• Home »
  • Sinhala »
  • හමුදාව දුර්වල කිරීම: කවුරුන් විසින් කුමක් සඳහාද

හමුදාව දුර්වල කිරීම: කවුරුන් විසින් කුමක් සඳහාද

මෑත කාලීනව ශ්‍රී ලංකා ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවූ ආකාරයට ආරක්ෂක හමුදාවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විවේචනයට ලක් වෙමින් ඇත. එහි ආසන්නතම සිදුවීම වන්නේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හමුදාවේ හා හමුදාපතිගේ ක්‍රියාකාරීත්වය ජනමාධ්‍ය හමුවේ විවේචනයට ලක් කිරීමය. වර්තමාන හමුදාපති වරයවරයා ඊට ජනමාධ්‍ය මගින් පිළිතුරු දීමට ක්‍රියා කිරීම නිසා තත්ත්වය තවදුරටත් බරපතළ විය. ඉන්පසුව සිදු වූ දේ වෙනත් කිසිම රටක සිදු නොවූ දෙයකි. එනම් ආණ්ඩුවේ අමාත්‍යධූරයක් දරන ෆීල්ඩ් මාෂල් වරයෙක් ලෙස හමුදාවේ සක්‍රීය සේවය නියුක්තයැයි සැලකන හිටපු හමුදාපතිවරයා විසින් වර්තමාන හමුදාපතිවරයාට පුද්ගලිකව නින්දා අපහාස වන ලෙස ඔහුගේ හැසිරීම් මාධ්‍ය හමුවේ විවේචනය කිරීමය.

සක්‍රීය සේවයේ නියුක්ත බව සැලකෙන හමුදාවේ උසස් නිලධාරීන්ට අමාත්‍යධූරය පිරිනමන වෙනත් රටක් ලෝකයේ නොමැති බැවින් එවැනි හැසිරීම් පිළිබඳව තවදුරටත් කතා කිරීමට දෙයක් නැතැයි මහජනයාට සිතිය හැක. නමුත් හමුදාපතිවරුන් දෙදෙනාගේ මෙම හැසිරීම් හුදකලාව පුද්ගලික චරිත ලක්ෂණ නිසාම සිදුවන දේවල් යැයි කම්පාවෙන් බැහැර කළ නොහැක. එම ජවනිකා විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සමස්තයක් ලෙස මුහුණදී සිටින මහා පින්තූරය තුළය. එදා සරත් ෆොන්සේකා මහතා විසින් ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කිරීම කළ බවට හමුදාවට චෝදනා එල්ල කිරීම නිසා ඔහුට සිරගතවීමට සිදුවිය. නමුත් අද එවැන්නක් කිසිසේත්ම සිදුනොවන බවට සහතිකයක් තිබෙන බව පෙනේ. ඒ ඔහු අමාත්‍යවරයෙක් වන නිසාම නොවේ අද හමුදාවට එල්ල වෙන චෝදනා රජය විසින් ස්තුතිපූර්වක පිළිගන්නා බැවිනි. මංගල සමරවීර අමාත්‍යවරයා විසින් 2015 මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව එල්ලවූ යුද අපරාධ චෝදනා පිළිගත්තේ ස්තුති පූ ර් වකවය.

කෙසේ වෙතත් වර්තමාන හමුදාපතිවරයා හමුදාවේ පුද්ගලික ගෞරවය සඳහා තම උසස් නිලධාරියා සමඟ ගැටුමට යොමු වුවත් හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා දිගින් දිගටම එල්ල වන විට නිහඬව සිටීයි. හමුදාවේ නීතිය අනුව නිහඬව සිටීම ගැටලුවක් නොවේ නමුත් හමුදාවේ නීතියට අනුව යුද අපරාධ චෝදනා වලට එරෙහිව විධිමත්ව කරුණුමය සාක්ෂි ගොනු කරමින් පිළිතුරු දීමේ හැකියාව ඇත. එහෙත් අඩු තරමින් බ්‍රිතාන්‍යයේ නේස්බි ස්වාමිවරයා ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් ඉදිරිපත් වන විට එවැන්නකට මුල පිරීමට වර්තමාන හමුදාපතිවරයා ක්‍රියා කළේ නැත. එම චෝදනා වලට පිළිතුරු දීමට අධ්‍යාත්මිකව බැඳී සිටින යුද්ධයට නායකත්වය දුන් හිටපු හමුදාපතිවරයා ද නිතර විවෘත වන තම මුඛය එම කරුණුට අදාලව දශමයක් හෝ විවර කළේ නැත.

