සිංහල බෞද්ධ රාජ්‍යය

අද වෙසක් පුර පසළොස්වක. අද තමයි තෙමඟුල සිදු වූ දවස. සමහරු අහනවා බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑම මඟුලක් වෙන්නේ කොහොම ද කියා. බුදු වීමෙන් පසුවත් උන්වහන්සේ අවුරුදු හතළිස් පහක් සත්වයාගේ (මිනිසුන්ගේ පමණක් නොව) හිත සුව පිණිස ධර්මය දේශනා කළා. පිරිනිවන් පෑමෙන් පසු ඒ කාර්යය ඉටු වන්නේ නැහැ. ඒ ගැන කණගාටුවක් තියෙන්න පුළුවන්. එහෙත් උන්වහන්සේ දෙසූ ධර්මය අදත් තියෙනවා. ධර්මය ගැන විවිධ අර්ථකථන තිබුණත් අප ථෙරවාදය ආරක්‍ෂා කර ගෙන තියෙනවා. ථෙරවාදය කියන්නෙත් එක දැනුමක් නොවෙයි. ඒකටත් විවිධ අර්ථකථන තියෙනවා. ඒත් අපට සාමාන්‍යයෙන් ථෙරවාදය කියන්නෙ මොකක් ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ බුුදු හාමුදුරුවන් දැකීමෙන්. බුදු හාමුදුුරුවන් කවුද කියා දැන ගැනීම ධර්මය දැන ගැනීමෙන් කරන්න පුළුවන්. ධර්මය දැකීමෙන් බුදු හාමුදුරුවන් දකින්න පුළුවන්. මෙය චක්‍රියයි.

බුදු හාමුදුරුවන් සදා කාලික නැහැ. ධර්මය තියෙන නිසා අපට බුදු හාමුදුරුවන් නැති වෙලා නැහැ. පිරිනිවන් පෑම මංගල්‍යයක්. ඒ උන්වහන්සේ නැවත උපදින්නෙ නැති නිසා. අප බෞද්ධයන් වන්නේ අප නැවත නූපදීමට කටයුතු සම්පූර්ණ කරමින් ඉන්න නිසා. ඕනෑම රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑම මංගල්‍යයක්. අප බලාපොරොත්තුවන නිරුපාදිශේස නිවන මංගල්‍යයක් නොවේ නම් මංගල්‍යය කුමක් ද?

දැන් අප තමයි ථෙරවාදය ආරක්‍ෂා කෙළේ. ධර්මය ආරක්‍ෂා කෙළේ. ධර්මය ග්‍රන්ථාරූඪ කෙළේ. එය කෙළේ කවු ද? කොහොම ද? ඒ අන් කිසිවක් නිසා සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවා ගැනීම නිසා. සිංහල බෞද්ධ රාජ්‍යය බටහිර යුරෝපයේ ඇති වුණු ජාතික රාජ්‍යයක් නො වෙයි. ජාතික රාජ්‍යය යන්නට මොන අර්ථකථන දෙන්න බටහිර දේශපාලන විද්‍යාඥයන් හා වෙනත් සමාජයීය විද්‍යාඥයන් සූදානම් වුණත් එය අවසානයේ දී විඥානයක් නැති නෛතික ලේබලයක් පමණයි. එහෙත් ඒ ලේබලය පිටුපස සංස්කෘතියක් චින්තනයක් තියෙනවා. මේ ගැන වුවමනාවටත් වඩා සාකච්ඡා වී තිබෙනවා. බටහිර ජාතික රාජ්‍ය මූලික වශයෙන් ගත්ත ම ක්‍රිස්තියානි. එංගලන්තයෙ රැජන ඇංග්ලිකන් පල්ලියේ නායිකාව. අප එය ප්‍රශ්න කරන්නෙ නැහැ. සෑම බටහිර රටක ම ක්‍රිස්තියානි ධර්මයේ යම් ප්‍රභේදයක් ප්‍රධාන ආගම. ඒ රටවල අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රභේදයක්.

