• Home »
  • Sinhala »
  • ජිනීවාහිදී රටේ අභිමානය පාවා දුන් යහපාලකයෝ

ජිනීවාහිදී රටේ අභිමානය පාවා දුන් යහපාලකයෝ

(Courtesy of The Sunday Island)

jeniva

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය දැනටමත් ආරම්භ වී ඇත. මෙම සැසිවාරයේ විශේෂත්වය වනුයේ මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබීමයි. ඒ අනුව වර්තමාන යහපාලන රජය විසින් ඉතා අදූරදර්ශී ලෙස සහ නින්දිත ලෙස සම අනුග්‍රාහකත්වය දැක්‌වූ ඊනියා 30/1 ජිනීවා යෝජනාවෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ ගෙන ඇති පියවරයන් සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත වේ.

මෙම 30/1 ජිනීවා යෝජනාවට පාදක වූයේ අපේ රජයේ හමුදාවන් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේදී යුද අපරාධ කරන ලදැයි සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‌ෂි ඇතැයි සඳහන් කළ මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ ඕ. අයි. එස්‌. එල්. වාර්තාවය. ඉතාම සාවද්‍ය, පරස්‌පරයන්ගෙන් ගහන, පක්‌ෂපාතී වූ එම වාර්තාව වර්තමාන රජය කිසිදු පරීක්‌ෂණයකින්, විමර්ශනයකින් තොරව අගය කරමින් පිළිගෙන ඒ මත යෝජිත වූ අපට එරෙහි 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීය. එසේ සම අනුග්‍රාහකත්වය දැක්‌වූ නිසා එම යෝජනාව කවුන්සිලයේ කිසිදු විවාදයකට ලක්‌ නොකොට, ඡන්දයක්‌ නොතබා අනුමත විය. අපට පක්‌ෂව කතා කිරීමට අපට පක්‌ෂව ඡන්දය දීමට හෝ වැළකී සිටීමට සූදානම් වූ අපට හිතවත් රටවල් සියල්ලට ඉතාම නින්දිත ලෙස වර්තමාන රජය, (ඔවුන්) නිහඬ කළේ ඒ අයුරිනි. මෙය ලෝකයේ කිසිම රටක්‌ මානව හිමිකම් කවුන්සිලයේ හෝ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ හෝ නොකළ දෙයකි. එසේම ඉදිරියේදී හෝ කිසිම රටක්‌ කවදාවත් නොකරන දෙයකි. තමාගේ රටේ හමුදාවන් යුද අපරාධ කළා යෑයි පිළිගෙන තමාගේ රටට එරෙහිව වෙන රටක්‌ ඉදිරිපත් කරන ලද යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්‌වීමෙන් අපේ රට ගිනස්‌ වාර්තා පොතට ඇතුළත් වී ඇත. එම ලෝක වාර්තාව වෙන කිසිදු රටක්‌ කවදාවත්ම නොබිඳිනු ඇත.

second-image

මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මෙම සැසිවාරයේදී තම වාර්තාවේ සඳහන් කර ඇති ප්‍රධාන කරුණු සැකෙවින් මෙසේය,

I) 30/1 යෝජනාවට ලංකා රජය අවස්‌ථා දෙකකදී සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත.
II) එම යෝජනාවේ සඳහන් සියලු කාරණා ඉෂ්ට කරන ලෙස කවුන්සිලය රජයෙන් ඉල්ලා සිටී.
III) මානව හිමිකම් කවුන්සිලය එම යෝජනාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වේ.
IV) වගවීම, සත්‍ය සෙවීම, වන්දි ගෙවීම සහ ප්‍රති සන්ධාන සඳහා ක්‍රියා කළ යුතුය.

V) සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ උපදේශන කාර්ය සාධක මණ්‌ඩලයේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය. (මෙම උපදේශන මණ්‌ඩලයේ සභාපතිනිය වූයේ මනෝරි මුත්තෙට්‌ටුවේගම වන අතර සාමාජිකයන් වූයේ පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණී වියන්ගොඩ, කේ. ඩබ්. ජනරංජන ආදීන්ය. මොවුන්ගේ නිර්දේශ වූයේ දෙමුහුන් අධිකරණයක්‌, කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක හැදීම, රටේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම, ලෞකික රාජ්‍යයක්‌, හමුදා අත්පත් කර ඇති ඉඩම් වහාම නැවත පැවරීම, අතීතයේ සිදුකළ යුද අපරාධවලට එරෙහිව නඩු පැවරීමට අවසර ලැබෙන සේ ව්‍යවස්‌ථාදායකය හරහා නීති ගෙන ඒම, හමුදාහරණය, පාසල් විෂය මාලාවට පොදු ඉතිහාසයක්‌ හඳුන්වාදීම, සියලුම යුද අපරාධ වාර්තා පාසල් පොත්වලට ඇතුළු කිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත සම්මත කිරීම, වන්දි ලබාදී රජය නිල වශයෙන් සමාව ගැනීම, මහා වීර දිනය සැමරීම, ත්‍රස්‌ත විරෝධී පනත අහෝසි කිරීම යනාදියයි.) මෙම කමිටුවේ සාමාජික මිරාක්‌ රහීම් ඊයේ දින පත්කළ අතුරුදන් වීමේ කාර්යාලයට පත් කොට ඇත.

VI) අතුරුදන් වීමේ කාර්යාලය ආරම්භ කිරීම ගැන රජයට ස්‌තුති කළ යුතුය.
(මෙම පනත පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද්දේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධීවය. කිසිදු ඡන්ද විමසීමකින් තොරවය. මෙම කාර්යාලයට තමන්ට අවශ්‍ය පුද්ගලයාට විරුද්ධ බොරු සාක්‌ෂි ගොනු කළ හැකි අන්දම අප මීට පෙර පෙන්වා දී ඇත. මෙම කාර්යාලයට පත් කරන්නේ රටේ සමස්‌ත ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු විධායක ජනපති නොව ව්‍යවස්‌ථා සභාවේ සිටින සම්බන්ධන් සහ රනිල් වික්‍රමසිංහය. ඊයේ දින මෙම කාර්යාලයේ කාර්ය මණ්‌ඩලය පත් කළ බවට තොරතුරු ලැබී ඇති අතර ඉන් එක්‌ නමක්‌ වනුයේ නිමල්කා ප්‍රනාන්දු යන මහත්මිය වේ. මැය රටේ ඒකීයභාවයට විරුද්ධ, ජිනීවාහිදී රණවිරුවා පාවා දෙන, දෙමළ වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්‌ බවට කොතෙකුත් සාක්‌ෂි තිබේ. පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයකදී, කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන අපේ රට සහ රණවිරුවා සම්බන්ධව ඉතාමත් සාවද්‍ය ප්‍රකාශ කරන විට දෙමළ තරුණයන් තවමත් යුද හමුදා කඳවුරුවල ලිංගික වහලුන් සේ තබාගෙන ඇතැයි ප්‍රකාශ කරන විට නිමල්කා ප්‍රනාන්දු එම කණ්‌ඩායම සමඟ එක්‌ වී මානව හිමිකම් කවුන්සිලයේ තමාගේ කතාව ආරම්භ කළේ “පසුගිය රජය කාලය තුළ මාද ඉතාම දැඩි ලෙස පීඩනයට, ගොදුරට ලක්‌වූ කාන්තාවකි” යනුවෙනි. එවිට මාද ඇය අසලම කවුන්සිලයේ අසුන්ගෙන සිටියෙමි. මෙවන් පසුබිමක්‌ තිබෙන කෙනෙක්‌ මෙම කාර්යාලයේ කාර්ය මණ්‌ඩලයට පත් කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ කුමක්‌ දැයි අපට සිතාගත හැකි වේ.

