• Home »
  • Sinhala »
  • ‘13’ තියාගෙන විධායක බලතල අතහැරීම

‘13’ තියාගෙන විධායක බලතල අතහැරීම

(Courtesy of Divaina)

13
ඊනියා යහපාලකයන් විසින් සම්මත කරගන්නා ලද දහනව වැනි සංශෝධනයෙන් මෙන්ම ජවිපෙ විසින් කරලියට ගෙන ඒමට ප‍්‍රයාස කරන ලද විසි වැනි සංශෝධනය මගින්ද වත්මන් බෙදුම්වාදී ගැති රජයට තම ස්වාමිවරුන්ගේ මනදොල පූර්ණ වශයෙන් සපුරාලීමට නොහැකි වූයේ 1978 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප‍්‍රමුඛ පාලනය විසින් සම්මත කරන ලද, දහනව වරක් පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් සංශෝධනය ට ලක්කරන ලද වත්මන් ව්‍යවස්ථාව, යම්තාක් දුරකට හෝ රටේ ඒකීයභාවය සහ එහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති බැවිනි. දහ නවවන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව පැවති රටේ ඒකීය භාවයට හානිකර වූ ඇතැම් වගන්ති රජයට හකුලා ගැනීමට සිදුවූයේත්, විසිවැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකට යොමුකරන ලද්දේත් වත්මන් ව්‍යවස්ථාවේ රටේ ඒකීය භාවයට අදාළ වගන්ති ඉතා බලවත් ව පවතින බැවිනි.

එවකට ඉන්දීය රජයේ දැඩි බලපෑම හමුවේ ඊනියා බලය බෙදීමේ අරමුණ පෙරදැරිව සම්මත කරගැනීමට යෙදුන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා වත්මන් පළාත් සභා නිර්මාණය වී ඇති බව නොරහසකි.

13 වැනි සංශෝධනය වැනි දේශපාලන විසඳුමක් ගෙන ආ යුතු බව සඳහන් ඉන්දු – ලංකා ගිවිසුම එවකට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එවකට ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රජීව් ගාන්ධි මහතා විසින් අත්සන් තබා ඇත්තේ 1987 ජුලි මස 29 වැනි දිනයේදීය. එසේ වුවත් ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 1987 නොවැම්බර් 12 වැනි දිනයේදීය. මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්ද 138 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡුන්ද 11 ක් පමණි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කළ සිරිල් මැතිව් මහතා මෙන්ම, එම ආණ්ඩුවේම කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණි ජයසූරිය මහතා ද මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයෙන්ද සමුගෙන ඇත.

මෙ රට පළාත් 9 කට බෙදා ඇති වුවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නීති සම්පාදනය කර ඇත්තේ පළාත් සභා 8 ක් පිහිටුවීම සඳහා පමණි. ඉන්දියානු රජයේ දැඩි බලපෑම මත මෙරට බෙදුම්වාදීන්ගේ පටු ජාතිවාදී අරමුණු සපුරාලීම සඳහා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කිරීමට සිදුවූ බවට මෙසේ පළාත් නවය අටකට ස්ථාපිත කිරීමම ප‍්‍රභල සාක්ෂියක් වේ. කෙසේ වෙතත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ ඒකීය භාවයට තර්ජනයක් වියහැකි අවස්ථා අවහිර කරමින් බලය විමධ්‍යගත කිරීම සිදුකර ඇත්තේ ද ලැයිස්තු තුනක් යටතේ බව පෙනී යයි.

ඒ අනුව..

1) පළාත් සභා ලැයිස්තුව

මෙම ලයිස්තුව යටතේ සඳහන් විෂයයන් පිළිබඳ ප‍්‍රතිපත්ති සැකසීම සහ ක‍්‍රියාත්මක කිරීමට පළාත් සහාවලට මධ්‍යම ආණ්ඩුවෙන් ස්වායක්තව බලය හිමිවේ.

2) සංවෘත්ත ලැයිස්තුව

මෙම ලැයිස්තුව යටතේ සඳහන් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් ප‍්‍රඥප්ති සැකසීමට පළාත් සභාවට බලයක් නොමැත.

3) සමගාමී ලැයිස්තුව

මෙම ලැයිස්තුව යටතේ සඳහන් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙදී පළාත් සභාවත් මධ්‍යම ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.

