• Home »
  • Sinhala »
  • ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

විදේශීය සම්බන්ධතා ගැන කරුණු දෙකක් ගැන කියන්න වෙලා තියෙනවා. පළමුවෙන් ස්විස් හුටපටය ගැන  නැවතත්. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ තානාපති කාර්යාලය විධිමත් පැමිණිල්ලක් කළ බවයි. එය කාට ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැමිණිල්ල කර ඇත්තේ ජනාධිපතිට, අගමැතිට හෝ විදේශ අමාත්‍යාංශයට නම් එය විධිමත් වුවත් නැතත් පැමිණිල්ලක් ලෙස භාර ගැනීමට සිදු වෙනවා.

අපට තර්ක කරන්න පුළුවන් තානාපති කාර්යාලය හරි අදාළ නිලධාරිනිය හරි  පොලීසියට  පැමිණිල්ලක් කර නැති බැවින් පරීක්‍ෂණයක් කරන්න බැහැ කියා. එහෙත් එය වැදගත් නැහැ. අගමැතිට හරි ජනාධිපතිට හරි විදේශ  සම්බන්ධතා අමාත්‍යාංශයට හරි  දන්වා තිබෙනවා නම් විධිමත් වුවත් නැතත් එය විභාග කරන්න ඕන. එසේ නොකර ඉඳීමෙන් වන්නේ ආණ්ඩුව අපකීර්තියට පත්වීමයි. බටහිරයන් හා ඉන්දියාව බලා ඉන්නේ මොන ක්‍රමයකින් හරි ආණ්ඩුව වැට්ටවීමට. අපට නැවතත් අරාබි වසන්තය මතක් කර ගන්න වෙනවා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කියන්නේ තම නිලධාරිනියක් කාරයක නංවා ගෙන තානාපති කාර්යාලයීය කටයුතු ගැන කරුණු දැන ගැනීමට පිරිසක් උත්සාහ කර ඇති බවයි. එය බරපතළ චෝදනාවක්. පැමිණිල්ල පොලීසියට දන්වා නැතැයි කියා විභාග නොකර ඉන්න එක සුදුසු නැහැ. තානාපති කාර්යාලය තවදුරටත් කියන්නේ අදාළ නිලධාරිනිය දැනට අසනීප තත්වයකින් පසුවන බවයි. නිලධාරිනියගේ නමක් ගමක් කියන්නේ නැහැ.

ඒ කෙසේ වෙතත් මෙරට නිලධාරීන්ට හැකි විය යුතුයි ඇය කවුද කියා දැන ගැනීමටත් ඇය පැහැර ගෙන ගියේ කවුද කියා දැන ගනීමටත් ඇගෙන් ප්‍රශ්න කෙළේ කිනම් කරුණු ද ආදී දේ දැන ගැනීමටත්. සාමාන්‍ය රටවැසියන් ලෙස අපටත් අයිතියක් තියෙනවා මේ කරුණු දැන ගැනීමට. තානාපති කාර්යාලයේ වැඩ කරන සියළු ලාංකිකයන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට බාධාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. අදාළ පුද්ගලයන් මෙරට රටවැසියන් නම් තරාතිරම නොසලකා දඬුවම් කරන්න ඕන. එයට විදේශීයන් හවුල් නම් ඔවුන් සම්බන්ධයෙන් මෙරට නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් එසේ කළ යුතුයි. මෙරට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි නම් ඒ රටවලට හා ලෝකයට ඔවුන් පිළිබඳ කරුණු හෙළිදරවු කළ යුතුයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය වෙනත් බටහිර රටවල තානාපති කාර්යාලත් ආණ්ඩුවට බලපෑම් දැමීමට යොදා ගනිවි. අකිල විරාජ් කාරියවසම් වැන්නන් ද ඊනියා ආරක්‍ෂාවක නාමයෙන් මෙයට මැදිහත් වේවි. පාස්කු ප්‍රහාරයේ දී ආරක්‍ෂාව සැපයීමට නොහැකි වූ අකිලලා දැන් මොනව ද කියන්නෙ කියා අහන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සහාරාන්ගේ තනි වැඩක් නොවෙයි. අකිලලා ඒ කිසිවක් හෙවුවේ නැහැ. එහෙත් එය දැන් නිදහසට කරුණක් ලෙස යොදා ගන්න බැහැ. පොලීසිය සිය තොරතුරු ලබා ගැනීමේ අංශ යොදා ගනිමින් මේ සිද්ධියේ වැල ගිය මුල ගිය තැන් සොයා ගැනීමට ඉක්මණින් ම කටයුතු කළ යුතුයි.

