30/1 යෝජනාවෙන් රජය ඉවත්වීම

geniva

(Courtesy of Divaina)

වර්තමාන රජය ඊනියා ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත් වීම දේශපේ‍්‍රමී දේශහිතෛශී ජනතාවගේ ඉමහත් ප‍්‍රීතියට හේතු වන්නකි. මෙම යෝජනාවට පාදක වූයේ මානව හිමිකම් කොමිසමේ අපට විරුද්ධව නගා ඇති යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාවයි. මංගල සමරවීර විදේශ ඇමැතිවරයා අප විසින් කිසිදා නොකළ එම යුද අපරාධ කළා යැයි පිළිගෙන අපට විරුද්ධව ඇමෙරිකාව විසින් ගෙන ආ 30/1 යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේ ජනාධිපතිතුමාවත් කැබිනට් මණ්ඩලය වත් පාර්ලිමේන්තුවේ වත් ජනතාවගේ වත් අනුමැතියකින් තොරවය. එය නීති විරෝධී දේශද්‍රෝහී ක‍්‍රියාවකි. එම යෝජනාවෙන් රජය ඉවත්වීම දේශපේ‍්‍රමී ජනතාවගේ සතුටට හේතු වන්නේ එබැවිනි.

රජය මෙම ක‍්‍රියාව ගෙන ඇත්තේ සාධාරණ හේතූන් මතය. මන්ද මෙහි අඩංගු සමහර නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමේදී රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වීම, රණවිරුවන්ට එරෙහි මානව හිමිකම් කඩ කළාය යන චෝදනාවන් විභාග කිරීමට විදේශ විනිසුරු කරුවන් සහිත දෙමුහුන් අධිකරණය පත් කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක‍්‍රියාත්මක කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, අතුරුදන් කාර්යාලයක් ස්ථාපිත කිරීම, යනාදී නිර්දේශයන් එහි අඩංගු නිසාය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර හිටපු විදේශ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ 30/1 යෝජනාවට තමා සම අනුග‍්‍රාහකත්වය දීම තුළින් තමන් මහින්ද රාජපක්ෂ සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑම වැළැක්වූ බවය. එය අමූලික බොරුවකි. 30/1 යෝජනාවට පාදක වූයේ අප විසින් යුද අපරාධ කරන ලදැයි ප‍්‍රකාශ කළ ජිනීවා මානව හිමිකම් වාර්තාවය. එහි අඩංගු යුද අපරාධ චෝදනා පාඩම ඉතා සාවද්‍ය පදනම් රහිත බැව් අප විසින් ජිනීවාහිදී පෙන්වා දී ඇති අතර මංගල සමරවීර එම චෝදනා අගය කරමින් පිළිගත්තේ ඒ පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරවය. තවද ඒ වන විට මංගල සමරවීර විදේශ ඇමැතිවරයාගේ මේසය මත ලෝක ප‍්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයන් හය දෙනකුගේ වාර්තා තිබිණ. පරණගම කොමිසමට අනුයුක්ත කර තිබූ ශ‍්‍රීමත් ඩෙස්මන්ඞ් සිල්වා ඇතුළු එම 6 දෙනාම සනාථ කොට ඇත්තේ අපේ හමුදාව කිසිදු යුද අපරාධයක් කර නොමැති බවත්, 295000 ක් දෙමළ ජනතාව බේරා ගෙන මෙවන් යුද්ධයක් ජය ගැනීම සම්බන්ධයෙන් අපේ හමුදාවට ප‍්‍රසංසා කළ යුතු බවත්ය. ජාත්‍යන්තර යුද අධිකරණ වල පවා විනිසුරු කරුවන් ලෙස සේවය කළ එවන් ප‍්‍රවීණයන් අප යුද අපරාධ කළේ නැතැයි සනාථ කරන විට ජාතික ආරක්ෂාව පිළිබඳව අල්ප මාත‍්‍රයක්වත් දැනුමක් නොමැති යුද මෙහෙයුමකදී සමානුපාතික ප‍්‍රහාර, පිළිගත හැකි හානි යන ආදිය ගැන හසරක් නොදන්නා මංගල සමරවීර අප යුද අපරාධ කළා යැයි ජිනීවාහි හීදි පිළිගත්තේ කුමන පදනමක් මතද? මෙම යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම තුළින් මහින්ද රාජපක්ෂ හෝ රණවිරුවන් විදුලි පුටුවට ගෙන යෑම වළක්වා ඇතැයි මංගල සමරවීර කීවත් එසේ විදුලි පුටුවට ගෙන යෑමට මංපෙත් විවෘත කර ඇත්තේ මෙසේය.

