• Home »
  • Sinhala »
  • දේශද්‍රෝහී න්‍යාය පත්‍රය පැරදවීම සඳහා පක්ෂ බේද නැතිව එක්වෙමූ – ජාතික සංවිධානය එකමුතුව

දේශද්‍රෝහී න්‍යාය පත්‍රය පැරදවීම සඳහා පක්ෂ බේද නැතිව එක්වෙමූ – ජාතික සංවිධානය එකමුතුව

zzඑදා 2005  දී පැවති ආණ්ඩුවේ රට බෙදන නෝර්වේජියානු න්‍යාය පත්‍රය පරාජය කිරිම මුල්කරගෙන මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා ජාතික බලවේග දැඩි කැපවීමක් සිදු නොකළා නම් අද රටේ තත්වය කුමක් විය හැකිද? එසේ වූවා නම් අද මේ රට සුඩානය මෙන් දෙකඩ වී සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනයා බල්ලන් බළලුන් මෙන් එකි නෙකා මරා ගන්නා දේශයක් නොවේද? අද පවතින තත්වය එදා 2005 දී පැවති තත්වයට වඩා සිය ගුණයකින් භයානක තත්වයක් නොවේද?

අද එක් පැත්තකින් යුද්දයෙන් දිනාගත නොහැකි වූ ඊළම දේශපාලන කප්පමක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ලබාගැනීමට බෙදුම්වාදි දේශපාලන පක්ෂ දිවුරුම් දෙති. සම්බන්ධන් මහතා පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ස්වයං පාලනය ලබානොදේ නම් හොඳින් හෝ නරකින් ජාත්‍යන්තර මැදිහත් වීමෙන් ස්වයං පාලනය ලබා ගන්නා බවය. ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ස්වයං පාලනය ලබා දුන් විට බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නැත.

අනෙක් පැත්තෙන් ජනතාවට හොරෙන් අත්සන් කරන ACSA, SOFA, MCC ගිවිසුම් ත්‍රිත්වය මඟින් අපගේ ආදරණීය මාතෘ භූමිය ඇමරිකාවේ “ දාස රාජ්‍යයක් ” බවට පත් කොට ඇමරිකානු හමුදාවේ තිත්පොලක් ලෙස පවත්වාගෙන යාමට ගන්නා වූ උත්සහාය කෙතරම් භයානකද? එමඟින් මේ බෞද්ධ රට ඇමරිකානු හමුදාවට විනෝදය හෙවත්, ස්ත්‍රී මාංශ සපයන ලෝකයේ ප්‍රධානතම තිත්පොල බවට පත් කිරීම මොනතරම් ඛේදවාචකයක්ද? 2015 ආණ්ඩු වෙනසට ඇමරිකාව මැදිහත් වන්නේ ඒ අරමුණින් බව ඔවුන්ගේම වාර්ථා වලින් ඉතා හොඳින් පැහැදිළි වේ. වර්ථමාන ආණ්ඩුව තව එක් වසරක් හෝ බලයේ සිටියහොත් ඒ මහා පාවාදීම ඇමරිකාවට උවමනා ආකාරයටම සිදුකරන බවට කිසිඳු සැකයක් නැත.

ඇමරිකානු හමුදාමය මැදිහත් වීම සඳහා ගිවිසුම් මඟින් සියළු කොන්දේසි සැපිරීමෙන් පසුව රට තුළට පය තැබීම සඳහා පාවාඩ එළනු ලබන්නේ සහරාන්ලාගේ සහ ඔවුන් නිසා ජාතිවාදී ගැටුම් වලට මැදිහත් වන අහිංසක සිංහල සහ මුස්ලිම් ජනයාගේ මළ සිරුරු මතිනි. ඊට පහසුකම් සලසන ආගමික අන්තවාදී දේශපාලකයින් සිටින්නේ ආණ්ඩුව තුළය. ඔවුන්ට නැවත වතාවක් ආණ්ඩු බලය සහ ඇමතිකම් ලැබෙනවා නම් ඇමරිකානු උවමනාව එය නොවේද?

එම ගැටුම්කාරී තත්වයට රට තල්ලු කිරීමට නම් රාජ්‍යය සහ ආරක්ෂක හමුදා දුර්වල කළ යුතුය. ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී තම රටේ හමුදාවටම යුද අපරාද චෝදනා එල්ල කරමින් යෝජනා සම්මත කළ වර්ථමාන පාලකයින් බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් සහ ආබාධිත සොල්දාදුවන් මහපාරේ උපවාස කරන තැනට තල්ලු කරමින් පසුගිය කාලය පුරාම සිදුකළේ ඒ මහා පාපකර්මය නොවේද? පාස්කු ඉරිදා ප්‍රහාරයේදී දේවස්ථානය තුළ වැඳුම් පිඳුම් කළ අහිංසක ජනතාව තම ජීවිත වලින් වන්දි ගෙවනු ලැබුවේ පටු දේශපාලන අරමුණ හිස් මුදුනේ තබාගෙන ඉස්ලාම් අන්තවාදී ඇමතිවරුන් සතුටු කරන ආදර්ශී පාලකයින්ගේ පවු ගෙවීමට නොවේද?

