• Home »
  • Sinhala »
  • සංහිඳියාව වෙනුවට කළුකොඩි

සංහිඳියාව වෙනුවට කළුකොඩි

රජය විසින් උතුරේ ජනතාව අතර ජාතික සංහිඳියාවක්‌ ගොඩ නැගෙමින් පවතින බව පුන පුනා කියා සිටිද්දී උතුරු පළාත් සභාවේ රවිහරන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත මුලතිව් නයාරූ ධීවර ගම්මානයේ සිටි දකුණේ සිංහල ධීවර පවුල්වලට එම පළාතෙන් ඉවත් වීමට සිදු විය.

මෙහි අවාසනාවන්තම තත්ත්වය වන්නේ වසර හැත්තෑවකට වඩා වැඩි කාලයක්‌ සංක්‍රමණික ධීවරයින් වශයෙන් මුලතිව් නායාරූ පළාතට ගිය සිංහල ධීවරයින් සියලු දෙනාම මේ වන විට නායාරූ ධීවර ගම්මානයෙන් ඉවත්ව සිටීමයි.

ඔවුන් සියලුම දෙනා සිය බඩුබාහිරාදියද ධීවර ආම්පන්නද ලොරිවල පටවාගෙන ආපසු දකුණු පළාතට ගියහ.

මේ සිද්ධියේදී දක්‌නට ලැබුණු භයානකම සිදුවීම වූයේ නායාරූ ධීවර ගම්මානයෙන් පිටව ගිය දකුණේ සිංහල ජනතාවට පොලිසියේ ආරක්‌ෂාව ඉල්ලා සිටීමට සිදු වීමය. ඔවුන් සිය බඩු රැගෙන තමන්ගේ ගම්බිම්වලට ගියේ පොලිස්‌ ආරක්‌ෂාව මධ්‍යයේය.

මේ තරමටම බරපතල තත්ත්වයක්‌ උද්ගත වූයේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන්ගේ මෙහෙයෑවීම නිසාය. නායාරූ ධීවර ගම්මානයෙන් සිංහල වැසියන් ඉවත් වන විටද ඔහු ඒ ස්‌ථානයට පැමිණ සිටියේය. පොලිසිය සමග කතා කළ අවස්‌ථාවේදීද ඔහු කියා සිටියේ මුලතිව් ධීවර කලාපය අයත් වන්නේ දෙමළ ධීවරයින්ට නිසා සිංහල ධීවරයින් ඒ පළාතෙන් පිටව යා යුතු බවයි.

මේ රටේ සියලු ජාතීන් ජාතික සංහිඳියාව අගය කරන්නේ නම් මුලතිව් නායාරූ සිංහල ධීවරයෝ සිය බඩු බාහිරාදිය පටවාගෙන යන අවස්‌ථාවේදී උතුරේ එකම එක දෙමළ දේශපාලනඥයෙකුට හෝ මේ පිරිස නවතා ගැනීමට යම් උත්සාහයක්‌ දැරීමට අවශ්‍ය තරම් අවස්‌ථාව තිබුණි.

නමුත් ඔවුන් පසු වූයේ මේ ධීවරයින් පිරිස මුලතිව් පළාතෙන් පිටව යන්නේ කුමන අවස්‌ථාවකද යනුවෙන් කාලය මනිමිනි.

අවම තරමින් මේ වැසියන් නායාරූ ප්‍රදේශයෙන් ඉවත් වන බවට තොරතුරු ලැබීමෙන් පසුව දකුණේ එකම දේශපාලනඥයෙකු හෝ ඊට මැදිහත් නොවීය.

මේ සිදුවීම් සමුදාය සිදුවන විට රටේ ධීවර අමාත්‍යවරයා සිටියේ උතුරේය. යාපනයේ වැල්ලේ පවා විනෝද වූ අමාත්‍යවරයා මුලතිව් නායාරූ ධීවරයින්ගේ දුක ගැන සොයා නොබැලුවේය.

අගමැතිතුමා සංහිඳියාව ගැන කතා කරයි.

මෙවර මන්නාරම මරුදමඩු වාර්ෂික මංගල්ලය ඉතාම සුවිශේෂී වූ මංගල්‍යයක්‌ විණි. ඊට හේතුව වූයේ මඩු දේවස්‌ථානයේ ඉතිහාසය පුරාවට අවසන් මංගල්ලය සඳහා අග්‍රාමාත්‍යවරයෙකු සහභාගී වූ දෙවන අවස්‌ථාව මෙය වීමයි.

මීට පෙර රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේදී මඩු දේවස්‌ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වී තිබේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හදිසියේම මඩු දේවස්‌ථානයේ අවසන් දේව මෙහෙයට සහභාගී වී ඒ අවස්‌ථාවේදී ජනතාව අමතා විශේෂ කතාවක්‌ද කරනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී කියා සිටියේ මඩු දේවස්‌ථානය රටේ ප්‍රධාන ආගමික සිද්ධස්‌ථානයක්‌ පමණක්‌ නොව එය රටේ සංහිඳියාව ගොඩනගන ප්‍රධානතම ස්‌ථානයක්‌ද වන බවයි.