දෙවැන්න ඊයේ ජනාධිපති ගොාඨාභය සමග පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී මෝදි කළ ප්‍රකාශය සම්බන්ධවයි. මෝදි හදන්නේ තම ආධිපත්‍යය අපට පැටවීමට. ඉන්දියාව ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු දින ම විදේශ ඇමති එවා ඉන්දියාවට පැමිණීමට ආරාධනය කළා. ගෝඨාභය පිළිගැනීමට ගුවන් තොටුපළට යවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු නො වෙයි. දිල්ලියේ දී සාමාන්‍ය විධියට හමුදා ආචාරයක් කළා.

මෝදි ජාතිකවාදියෙක්. ඔහු හින්දු ජාතිකවාදියෙක්. ඔහු බෞද්ධ රටක් ඉන්දියාවේ දකුණු තුඩුවේ තිබීම ගැන සතුටු වන්නේ නැහැ. ඔහු කාශ්මීරය කඩා එහි ලඩාක් ප්‍රදේශය  බෞද්ධ ප්‍රදේශයක් ලෙස නම් කෙළේ පකිස්ථානයට එරෙහි ව මිස ඉන්දීය බෞද්ධයන්ට පක්‍ෂපාතී ව නො වෙයි. ලංකාවේ ඇතැම් උගත් බෞද්ධයනට නම් එය බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීමක් වූවා.

ඉන්දියාව මෙහෙයුම්වල පසු කාලයෙහි කොටි පැරදවීමට විරුද්ධ වූයේ නැහැ. ඒ රජිව් ගාන්ධි ඝාතනය නිසා. එහෙත් ඉන්දියාව අදත් දෙමළ ජාතිවාදය ආරක්‍ෂා කරනවා. ඔවුන් විරුද්ධ කොටින්ට පමණයි. මෝදි දිල්ලියේ දී ගෝඨාභය ළඟ තබා ගෙන කිව්වේ දෙමළ ජනතාවට ඊනියා සාධාරණය ඉටු කළ යුතු ය කියා. මොකක් ද මේ සාධාරණය. සංහිඳියාව ඉදිරියට ගෙන යා යුතු ය කියාත් කිව්වා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු ය කියාත් කිව්වා. ලංකාවේ දෙමළ කතා කරන ජනයා ගැන කතා කරන්න මෝදි කවුද? ඔහු අපට ඩොලර් දෙන්න ලැහැස්ති වන්නේ ඔහුගේ පදයට නටන්න ද? මෝදි ලංකාවේ දෙමළ කතා කරන ජනයා ගැන කී දේ ගෝඨාභය කළ යුතු පරිදි ම නොසලකා හැරියා.  මෝදිට ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ජේ. ආර්. ඉන්දියාවට යට වී ගෙනෙන ලද්දක්. අවුරුදු තිහකට පමණ පසුව ඉන් සිදු වී ඇති යහපත කුමක් දැයි ප්‍රශ්න කිරීමට සිදු වෙනවා. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉන් රටට ලාභයක් මිස පාඩුවක් සිදු වී නැහැ. අවුරුදු තිහකට පසු දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත නැවත සලකා බැලිය යුතුයි. විශේෂයෙන් ම ඉන්දියාවේ ප්‍රාන්ත සම්බන්ධයෙන් දී ඇති බලතල සමග පළාත් සභා බලතල සුැසඳිය යුතුයි. වැඩක් නැති පළාත් සභා අහෝසි කළ යුතු ය යන පදනමෙන් අප වැඩ කරන්න ඕන. පළමු පියවරක් ලෙස අපට පළාත් සභා පනත සංශෝධනය කරන්න පුළුවන්.

එහි දී අප ඉන්දියාවේ ප්‍රාන්තවලට දී ඇති බලතල අධ්‍යයනය කර ඊට වඩා අඩු බලතල පළාත් සභාවලට දිය යුතුයි. පළාත් සභා යනු ප්‍රාන්තවලට අඩු තත්වයේ ආයතන. ඉන්දියාව තමිල්නාඩුවට දී නැති බලතල අප පළාත් සභාවලට දෙන්න ඕන නැහැ. මෙරට දෙමළ කතා කරන ජනයාට ඇති ප්‍රශ්නය කුමක් දැයි මෝදිට කියන්න පුළුවන් ද?

අප කුඩා රටක් නොව නිර්මාණවාදී නොවන බුදුදහම මත පදනම් වූ සංස්කෘතියක් ඇති රටක් බව කිසි විටෙක අමතක කළ යුතු නැහැ. අප පළමුව ථෙරවාදී බෞද්ධ රටවල් සමග ශක්තිමත් සම්බන්ධකම් ගොඩ නගා ගත යුතුයි.

නලින් ද සිල්වා

52 Viewers