VII) බලාත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය ලංකා රජය අපරානුමත කර ඇති මුත් තවමත් එය නීති පද්ධතියට ඇතුළත් කර නොමැත. එය දෙවරක්‌ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් තබා ඇත. අතුරුදන්වීමේ කාර්යාලය ක්‍රියාත්මක වනවිට මෙම නීතිය ක්‍රියාත්මකවීම අතිශය වැදගත් වේ.
මෙම පනත දෙවරක්‌ම පාර්ලිමේන්තුවට ගෙන ඒම වැළැක්‌වූයේ දේශප්‍රේමී ජනතාව, භික්‌ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරු එයට විරුද්ධ වූ නිසාය. ඉතාම කෙටියෙන් කිවහොත් මෙම පනතින් කරනුයේ යම්කිසි තැනක අපරාධයක්‌ වූවා නම් එහි සිටි අණදෙන නිලධාරියාට හෝ ඔහුටත් ඉහළ නිලධාරියාට එම වගකීම පැවරීම සහ චූදිතයාට අවශ්‍ය කරන හෝ ඉල්ලා සිටින රටට පිටුවහල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළුකිරීමය. අතුරුදන් කාර්යාලයෙන් කරනුයේ අවශ්‍ය කරන යුද දේශපාලන නායකත්වයට විරුද්ධව සාක්‌ෂි (බොහෝ විට සාවද්‍ය) ගොනු කිරීමය. එවන් සාක්‌ෂි ඇති විට අදාළ පුද්ගලයාව ඔහුට විරුද්ධව නඩුවක්‌ පවරන රටකට පිටුවහල් කිරීමේ බලය මෙම පනතින් ලැබේ. මෙම යහපාලන රජය ක්‍රමානුකූලව රණවිරුවා සහ එම නායකත්වය ජාත්‍යන්තර දංගෙඩියට යෑවීමට කරන්නා වූ සූක්‌ෂ්ම කුමන්ත්‍රණය මින් පැහැදිලි නොවන්නේද?

VIII) ජාත්‍යන්තර නීතිය යටතේ වූ අපරාධ ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කළ යුතුය.

IX) රටේ ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතුය. දැනටමත් අගමැතිතුමා විසින් මේ පිළිබඳව අතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ. මෙය ජිනීවා 30/1 යෝජනාවෙන් රජය කිරීමට භාරගත් කරුණුවලින් එකකි.

third

අප පෙර කියා සිටියාක්‌ මෙන් මෙම ඊනියා ව්‍යවස්‌ථා සංශෝධනය රටේ ජනතාවට අවශ්‍ය වුවත් නිසා කරන්නක්‌ නොව, තමන් සම අනුග්‍රාහකත්වය දැක්‌වූ 30/1 යෝජනාව අනුව කරන්නකි. එසේ අවශ්‍ය වන්නේ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ට/ඩයස්‌පෝරාව සහ බටහිරට මිස ලංකාවේ සාමාන්‍ය ජනතාවට නොවේ. මෙම ව්‍යවස්‌ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව 2/3 පමණක්‌ අනුමත කිරීමට රජය සැරසේ. මෙම ව්‍යවස්‌ථා සංශෝධනයේ ප්‍රධාන නියමුවන් දෙදෙනා වනුයේ ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් සහ චන්ද්‍රිකා පැකේජයේ නිර්මාතෘ ජයම්පති වික්‍රමරත්නය. එහි ප්‍රධානම අනුකමිටුව වන මධ්‍ය පර්යන්ත සබඳතා අනුකමිටුවේ සභාපති වනුයේ ත්‍රස්‌තවාදී ප්ලොට්‌ සංවිධානයේ හිටපු සභාපති වර්තමාන ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ය. ඔහු තමාගේ නිර්දේශ ආරම්භ කර ඇත්තේ “ලංකාවේ ඒකීයභාවය පළාත් සභාවල කාර්යක්‌ෂමතාවට තිබෙන ප්‍රබල බාධාවකි” යන්නෙනි. එසේ නම් මෙම ව්‍යවස්‌ථා සංශෝධනයේ සියලුම නිර්දේශ රටේ ඒකීයභාවය නැතිකොට ස්‌වාධීන රාජ්‍යයන් 9 ක්‌ බිහිකරන උතුර – නැගෙනහිර එක්‌වීමට ප්‍රතිපාදන සලසන ඒවා බැව් අප සනාථ කොට හමාරය. සෙයිද් අල් හුසේන් පවසන්නේ එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටය.