ලෝකයේ භූ දේශපාලන වශයෙන් ඉතා වැදගත් මධ්‍යස්ථානයක පිහිටා ඇති අපගේ උතුම් වූ මාතෘ භූමිය විනාශ කර අත්පත් කර ගැනිමට මාන බලන ජාත්‍යන්තර බලවේග වලට ඉටුකරගත යුතු තවත් පූර්ව කොන්දේසියක් ඇත. ඒ රටේ ආර්ථිකය වලපල්ලට යවා පිටරටකට අතනොපා එක වේලක් හෝ කෑමට නොහැකි තත්වයක් ඇති කිරීමය. මහා බැංකුව මහ දවල් කොල්ලකෑම නිසා ණය පොලී අනුපාත ඉහළ ගොස් දේශීය ව්‍යාපාරිකයාට තව දුරටත් ආයෝජනය සිදු කල නොහැකි තත්වයක් ඇති කොට ඇත. රුපියල කඩා වැටී ණය බර වැඩි වීම  නිසා රාජ්‍ය භාණ්ඩාගාරය හිඟන්නාගේ පාත්තරයක් බවට පත් වී ඇත. දූෂිත ඇමතිවරුන් සහ නිලධාරීන් එම පාත්තරයට අත දමා, තම උදර පෝෂණය කරති. ඉතින් රටක් දියුණු වීම කෙසේ වෙතත් ආර්ථිකය කඩා නොවැටී තිබෙන්නේ කෙසේද? ඒ නිසා දරුවන් විකුණා කන බේබදු පියෙකු සේ වර්ථමාන පාලකයින් රටේ වැදගත් මර්මස්ථාන විකුණා කමින් ආණ්ඩුව පවත්වාගෙන යති. ආණ්ඩුවේ නායකයින් කියන ආකාරයට ඔවුන් ආණ්ඩු කරන්නේ බඩගාගෙනය. බඩගාගෙන යන පාලකයින් තව වසරක් එසේ කළහොත් රට වැසියාට සිදුවන්නේ හොම්බෙන් යාමටය.

අද රටේ ගොවියාට සුළු නිෂ්පාදකයාට, සුළු වෙළෙන්දාට, රැකියා විරහිත තරුණයින්ට හෙට දිනය ගැන කිසිඳු විශ්වාසයක් නැත. අපේක්ෂා භංගත්වයට පත්ව සිටින රටේ අතිබහුතරයක් වත් ජනතාවට බලාපොරොත්තු දැල්විය හැක්කේ පවතින අවාසනාවන්ත ඉරණමෙන් රට ගලවාගත හැකිය යන විශ්වාසය ඇති කිරීමෙනි. ඒ විශ්වාසය ඇති කළ හැක්කේ දූෂිතයෙක් නොවන, රටම ආදරය කරන කොන්ද පනඇති පාලකයෙකුට පමණි. අපගේ මාතෘභූමිය විනාශයෙන් ගලවා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කිරීමට හෝ මහපාරේ සටන් කිරිමට අවශ්‍ය නැත. කලයුත්තේ පැමිණිලිකරුවන්ගේ භූමිකාවෙන් විනිශ්චය කරුවාගේ භූමිකාවට මාරු වී නිවැරදි කොටුවේ කතිරය ගැසිම පමණි.

රට මර උගුලකින් ගලවා ගැනීමේ පළමු කතිරය ගැසීමෙන් පසුව එනම් රට ගලවා ගැනීමෙන් පසුව දෙවන කතිරය තමා කැමති ඖනෑම පාටකට, පක්ෂයකට අපේක්ෂකයෙකුට ලබා දුන්නාට ගැටළුවක් නැත. නමුත් ඉදිරි ජනාධිපතිවරණයේ පක්ෂ පාට භේද නිසා ඔබ වැරදි කොටුවේ කතිරය ගැසුවහොත් ඔබ පමණක් නොව රට සහ ඔබ අනාගත දූ දරු පරපුරම අඳුරේ වැටෙනු ඇත.

ඒ නිසා සිහි බුද්ධියෙන් කතිරය ගසමු. එදා මිලේච්ඡ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට ගලවාගත් නායකයා ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත්කොට ජාතිය ගලවා ගනිමු.



340 Viewers