• Home »
  • Sinhala »
  • සිංහල වැසියන් කාන්තාවන් හා ළදරුවන් කපාකොටා මරාදැමීම මෙහෙයවූ කොටි හමුදා නායක සිද්දාට බි‍්‍රතාන්‍යයේ දේශපාලන රැකවරණ

සිංහල වැසියන් කාන්තාවන් හා ළදරුවන් කපාකොටා මරාදැමීම මෙහෙයවූ කොටි හමුදා නායක සිද්දාට බි‍්‍රතාන්‍යයේ දේශපාලන රැකවරණ

40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ මෙහෙයුම් රැසක් ඉදිරිපත් වන අවස්ථාවේ රජය මෙතෙක් ඊට ප‍්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වී නැත.

එහෙත් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා සහ ලන්ඩන් නුවර ප‍්‍රීඩම් ප්‍රොම් ටෝචර්ස් නැමැති සංවිධාන මෙරට ආරක්‍ෂක හමුදාවට සහ පොලිසියට එරෙහිව විමර්ශන වාර්තා දෙකක් ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

සුකා ඉදිරිපත් කළ වාර්තාවෙන් සුදු වෑන් සිදුවීම ගැන පරීක්‍ෂණ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බුද්ධි සේවා ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්ටද වධ හිංසා පැමිණවීමේ චෝදනා එල්ල කර තිබිණි. ඊට අමතරව වධහිංසා පැමිණවීම ගැන හිටපු හමුදාපති ජගත් ජයසූරියට සහ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ශවේන්ද්‍ර සිල්වාට ද චෝදනා නඟා ඇත.

මේ හැර ද්‍රවිඩයන්ට අමානුෂික වධහිංසා පමුණුවා ඇතැයි දක්වමින් ආරක්‍ෂක හමුදාවේ 47 කටද චෝදනා නැඟූ යස්මින් සුකා ඊට සම්බන්ධ නිලධාරියකු විදේශ රටක පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක සේවය කරන බවත් තවත් නිලධාරීන් දෙදෙනෙක් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිවී සිටින බවටත් අනාවරණය කර ඇත.

යස්මින් සුකා තම වාර්තාවේ තවදුරටත් දැක්වූයේ ද්‍රවිඩයන් 76 කට වධහිංසා පමුණුවා ඇති බවයි.

එහෙත් වධහිංසාවලට ලක්වූවන් කවුරුන්දැයි ඇය හෙළිකර නැත.

මේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනියට සමානව ප‍්‍රීඩම් ප්‍රොම් ටෝචර්ස් ආයතනය පැවසුවේ වධහිංසා පැමිණවීමේ මධ්‍යස්ථානය මෙහෙයවනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් බවයි.

සිසිර මෙන්ඩිස්ට එරෙහි චෝදනා එල්ල කරනු ලැබුවේ එක්සත්ජාතීන්ගේ කමිටු නිලධාරිනියක්වූ පෙලිනේ හැරීය.

මෙම පොලිස් නිලධාරියා ජිනීවාහි පැවැති එක්සත්ජාතීන්ගේ කමිටු රැස්වීමකට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජර්මනියේ ජේ ඞී එස් සංවිධානය එක්සත් ජාතීන්ගේ සහ ස්විස් නඩු අධ්‍යක්‍ෂකවරයාගෙන් කළ ඉල්ලීම අසාර්ථක වූයේ සිසිර මෙන්ඩිස් තානාපති මුක්තිය තිබූ නිසාය. මේ පිළිබඳව එවකට විදේශ කටයුතු ඇමැතිව සිටි මංගල සමරවීර පැවසුවේ තමා කලින් දැනසිටියේ නම් ඉහත කී පොලිස් නිලධාරියාව ජිනීවා යවන්නේ නැති බවයි.

මේ තත්ත්වය මත 2015 සැප්තැම්බර් මස පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම ඉවත් කරගන්නා ලෙස ජනාධිපිවරයා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කර ඇතැයි වාර්තා විය.