නමුත් ඔහු දැන් වර්තමාන හමුදාපතිවරයා සමඟ ගැටුම් ඇති කර ගන්නේ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව එල්ල කරන යුද අපරාධ චෝදනා පදනම් කර ගනිමින් ඉදිරිපත් වූ යම් යෝජනා ක්‍රියාත්මක කිරීමට එරෙහිව ය. ඒ පිළිබඳව ඔහුට යම් ගෞරවයක් හිමි වේ. එහෙත් සමස්තය අතහැර කොණක් අල්ලා ගැනීම ගෞරවයට හේතුවක් නොවේ යැයි තර්කයක් ද මතු කළ හැක. එසේම හමුදාවට එල්ල වන චෝදනා පිළිබඳව සේනාධිනායකයා වන ජනාධිපතිවරයා කරදර වන්නේ නැතිනම් හමුදාපතිවරුන්ට කුමක් කළ හැකිද යනුවෙන් අමතර තර්කයක් ද මතු කළ හැක. කෙසේ වෙතත් හමුදාවේ ක්‍රියාකාරිත්වයට අදාළව හමුදාපතිවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ වාද විවාද කරන විට එතුමා කුමක් කරනු ඇත්දැයි මහජනයා බලා සිටිති.

හිටපු හමුදාපතිවරයා විසින් වර්තමාන හමුදාපතිවරයාට ඔහුගේ පුද්ගලිකත්වය මුල් කරගෙන ප්‍රහාර එල්ල කිරීම කිසිදු ශිෂ්ඨ සම්පන්න පුරවැසියකු විසින් අනුමත නොකරන බවට විවාදයක් නැත. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු බැහැර කළ නොහැක. එයට හේතුව ඉහත සඳහන් කළ ආකාරයට එම චෝදනා මහා චෝදනා මාලාවකින් උපත ලබන ඒවා වීමය. එම චෝදනා වලට අදාළ කරුණු මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින්ද පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දී හෙළිදරව් කොට තිබිණි. ඇත්ත වශයෙන්ම එම එළිදරව්ව අයිස් කන්දේ මුදුන ලෙස සැලකීමේ වරදක් නැත. ඊට හේතුව ඊට පෙර ආරක්ෂක හමුදා දුර්වල කිරීම සහ අවමානයට ලක් කිරීම සඳහා සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු වූදේ මහජන අවධානයට ලක් නොවීමය.

වර්තමාන හමුදාපති වරයා විසින් පිළිතුරු බඳින්නේ එතුමා තනතුර හොබවන කාලයේදී හමුදාව තුළ සිදුකෙරුණු යම් ප්‍රතිසංස්කරණ හෝ වෙනස්කම් පිළිබඳව පමණි. නමුත් දැනට සමාජයට හෙළිදරව් වී නොමැති හමුදාවේ අභ්‍යන්තරයට රහසක් නොවන කරුණු පිළිබඳව සීමාව ඉක්මවා කතා කිරීම මගින් යහපතකට වඩා අයහපතක් සිදුවිය හැක. එනම් ඒ මගින් හමුදාව දුර්මුඛ කොට දුර්වල කිරීමට පිඹුරුපත් සකස් කරන බාහිර පාර්ශවවල වුවමනාවන් ඉටු වේ. කෙසේ වෙතත් වර්තමාන හමුදාපති තුමා විසින් යථා යෝග්‍ය කිරීම නම් වූ තාක්ෂණික වචනයෙන් හඳුන්වන ක්‍රියාවලිය තුළ දැන්ට පවතින හමුදා බලඇණි 210 න් 33 අහෝසි වේ. ඉට අමතරව ඉහළ නිලධාරි තනතුරු 1000 අධික ප්‍රමාණයක් අහෝසි වේ. එවිට යම් නිලධාරීන් පිරිසකට නියමිත කාලයට පෙර විශ්‍රාම ගැනීමට සිදුවේ. අවසානයේදී නව බඳවාගැනීම් හා උසස්විම් අඩුවීමට සාපේක්ෂව සමස්ත හමුදාවේ පිරිස් බලය 25% කින් අඩුවන බවට යම් ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී ඇත.

