19යේ අවුල.

(Courtesy of Aruna)

යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම පිළිබඳව මහා ඝෝෂාවකින් පසුව 19වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඉක්මවු සාතීශය බහුතරයකින් සම්මත විය. සරත් වීරසේකර හා ජානක බන්ඩාර හැරුණු විට මහින්ද කඳවුරේ සියල්ලම පවා මේ යහපාලන රැල්ලේ ගොදුරු බවට පත් වුහ.

කඩාගන්න බැරි මිදි තිත්තයි කී කපටි සිවලා සිහිපත් කරමින් එජාපයේ පිරිස් , යහපාලන එන්.ජී.ඕ නඩය සහ සිරිසේන ජනාධිපතිවරයා කියා සිටින්නේ 19 යෙන් පසු ජනාධිපතිධුරය බලරහිත පුස්සක් බවයි. නැතිනම් ජනාධිපතිධුරය අගමැතිධුරයෙකු සිරකරුවකු බවයි. අනෙක් අතට කියවෙන්නේ 19 වන සංශෝධනය නිර්මාණශීලි ජනාධිපතිවරයකුට විශාල බලයක් ලබා දී ඇති බවයි.

තමන් හිටගන්නා පැත්තේ අපේක්ෂකයාට වාසි සහගත කතාවක් කියනවාට වඩා රටේ දෘෂ්ඨි කෝණයෙන් ගත් 19 රටට නිර්මාණය කර ඇත්තේ අවුල් ජාලාවකි.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විධායක ජනාධිපතිධූරය කේන්ද්‍රය කර ගත් ව්‍යවස්ථාවකි. පැවති වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයේ පාර්ලිමේන්තුවට හා අගමැතිවරයාට මුක්කුවක් ලෙස ජනාධිපතිධුරය නිර්මාණය කළා යැයි පැවසීම සත්‍ය විකෘති කිරිමකි. දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිධුරය හරහා නිර්මාණය කරන ලද්දේ වෙනමම ආණ්ඩු ක්‍රම ව්‍යුහයකි. ජනාධිපතිවරයා සිය විධායක බලය සෘජු ලෙසම ජනතාවගෙන් ලබා ගනියි. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේදි මෙන් ඔහු පාර්ලිමේන්තුවෙන් බලය ලබන්නෙක් නොව සමස්ත රටේම ජනතා කැමැත්ත මත පත් වේ.

19 ව්‍යවස්ථාව සම්භන්ධයෙන් 2002 දී සහ 20 වන සංශෝධනය සම්භන්ධයෙන් 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශවන්නේ ජනාධිපතිවරයාට 4(ආ) ව්‍යවස්ථාවෙන් ලබා දි ඇති බලතල වෙනත් ආයතනයකට උදුරා ගත නොහැකි බවයි.

19 වන සංශෝධන, රනිල් වික්‍රමසිංහගේ උගත් පාඩම් හා දේශපාලන නොහැකියාවට ඇති කරගත් ව්‍යවස්ථා පළිහකි. 2001 දි චන්ද්‍රිකාගෙ විසුරුවා හැරිම හා ජනතා චන්දයෙන් ජනාධිපතිධුරයට පත්වීමට ඇති නොහැකියාව ඔහුට පෞද්ගලිකව ජයගත යුතුව තිබු අභීයෝගයකි.

2015 සහ 2018 ව්‍යවස්ථා අර්බූදයේදිත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජිව්ත පරිත්‍යාග කිරිමට උත්සුක වූ එන්.ජී.ඕ නඩයත් ජවිපේ රටට වසන් කල සත්‍යයක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජ්‍ය පාලනය පිළිබඳව සංකල්පයක් මිස ක්‍රම වේදයක් නොවේ. වෙස්මිනිස්ටර් ක්‍රමය, ජනාධිපති ක්‍රමය, සෝවියට් හෝ චීන මධ්‍යගත පක්ෂ පාලන ක්‍රමය ඒ ඒ රටවලට ප්‍රජාතන්ත්‍රවාදී වේ. තමන්වත් පිළිනොපදින නිර්ණායක මත අනුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කිරා මැන බැලීම ඇමරිකන් අධිරාජ්‍යවාදයේ උපාය මාර්ගයක් බව ලිබියාව,සිරියාව, ඉරාකය අවුල් ගොඩක් කල අරාබි වසන්තයෙන් තහවුරු කර ඇත.

1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුයේ සංවරණ හා සංතුලන සංකල්පය මත ජනාධිපතිධූරය ආණ්ඩු ව්‍යුහය තුල බලකේන්ද්‍රය බවට පත් කරමිනි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරිම, වාරාවසාන කිරිම, පාර්ලිමේන්තුව ඇමතිම හා මුලසුන දැරිම ඇතුලු බලතල හා වරප්‍රසාද රැසක් හිමිකර දි ඇත. නමුත් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඇති එකම අවිය දෝශාභියෝගය පමණි. දෝශාභියෝගය යනු නොකෙරෙන වෙදකමට තවත් එක උදාහරණයක් පමණි. ජනාධිපතිධුරයට මේසා බලයක් හා ආරාක්ෂාවක් ලබා දී ඇත්තේ ඔහු සෘජු ලෙස ජනතා අභිමතය නියෝජනය කරන හෙයිනි.