එහෙත් විදේශ කටයුතු බලධාරීන් මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැත. ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකාව එකඟවීම ගැන පාකිස්තානය විරෝධය පෑවේය. එහෙත් එම විරෝධයෙන් වැඩක් වූයේ නැත. ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්වමින් බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්රේ නිපදවූ වීඩියෝ චිත‍්‍රපට පවා මංගල සමරවීර පිළිගනු ලැබීය.

මේ පසුබිම මැද හමුදාව අසරණ තත්ත්වයකට පත්විය. මෙලෙස හමුදාව යුද අපරාධ සිදුකළ බවට මෙරට පාර්ශ්ව පවා පිළිගනිද්දී කොටි සංවිධානය සිදුකළ යුද අපරාධ ජිනීවා මානව හිමිකම් සමුළුවට හෝ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කිසිදු ආණ්ඩුවක් කි‍්‍රයාකළේ නැත.

එහෙත් කොටි ඩයස්පෝරාවේ අරමුදල් මත යැපෙන යස්මින් සුකා රහස් පොලිසියේ හතර වැනි තට්ටුවටද ජිනීවා වෙත ගෙන ගියාය. ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ද්‍රවිඩයන්ට වධහිංසා පැමිණ වීමේ වධකාගාරය ලෙස හතර වැනි තට්ටුව නම්කරනු ලැබුවාය.

එසේ වූවත් රජය ඊට ප‍්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් නොවුණි. එහෙත් මෙවර 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්ථාවේ උතුරේ සතුරු පාර්ශව අතුරුදන්වූවන් ගැන හඬ නඟමින් හර්තාල් ව්‍යාපාරයක් දියත් කළහ. උතුරේ සංවිධාන රැසක් මෙහෙයවූ මෙම හර්තාල් ව්‍යාපාරයට පෙර හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරමින් සියලූ වෙළෙඳසැල් වසාදමන ලෙස කියා සිටියේය.

මෙයට වසර ගණනකට පෙර ප‍්‍රභාකරන් උතුරේ වෙළෙඳසැල් වසාදැමූ අයුරින් මෙවරද එම කි‍්‍රයාදාමය සිදුවෙද්දී රජය නිහඬ විය.
එහෙත් කොටි ත‍්‍රස්තවාදීන් විසින් අතුරුදන් කළ හමුදා භටයන් 6000 කට අධික පිරිසක් වෙනුවෙන් දකුණේදී විරෝධතා ව්‍යාපාර දියත්වුණේ නැත. එසේ වූවත් කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීහු ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ උතුරේ විරෝධතාවලට සාමගාමීව විරෝධතාවයක් පවත්වමින් ශ‍්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ළමුන් පැහැරගෙන යන බවට ප‍්‍රකාශ කළහ.

මේ අතර කොටි ඩයස්පෝරාව මෙවරද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවූ බවට දක්වමින් ඒ සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් මෙන්ම ද්‍රවිඩ ඊළම් රාජ්‍යයක් බිහිකිරීම සහ එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඉල්ලමින් හෙට (4 දා) පස්වරු 2.00 ට මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ උද්ඝෝෂණයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් යුද අපරාධකරුවන් ලෙස හැඳින්වීමේ ප‍්‍රදර්ශනයක්ද ස්විස් පොලිසිය අවසර දී ඇත.