චීනයේ ඇත්තේ සභ්‍යත්ව රාජ්‍යයක් කියලා කියන්නේ බටහිර පඬිවරුන්. ඒ ඔවුන්ට චීන රාජ්‍යය ජාතික රාජ්‍ය ගොඩට දාගන්න බැරි නිසා. අද චීනය ඔවුන්ට ම ආවේණික වූ රාජ්‍යයක් ගොඩ නගා ගෙන තියෙනවා. එහි දේශපාලන පක්‍ෂ තියෙනවා. එහෙත් ඒ බටහිර දේශපාලන පක්‍ෂ වගේ නො වෙයි. එහි දේශපාලන පක්‍ෂ එක්තරා ආකාරයකට සාමුහිකත්වය අගයනවා. තීරණ ගැනීමේ දී ප්‍රධාන පක්‍ෂය වූ කොමියුනිස්ට් පක්‍ෂ (එය නමට කොමියුනිස්ට්) අනෙක් දේශපාලන පක්‍ෂ ද විමසනවා. ඔවුන්ට වඩා වැදගත් වන්නේ ඔවුන් සිතන විධියට කොන්ෆියුෂියස් ධුරාවලිය හා තාම් දහම. බටහිරයන් චීන රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස හඳුන්වන්නේ මේ සභ්‍යත්වය රැකීම රාජ්‍යයේ ප්‍රධාන කාර්යය ලෙස ඔවුන් හඳුනා ගන්නා නිසා විය හැකියි.

අපේ සිංහල බෞද්ධ රාජ්‍යයටත් වගකීමක් තියෙනවා. ඒ බුද්ධ ශාසනයේ චිරස්තිථිය. එය ගැමුණු රජු දවස සිට එන මූලධර්මයක් ලෙස අප සලකනවා. ඒ සඳහා මූලාශ්‍රය මහාවංසය. මහාවංසය ලියලා තියෙන්න ම සිංහල බෞද්ධ රාජ්‍යය කියන එක අර්ථ දැක්වීමට. මහාවංසයේ අඩුපාඩුකම් නැතිවා නො වෙයි. එහෙත් මහාවංසයෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය යනු කුමක් ද යන්නයි. ගැමුණු රජු ගැන මහාවංසයේ ලියා ඇති බොහෝ දේ අනුරාධපුර නගරයේ අදත් ජීවමානයි. ගැමුණු රජු දවස වන තෙක් අනුරාධපුරය පැවතී ඇත්තේ ප්‍රාදේශීය රාජ්‍යයක් ලෙස. එවැනි ප්‍රාදේශීය රාජ්‍ය මාගම හා තවත් ප්‍රදේශවලත් පැවතී තිබු බව පැහැදිලියි. ගැමුණු රජු කෙළේ මේ ප්‍රදේශීය රාජ්‍ය එක්සේසත් කිරීමයි. සිංහල බෞද්ධ රාජ්‍යය එක්සේසත් රාජ්‍යයක්.

