• Home »
  • Sinhala »
  • ඊළමම ඉල්ලන දෙමළ රාජ්‍ය පක්‍ෂයේ යෝජනා

ඊළමම ඉල්ලන දෙමළ රාජ්‍ය පක්‍ෂයේ යෝජනා

(Courtesy of The Divaina)

ilam

පසුගිය 30 වැනි දා යාපනයේ වීරසිංහම් ශාලාවේ දී 16 වන සම්මේලනය පැවැත්වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමාරම්භක රැස්වීම පවත්වා ඇත්තේ 1949 දෙසැම්බර් 18 වන දින මරදානේ පිහිටි දුම්රිය ලිපිකරු සංගම් ශාලාවේ දී ය. එම පක්ෂ නාමයේ සිංහල අර්ථය දෙමළ රාජ්‍යය පක්ෂය යන්න වුවත්, එය සිංහල ජනතාවට හඳුන්වා දී ඇත්තේ පෙඩරල් පක්ෂය යන නමිනි.

එසේ වුවද මේ වන විට සිංහල ජනතාවට පෙඩරල් පක්ෂය යනුවෙන් හඳුන්වා දුන් පක්ෂයේ වත්මන් නායකයන්ම සිංහල ජනතාවට දස අතේ දිවුරමින් ප‍්‍රකාශ කරන්නේ තමන් ඉල්ලා සිටින්නේ පෙඩරල් පාලනයක් නොවන බවයි. ඔවුන් එලෙස සඳහන් කළත් ඔවුන්ගේ සැබැ අරමුණ කුමක් ද යන්න පසුගිය 30 වැනි දා පැවති එම පක්ෂ සම්මේලනයේ දී සම්මත වූ යෝජනාවලින් ඉතා හොඳින් පැහැදිලි වන බැවින් ඒ පිළිබඳව සිංහල ජනතාවගේ අවධානය යොමු කළ යුතුව ඇත.

එම පක්ෂ සම්මේලනයට, පක්ෂයේ වත්මන් නායක මාවෙයි සේනාධිරාජා විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ආණ්ඩුවට බලපෑම් කරන යෝජනා 11 ක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා ඒකච්ජන්දයෙන් සම්මත වී ඇත. මෙම ඉල්ලීම් ලබාදීම සඳහා ආණ්ඩුවට මාස තුනක කාලයක් ලබාදී ඇති අතර, එම කාලය තුළ තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට නොකළහොත් ඉන් අනතුරුව ජනතා අරගලයක් දියත් කරන බවද සේනාධිරාජා අවධාරණය කර ඇත.

සේනාධිරාජා විසින් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති යෝජනා පහත පරිදි වේ.

උතුර සහ නැගෙනහිර යන පළාත් ඒකාබද්ධ කරමින් ස්වයං පාලන ව්‍යුහයකින් යුතු දේශපාලන විසඳුමක් ලබාදීම,

දෙමළ ජනතාවගේ පරම්පරික උරුමය හා ජාතික අනන්‍යතාවය නැතිකරන ආකාරයෙන් සිදුවන සියලූ කි‍්‍රයාවන් වහා නතර කර දැමීම,

නැවත පදිංචි කළ හැකි දෙමළ හා මුස්ලිම් ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීම, යුද්ධයෙන් අගතියට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ එම ප‍්‍රදේශ නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැපයීම,

යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ 8 මහල් ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකිරීමට පියවර ගැනීම,

අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන වග රජය විසින් නිශ්චිතව අනාවරණය කර ගනිමින් එහි වගකීම රජය විසින් බාරගතයුතු බව,

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ ජාතික සිරකරුවන් නිදහස් කළ යුතු බව,

උතුරේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදිය යුතු බව,

උතුරු පළාතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සාගර සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය යන ආයතන ජනතාව පදිංචිව කරන පදිංචිව සිටින ප‍්‍රදේශවල මෙන්ම කෘෂිකාර්මික ඉඩම්වල ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වහාම නවතා දැමීම,

දෙමළ ජනතාව ජීවත්වන ප‍්‍රදේශවල දේවාල, හින්දු සංස්කෘතික පාරම්පරික ස්ථාන හින්දු පුණ්‍ය භූමි අත්පත් කර ගනිමින් බෞද්ධ විහාර හා බුදුපිළිම ඉදිකිරිමේ උත්සාහය වහාම නවතා දැමීම