X) ත්‍රස්‌ත විරෝධී පනත වහාම අහෝසි කළ යුතුයි. ඒ වෙනුවට වෙනත් පනතක්‌ ගෙනඒමට පෙර වුව ද, සාමාන්‍ය අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකි බැවින් එය වහාම අහෝසි කිරීමට පියවර ගත යුතුය. කොහේවත් නැති විදේශිකයෙක්‌ අපේ රටේ අධිකරණ ක්‍රියාවලියට, රටේ ස්‌වෛරීත්වයට ඇඟිලි ගසන සැටියි මේ. මොහු කවදාවත් ඇමෙරිකාවට, එංගලන්තයට, ඉන්දියාවට, පාකිස්‌තානයට නොව මාලදිවයින් රජයට හෝ මෙවැනි නියෝගයක්‌ නිර්දේශයක්‌ කරයිද? අපව එවන් දීන පහත් තත්ත්වයකට ඇද දැමූ මේ යහපාලන රජය සහ එම පාලකයන් ජනතාවට ඉදිරියේදී ඒ පිළිබඳව වගකිව යුතුවේ. අපේ රටේ ත්‍රස්‌තවාදයේ ගිනි පුපුරු තවමත් සාමයේ අළු යට සැඟවී තිබෙන බවට ඕනෑ තරම් සාක්‌ෂි තිබේ. ඊළාම්වාදීහු තම ඊළාම් සිහිනය අත්හැර නොමැත. අපේ රටේ විනාශ වූයේ ත්‍රස්‌තවාදී කොටියාගේ වල්ගය පමණි. අනෙක්‌ අවයව වෙනත් රටවල තවමත් ජීවමානය. ත්‍රස්‌ත විරෝධී පනත යටතේ ත්‍රස්‌ත සැකකරුවෙක්‌ දින 60 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කළ හැක. සාමාන්‍ය අපරාධ නීතිය යටතේ තබාගත හැක්‌කේ පැය 24 කි. ත්‍රස්‌තවාදී කොටි සංවිධානයේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානය මෙම ත්‍ර.වැ. පනත අහෝසි කිරීමට මෙතරම් වලිකන්නේ එබැවිනි.

XI) උතුරු – නැගෙනහිර යුද හමුදාව අත්පත් කර ඇති ඉඩම් නැවත ලබාදීමේ ක්‍රියාවලිය තවම සම්පූර්ණ වී නොමැත.
(ඉහත සඳහන් ඉඩම් ප්‍රමාණයෙන් 70% ක්‌ දැනටමත් නිදහස්‌ කර ඇතැයි එම වාර්තාවේම සඳහන් වේ. යුද හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත ලබාදීම අයත්වන්නේ ජාතික ආරක්‌ෂාව පිළිබඳ විෂයටය. එය තීරණය කළ යුත්තේ රජයේ ආරක්‌ෂක මණ්‌ඩලය මිස උතුරේ සිවාජිලිංගම් හෝ මානව හිමිකම් කවුන්සිලයේ සෙයිද් රාද් අල් හුසේන් නොවේ. උතුරේ ඉඩම් නැවත නිදහස්‌ කිරීම අපගේ වැඩක්‌ මිස ඔබගේ වැඩක්‌ නොවන බව Rජුව කීමට තරම් කශේරුකාවක්‌ ඇති එකකු හෝ ආරක්‌ෂක මණ්‌ඩලයේ සිටිය යුතුය.)

XII) ලංකාවේ අධිකරණ පද්ධතියේ ආරක්‌ෂක හමුදාවන් පිළිබඳ දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරයි.
(මෙය අපගේ වසර 200 ක්‌ පැරැණි අධිකරණය හෑල්ලුවටත්, අපහාසයටත් පත්කිරීමකි. සෙයිද් රාද් අල් හුසේන් අප රටේ අධිකරණයට අපහාස කළේ වරක්‌ දෙවරක්‌ නොවේ. මේ සම්බන්ධයෙන් අප ජිනීවාහිදී පවා අපගේ අධිකරණයේ අභිමානය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ ද ශ්‍රී ලංකා නීති සංගමය මේ පිළිබඳව තදින් ක්‍රියාකොට තමන්ගේ නිර්පාක්‌ෂිකභාවය සනාථ කිරීම හෝ අධිකරණයට පිටස්‌තරයන් ඇඟිලි නොගැසිය යුතු බව හෝ ප්‍රකාශ කළ යුතුය. නිශ්ශබ්දව සිටීමෙන් සියලුම විනිසුරුවරුවන්ගේ නිවටභාවය ප්‍රදර්ශනය වන බව ද සිහි තබාගත යුතු වේ.)