අද පාරිභාෂික වචන අනුව එය ඒකීය රාජ්‍යයක් වැන්නක් ලෙස සලකන්න පුළුවන්. එහෙත් වෙනසක් තියෙනවා. බටහිර ඒකීය රාජ්‍ය යනු ඊනියා ජාතික රාජ්‍ය වර්ගයක්. එකීය රාජ්‍යවලට අමතර ව සන්ධීය රාජ්‍යත් ජාතික රාජ්‍ය යටතේ දක්වන්න පුළුවන්. එක්සේසත් රාජ්‍ය ඒකීය රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ ජාතික රාජ්‍යයක එක් වර්ගයක් ලෙස නො වෙයි. සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යයේ ප්‍රධානියා නැත්නම් රජු බෞද්ධයෙක්. ඇතැම් විට රජු බෞද්ධයකු පමණක් නොව බෝධිසත්වයකු විය යුතු බවට ද සම්ප්‍රදායක් තිබී තියෙනවා. අග්බෝ රජවරුන්ගෙන් කියැවෙන්නේ එයයි. නුවර යුගයේ නායක්කාර් රජවරුත් සිංහලේ රජ වූයේ බෞද්ධයන් වීමෙන් පසු. එපමණක් නො වෙයි. ඉංගිිරිසි තුන්වෙනි ජෝර්ජ් රජුත් 1815 ගිවිසුමෙන් සිංහල නීතිය අනුව රට කරවීමටත් බුදු සුසුන රැකගෙන එහි අභිවෘද්ධියට කටයුතු කරන බවටත් පොරොන්දු වුණා. රනිල් නාමික ව හරි බෞද්ධ වන්නේ මේ සම්ප්‍රදාය අනුවයි. 1815 ගිවිසුම ධර්මපාලතුමාට පෙර අත්සන් කළ එකක්. එහි කියැවෙන්නේත් සිංහල බෞද්ධ රාජ්‍යය රැකීමක්. ඉංගිරිසින් ඒ නොකළ එක වෙන ම කරුණක්.

සිංහල බෞද්ධ රාජ්‍යයක වෙනත් ආගමිකයන්ට ඉන්න බාධාවක් නැහැ. වළගම්බා රජු දවස මහාකළු සිංහලයා පැන යනවා කියා කෑ ගැසුවේ ගිරි නම් නිගන්ඨයෙක්. වළගම්බා රජු අභයගිරිය නම් කිරීමේ දී ගිරි අමතක කෙළේ නැහැ. ඒ තමයි සිංහල බෞද්ධ සම්ප්‍රදාය. ජනවාර්ගිකයන්ට පමණක් නොව අනන්‍යතාවක් (විඥානයක්) නැති ජන කොටස්වලටත් ඉන්න පුළුවන්. සියල්ලන්ට මිනිසුන් ලෙස ගත්කල සමාන ව සැලකෙනවා. බටහිර අර්ථයකින් නම් සමාන අයිතිවාසිකම් තියෙනවා. ඕන අයකුට ඕන තැනක පදිංචි වෙන්න පුළුවන්. මුස්ලිමුන් වත්මන් නැගෙනහිර පළාතේත් කතෝලිකයන් මාතලේ වහාකෝට්ටේ වැනි පළාත්වලත් පදිංචි කෙරුණේ ඒ සම්ප්‍රදායෙහි. ජුසේ වාස් පියතුමාට සිංහලේ සිංහල බෞද්ධ රජු ආධාර කළා.

එහෙත් අප මතක තබා ගත යුතු එක් කරුණක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයෙහි අනෙක් සංස්කෘතීන් පවත්වාගෙන යෑමට බාධාවක් නැති වුවත් එහි සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂිත තැනක් තිබෙනවා. ඒ තැන නැති කිරීමට අද ඇතැමුනට අවශ්‍ය වෙලා තියෙනවා. අද ප්‍රධාන ප්‍රශ්නය එයයි. එය ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන්ගේ වුවමනාව. ඒ වෙනුවෙන් දෙමළ ජාතිවාදීන් මෙන් ම බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලත් ඊනියා උගතුන් ද පෙනී සිටිනවා. ඔවුන් බටහිර ඇත්තේ අනාගමික රාජ්‍ය කියා කියනවා. බටහිර ඇත්තේ ක්‍රිස්තියානි රාජ්‍ය.

අවාසනාවකට දේශපාලනඥයන් දන්නා සිංහල බෞද්ධ රාජ්‍යයක් නැහැ. ඔවුන් දන්නේ බටහිරයන් අපට දුන් දේශපාලන පක්‍ෂ මගින් බලය ලබා ගැනීම පමණයි. අපට එක්සේසත් සිංහල බෞද්ධ රාජ්‍යයට දේශපාලන පක්‍ෂ අවශෝෂණය කර ගන්න බැරි වෙලා.

Posted by Nalin de Silva

700 Viewers