• Home »
  • Sinhala »
  • 2010දී ටී.එන්.ඒ හිටියේ කොහෙද?

2010දී ටී.එන්.ඒ හිටියේ කොහෙද?

( Courtesy of The Divaina)

tna1
2018 දෙසැම්බර් 21, දින ද්‍රවිඩ ජාතික සන්ධානයේ පිහිටෙන් එජාපය 2019 ජනවාරි – අප්‍රේල් 30 දක්වා කාලයට අවශ්‍ය මුදල් ලබාගැනීමට අවශ්‍ය අතුරු සම්මත ගිණුම සම්මත කරගත්තේය. එජාපය ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව ඡුන්ද 102 ක් ලැබුණු අතර ජවිපෙ සුපුරුදු ලෙස විරුද්ධ විය. එජාප අගමැතිවරයකු යටතේ අමාත්‍ය ධුර ගැනීම ද්‍රවිඩ ජාතික සංධානය ප‍්‍රතික්‍ෂේප කර ඇත. නමුත් පාර්ලිමේන්තුව තුළදී ඉතා පැහැදිලිව එජාපය සමග සංධානගත වී ඇත.

එජාප-ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගීතාවය පාර්ලිමේන්තුවට බලපාන්නේ කෙසේද? ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ක‍්‍රියාත්මක කළ, 2018 ඔක්තෝබර් 26, දින සිකුරාදා පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමේ මෙහෙයුම පරාජය කිරීමට ද්‍රවිඩ ජාතික සංධානය ප‍්‍රබල දායකත්වයක් දුන්නේය. ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම 16 දෙනකුගෙන් සමන්විත විය. පක්‍ෂ හතරකින් සැදුම්ලත් එම කණ්ඩායමේ දෙදෙනෙකු තම කණ්ඩායමට පිටුපෑ නමුත් 14 එජාපය ගලවා ගැනීමට ඉදිරිපත් විය.

2018 ඔක්තෝබර් 26, සිකුරාදා සිට එජාපය ද්‍රවිඩ ජාතික සන්ධානය-ජවිපෙ එක් වී පාර්ලිමේන්තුව තුළ, ඉන් පිටත සහ විශේෂයෙන්ම අධිකරණය හරහා කළ බලපෑම හේතුවෙන් 2018 දෙසැම්බර් 15, දින මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. එතුමාට අස්වීමට හැර ගතහැකි වෙන කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොවීය.

මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයෙන් පලවා හැරීමට සමත්වූවත් එජාපයටද අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට අවශ්‍ය සුළු බහුතරය තනි කණ්ඩායමක් ලෙස තිබුණේ නැත. එජාපයේ සහායට ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරිපත් විය. අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට එජාපය සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට අමතරව එජාපයේ අලියා ලකුණින් 2015 අගෝස්තු 17 මහ මැතිවරණයේදී තරග කළ රවුෆ් හකීම්, රිෂාඞ්, බදියුදීන්, මනෝ ගනේෂන් සහ පාලනි දිගම්බරම්ගේ පක්‍ෂ සහයෝගය දුන්නේය. එම සියලූ පක්‍ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට වැඩි මහජන නියෝජිතයන් සංඛ්‍යාවක් ද්‍රවිඩ ජාතික සංධානයට ඇත.

මෙම ලියුම්කරු පසුගිය ඉරිදා දිවයින (2018 දෙසැම්බර් 16 සහ 23) ද්‍රවිඩ ජාතික සන්ධානය 2001 ඔක්තෝබර් කොටි ත‍්‍රස්තවාදීන්ගේ මැදිහත් වීමෙන් දේශපාලනයට පිවිසීම සහ ඉන්පසු ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ විග‍්‍රහයක් කළේය. එහිදී සාකච්ඡාවට ලක් වූයේ 2001 දෙසැම්බර් මහ ඡුන්දයේදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ සහයෝගයෙන් ආසන 14 ක් දිනා ගැනීම, 2004 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් ත‍්‍රස්තවාදීන්ගේ පිහිටෙන් ආසන 22 ක් දිනාගැනීම සහ 2005 නොවැම්බර් ජනපතිවරණයේදී එජාප අපේක්‍ෂක පරාජය කිරීමට කොටි ත‍්‍රස්තවාදීන් සමග කටයුතු කිරීම පිළිබඳවයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය හතරවැනි ඊළාම් යුද්ධය 2006 අගෝස්තු මස ආරම්භ කිරීමේ ක‍්‍රියාවලියට පූර්ණ ලෙස දායක විය.