යුද්ධය පැවැති කාලයේදීත් රටේ සියලුම දෙනාට මඩු පල්ලියේ පිහිට ආරක්‌ෂාව ලැබුණු බවත්, සැමවිටම භේදවලින් තොරව ලක්‌වාසීන් පැමිණෙන සංහිඳියාවේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මඩු දේවස්‌ථානය හැඳින්විය හැකි බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය. වසර 30 ක යුද්ධයකින් අප අතර ගැටුම් ඇති වූ අවස්‌ථා තිබුණා. අපි එකිනෙකා මරා ගත් අවස්‌ථා තිබුණා. එසේ නම් මෙවැනි උත්සව හරහා අපිට සංහිඳියාව ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා.

* සාමය, සංහිඳියාව වෙනුවට කළුකොඩි

මේ මස විසි දෙවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට පැමිණෙන විට ඔහුගේ සංචාරයට එරෙහිව කලු කොඩි දැමීමට යාපණයේ වඩමාරච්චි නැගෙනහිර ධීවර සමිති සන්ධානය තීරණය කොට තිබේ.

ජනාධිපතිවරයා යාපනයට පැමිණෙන්නේ වසර තිස්‌ එකක්‌ නාවික හමුදාව විසින් පරිහරනය කරන ලද මයිලිට්‌ටි ධීවර වරාය හා ඒ ආශ්‍රිත ඉඩම් සියල්ල ඒවායෙහි මුල් අයිතිකරුවන්ට බාර දීම සඳහාය.

යාපනයේ වඩමාරච්චි නැගෙනහිර පළාතේ ධීවර සමිති එකමුතුව කියා සිටින්නේ මයිලිට්‌ටි පළාතේ වැසියන්ට වඩා ධීවර ප්‍රශ්න රැසක්‌ ඇති බව කාලයක සිට ජනාධිපතිවරයා ඇතුළු රජයට පෙන්වා දෙන නමුත් ඒවා ඉටුකොට නොදීම නිසා මේ විරෝධය පළ කරන බවයි.

ජනාධිපතිවරයා පැමිණෙන උත්සව අවස්‌ථාවට සහභාගී වන මෙන් වඩමාරච්චි ධීවර සමිති සන්ධානයේ නිලධාරීන්ටද ආරාධනය කොට ඇතත් ඔවුන් එම උත්සවයද වර්ජනය කරන බව වඩමාරච්චි ධීවර සමිති සන්ධානයේ නිලධාරීහු කියා සිටිති.

කන්කසන්තුරේ වරායට නුදුරින් පිහිටි මයිලිට්‌ටි ධීවර වරාය වසර තිස්‌ එකකට පසුව ලැබීම සම්බන්ධයෙන් පළාතේ ජනතාව දැඩි සතුටකින් යුතුව පසුවෙති.

මෙම මයිලිට්‌ටි වරාය ජනතාවට ලබා දීමෙන් පසුව එම වරාය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණය කිරීම සදහා රජය විශේෂ වැඩ පිළිවෙළක්‌ දියත් කොට තිබේ.

කන්කසන්තුරේ මයිලිට්‌ටි ධීවර වරාය අසල පිහිටි ගම්මානවල ජනතාව යුද සමයේදී පළාත අතහැර ගිය අතර කන්කසන්තුරේ වරාය හා ඒ ආශ්‍රිත කලාපය අධි ආරක්‌ෂිත කලාපයක්‌ බවට පත්වුණි.

සාමය එළැඹීමෙන් පසුව එම පළාත් ඒවායෙහි අයිතිකරුවන්ට ලබා දීමට තීරණය කොට ඇති අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම් උත්සවශ්‍රීයෙන් යුතුව ලබා දීමට තීරණය කොට තිබේ.

ජනතාවට ලබා දෙන ඉඩම් සංවර්ධනය කිරීම මේ දිනවල ආරක්‌ෂක අංශ විසින් කරගෙන යනු ලබයි.

* උතුරේ මහ ඇමැතිගේ අලුත්ම යෝජනාව

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කොට උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එක්‌කොට ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදා හැරෙන අන්දමේ දේශපාලන විසඳුමක්‌ ලබා දී ස්‌ථිර සාමයක්‌ උදා කරන තුරු උතුරේ ඇති සියලුම යුද ස්‌මාරක ඉවත් කරන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිතව ඉල්ලීමක්‌ කොට තිබේ.

යුද හමුදාව ඇතුළු ආරක්‌ෂක අංශවල ජයග්‍රහණයන් විදහා දැක්‌වෙන ස්‌මාරක උතුරු ප්‍රදේශයේ ඉදි කොට තිබීම නිසා බාල පරම්පරාවට ඉතා පහත් අන්දමේ වැටහීමක්‌ ඇතිවිය හැකි බව ප්‍රධාන අමාත්‍යවරයාගේ අදහසයි.