එම ක්‍රියාවලියට අමතරව හමුදා නිලධාරීන්ගේ පෙර වැරදි මුල්කරගෙන නව උසස්වීම් නැවැත්වීම සඳහා ද පියවර ගැනෙන බවට හමුදාව විසින් නිකුත් කළ යම් චක්‍රලේඛ අනුව පැහැදිලි වේ. එසේ දඬුවම් ලැබූ පැරණි වරදකට අදාලව යම් පුද්ගලයෙකුට නැවත දඬුවම් කිරීම ස්වභාවික යුක්තියට ද පටහැනි වේ. ඒ මගින් ශ්‍රී ලංකාවේ හමුදාව දුර්මුඛ කිරීම සඳහා දිවා රෑ වෙහෙසෙන බටහිර බලවේගවල වුවමනාවන් ඉටු වන බවට සැකයක් නැත. ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන ඇමෙරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව සම්මත කළ යෝජනාවලියේ 8 වැනි වගන්තිය මගින් ආණ්ඩුවට බල කරන්නේ හමුදා සාමාජිකයන්ට පරිපාලන වශයෙන් දඬුවම් කරන ලෙස ය. ඊට අමතරව එම යෝජනාවලිය සහ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර් තාව මගින් හමුදාවේ බරපතල ප්‍රතිසංස්කරණ කළ යුතු බවට නිර්ද දේශ ඉදිරිපත් වී ඇත.

එසේ ඉදිරිපත් වූ යම් නිර්දේශයන්ට අනුව හමුදාවේ බඳවා ගැනීම් සහ උසස්වීම් මෙන්ම මිලදී ගැනීම් සිවිල් සංවිධාන කමිටුවකින් අධීක්ෂණය කළ යුතුය. එනම් හමුදාවේ තීන්දු රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන්ගේ අනුමැතියට යටත් කළ යුතුය. මේ වන විට එවැන්නක් සිදුවී නැතත් ප්‍රතිසංස්කරණ නාමයෙන් හමුදාවේ පිරිස් බලය අඩු කිරීමේ සහ දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යන බව පැහැදිලිව පෙනේ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දඬුවම් කිරීමේ ක්‍රියාවලිය අනුමත කළත් ඔහුගේ යම් ප්‍රකාශවලින් ඔහු හමුදාවේ පිරිස් බලය අඩු කිරීම පිළිබඳව එකඟ නොවන බව පැහැදිලි වේ. ඇත්තවශයෙන්ම ආරක්ෂක හමුදා වලට දඬුවම් කිරීම සඳහා සම්මත කළ පනත් 3 පිළිබඳව ඔහු වචනයකින් හෝ විරෝධය පළ නොකරන්නේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ඔහු ඒවා අනුමත කරන නිසා නොවේද?.
කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතාගේ වචන අනුව ඔහු හමුදාවේ භෞතික ශක්තිය අඩු කිරීම පිළිබඳව විරෝධය පළ කරන්නේ නැවත යුද්ධයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා ය. බෙදුම්වාදීන්ගේ පශ්චාත් යුද මාර් ග සිතියම අනුව නැවත එදා පැවති ආකාරයේ යුද්ධයක් කැඳවීමට අවශ්‍යවන්නේ නැත. ඊට අනුව දැන් අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සහ නිරායුධ මහජන වීදි සටන් හරහා හමුදාව ප්‍රකෝප කොට ජාත්‍යන්තර මැදිහත්වීමක් කැඳවා ගැනීම පමණි. නමුත් එම ක්‍රියාවලිය තුළ හමුදාව ඊළාම් දේශයෙන් ඉවත් කිරීම සඳහා හමුදාවේ ශක්තිය දුර්වල කිරීම පූර්ව කොන්දේසියකි.

හමුදාවේ ශක්තිය දුර්වල කිරීම යන්නට භෞතික සහ අධ්‍යාත්මික යන පැතිකඩ දෙකම අයත් වේ. යුද්ධයට නායකත්වය දුන් හමුදා ප්‍රධානියා ලෙස යුද්ධය දිනවීම සඳහා භෞතික ශක්තිය මෙන්ම හෝ ඊටත් වඩා ආධ්‍යාත්මික ශක්තිය වැදගත් බව සරත් ෆොන්සේකා මහතාට වඩා හොඳින් දන්නා අයෙක් සිටිය නොහැක. එහෙත් ඔහු යුද අපරාධ චෝදනා එල්ල කරමින් හමුදාව දුර්මුඛ කොට දුර්වල කිරීමේ ක්‍රියාවලිය හමුවේ මුනිවත රකීයි. ඊට අමතරව ඔහු විසින් හමුදාපතිවරයාට නින්දා කිරීම මගින් හමුදාවේ ප්‍රතිරූපයට සිදුකරන හානියද අවසානයේදී ගණන් බැලෙන්නේ හමුදාව දුර්මුඛ කිරීමේ උපායමාර්ගය යටතටමය. එම චෝදනාවේ වගකීමෙන් ඔහුට නිදහස් විය නොහැක්කේ ඔහු විසින්ම ප්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය තුළ ඔහු විසින් ඊට අදාළව හඬක් නොනැඟීම නිසාය.
අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් ඉතා පැහැදිලිව මාධ්‍ය ඉදිරියේ සිදුකළ ප්‍රකාශ අනුව හමුදාවට එරෙහිව එල්ල කෙරෙන චෝදනා පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී වචනයක් හෝ කතා කර නැත. ඊට පෙර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ දයාසිරි ජයසේකර මහත්වරුන් විසින් ද ඒ බව පිළිගෙන තිබුණි. ඒ අනුව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එම කරුණට අදාලව බොරු නොකියන බව තහවුරු වේ. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට හමුදාපතිවරුන් පමණක් නොව සේනාධිනායකයාද තම හමුදාව දුර්වල කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ප්‍රතික්‍රියා දැක්විය යුතු බවට තීන්දු කර නැත.