එජාපය නැවත ජනපති සිරිසේන සරණ යෑම

කොටි සංවිධානයේ බළල් අත වූ ද්‍රවිඩ ජාතික සන්ධානය ජයග‍්‍රාහී යුද්ධයට නායකත්වය දුන් ජනරාල් සරත් ෆොන්සේකාට 2010 ජනපතිවරණයේදී සහායෝගය දීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණයි. ඊට ප‍්‍රථමයෙන් එජාපය අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට ජනපති සිරිසේනගේ සහයෝගය ඉල්ලීම අවධානයට යොමුකළ යුතුව ඇත. ඔක්තෝබර් 26 සිකුරාදා අගමැති වික‍්‍රමසිංහ ඉවත් කර නොවැම්බර් 09 සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනපති සිරිසේන එජාපයේ කෝපයට සහ අවඥාවට ලක්විය. යළි කිසිදා ජනපති සිරිසේන සමග දේශපාලනයේ යෙදෙන්නේ නැති බව එජාප නායකයන් සහ සිරිසේන – රාජපක්‍ෂ හවුලට එරෙහි සිවිල් ක‍්‍රියාකාරීන් පැවසූහ. 2018 ඔක්තෝබර් 26, සිට 2018 දෙසැම්බර් 15, මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයෙන් ඉවත්වන තුරුම එම දෙපලට දැඩි ප‍්‍රහාර එල්ල කෙරිණි. ජනපතිවරයා මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට වඩා ප‍්‍රබල ප‍්‍රහාරයකට ලක්විය. මෛත‍්‍රිපාල සිරිසේනට පෙර ජනපති ධුරය දැරූ කිසිදු නායකයකු ලක්නොවූ අපහස උපහාසවලට එතුමා ලක්විය.

මෛත‍්‍රිපාල සිරිසේන 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ජයග‍්‍රහණය කරවීමට ‘‘යහපාලන’’මෙහෙයුමට දායක වූ නීතිඥ කේ. ඩබ්. ජනරංජනගේ ‘‘අනිද්දා’’ පුවත්පත 2018 දෙසැම්බර් 02 දින කලාපයේ ජනපති මෛති‍්‍රට ඉතිහාසයේ හිමි තැන කුමක්ද? යන ප‍්‍රශ්නය සමාජ ක‍්‍රියාකාරින් කිහිප දෙනකුට ඉදිරිපත් කර තිබිණි.

එම සමාජ කි‍්‍රයාකාරීන් කළ කෙටි ප‍්‍රකාශවලට දී තිබූ ශීර්ෂ පාඨ සහ අදාළ සමාජ ක‍්‍රියාකාරීන් පහත සඳහන් වේ. මෝඩ ඒකාධිපතියෙක් (රාජා උස්වැටකෙයියාව) අසමත්ම ජනාධිපතිවරයා (අනෝමා රාජකරුණා), ලෝක ඉතිහාසයේම නින්දිත නායකයා (නදී කම්මැල්ලවීර), ඉතිහාසයේ කුණුබක්කිය, තමයි (අචාර්ය ටෙරන්ස් පුරසිංහ), පීලි පැන්න නායකයෙක් (නීතිඥ ජාවිඞ් යූසුෆ්) පිළිකුල් සහගත බවේ ප‍්‍රතිමූර්තියක් (නාලක ගුණවර්ධන), ජනතාව දැනටමත් ප‍්‍රතික්‍ෂේප කරලා (ජගත් මනුවර්ණ), අලූතෙන් ප‍්‍රශ්න නිර්මාණය කරනවා (අචාර්ය චන්දන අලූත්ගේ), අප සියලූ දෙනාගේ ජන්දය ගණිකා වෘත්තියේ යෙදෙව්වා (අචාර්ය ප‍්‍රභාත් ජයසිංහ) ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි නායකයෙක් (ලංකා බණ්ඩාරනායක) සහ රටට සිටින ලොකුම අනතුර (අසංක සායක්කාර)