මෙම ලිපියේ අරමුණ දහතුන්වැනි සංශෝධනය පිළිබඳ පූර්ණ විග‍්‍රහයක් සිදුකිරීම නොවන බැවින් ඉහත සඳහන් ලැයිස්තු තුනට අදාළ විෂයයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන අතර ඒ හරහා ජාතික ආරක්ෂාවට සහ රටේ එකීය භාවයට තර්ජනයක් ඇතිවීමට ඇති ඉඩ කඩ අසුරාලනු ලැබ ඇති අයුරු පමණක් මෙහිලා සඳහන් කිරීමට අදහස් කරමි. ඒ අනුව ඉහත සඳහන් සංවෘත සහ සමගාමී ලැයිස්තු ඇති කිරීමට කටයුතු කිරීමම දහතුන්වැනි සංශෝධනය ක‍්‍රියාත්මක වීමෙන් අනතුරුව ද රටේ ඒකීයභාවය අඛණ්ඩව පවත්වා ගැනීමට දරන ලද වැදගත් ප‍්‍රයත්නයක් ලෙස සඳහන් කළ හැකිවේ.

එමෙන්ම පළාත් සභා ලයිස්තුවට අයත් පොලිස් බලතල 13 වන සංශෝධනයේ 9 වන උපලේඛනයේ පහත සඳහන් ආකාරයට.. එනම්..

4) පොලිසි සහ මහජන සාමය

ජාතික ආරක්ෂාව සහ ජාතික සුරක්ෂිතභාවය ද යම් සන්නද්ධ හමුදා හෝ සිවිල් බලයට සහය පිණිස ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ පාලනය යටතේ වූ වෙනත් යම් හමුදා යොදා ගැනීම ද බැහැර කොට, සහ කොළඹ නගරය, කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර සහ ගැසට් පත‍්‍රයේ පළ කරන නියමයන් මගින් ජනාධිපතිවරයා විසින් සීමාවන් නිශ්චය කොට නියම කරනු ලබන ඒ නගරවල තදාසන්න ප‍්‍රදේශයන් අත්හැර, පළමු වන පරිශිෂ්ඨයේ දක්වා ඇති ප‍්‍රමාණයට පළාත ඇතුළත මහජන සාමය පැවැත්වීම සහ පොලිස් බලතල ක‍්‍රියාත්මක කිරීම ලෙස සීමා කර තිබීමද..

5) එම ලයිස්තුවටම අයත් ඉඩම් බලතල..

පළාත් ඇතුළත ඇති රජයේ ඉඩම් යම් පුරවැසියකුට හෝ සංවිධානයකට පවරා දීම හෝ නිදහස් කිරීම, අදාළ පළාත් සභාවේ උපදේශය මත එම කාරණය පාලනය කෙරෙන නීති වලට අනුකූලව, ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුය ලෙස ජනාධිපතිවරයා යටතට පත්තර තිබීමද රටේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන ඇති ඉතා වැදගත් පියවරයන් ලෙස සඳහන් කළ යුතුම වේ.

එසේම.., සෑම පළාත් සභාවක් සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයකු පත් කරනු ලබන අතර ඔහුගේ ධුර කාලය වසර 5 කි. පළාත් සභාව කැඳවීම, පළාත් සභාවේ වාර අවසාන කිරීම සහ පළාත් සභා විසුරුවා හැරීම කරනු ලබන්නේ ආණ්ඩුකාරයා විසිනි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154-ඊ-4 අනු ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා පත්කරනු ලබන්නේ ද ආණ්ඩුකාරයා විසිනි.

මෙලෙස දහතුන්වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත පළාත් සහාවල තීරක බලය ලබාදීමද ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දහතුන්වන සංශෝධනය හරහා ගෙන ඇති ප‍්‍රශස්ථ පියවරයන් වශයෙන් සඳහන් කළ යුතුවේ.

කිසියම් පළාත් සභාවකට මධ්‍යම ආණ්ඩුවෙන් ස්වායක්තව වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට අදාළ තීරක බලය පළාත්සහාවට අත්පත් කරගත හැකි නීතිය, මැතිවරණ කටයුතු ආදිය සංවෘත ලැයිස්තුව යටතේ තබාගැනීමත් සංවෘත ලැයිස්තුවෙන් බැහැර ව පළාත් සහා ලැයිස්තුව යටතේ ලැයිස්තු ගතව ඇති තීරණාත්මක සාධකයන් වූ පොලිස් සහ ඉඩම් බලතල මෙන්ම පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා පත්කිරීමේ බලතල ජනාධිපතිවරයා යටතේම පැවතීමත් බෙදුම්වාදීන් ආරම්භක අවස්ථාවේ සිටම දහතුන්වැනි සංශෝධනයට එරෙහිවීමට ප‍්‍රභලතම හේතු වශයෙන් සඳහන් කළ හැකිවේ.

ප‍්‍රභාකරන්ගේ සිට විග්නේෂ්වරන් සහ සුමන්දිරන් මෙන්ම සම්පන්දන් ආදී ඊනියා ද්‍රවිඩ දේශපාලකයන් ද දහතුනට එරෙහි වන්නේ හෝ එහි ඇති බෙදුම්වාදීන් ට අහිතකර වගන්ති සංශෝධනය කරවා ගැනීමට කැස කවන්නේ යුද්ධයෙන් ඇති කිරීමට නොහැකි වූ ඊනියා ද්‍රවිඩ රාජ්‍ය ව්‍යවස්ථා සංශෝධනය මගින් හෝ නිර්මාණය කරගැනීමේ චේතනාවෙනි.

