• Home »
  • Sinhala »
  • සිංහල බෞද්ධයන් මෙච්චර අහිංසක ද?

සිංහල බෞද්ධයන් මෙච්චර අහිංසක ද?

පසුගිය යහපාලන රජය යටතේ ‘සිං-හල සංස්කෘතියට සමාජයේ ඇති පිලිගැනීම’ අභියෝගයට ලක් කරමින් කලාත්මක වැඩසටහන් පෙලක් නිර්මාණය විය. මේවා විකාශනය කෙරුනේ ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු හොඳම වේලාවන් (Prime Time) පාවිච්චි කරමිනි.

මෙම නාට්‍ය වල මුල සිට අග දක්වාම සිදුවන්නේ බුදු දහමේ මූලික හරයන් උපහාසයට ලක් කර සිනාසීමයි.  ‘සිංහල බෞද්ධ සංස්කෘතියට’ සමාජයේ ඇති ගෞරවය නැති කර, ඒවාත් උපහාසයට ලක් කල යුතු සාමාන්‍ය දේවල් බව ජනතාවට ඒත්තු ගැන්වීම මේවායේ අරමුණ ලෙස දැකිවිණි.

‘නි-ර්ව-ස්ත්‍රං පරමං සුඛං..’, ‘ත-රුවන් සරණයි..’, ‘නි-හෝන් සැප ලබේවා..’ වැනි නම් වලින් මෙහි ගුවන් විදුලි වැඩසටහන් පෙල හැඳින්විය. ජයලත් මනෝරත්න මහතා එම ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රධාන නළුවෙකි.

ජයලත් මනෝරත්න මහතා පාසල් වල සහ විශ්වවිද්‍යාල වල නාට්‍ය හා රංගකලාව පිළිබඳව දේශකයෙක් ලෙස කටයුතු කරයි. ඔහුගේ සෑම දේශනයකදීම ‘බයිට් එක’ බවට පත්වන්නේ ජාතක කතාවක් හෝ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවකි. (මෙය බොහෝ කලාකරුවන් සිදුකරයි. මහ බෝසතාණන් වහන්සේට නින්දා අපහාස කර පවිටු දේවදත්ත වීරයා කරන දේශකයෝ විශ්වවිද්‍යාලය තුල ඕනා තරම් ඇත.)

ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේද අපහාසයට, උපහාසයට සහ විහිළුවට ලක්වන්නේ බුදු දහමයි. එම සංස්කෘතියටද මෙතුමා විශාල දායකත්වයක් සපයා ඇත.

එතුමා උග්‍ර වාමාංශික අදහස් වලින් යුක්තෙකි. ඔහු විශ්වාස කරන දර්ශනයට අනුව බෞද්ධයාට නින්දා අපහාස කිරීම ඉතාම සාමාන්‍ය ‘වෘත්තීය’ සිද්ධාන්තයක් වන්නට ඇත. ඒ ගැන අපේ අමනාපයක්ද නැත.

මේ සියල්ලම කීවේ අගය කල යුතු කාරණයක් දුටු නිසාවෙනි. ඔහු සමඟ එකට මධුවිත පානය කල වාමාංශික මිතුරන් ඔහුගේ ලෙඩ ඇඳ ළඟට ආවේ නැත. නමුත් ඔහු උපහාසයට ලක් කල අපේ ස්වාමීන් වහන්සේලා ‘පන්සලෙන් සුප් සාදාගෙන විත්’ ඔහුට පොවමින් සෙත් පැතුවේය.

සෑම අතින්ම නින්දා ලබන අපේ සිංහල බෞද්ධයා ඔහුගේ මරණය දැක කම්පාවට පත්විය. ඔවුහු ඔහුට හදවතින්ම ‘නිවන් සුව’ ප්‍රාර්ථනා කලේය!

ප්‍රියාදර කලාකරුවණි, මේ ඔබ වෛර කරන සිංහල බෞද්ධ සංස්කෘතියේ සුන්දරත්වයි! මේ පින්වන්ත පිරිසට ගරහන එක නතර කරන්න. නැත්නම් ඔබත් ලෙඩ ඇඳේදී පසුතැවිලි වනු ඇත.

88 Viewers