මෙවැනි පසුබිමක් තුළ එජාපය නැවත හවුල් පාලනයක් ස්ථාපිත කිරීමට ජනාධිපති සිරිසේනට ආරාධනා කළේ ඇයිදැයි විමසා බැලිය යුතුව ඇත. මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයේ සිටි සහ අධිකරණය එම අගමැතිකම බලරහිත කල කාලය තුළ අශීලාචාර මිනිසෙකු ලෙස හැඳින් වූ ජනාධිපති සිරිසේනට එජාපය නැවත දීග කෑමට අරාධනා කළේ ඇයි? එම ආරාධනාව ඔහු පිළිනොගත්තේ ඇයි. එජාපය ජනාධිපතිවරයා සමග නැවත එකතු වීමට දෙසැම්බර් 15 යෝජනා කිරීමට පෙර සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් සහ බටහිර තානාපතිවරුන්ගෙන් විමසීමක් කළා දැයි දැනගැනීම වැදගත්ය. 2018 ඔක්තෝබර් 26 ඇවිථණු සටනේ එජාපය සමග දිගටම සිටි සිවිල් ක‍්‍රියාකාරීන් සහ බටහිර තානාපතිවරුන් අමතක කර කටයුතු කිරීමට එජාපයට නොහැකිය. කෙසේ වෙතත්, ජනාධිපති සිරිසේනට හිතවත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ කොටසක් සමග එජාපය නැවත ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ බව පැහැදිලිය.

ජනාධිපතිවරයා එම එජාප – ශ‍්‍රීලනිප හවුල ප‍්‍රතික්‍ෂේප කර දැමීය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ පිහිටෙන් 2018 දෙසැම්බර් 21, අතුරු සම්මත ගිණුම එජාපය සම්මත කරගත්තේ ඉන් සතියකට පෙර ජනාධිපතිවරයා එම උපකාරය කිරීම ප‍්‍රතික්‍ෂේප කළ තත්ත්වයක් යටතේය.

ලිබියාවේ මුවම්මර් ගාඩාෆිට අත් වූ ඉරණම ජනාධිපති සිරිසේනටද අත්විය හැකි බවට අනතුරු ඇගවූ එජාපය කිසිදු ලජ්ජාවක් නොමැතිව ශී‍්‍රලනිපය සමග හවුලකට යෑම යෝජනා කිරීම අදහාගැනීමට නොහැක. නමුත් අප දේශපාලනයේ එවැනි අසික්කිත විකෘති තත්ත්වයන් ඇත. දේශපාලන බලය ලබාගැනීමට, රැකගැනීමට ඕනෑම දෙයක් කිරීමට පක්‍ෂ පෙළඹෙන බව රහසක් නොවේ.

දෙසැම්බර් 15 රාත‍්‍රි හමුව
tna2
එජාප – ශ‍්‍රීලනිප ‘‘විවාහයකට’’ යෝජනාව දෙසැම්බර් 15 රාති‍්‍ර ඉදිරිපත් කළේ අගමැති ලෙස පසුදා දිවුරුම් දීමට නියමිත එජාප නායක රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දුන් හතර දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායමකිනි. වික‍්‍රමසිංහට අමතරව මලික් සමරවික‍්‍රම, වෛද්‍ය රාජිත සේනාරත්න සහ රංජිත් මද්දුම බණ්ඩාර එම කණ්ඩායමට අයත් විය. දෙපාර්ශ්වයම මෑතකදී එකිනෙකාට එරෙහිව කළ චෝදනා ගොන්න සැලකිල්ලට ගතහොත් එජාප නායකයින් මොන හිතකින් ජනපතිවරයා සමග නැවත සන්ධානගත වීමට යෝජනා කළේ මන්දැයි සිතාගත නොහැක.

එජාපයට ජනපති සිරිසේන නැතුවම බැරිය. ඒ වෙන කිසිවක් නිසා නොව 19 සංශෝධනයෙන් රිංගා තමන්නට රිසි පරිදි 30 ට එපිටින් ගිය කැබිනට්ටුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය නීතිමය තත්ත්වය ඇති කරගැනීමටයි. 2015 අපේ‍්‍රල් අග පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 19 වන සංශෝධනය අනුව පත්කළ හැකි උපරිම ඇමැතිවරු සංඛ්‍යාව 30 කි. එම සංඛ්‍යාවට ජනාධිපතිවරයාද අයත්ය. එලෙසම පත්කළ හැකි උපරිම කැබිනට් නොවන අමාත්‍යවරු ගණන 40 කි.

