• Home »
  • Sinhala »
  • සිංහල ධීවරයෝ නයාරු හැර යති යාපනයේදී ඇල්ලූ සිංහල ධීවරයන් නිදහස්‌ කිරීමට එරෙහිව විරෝධතා

සිංහල ධීවරයෝ නයාරු හැර යති යාපනයේදී ඇල්ලූ සිංහල ධීවරයන් නිදහස්‌ කිරීමට එරෙහිව විරෝධතා

මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සිංහල ධීවරයින් ඉවත්ව ගියේ උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත‍්‍රීවරයාගේ බලපෑම මත යැයි එම පළාත් වැසියෝ කියා සිටිති.

මේ ධීවරයන්ට නයාරු ගම්මානයෙන් ඉවත්ව යන ලෙසට මන්ත‍්‍රීවරයා අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවටද යෝජනාවක්‌ ඉදිරිපත් කළ රවිහරන් මන්ත්‍රීවරයා මුලතිව් මුහුදු කලාපය දෙමළ ධීවරයන්ට පමණක්‌ සීමා විය යුතු බව පෙන්වා දී තිබේ.

පිටස්‌තර පළාත්වලින් මුලතිව් ප්‍රදේශයට පැමිණ සිටින ධීවරයන් වහාම පිටව යායුතු බව කී රවිහරන් මන්ත්‍රීවරයා ධීවරයන් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදෙන බවටද චෝදනා කළේය.

සිංහල ධීවරයන්ට එරෙහිව රවිහරන් මන්ත්‍රීවරයා විසින් මුලතිව් දෙමළ ධීවරයන් දෙදහසක්‌ පමණ කැඳවා මුලතිව් නගරයේදී විශාල උද්ඝෝෂණයක්‌ ද පැවැත් වූ අතර ඊට දින කීපයකට පසුව මුලතිව් නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමක්‌ද සිදුවිය.

ධීවර වාඩිවලට ගිනි තැබීමේ සිද්ධියෙන් පසුව ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ නොමැති නිසා බියට පත් දකුණේ සිංහල ධීවර පවුල් නයාරු ධීවර වාඩි අතහැර ගොස්‌ තිබේ.

ධීවර වාඩිවලට ගිනි තැබීමේ සිද්ධියත් සමඟම පළාතේ නිර්මාණය වූ අයහපත් වාතාවරණය නිසා නයාරු සිංහල ධීවරයන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යැම සඳහා ආරක්‍ෂාව සපයා දෙන මෙන් කළ ඉල්ලීමකට අනුව දකුණේ ඔවුන්ගේ නිවෙස්‌ වෙත යැම පිණිස මුලතිව් පොලිසියෙන් ආරක්‍ෂාව සපයා දී තිබේ.

නයාරු ධීවර වාඩිවලට දකුණෙන් පැමිණ මසුන් මරමින් සිටි සිංහල ධීවර පවුල් ඔවුන්ගේ බඩුබාහිරාදිය හා ධීවර ආම්පන්න රැගෙන ගොස්‌ ඇති අතර ඔවුන් ආපසු නොපැමිණෙන බවද පවසා තිබේ.

මුලතිව් නයාරු මුහුදේ දකුණේ ධීවරයන් එම කර්මාන්තයේ නිරතව සිටින්නේ වසර හැත්තෑවකටත් පෙර සිටය. නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයන් පලවා හරින ලෙස ඉල්ලමින් පසුගියදා මුලතිව් ධීවරයන් විරෝධතාවේ යෙදුණු අතර, එම විරෝධතාවලින් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයන් නැවතී සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක්‌ ගිනි තබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්‍රීවරයා පැවසුවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක්‌ සිදුව ඇති බවත් දකුණේ ධීවරයන්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක්‌ ඇති බැවින් සංචාරක ධීවරයන්ට ඇති වූ ගැටලු නිසා නයාරු ප්‍රදේශයේ නැවතී සිටි ධීවරයන් ඉවත් කරන ලෙසට තමන් ඉල්ලා සිටි බවයි.

නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක්‌ සහ බෝට්‌ටු 2 ක්‌ විනාශ වී ඇති අතර, ධීවර වාඩිවල තිබූ දැල් ආම්පන්න තොගයක්‌ ද ගින්නට හසුවී විනාශ වී තිබේ. හලාවත, මීගමුව ආදී ප්‍රදේශවල සංචාරක ධීවරයන් පිරිසක්‌ පැමිණ නයාරු ප්‍රදේශයේ ධීවර රැකියාවේ යෙදී සිටියදී මුලතිව් ධීවර ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධතාවක නිරත වූහ.

යාපනයේ නාගර්කෝවිල් හා වඩමාරච්චි යන පළාත්වල නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි දකුණේ ධීවරයන් 81 දෙනකු හා යාත්‍රා 21 ක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ධීවර නිලධාරීන් විසින් හේතු නොවිමසා නිදහස්‌ කිරීම පිළිබඳව කෝපයට පත් ධීවරයෝ පිරිසක්‌ වඩමාරච්චි නාවික හමුදා කඳවුර ඉදිරියට පැමිණ නාවික හමුදා නිලධාරීන්ට ඒ බව කියා සිටියහ.

දකුණේ ධීවරයන් පිරිසක්‌ 18 දා අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාවද මැදිහත්වූ නිසා ඒ බව යළි ධීවර නිලධාරීන්ට කීමෙන් පලක්‌ නොමැති බැවින් නාවික හමුදාවට කීමට පැමිණි බව වඩමාරච්චියේ ධීවරයෝ කියා සිටියහ.

නාවික හමුදා කඳවුර ඉදිරියට පැමිණ කෑකෝ ගසමින් සිටි ධීවර ජනතාව හමුවට පැමිණි නාවික හමුදා නිලධාරීන් පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් ධීවරයන් ධීවර පරීක්‍ෂක කාර්යාලවලට හෝ පොලිසියට භාරදුන් පසුව යළි නාවික හමුදාවට ඒ පිළිබඳව වගකීමක්‌ නොමැති බවයි.

මේ නිසා එම ප්‍රශ්නය පළාතේ සහකාර ධීවර අධ්‍යක්‍ෂවරයා සමග සාකච්ඡා කොට විස¹ ගන්නා ලෙස නාවික හමුදාව ධීවරයන්ට පැවසීමෙන් පසුව ඔවුන් නාවික හමුදා කඳවුර ඉදිරිපිටින් ඉවත් වී තිබේ.

යාපනය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් කියා සිටින්නේ මේ ධීවරයන් පිරිස තහනම් හෝ නීති විරෝධී ධීවර කටයුතු වල නිරත නොවූ නිසා නිදහස්‌ කළ බවයි.

නමුත් වඩමාරච්චි ධීවර සමිති නායකයෝ කියා සිටින්නේ ඔවුන්ගේ නිවැරදි බව ධීවර සමිති නිලධාරීන් ඉදිරියේ ඔප්පු නොකළ නිසා ධීවර නිලධාරීන් කියන දේ තමන්ට විශ්වාස නොමැති බවයි.



651 Viewers