මෙම අඩුව පිරවීම සඳහා ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ‘‘විත්තිවාචකය‘‘ නමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වූ චෝදනා වලට කරුණුමය ශාක්ෂි සහිතව ප්‍රතිඋත්තර බඳිමින් වාර්තාවක් මානව හිමිකම් කොමිසම්ට නිල වශයෙන් භාරදුණි. එම කටයුත්තට නායකත්වය ලබා දුන්නේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසිනි. පසුව එම වාර්තාව සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දුන් අවස්ථාවේදී එතුමා සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස් ගේ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ වාර් තාව මගින් යුද අපරාධ චෝදනා එල්ල කොට නොමැති බවය. ඊට අදාලව එතුමාට නිවැරදි උපදෙස් ලැබී නොතිබූ බවට සහතික වූ බැවින් එම සංවිධාන විසින් අදාළ වාර් තාවේ යුද අපරාධ චෝදනා 8ක් පිළිබඳව අවස්ථා 32ක එම වචනය සඳහන් කොට ඇති බව ඔප්පු කරමින් එතුමාට ලිපියක් යවන ලදි.

ඒ අනුව පැහැ පැහැදිලි වන්නේ හිටපු සහ සිටින හමුදාපතිවරුන් විසින් තම සේනාධිනායකයාට අවශ්‍ය උපදෙස් සහ තොරතුරු නිවැරදිව සපයා දී නොමැති බව නොවේද?. මේ සියල්ල මගින් පැහැදිලි වන්නේ මෙම හමුදාපතිවරුන් මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පැවැත්වීම වෙනුවට සේනාධිනායකයාට කරුණු දක්වා වහාම හමුදාවේ ගරුත්වය සහ මානසික ශක්තිය ආරක්ෂා කිරීම සඳහා කැපවිය යුතු බව නොවේද? ඒ සඳහා ඔවුන්ට බොහෝ ආදර්ශයන් තමාටම එරෙහිව චෝදනා එල්ල කරන ඇමෙරිකාව සහ එංගලන්තය වැනි රටවල් වලින් ම ඉගෙන ගත හැක. අමෙරිකානු ජනාධිපතිවරයා මෑතකදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහි තර්ජනය කරන්නට යෙදුනේ ඇමරිකානු හමුදාවට එරෙහි නඩු විභාග කරන්නට සූදානම් නොවන ලෙසටය. ඒ සඳහා ඔහුට ඇමරිකාවේ දේශප්‍රේමී පනත ඇතුළු නීති රාශියක් මගින් බලය ලැබී ඇත

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මැතිණිය බ්‍රිතාන්‍ය පාර් ලිමේන්තුව අමතා ප්‍රකාශ කරන්නේ තම රටේ හමුදාවට එරෙහිව මානව හිමිකම් චෝදනා කර්මාන්තයක් ආරම්භ වී ඇති බවයි. ඊට එරෙහිව පියවර ගැනීමට යෝජනා කළ ඇය කියා සිටින්නේ යුරෝපා මානව හිමිකම් ප්‍රඥප්තිය නොසලකා කටයුතු කිරීමේ අයිතිය තම රටේ හමුදාවන්ට ලබා දෙන බවය. ඒ අනුව එම ප්‍රඥප්තියට යටත් නොවන බවට හමුදා නිලධාරීන්ට පුද්ගලිකව ප්‍රකාශ අත්සන් කළ හැක. ඊට අමතරව ඉරාකයේ සිදුවූ අකටයුතුකම් සොයා බැලීම සඳහා පත් කළ කොමිසම මගින් චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට අදාළ නඩු සමතයට පත් කිරීම සදහා රජය මගින් වන්දි ගෙවීමට පවා තීරණය කෙරිණි. සුද්දන් සහ කළු සුද්දන් අතර පවතින ප්‍රධාන වෙනසක් ඒ මගින් එතුමන්ලාට හදුනා ගත හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



150 Viewers