දිනකට නිසි ලෙස වේල් දෙකක් ආහාර පවුලකට සපයා ගත නොහැකි අප රටේ පාර්ලිමේන්තු බලය තිබෙන ඕනෑම පක්‍ෂයක පරම පැතුම හැකි පමණ අමාත්‍ය ධුර පිරිනැමීමයි. දූෂිත පාර්ලිමේන්තු ක‍්‍රමය ඉදිරියට ගෙනයෑමට ඕනෑම කුපාඩි කමක් කිරීමට දේශපාලන පක්‍ෂ සූදානම් බව භූමියේ තත්ත්වයයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ජනපති සිරිසේනගේ ප‍්‍ර‍්‍රබල වාග් ප‍්‍රහාරයකට පසුගිය සති කිහිපය තුළදී ලක්විය. එජාපය කළ හවුල් රජයක් නැවත පිහිටුවීමේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළ දෙසැම්බර් 15 ට පසුදින සිරිසේන වික‍්‍රමසිංහ තමන් ඉදිරියේ තබාගෙන කළ ප‍්‍රහාරය අප රටේ දේශපාලනයේ එවැනි සිද්ධියක් වූ පළමු වන අවස්ථාවයි. අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු එතුමාගේ බිරිඳ ඉදිරියේ දෝෂාරෝපණය කරන සම්ප‍්‍රදායක් අප රටේ නැත.

වික‍්‍රමසිංහ යුවළ ඉදිරියේ මහ බැංකු වංචාව මතක් කරමින් ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය මෑතකදී එතුමා කළ මහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයයි. ජනාධිපතිවරයා එජාපය ප‍්‍රතික්‍ෂේප කිරීමත් සමග ද්‍රවිඩ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමේ ක‍්‍රියාවලියට සහභාගී විය.

කිසිදු හිරිකිතයක් නැතුව ජනාධිපතිවරයාගේ සහයෝගය ඉල්ලීමෙන් ජනතාවට නැවත වරක් එජාපය මතක් කර දුන්නේ අති දූෂිත දේශපාලන කි‍්‍රයාවලියේදී තමන් සන්ධානගත වන්නේ කා සමගද වන බව කිසිදු ප‍්‍රශ්නයක් නොවන බවය. ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 මුළු රටටම එය පසක් කර දුන්නේය. තමාව පොළොවෙන් අඩි 6 ක් යටට දැමීමට කටයුතු කරනවා යැයි තමන්ම චෝදනා කළ මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයේ පිහිටු වූයේය. දෙපාර්ශ්වයටම ලැජ්ජාවක් නැත.

ජනාධිපති සිරිසේන එජාප යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීමත් සමගම ද්‍රවිඩ ජාතික සන්ධානය වික‍්‍රමසිංහගේ නව රජය වෙනුවෙන් පෙනී සිටීම විමසා බැලිය යුත්තේ 2001 සිට ආර්. සම්බන්ධන්ගේ කණ්ඩායමේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත හැසිරීමත් සැලකිල්ලට ගනිමිනි.

2010 ජනපතිවරණයේදී සම්බන්ධන්ගේ කි‍්‍රයාදාමය

වසර 30 ක් පුරා පැවැති යුද්ධය 2009 මැයි 19 දින නන්දිකඩාල් කලපුවේදී අවසන් විය. විජයබා පාබල සෙබළු කණ්ඩායමක් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මරා දැමීමත් සමගම ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් විය. ප‍්‍රභාකරන් ඇතුළු ත‍්‍රස්තවාදීන් මරා දැමීමත් සමග 2001 අග සිට ද්‍රවිඩ ජාතිකයන්ගේ එකම නියෝජිතයා ලෙස හැඳින්වූ ත‍්‍රස්තවාදී සංවිධානය විනාශ විය. 2001 අගදී කොටි ත‍්‍රස්තවාදීන් එලෙස හඳුන්වා දෙනු ලැබූ ද්‍රවිඩ ජාතික සන්ධානයට නිදහසේ දේශපාලනයේ යෙදීමට නිදහස ලැබිණි. 2004 අපේ‍්‍රල් මස තේරීපත් වූ මන්තී‍්‍රවරු ඇත්ත වශයෙන්ම ප‍්‍රභාකරන්ගේ වහල්ලූ විය. ප‍්‍රභාකරන් නිකුත් කරනු ලබන ඕනෑම නියෝගයක් අකුරටම කි‍්‍රයාත්මක කිරීමට එම පාර්ලිමේන්තු කණ්ඩායම බැඳී සිටියේය. ප‍්‍රභාකරන්ගේ නියෝගවලින් පිටත කටයුතු කිරීමට කිසිදු අවකාශයක් එම මන්තී‍්‍රවරු කණ්ඩායමට නොවීය.