image1
ප‍්‍රංශ කොටි ජාලයද එම උද්ඝෝෂණයට සහය දක්වමින් ඊළම් සිතියම පින්තාරු කළ වෑන් රියක් ජිනීවා නුවරට එවා තිබේ. මේ අතර යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ලවූ යුද හමුදා සහ කොටි කි‍්‍රයාකාරීන්ට සමාව දීමේ කැබිනට් පති‍්‍රකාවක් රජයේ ඇමැතිවරයකු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එහෙත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හෝ ඉන්දියාව සහ මියන්මාරය යන රටවල මෙවන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත්වී නැත.
ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 65 කට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවී තිබියදී එකදු කොටි කි‍්‍රයාකාරියකුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවී නොමැත. මේ නිසා කොටි යුද අපරාධ චෝදනා පිළිගනු ඇතැයි සිතිය හැකිද?
මෙවන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමෙන් සිදුවන්නේ ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පිලිගැනීම නොවේද?
මෙම පසුබිම මත හිටපු නාවික හමුදාපතිවරයකුවූ වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දීමක් ඊට එරෙහිව හිටපු නාවික හමුදාපතිවරයා මූලික අයිතීන් පෙත්සමක් ගොනු කිරීමේ සිද්ධිය කොටි ඩයස්පෝරාව තුළ පිළිරැව් දුන්නේය.

හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව 2018 සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ ජෙයනි ත්‍යාගරාජා නැමැත්තිය ප‍්‍රකාශයක් කරනු ලැබීය. මේ බව මෙරට මාධ්‍යවලින් විශේෂයෙන් හෙළිදරව් කරනු ලැබුවේ ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂංගයෙනි.
මේ ජෙයනි ත්‍යාගරාජා නැමැත්තිය ප‍්‍රංශයේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනවිත් තිබුණේ ප‍්‍රංශයේ කොටි කි‍්‍රයාකාරියකුව මරියදාස් බොස්කෝ නැමැත්තායි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ මූලික අයිතීන් පෙත්සමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රැකියාවක් කර පසුව දේශපාලන පළිගැනීමකට ලක්වූ බව දක්වමින් නාවික හමුදාපති ලෙස පත්වූ ට‍්‍රැවිස් සින්නයියාගේ කි‍්‍රයාකලාපයද හෙළිවිය. ඒ කරන්නාගොඩගේ අධීක්‍ෂණය යටතේ ති‍්‍රකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නීතිවිරෝධී රැඳවුම් මධ්‍යස්ථාන තිබූ බවට සින්නයියා ප‍්‍රකාශ කිරීමයි.

එසේම නාවික හමුදාවේ ලේකම්වරයාව සිටි ෂිමාල් ප‍්‍රනාන්දුද හිටපු නාවික හමුදාපතිවරයා පිළිබඳව අපරාධ පරීක්‍ෂණ බලධාරීන්ට කටඋත්තරයක්දී ඇතැයිද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දක්වා තිබුණි.

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මේ අර්බුදයට මැදිවූයේ ඔහුගේ සහයකයාව සිටි හිටපු ලූතිනන් කමාන්ඩර් සම්පත්ගේ නිල කුටියේ තිබී අතුරුදන්වූ කොටහේනේ තරුණයන්ගේ හැදුනුම්පත් ඇතුළු වෙනත් භාණ්ඩ හමුවීමෙනි.

කොටි විසින් වසන්ත කරන්නාගොඩ ඝාතනය කිරීම සඳහා කිරුළපන ප‍්‍රදේශයේ බෝම්බයක් අටවා තිබූ අවස්ථාවේ එම බෝම්බය සොයාගනු ලැබුවේ සම්පත් බව හෙළිවිය.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ සිද්ධිය පිළිබඳව කොටි ඩයස්පෝරාවට සම්බන්ධ මන්ත‍්‍රීවරයකුවූ ස්ටීවන් මොර්ගන් විසින් එරට විදේශ කටයුතු කාර්යාලයේ ලේකම්ගෙන් ප‍්‍රශ්න කරනු ලැබීය.

මේ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රශ්න කළේ 2019 ජනවාරි 21 වැනිදා සිට විදේශ කටයුතු කාර්යාලය ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සාකච්ඡා කළේ කුමක්ද යන්නයි.