19 වන සංශෝධනය අහෝසි කිරීමේ උත්සාහය නවතා දැමීම,

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරගත් 30/1, 34/1 සහ 40/1 යන යෝජනාවන් මුළුමනින්ම කි‍්‍රයාත්මක කළ යුතු බවත් ඒ සඳහා එම සංවිධානය සමග කටයුතු කළ යුතු බව,

මෙම ඉල්ලීම් අතරින් සමහර ඉල්ලීම් දෙස බැලූ විට පෙනී යන්නේ උතුර සහ නැගෙනහිර යන දෙපළාත එළදෙනෙකු නම් දෙමළ රාජ්‍ය පක්ෂයේ නායකයන් එම එළදෙනගේ කිරි ටික සහ ගොම ටික ලබාගන්නා පශ්චාත් භාගය තමාගේ සන්තකයේ තබාගෙන එළදෙනට පෝෂණය ලබාදිය යුතු පූර්ව භාගය බලහත්කාරයෙන් ආණ්ඩුවේ කරමත පැටවීමට සූදානම් වන බවයි.

එහෙත් එම ඉල්ලීම් අතර තිබෙන උතුර සහ නැගෙනහිර යන දෙපළාත ඒකාබද්ධ කිරීම, ස්වයං පාලන බලතල ඉල්ලා සිටීම, දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමයන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටීම, දෙමළ ජනතාව ජීවත්වන ප‍්‍රදේශවල දේවාල හින්දු සංස්කෘතික පාරම්පරික ස්ථාන අත්පත් කර ගනිමින් බෞද්ධ විහාර හා බුදු පිළිම ඉදිකිරීමේ උත්සාහය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටීම, උතුරු පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කටයුතු නතර කරන ලෙසට ඉල්ලා සිටීම යන ඉල්ලීම් එක්ව ගෙන බැලූ විට අපි පෙඩරල් ඉල්ලන්නේ නැහැ යනුවෙන් ප‍්‍රකාශ නිකුත් කරන නායකයන්ගේ සැබෑ අරමුණ කුමක්ද යන්න මනාව පැහැදිලි වේ.

උතුර සහ නැගෙනහිර යන දෙපළාත එක් පළාතක් බවට පත්කර එම පළාතට ස්වයං පාලන බලතල ලබාදුන් විට දෙමළ ඊළම නිර්මාණය නොවන්නේ ද? දෙමළ ඊළාම් රාජ්‍යය සම්පූර්ණයෙන්ම වෙන්වූ රටක් ලෙස මෙන්ම පෙඩරල් රාජ්‍යයක් තුළ හෝ සහසංධිය රාජ්‍යයක් තුළ ද පැවතිය හැකි බව සමහරුන් දන්නේ නැත. එසේ වුව ද පසුගිය 30 වැනි දා දෙමළ රාජ්‍ය පක්ෂයේ සම්මේලනයේ දී සම්මත වූ ඉල්ලීම් ආණ්ඩුව විසින් පිළිගෙන කි‍්‍රයාත්මක කළහොත් නියත වශයෙන්ම සිංහල ඊළම සහ දෙමළ ඊළම යන රටවල් දෙකක් ඒකාබද්ධ කර පිහිටුවන පෙඩරල් රාජ්‍යයක් බිහිවන බව නම් සඳහන් කළ හැක. ඒ අනුව දෙමළ රාජ්‍ය පක්ෂයේ 16 වන සම්මේලනය, අපි ඉල්ලන්නේ පෙඩරල් පාලනයක් නොවන බවට ප‍්‍රකාශ නිකුත් කරන දෙමළ නායකයන්ගේ සැබෑ අරමුණ හෙළි කළ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක.

එසේ වුව ද දීකිරට බළලූත් සාක්කි කියන්නාසේ, දකුණේ සිටින එන්.ජී. ඕ කාරයන්, භෞතිකවාදීන්, අධිරාජ්‍යවාදි ඒජන්තයන් දෙමළ රාජ්‍ය පක්ෂයේ 16 වන සම්මේලනයේ දී සම්මත වූ යෝජනා ජනවාර්ගික අර්බුදය, බලය බෙදීම මගින් විසඳීම සඳහා උදා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස හඳුන්වා දෙන බව නම් පැහැදිලිය. එසේ ප‍්‍රකාශ කරන අයගෙන් අප අහන්නේ එක් ප‍්‍රශ්නයක් පමණි. මේ සිදුවන්නේ බලය බෙදීම නම් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ ඇයි ද යන කාරණයයි.