XIII )සුළු ජාතීන්ට එරෙහිව හිංසා, ප්‍රහාර සහ වෛරී ප්‍රකාශ කෙරෙන අතර මුස්‌ලිම් ව්‍යාපාරවලට සහ මුස්‌ලිම් පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගැසීම, දැනටමත් එවන් ප්‍රහාර 30 කට අධික ප්‍රමාණයක්‌ වාර්තා වී තිබේ.
අපේ රටේ මුස්‌ලිම් ව්‍යාපාර, පල්ලිවලට සිංහල ජනයා මෙසේ පහර දේ යෑයි කියන ප්‍රකාශය සත්‍යයක්‌ද? මේ බැව් ප්‍රකාශ කරන්නේ එ. ජා. සංගමයේ මානව හිමිකම් කොමසාරිස්‌වරයාය. ඔහුගේම ප්‍රකාශයේ ඉන්පසුව සඳහන් වන්නේ සුළු ජාතීන්ට එරෙහිව කරන ප්‍රහාර ජුනි මස 13 වැනි දින කැබිනට්‌ මණ්‌ඩලය ද හෙළාදැක ඇති බවය. අද අපේ රටේ මුස්‌ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාර කොතෙක්‌ නම් තිබේද? සිංහල ජනතාව ජාතිවාදී වී එම ව්‍යාපාර සියල්ල වර්ජනය කළහොත් කුමක්‌ වේද? එක්‌ සිද්ධියක්‌ හෝ දෙකක්‌ මුල්කරගෙන අප රටේ සුළු ජාතීන්ට එරෙහිව ප්‍රහාර, වෛරී ප්‍රකාශ කරන්නේ යෑයි කීම අමූලික බොරුවකි. සිංහලයන් ජාතිවාදී නොවන බව ප්‍රකාශ කළ යුත්තේ වෙන කවුරුත් නොව දෙමළ සහ මුස්‌ලිම් කෝටිපති ව්‍යාපාරිකයන්ය. ඔවුන් එසේ නොකියයි නම් ඔවුන්ගේ සියලුම ව්‍යාපාර සියලුම සිංහලයන් විසින් වර්ජනය කළ යුතු බව මගේ විශ්වාසයයි.
අවසානයේ මානව හිමිකම් මහ කොමසාරිස්‌වරයා නිර්දේශ කරන්නේ අප රට සර්වලෝක අධිකරණයට යටත් විය යුතු බවය. එය 30/1 ජිනීවා යෝජනාවෙහි ද අන්තර්ගතව තිබේ. ඔහු එසේ කියන්නේ ඇයි? අතුරුදන් කාර්යාලයෙන් (බොරු) සාක්‌ෂි ගොනු කළ විට එම අදාළ තැනැත්තා විදේශ ගතවූ විට එම රට සර්වලෝක අධිකරණයට යටත් නම් ඔහුව මෙම සාක්‌ෂි මත ඒ රටේදී අත්අඩංගුවට ගත හැකි නිසයි.
30/1 මගින් රණවිරුවා සෑම අතින්ම සිරකර ඇත්තේ මේ ලෙසටයි. මෙවර ද ජිනීවාහිදී අපගේ රජයේ නියෝජිතයන් මෙම ඊනියා යෝජනාවට අනුව ක්‍රියාකරන බවට සහතික වනු ඇත. එම යෝජනාව පාදක වනුයේ අතිශය සාවද්‍ය OISL වාර්තාව මත බව ඔවුන් සමුළුවේදී ප්‍රකාශ නොකරයි. තවද ලෝක ප්‍රසිද්ධ යුද විශේෂඥයන් 6 ක්‌ අප යුද අපරාධ කර නොමැති බව සනාථ කළ වාර්තා ඇති බව ද ඔවුන් සමුළුව හමුවේ නොකියයි. එය ජාතියට ද්‍රෝහි වීමකි. මෙවර රජය නියෝජනය කරන ඇමැතිවරු/නිලධාරීන් මේ බැව් සමුළුවේදී නොකියතොත් ඉදිරි රජයක්‌ යටතේ ඔවුනට දේශද්‍රෝහි චෝදනාව යටතේ නඩු පවරන මෙන් අප ඉල්ලා සිටිනු ඇත. මාතෘභූමියේ ජනිත වූ සුජාත පුද්ගලයෙක්‌ට විරුද්ධව ගොනු කළ හැකි බරපතළම චෝදනාව දේශයට ද්‍රෝහි වීමයි.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

210 Viewers