මෙම ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වූ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ඇමැති මාර්ක් පීල්ඞ් ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකව සිටි බි‍්‍රගේඩියර්ගේ සිද්ධිය ගැන බි‍්‍රතාන්‍ය රජය කනගාටුවට පත්වන බවත් ඊට අදාළ සිද්ධිය ගැන විගස ශ‍්‍රී ලංකා රජයට දැන්වූ බවත්ය.
2018 පෙබරවාරි 8 වැනිදා මා මේ ගැන විදේශ ඇමැති තිලක් මාරපනට දැන්වූවා. එහිදී ශ‍්‍රී ලංකා රජය ඔහුව ආපසු කැඳවූවා වෙස්මිනිස්ටර් අධිකරණය මගින් බි‍්‍රගේඩියර්වරයා සම්බන්ධව ගත් කි‍්‍රයාමාර්ගය නිසා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය තානාපති වරප‍්‍රසාද ඇතුළත් ලියවිලි ලබාදී අධිකරණයට සහය වුණා. තානාපති සබඳතා පිළිබඳ වියනා සම්මුති ඉටුකිරීමට බි‍්‍රතාන්‍ය රජය බැඳී සිටින බවටද කිවයුතුයි.
එසේම පසුගිය ජනවාරි 24 වැනිදා ශ‍්‍රී ලංකා විදේශ ලේකම්ගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී විදේශ ලේකම් පැවසුවේ මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ බි‍්‍රගේඩියර්වරයාට තානාපති මුක්තිය ඇති බවයි. මේ නිසා වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ බි‍්‍රගේඩියර්ගේ තානාපති මුක්තිය ගැන අප පැහැදිලි කළා යැයි බි‍්‍රතාන්‍ය ඇමැති මාර්ක් පීල්ඞ් තවදුරටත් කියා සිටියේය.

මෙලෙස බි‍්‍රගේඩියර්වරයා ගැන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරනු ලැබුවත් මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය සහ ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීම ගැන අපේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන්නේද?
මෙවන් තොරතුරු හෙලිවන අවස්ථාවේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ යළි මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්විය. ඒ සත්‍යසෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට ශ‍්‍රී ලංකා රජය උත්සාහ කිරීම යුක්තිය ඉටුවීම කල්දැමීමක් බව ඇය පැවැසීමයි.

නවිපිල්ලේ තවදුරටත් මානව හිමිකම් කොමසාරිස්වරිය නොවන නිසා ඇයට මෙරට කටයුතුවලට යළි මැදිහත්විය නොහැක.
ඒ වත්මන් රජය නවි පිල්ලේගෙන් නුඹට ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය කුමක්දැයි විමසන්නේ නැත.
නවිපිල්ලේ ශ‍්‍රී ලංකාවේ සත්‍යසෙවීමේ කොමිසමක් ස්ථාපිත කළ යුත්තේ දකුණු අපි‍්‍රකාවේ සත්‍යසෙවීමේ කොමිසම අපරාධවලට දඬුවම් දුන් අයුරින් බව පවසා ඇත.

image2
මේ තත්ත්වය මත මෙරට ජර්මානු තානාපති ජෝන් රෝග්ඬේද සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කළ යුතු බව ප‍්‍රකාශ කර ඇත. මෙරට ජර්මානු තානාපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙවර මානව හිමිකම් සමුළුවේදී ජර්මනිය ප‍්‍රමුඛ රටවල් සහ වගවීම සහ කරුණු මත ශ‍්‍රී ලංකාවට සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වන බවයි.

මේ යෝජනාවේ අරමුණ ශ‍්‍රී ලංකාවට තවත් කාලය දීමක් බවද ජර්මානු තානාපතිවරයා කියා සිටියේය.

