ඔයෙන් වතුර ලබාගැනීමට රජ දරුවන් විසින් වාරිමාර්ගයක් ද ඉදිකර ඇති අතර ඒ හරහා ගමන් කිරීමට ගල්පාලමක් ද ඉදිකර තිබේ. මනරම් පොකුණු කුට්ටම් මැදින් ආකාශ චෛත්‍යය වෙත යෑමට අලංකාර ශිලාමය පියගැට පෙළ මෙතෙක් ලොව හමු නොවූ කලාත්මක ගල්වඩුවන්ගේ විශ්මිත දස්කමක් යැයි සෙනරත් පරණවිතාන සූරීන් ප‍්‍රකාශ කර ඇත. මේ පඩි පේළි සඳහා වුලීස්තර බේරා දර්ශනීය කැටයමින් නිම වූ අත්වැල් දෙක ලංකාවේ ඇති එකම අපූර්ව ගල් කර්මාන්තයකි. මෙහි කටාරන් කෙටූ ගල් ලෙන් සමූහයකි. එහි ඇති පොකුණු හතර වටේටම පතුළටම බැසීමට ගලෙන් පියගැට පෙළ නිර්මාණය කර තිබේ.

girigadu3තිරියාය සෙල්ලිපිය ආසන්නයේම ගල පලාගෙන මතු වූ ඇල්දිය උල්පතකි. මෙය අඩි හයක් පමණ ගැඹුරින් පොකුණක් ලෙස නිමවා ඇත. ලංකා සිතියම හැඩයට නිමවා ඇති පොකුණ ලංකා පොකුණ නම් වේ. එවකට සිංහලයාගේ විශාරද ඥානය මෙම පොකුණ ලංකාව හැඩයට ඉදිකිරීමෙන් මනාව පෙන්නුම් කෙරේ.

අනුරාධපුර ථූපාරාමය, මැදිරිගිරිය, වටදාගෙවල වහල රඳනා ගල් කණුවල හිස වෙනම නෙළා සවිකර ඇතත් ගිරිහඬුසෑයේ වටදාගෙහි ගල් කණු හිසක් සමග තනි ගලෙන්ම නිමකර ඇත. සැය සිවු දෙසින් අලංකාර කැටයමින් විචිත‍්‍ර වූ ගල් ආසන හතරකි. උතුරු දකුණු දෙසින් ගල් ආසන ලියවැල් මෝස්තර හා සිංහ රූපවලින් විචිත‍්‍රවත් කර තිබේ. මෙම ගල් ආසන මත බුදු පිළිම තබන්නට ඇතැයි අනුමාන කෙරේ. සමාධි ප‍්‍රතිමාවක් දැනට ශේෂව ඇත.

ලක් දෙරණ පමණක් නොව මුළු ලෝකයේම ප‍්‍රථම චෛත්‍යය බවට පත්වන මෙම ගිරිහඬු සෑය පුදබිම ලෝකවාසීන්හට වැඳපුදා ගන්නා මෙන් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරීම, වටදාගෙය නැවත නිර්මාණය කිරීම තිරියාය පූජා නගරයක් ආරම්භ කිරීම, විහාරස්ථානය අවට ජනපද පිහිටුවීම රජයේ අනුග‍්‍රහයෙන් කඩිනමින් ආරම්භ කළ යුතු කාලය එළඹ තිබේ.

69 Viewers