ඇත්ත වශයෙන්ම දෙමළ රාජ්‍ය පක්ෂයේ නායකයන් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි? ඒ සඳහා හේතුවී ඇත්තේ එම ප‍්‍රදේශවල ඓතිහාසිකව දෙමළ ඊළාම් රාජ්‍යයක් පැවති බවට ඔවුන් තුළ පවත්නා විශ්වාසයයි. ඔවුන් ප‍්‍රකාශ කරන්නේ 13 වන සියවසට පෙර දෙමළ ජනතාව මුළු රටේම ජීවත් වූ බවත් එම සියවසින් පසුව දෙමළ ජනතාව උතුර සහ නැගෙනහිරට සීමාවූ බවත්ය. සමහර දෙමළ උගතුන් ප‍්‍රකාශ කර ඇත්තේ දේවානම්පියතිස්ස රජුගේ පාලන කාලයේදී මිහිඳු හිමියන් වැඩම කළ බවත් බුදුදහම වැළඳගත් පුද්ගලයන් පසුකාලීනව සිංහලයන් බවට පත්වූ බවත්ය. එස්.ජේ.වී. චෙල්වනායගම් 1949 දෙසැම්බර් මාසයේ 18 වන දින දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ඇත්තේ ඓතිහාසිකව පැවති බව ඔහු විශ්වාස කළ එම දෙමළ රාජ්‍යය යළි ලබා ගැනීම සඳහාය. ඉහතින්ද සඳහන් කර ඇති ආකාරයට මරදානේ දුම්රිය ලිපිකරු සංගම් කාර්යාලයේ පැවති දෙමළ රාජ්‍ය පක්ෂයේ සමාරම්භක රැලිය ඇමතු චෙල්වනායගම්, ‘දෙවියන් වහන්සේ දෙමළ ජනතාව දෙමළ දේශයක් කරා රැගෙන යෑමට අප තෝරාගෙන ඇත. ඒ මගේ අප ද අපේ මතු පරපුර ද රැගෙන යනු ඇත’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇත. පසු ගිය වසර හැත්තෑවක කාලයක් පුරා එම පක්ෂයේ නායකයන් ගමන් කර ඇත්තේ එම මාර්ගය ඔස්සේය. පසුගිය 30 වැනි දා පැවති පක්ෂ සම්මේලනය ඇමතූ එම පක්ෂයේ හිටපු නායකයා මෙන්ම දෙමළ ජාතික සංධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් ප‍්‍රකාශ කර ඇත්තේ, චෙල්වනායගම් මෙම පක්ෂය ආරම්භ කරලා වසර හැත්තෑවක් වනවා. අපි ගමන් කරන්නේ ඒ මාර්ගයේ යනුවෙනි.

වසර හැත්තෑවක් පුරා අරගල කළත් දෙමළ ජාතික සංධානයේ නායකයන්ට තව අරමුණ ජය ගැනීමට නොහැකි වූයේ උතුරු සහ නැගෙනහිර භූමියේ ඓතිහාසිකව දෙමළ නිජභූමියක් පැවති බව සිංහල ජනතාවට ඒත්තුගැන්වීමට ඔවුන් අපොහොසත් වූ බැවිනි. දෙමළ රාජ්‍ය පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කළ ඉල්ලීම් අතර තිබෙන එක් ඉල්ලීමක් වන්නේ හින්දු පුණ්‍ය භූමි අත්පත් කර ගනිමින් බෞද්ධ විහාර හා බුදුපිළිම ඉදිකිරීම නවතා දමන ලෙසයි. දෙමළ රාජ්‍ය පක්ෂයේ නායකයන් එසේ චෝදනා කළත්, මෙරට ජීවත්වන දෙමළ ජනතාවගේ පැරණිම ඉතිහාස කෘතිය වන යාල්පානම් වෛපවමාලේ කෘතියේ පවා සඳහන් වී තිබෙන්නේ, යාපනයේ ජීවත් වූ බුද්ධාගම ඇදහූ සියලූ දෙනාම සිංහලයන් වූ බවයි. උතුරේ පමණක් නොව නැගෙනහිර පළාතේ පවා ඇති සියලූම පුරාවිද්‍යා ස්ථාන සිංහල බෞද්ධයන්ගේ බව ඒ අනුව පැහැදිලි වේ.

එබැවින් දෙමළ රාජ්‍ය පක්ෂයේ තර්ජනවලට බියවී ආණ්ඩුව ඔවුන්ගේ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වුවහොත් එය තවදුරටත් ආණ්ඩුව ජනතාවගෙන් හුදෙකලා වන තීරණයක් බව නම් සඳහන් කළ හැක.

එරික් ගාමිණි ජිනපි‍්‍රය



560 Viewers