ආරක්‌ෂක අංශ යුද්ධ කොට දෙමළ ජනතාව පරාජය කොට ඔවුන් පමණක්‌ ජය ලබා ඇති බව මෙම ස්‌මාරක මගින් නිරූපනය වීම බරපතල වරදක්‌ බව කියා සිටින ප්‍රධාන අමාත්‍යවරයා රට පුරා ස්‌ථිර සාමයක්‌ උදාවීමෙන් පසුව ඒ සාමය උදාකරලීමට කැපවූ අයගේ ස්‌මාරක ඉදි කිරීම සාධාරණ බවද මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

වත්මන් රජයේ අභිප්‍රාය ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරවීම නම් එක්‌ පාර්ශ්වයක පමණක්‌ මෙවැනි ස්‌මාරක තැනීම තුළින් කිසිවිටකත් ජාතික සංහිඳියාවක්‌ ඇති නොවන බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා ඉන් ඇතිවන්නේ වෛරයක්‌ හා පිළිකුලක්‌ පමණක්‌ බවද කියා සිටියි.

එමෙන්ම මේ ස්‌මාරකවලින් වැඩි කොටසක්‌ ඉදිකොට ඇත්තේ උතුරේ සාමාන්‍ය දෙමළ වැසියන්ට අයත් ඉඩම් වල නිසා ඔවුන්ගේ සිත් තුළ ඇතිවන වෛරය කිසිදා සංනොසිඳෙන බවද සී.වී.විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියි.

ඇමරිකාවෙන් අපිට පාඩමක්‌

ඇමරිකානු ගුවන් හමුදාවේ වෛද්‍ය බලකායේ පිරිසක්‌ වවුනියාවට පැමිණියේ අසරණ රෝගීන් සුවපත් කිරීම පිණිස වෛද්‍ය සායනයන් පැවැත්වීම පිණිසය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධිකරණය යටතේ මෙම වෛද්‍ය සායන පැවැත් වුණු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය බලකායද මේ සදහා දායක වූහ.

ඇමරිකානු ගුවන් හමුදා වෛද්‍ය කණ්‌ඩායමට සාමාජික සාමාජිකාවන් හැට පස්‌ දෙනෙකු ඇතුළත්ව සිටි අතර එම කණ්‌ඩායම විසින් පවත්වන ලද වෛද්‍ය සායනවලින් වවුනියාව ඇතුළු සෙසු පළාත් වල රෝගීන් දහසකට අධික පිරිසක්‌ ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

මේ වෛද්‍යවරුන්ගේ සායන කටයුතු පිළිබඳව සොයා බැලීම පිණිස ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති රොබට්‌ හිල්ටන් මහතා වවුනියාවේ අලගල්ල විද්‍යාලයේ පැවති සායන අවසන් අවස්‌ථාවට සහභාගී විය.

තමන්ගේ රට වෙනුවෙන් විදේශ රටකට පැමිණ කරන මේ සේවාව ඉතා අගය කරමින් තානාපතිවරයා මෙහිදී කතා කළේය.

මහා යුද සමයකින් පසුව උතුරේ ජනතාවට ඇමරිකානු රජය විසින් බොහෝ දේ ලබා දී ඇති අන්දමත් මීට පෙරද ශ්‍රී ලංකාවේ රෝගීන් වෙනුවෙන් ඇමරිකානු රජය වෛද්‍ය සායන පවත්වා ඇති අන්දමත් ඔහු විස්‌තර කළේය.

උතුරේ තවත් දිස්‌ත්‍රික්‌ක කීපයක සෞඛ්‍ය කටයුතු නංවාලීමට කටයුතු කරන අතර තුර අධ්‍යාපන, සංස්‌කෘතික හා සාමාජීය අවශ්‍යතාවයන් ගණනාවක්‌ වෙනුවෙන් ඇමරිකානු රජය මැදිහත් වී සිටින බවද කියා සිටියේය.

වෛද්‍ය සායනය සඳහා පැමිණි මේ පිරිස විසින් සිදු කරන ලද්දේ වෛද්‍ය සායන පැවැත්වීම පමණක්‌ නොවේ. වෛද්‍ය සායන පවත්වන ලද පාසල්වල භෞතික සම්පත් වැඩිදියුණු කිරීමද ඔවුන් විසින් සිදු කළහ. වවුනියාව අලගල්ල විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි සිරිසේන මහතා කියා සිටියේ මේ ඇමරිකානු වෛද්‍ය කණ්‌ඩායම විසින් තම පාසලට රුපියල් ලක්‌ෂ පහක පමණ වැඩ කොටසක්‌ සිදු කළ බවයි.

ඇමරිකානු ගුවන් හමුදාවේ වෛද්‍ය බලකායේ පිරිස වවුනියාවේ පාසල් වල වෛද්‍ය සායන පවත්වමින් ඉතාම දැඩි සතුටකින් යුතුව කටයුතු කරන අන්දම දැකගත හැකි විය. ඔවුන් මේ ලාංකිකයින් පිළිබඳව කතා කළේ දැඩි අගය කිරීමකින් යුතුවය.

diyasena

දිනසේන රතුගමගේ rathugamage@gmail.com

 

475 Viewers