ප්‍රායෝගිකත්වය හා දේශපාලන ස්ථාවරබව අතර සමතුලනය ඇති කර ප්‍රජාත්‍රන්ත්‍රවාදයට පණ පොවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි. දේශපාලන ස්ථාවර්ත්වය බිල්ලට දී න්‍යායිකව ඇතිකරන ලද ව්‍යවස්ථාවකට ප්‍රායෝගිකත්වයක් නොමැත. 19 වන සංශෝධනයෙන් සිදුකල හානිය වුයේ අගමැතිධූරය ,ජනාධිපතිධූරයට තරඟකාරි සමාන්තර ව්‍යුහයක් බවට පත් කිරිමයි. තම අභිලාශය නොතකා යන අවස්ථාවකදි අගමැති පාලනය කිරිමට ජනාධිපතිට හිමි බලය අහිමි කිරිමයි. මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ඔක්තෝබරයේදී සිදු වු අකාරයටම විධායකය හා ව්‍යවස්ථාදායකය අතර විසඳිය නොහැකි, අවසන් නොවන තරඟයක් ( consultational dead lock) ඇති වීමයි. පාර්ලිමේන්තුවේත් අරලිය ගහමන්දිරයෙත් ජනාධිපති මැදුරත් ජෝකර්ලාගේ බූදලයට යටවූයේ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් කරමිනි. පොලිස්පත්වරයා , පුරාවිද්‍යා කොමසාරිස්වරයා , පාස්කු ප්‍රහාරය, පාර්ලිමේන්තු කොමිසම ආදිය ඔස්සේ නිර්මාණය වී ඇති මේ විගඩමේ මූලය 19 විසින් ඇති කරන ලද ව්‍යවස්ථා ව්කෘතියයි.

අනෙක් අතට 19 වන සංශෝධනය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිවෙත මුළුමනින්ම උල්ලංඝනය කළ ප්‍රජාත්‍රන්ත්‍රවාදි මංකොල්ලයකි. යුඇන්පි , ජවිපේ කට්ටුව විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන අඥාන බව උපයෝගි කරගෙන සම්මත කර ගත්තකි.

2002 වසරේදි 19 වන සංශෝධනය සම්භන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මතය වුයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ඇති වසරක සීමාව දීර්ඝ කිරිම, 4(ආ)ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දී ඇති විධායක බලය උදුරා ගැනිමක් බවයි. එවැනි සීමා කිරිමක් ජනමතවිචාරණයකින් තොරව බලාත්මක කළ නොහැකි බවයි. ඒ අනුව ඔක්තෝමබරයේදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19 වන සංශෝධනය අනුව වසර හතරහමාරක සීමාවක් පැවතිය නොහැක. මන්ද යත් 19 ය ජනමතවිචාරණයකින් සංශෝධනය වී නොමැති නිසාවෙනි. කෙසේ වුවද විසුරුවා හැරිම නීති විරෝධි බවට ප්‍රකාශයට පත් කිරිමේන් ශ්‍රේෂ්ඨාධිකරණය , පාර්ලිමේන්තුව විසින් 19 වන සංශෝධනයේදි ජනතාවගේ විධායක බලයත් ජනමතවිචාරණයකදි ජනතාව සතුවන ව්‍යවස්ථාදායක බලයත් දෙකම යහපාලන තිර පට අස්සේ හොර රහසේම මංකොල්ල කා ඇති බව පෙන්වා දී තිබේ. නැවත මේ සිද්ධියේන් පසුව ජව්පේ අනුග්‍රහය දැක්වු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේදිද ශ්‍රේෂ්ඨාධිකරණය 2002 දි තම මතයම සනාථ කරමින් ප්‍රකාශ කලේ ජනමතවිචාරණයකින් තොරව ජනාධිපති බලයට සීමාවන් පැනවිය නොහැකි බවයි.

යහපාලනය නමින් ජනතාවගෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේත් දැස් වසා ගෙන ආ මෙම සංශෝධනය නියම වශයෙන්ම ව්‍යවස්ථානුකූල ක්‍රම වේදය අනුව සම්මත වු වලංගු ව්‍යවස්ථාවක් ද යන ප්‍රශ්නයට පහසුවෙන් පිළිතුරක් ලබා ගත හැක්කේ ජාතික වැදගත් කමක් ඇති කරුණක් සම්භන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීමට ජනාධිපතිට ඇති බල ය මගිනි. යුද්දෙට නැති කඩුව තව මාස හතරකින් මැස්සට විසි කරන්නට සිදුවන බව අපි ජනාධිපතිවරයාට සිහිපත් කරමු.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

163 Viewers