වත්මන් සුළුතර ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා තෝතැන්නක් බවට පත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. සුළුතර බලය ඇති අය එය දිගටම පවත්වා ගැනීමටත් බලය ගිලිහී ගිය අය එය නැවත ලබාගැනීමටත් ඒ දෙපිළටම අයත් නොවන අය හුදු ආර්ථික වාසි උදෙසාත් අවිචාරවත්ව දැන හෝ නොදැන බෙදුම්වාදී උපාය උපක‍්‍රමවලට නතු වෙමින් සිටිති. දහ නවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම මන්ත‍්‍රීවරුන් (පා.ම. සරත් වීරසේකර හැර) ඡුන්දය ලබාදීම පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය පවා එසේ බෙදුම්වාදීන්දගේ උපාය උපක‍්‍රම වලට නතුවූ ආසන්න තම අවස්ථාව ලෙස සඳහන් කළ හැකිවේ.

ඊනියා බෙදුම්වාදීන් මෙන්ම බෙදුම්වාදී ගැති සුළුතර රජය දිගින් දිගටම මැතිවරණ කල්දමමින් සිය බෙදුම්වාදී ඉලක්ක සපුරා ගන්නා තෙක් කෙසේ හෝ බලය රැකගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටියත් ඔවුන් හට ඇති ප‍්‍රධාන තම බාධකය ජනාධිපති තනතුර සහ ජනාධිපතිවරණයයි, ජනාධිපතිවරයාට අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති ඉහත සඳහන් කළ බලතල නිසා පළාත් සහා වලට කිසි විටකත් ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කරගත නොහැක. යම් පමණකට බෙදුම්වාදීන් ට පක්ෂ බවක් පෙන්නුම් කර ඇති වත්මන් ජනාධිපතිවරයා ලවා මේ තාක් සිය බෙදුම්වාදී අරමුණ ඉටු කර ගැනීමට නොහැකිවූ බෙදුම්ාදීන් හට එම අරමුණු පත්වීමට නියමිත ජනාධිපතිවරයෙකු ගෙන් කිසි විටකත් ඉටුකර ගත හැකි නොවන බව ඔවුන් වටහාගෙන ඇති බව නිසැකය. ජනාධිපතිවරණය සීමානිර්ණ කමිටුව මගින් කල්දමා ගැනීමටද නොහැක. එසේ නම් දැන් ඉතිරිව ඇති එකම උපක‍්‍රමය වන්නේ ජනාධිපති තනතුර අහෝසි කරලීමයි. එවිට ජනාධිපතිවරණයත් නැත. නව ජනාධිපතිවරයාත් නැත.

මෙම තත්ත්වය රට බෙදීමට විරුද්ධ සියලූම ජාතිකවාදී දේශපාලකයන් මෙන්ම ජාතික තලයේ දේශපාලකයන් මනාව වටහා ගත යුතුව ඇත. මේ තීරණාත්මක අවස්ථාවේ ඔවුන් තමන්ට හෝ තම පක්ෂයට අත්වන වාසි හෝ ප‍්‍රතිලාභවලට ගැති නොවී රට වෙනුවෙන් තීරණ ගැනීමට පෙරට ආයුතු කාලය එළඹ ඇත. පසුගිය දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපති තනතුර අහෝසි කිරීමට තමන් එකඟ බව ප‍්‍රකාශ කළ බව ප‍්‍රසිද්ධ මාධ්‍ය මඟින් මෙන්ම සමාජ මාධ්‍ය මඟින්ද ප‍්‍රචාරය විය. එයට වත්මන් ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද එකඟත්වය පළකර ඇතිබව වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත් ජනාධිපති තනතුර අහෝසි කරලීමේදී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබාදී ඇති පළාත් ආණ්ඩුකාරවරයා ට අදාළ බලතල සහ ජනාධිපතිවරයා සතු පළාත් සභාවලට අදාළ පොලිස් සහ ඉඩම් බලතල වලට සිදුවන්නේ කුමක්ද යන්න ඔවුන් ජනතාවට පැහැදිලි කළ යුතුව ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් එය පුළුල් සංවාදයකට ලක් කළ යුතුය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඊට සමගාමීව 13 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ගෙනා පළාත් සභා ද අහෝසි කළ යුතුය. එසේ නොමැතිව අඳුරේ අත පත ගෑමට අපට ඉඩක් නොමැත.

බන්ධුල සුබසිංහ



141 Viewers