කෘතහස්ත දේශපාලන නායකයකු වූ ආර්. සම්බන්ධන් ප‍්‍රභාකරන් ඉදිරියේ දණ නැමීය. සම්බන්ධන් ඇතුළු අනෙකුත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරු ප‍්‍රභාකරන්, තමිල් සෙල්වම් සහ පොට්ටු අම්මාන් ඇතුළු ත‍්‍රස්තයෝ සමග කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම රහසක් නොවේ. කොටි සංවිධානය 2009 මැයි අතුගා දැමීමත් සමග නිදහසේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය සම්බන්ධන්ගේ මන්තී‍්‍ර කණ්ඩායමට හිමි විය.

යුද්ධය අවසන් වීමත් සමග රට මුහුණ දුන් පළමුවැනි ජාතික මැතිවරණය 2010 ජනවාරි ජනපතිවරණයයි. 2009 මැයි 19 දින යුද්ධය අවසන් විය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට එක්සේසත් කළාට පසු රාජපක්‍ෂවරුන් සහ යුද්ධය ජයග‍්‍රහණය කරා මෙහෙයවූ සිංහ රෙජිමේන්තුවේ ජනරාල් සරත් ෆොන්සේකා අතර ගැටුම උග‍්‍ර විය. 2009 ජුලි මස ෆොන්සේකා යුද හමුදාපති ධුරයෙන් ඉවත් කර ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්කෙරිණි. ලූතිනල් ජනරාල් ජගත් ජයසූරිය හමුදාපති ලෙස පත්විය. 2009 වසර අගදී ෆොන්සේකා තම ධුරයෙන් ඉල්ලා අස්වූ අතර 2010 ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කෙරිණි.

යුද්ධයට නිසි දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ සහ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට නායකත්වය දුන් ජනරාල් ෆොන්සේකා හතරවැනි ඊළාම් යුද්ධයට දුන් නායකත්වය ප‍්‍රභාකරන්ට මරණය ගෙන දුන්නේය.

tna3

ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස හැඳින්වූ ප‍්‍රභාකරන් හමුදාව අතින් මරණයට පත්වීමට අවශ්‍ය නායකත්වය දුන් රාජපක්‍ෂ සහ ෆොන්සේකා අතර ජනාධිපතිවරණ සටනේදී ද්‍රවිඩ ජාතික සන්ධානය යම් පැත්තක් තෝරා ගැනීමේ බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දුන්නේය. රාජපක්‍ෂ-ෆොන්සේකා මෙහෙයුම හේතුවෙන් ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 ක් මියගිය බවට නැගූ යුද අපරාධ චෝදනා තිබෙන පසුබිමක් තුළ යුද්ධයට නායකත්වය දුන් නායකයන් දෙදෙනකු අතරින් එක් අයෙකු වෙනුවෙන් තම ඡුන්දය පාවිච්චි කිරීමට සිදුවීම ඇත්ත වශයෙන්ම දෛවරයේ සරදමකි.

එම තීරණය ගැනීමේ වගකීම සම්බන්ධන් හට පැවරිණි. මෙහිදී අප කවුරුත් මතක තබාගත යුත්තේ අද ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප‍්‍රබල භූමිකාවක් කරන එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු නොවීය. සම්බන්ධන් තීරණයක් ගත යුතු විය.

2005 නොවැම්බර් 17 ජනපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට හෝ එජාප නායක රනිල් වික‍්‍රමසිංහට ඡුන්දය පාවිච්චි කිරීමෙන් ද්‍රවිඩ ජාතිකයන්ට කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නොමැති බව පැවසූ සම්බන්ධන්ට යම් පාර්ශ්වයක් තෝරා ගැනීමට සිදුවිය.