මේ අතර හිටපු කොටි ත‍්‍රස්තයකු වූ එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් මෙම සතියේ උතුරේ පැවැති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ හර්තාලයේදී ප‍්‍රකාශයක් කරමින් රජය යුද අපරාධ ගැන කිසිදු පරීක්‍ෂණයක් පවත්වන්නේ නැති බවත් මෙවරද මානව හිමිකම් සැසිය ආරම්භයේදී යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණයක් ඉල්ලා සිටින බවත් කියා සිටියාය.

එහෙත් තම සැමියා සිදුකළ යුද අපරාධ ගැන ඇය වචනයක්වත් ප‍්‍රකාශ කර නැත. ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මක වන බොස්කෝ නැමැති කොටි හිතවාදියාගේ සහයෙන් ජිනීවා නුවරට පැමිණෙන ආනන්දි සසිතරන් ජිනීවාහි ඊළාම්වාදී ද්‍රවිඩ කාන්තාවකගේ මහල් නිවාස සංකීර්ණයේ නතර වී මානව හිමිකම් සැසි වාරයට පැමිණෙන බව හෙළිවී ඇත.

ඇය ජිනීවා නුවරට පැමිණෙන්නේ ඇගේ සැමියා සම්බන්ධ කොටි සංවිධානය ප‍්‍රහාර එල්ල කළ කටුනායක ගුවන් තොටුපළෙනි. එය ඇගේ දෛවයේ සරදමක් නොවේද?

මේ පසුබිම මැද මන්නාරම් සමූහ මිනීවළ ජාත්‍යන්තරකරණය කිරීමට මුලතිව් කාන්තා සංවිධානය කටයුතු කර ඇත. මෙම සංවිධානයේ නායිකාව යැයි හඳුන්වන මහාලක්‍ෂ්මී නැමැත්තිය ඒ සඳහා ගෝතමාලා වෝහාරික විශේෂඥයන් තිදෙනකුගේ සහය පතා තිබේ. මේ ගෝතමාලා විශේෂඥයන් තිදෙනා පසුගිය 7 වැනිදා මුලතිව් වෙත පැමිණ අතුරුදන්වූ බව කියන අයගේ උප්පැන්න පිටපත් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ලේ සාම්පල් ලබාගෙන ඇත.

අනතුරුව අතුරුදන්වූවන්ගේ පවුල්වල අය සමග රහස් සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එහෙත් රජයට මේ බව වාර්තා වූයේ නැත. උතුර ඕනෑම විදේශිකයකුට විවෘත වී ඇති නිසා හමුදාව සහ පොලිසිය අසරණ තත්ත්වයකට පත්වී සිටිති.

රජයේ අවසරයකින් තොරව මන්නාරම අධිකරණ බලධාරීන් විසින් බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ නිෂ්පාදක ජෙනතන් මිලර්ට මන්නාරමේ සමූහ මිනීවළ වීඩියෝගත කිරීමට අවසරදී ඇති විටෙක උතුරේ සිදුවන්නේ කුමක්දැයි තහවුරු වේ.

එසේම බි‍්‍රතාන්‍යයේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් උතුරට පැමිණ කොටි බුද්ධි සේවා කි‍්‍රයාකාරියකුව සිටි තුල්සි හමුවී රහස් සාකච්ඡාවක් පවත්වන්නේ නම් ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්ත්වය ගැන කිවයුතු නැත.

ඒ සඳහා හොඳම නිදසුන මෑතකදී පැවැත්වූ හර්තාලයයි. මේ හර්තාලය සඳහා ප‍්‍රචාරක පුවරු විරෝධතා බැනර් ඇතුළු වෙනත් පහසුකම් සඳහා අරමුදල් ලබාදෙන ලද්දේ බි‍්‍රතාන්‍යයේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ය.
එහෙත් රජය ඒ ගැන නිරීක්‍ෂණයක් කරන්නේ නැත. මේ හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට අතුරුදන්වූවන්ගේ පවුල්වලට මුදල් ලැබෙන්නේ කෙසේද යැයි රජය නිරීක්‍ෂණය කළ යුතුව ඇත.

image3
පසුගිය සැප්තැම්බර් මස පැවැති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය මුලතිව් සිට පැමිණි අතුරුදන්වූවන්ගේ පවුල්වලට අයත් කාන්තාවන් අත තිබුණේ අධික මිලක් ඇති අයිෆෝන් ජංගම දුරකතනයි.