එවකට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ 2010 ශී‍්‍ර ලංකාවේ ජනපතිවරණය පිළිබඳව රහස්‍ය ලිපි කිහිපයක් පසුව විකී ලික්ස් වෙබ් අඩවිය හෙළි කළේය. එවකට ශී‍්‍ර ලංකාවේ සිටි ඇමරිකානු තනාපතිවරිය පැට්ටි‍්‍රෂියා බුටේන්ස් ජනාධිපති අපේක්‍ෂකවරු දෙදෙනාම යුද අපරාධකරුවන් ලෙස හඳුන්වාදී තිබිණි. ඔවුන් දෙදෙනාට අමතරව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ඇමැති බැසිල් රාජපක්‍ෂ ද යුද අපරාධකරුවන් ලෙස නම්කර තිබිණි. නමුත් වෙනත් රහස්‍ය ලිපියක ඇමරිකානු තානාපති කාර්යාලය ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් සමග 2010 ජනපතිවරණයේදී එම පක්‍ෂය ගත යුතු ස්ථාවරය සාකච්ඡා කර තිබිණ. සම්බන්ධන් මහින්ද රාජපක්‍ෂට සහයෝගය පළ කිරීමට වඩා කැමැත්තක් පෙන්නුම් කළත් ඇමරිකානු බලපෑම හේතුවෙන් ජනරාල් ෆොන්සේකාට සහයෝගය දීමට එකඟ විය.

ද්‍රවිඩ ජාතික සන්ධානය සම්බන්ධ වූ ෆොන්සේකා දිනවීමේ පිලට එජාපය, ජවිපෙ සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයද අයත් විය. එවකට මුස්ලිම් කොන්ග‍්‍රසයේ සභාපති වූ බෂිර් සේගුදාවුද් සමග ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු පැවැත්වූ සාකච්ඡා ද පසුව විකිලික්ස් වෙබ් අඩවිය හෙළි කළේය.

එජාප, ජවිපෙ, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ෆොන්සේකා වෙනුවෙන් එක ස්ථාවරයකට ගෙන ඒමට ඇමරිකාව සුවිශේෂ උත්සාහයක් ගත් බව පැහැදිලිය. ෆොන්සේකාගේ හමුදාවට යුද අපරාධ චෝදනා නැගූ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ප‍්‍රජාව ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. බි‍්‍රතාන්‍ය ජාතික ශලිල මුණසිංහ සභාපතිකම දරන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් විය. ඔහුට ඡුන්දය දැමීමටවත් හිමිකමක් නැති බව ඔහුට සහයෝගය දුන් කිසිදු දේශපාලන පක්‍ෂයකට හෝ බටහිර ප‍්‍රජාවට ප‍්‍රශ්නයක් නොවීය.

සම්බන්ධන් තම ජනතාවගෙන් ෆොන්සේකාට ඡුන්දය ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන ලදි. උතුරු නැගෙනහිර සියලූ පරිපාලන දිස්ති‍්‍රක්ක ෆොන්සේකා පහසුවෙන් ජයග‍්‍රහණය කළේය.

ෆොන්සේකාගේ ඡුන්දය දැමීමේ අයිතියවත් තිබුණේ නැත. 2005 ජනපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ සහ රනිල් වික‍්‍රමසිංහ අතර ඡුන්දය පරතරය 186,000 ක් විය. 2010 දී මහින්ද රාජපක්‍ෂ සහ ෆොන්සේකා අතර පරතරය මිලියන 1.8 ක් විය. සම්බන්ධන් උතුර-නැගෙනහිර දිස්ති‍්‍රක්ක බන්දේසියක තබා ෆොන්සේකාට දුන් නමුත් ඔහු අන්ත පරාජයක් ලැබුවේය. පරාජය වූ පාර්ශවය මහින්ද රාජපක්‍ෂ පරිගණක සූත්තරයකින් එසේත් නැතිනම් කොම්පියුටර් ජිල්මාට් මාර්ගයෙන් ජනපතිවරණය දිනූ බවට චෝදනා නැගීය. ලජ්ජාව වසා ගැනීමට එජාප ප‍්‍රධානි කණ්ඩායම විකාර කතා පැවසූ බව අප කාටත් මතකය.

ලබන සතියට

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

270 Viewers