මේ අන්දමේ තොරතුරු හෙළිවන අවස්ථාවේ ජිනීවා මානව හිමිකම් සමුළු ඇතැයි අතරමැදියන්ට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වී ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ ලියාපදිංචිවී සිටින කොටි හිතවාදී සංවිධානවලට අමතරව අපි‍්‍රකානු රටවල් නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානින් තම සංවිධානවල නාමය යටතේ මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා එම නාමය අලෙවි කිරීමේ යෙදී සිටිති.

මේ සඳහා යුරෝ 3000 ක මුදලක් අයකරන බව අනාවරණය වී ඇත. මානව හිමිකම් බලධාරීන් මේ දූෂිත පිළිවෙත ගැන දන්නා නමුත් ඊට එරෙහිව පියවරක් ගෙන නැත.

මේ බව තහවුරු වූයේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන් – ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී ආනන්දි සසිතරන් මානව හිමිකම් සැසිවාර අමතනු ලැබුවේ අපි‍්‍රකානු රාජ්‍ය නොවන සංවිධාන නාමය යටතේයි.

මේ අතර 1987 වසරේදී මඩකලපුව නගරයේදී සිංහලයන් 100 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ කොටි හමුදා නායකයකුවූ සිද්දාට බි‍්‍රතාන්‍යය දේශපාලන රැකවරණ ලබාදී ඇත.

මේ කොටි ත‍්‍රස්තවාදියාගේ සොහොයුරිය වූ චිත‍්‍රා රජය විසින් කොමිෂන් සභාවක සාමාජිකාවක ලෙසද පත්කර තිබුණි. මේ යුද අපරාධ කරුවා අතුරුදන්වීමෙන් පසු පසුගිය සතියේදී ලන්ඩන් නුවරදී එළියට පැමිණි අයුරු මඩකලපුවේ දේශපාලකයකු වූ අරුන් තම්බිමුත්තු හෙළිකළේය. එහෙත් සිද්දා ශ‍්‍රී ලංකාවට බාර දෙන ශ‍්‍රී ලංකා රජය බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා නැත.

එදා මඩකලපුව නගරයේ සිටි සිංහල බේකරි හිමියන් සහ වෙළෙඳසල් හිමියන් මෙන්ම ඔවුන්ගේ පවුල් සිටි නිවාස වලට කඩා පැන මේ අමානුෂික ඝාතනය සිදුකිරීම ගැන මඩකලපුව ජනතාව අතර ජනාදරයට පාත‍්‍රාව සිටි සෑම් තම්බිමුත්තු විරෝධය පෑවේය. මේ නිසා කෝපයට පත් කොටි ‘‘තොට අපි කරන දේ ගැන අහන්න ඇති අයිතිය ගැන ප‍්‍රශ්න කර ඇත.’’ එදා සිට කොටි මගේ තාත්තා සමග දැඩි වෛරයෙන් පසුවුණා යැයි අරුන් තම්බිමුත්තු කියා සිටියේය. සිය දිවි බේරාගැනීමට සඳහා වසර ගණනකට පසු ඔහු කොළඹ කැනඩා තානාපති කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවේ කොටි විසින් ඝාතනය කරනු ලැබීය. මේ පසුබිම මැද මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ සිසිර මෙන්ඩිස් සහ නන්දන මුණසිංහ ධුර වලින් වහාම පහ කරන ලෙස එක්සත්ජාතීන්ගේ හිටපු නිලධාරිනී ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ අතර 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බොරු අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සිව්දෙනෙක්ද ජිනීවා වෙත පැමිණි ඇත.



147 Viewers