30/1 යෝජනාවේ ඇති එක් ප‍්‍රධානතම නිර්දේශයක් නම් අතුරුදන් වීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීමයි. එම කාර්යාලයේ නිලධාරීන්ට යුද අපරාධ පිළිබඳ පැමිණිලි බාරගත හැක. එම පැමිණිලි සම්බන්ධ සාක්ෂි ලබා ගන්නා විට සාක්ෂි ආඥා පනතට පටහැනි සාක්ෂි පිළිගත හැකි අතර වීඩියෝ තාක්ෂණය මගින් ලබාදෙන සාක්ෂි ද පිළිගත හැකි වේ. සාක්ෂි ආඥා පනතට අනුව පොලිස් නිලධාරියෙකු ඉදිරියේ පවා කරනු ලබන පාපොච්චාරණයක් උසාවියේ පිළිගනු නොලබයි. නමුත් මෙම කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ කරන පාපොච්චාරණය පවා පිළිගනියි. එසේ පිළිගනු ලබන පාපොච්චාරණ, සාක්ෂි අනුව එම අදාළ රණවිරුවාට/ දේශපාලන නායකයාට විරුද්ධව යුද අපරාධ ලිපිගොනුවක් එම කාර්යාලයේ විවෘත කරනු ලබයි. නමුත් ඔවුන්ට විරුද්ධව ලංකාවේ නඩු පවරන්නේ නැත්තේ එවිට සාක්ෂිකරුවන් උසාවියට නොඑන නිසාත්, එසේ පැමිණියහොත් ඔවුන් සාක්ෂි නඩුවට නැග හරස් ප‍්‍රශ්න ඇසීමට භාජන වන නිසාත් බැවිනි. නමුත් සිදුවිය හැක්කේ මෙයයි. මීට අදාළ චූදිත රණවිරුවා/ පුද්ගලයා විදේශගත වූ විට ඒ රටේ වැසියෙක් ”ලංකාවේ යුද අපරාධ පිළිබඳ චෝදනා ලැබූ පුද්ගලයෙක් අපේ රටේ සිටී” යැයි නඩුවක් පැවරුවහොත් එම පුද්ගලයා ඒ රටේ දී අත්අඩංගුවට ගත හැක. එම රට රෝම ප‍්‍රඥප්තියට අත්සන් කර ඇත්නම් ඔවුන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා හැක. තවද 30/1 යෝජනාවේ නිර්දේශයන්ට අනුව යහපාලන රජය විසින් බලහත්කාරයෙන් අතුරුදන් වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට ද අත්සන් කර ඇති බැවින්, (මෙම ප‍්‍රතිපත්තිය දකුණු ආසියාවේ කිසිදු රටක් අත්සන් කොට නොමැත) යම් රටක් එසේ චූදිත පුද්ගලයෙක්ට නඩු පැවරීම සඳහා තම රටට එවන මෙන් ඉල්ලා සිටියහොත් එම චූදිත රණවිරුවාව/ පුද්ගලයාව අදාළ රටට පිටුවහල් කිරීමට ද ප‍්‍රතිපාදන තිබේ. විදුලි පුටුවට ගෙන යෑම වැළැක්වූයේ යැයි කියන මංගල සමරවීර එසේ දේශද්‍රෝහී ලෙස 30 එක යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැක්වීම තුළින් රණවිරුවා විදුලි පුටුවට ගෙන යෑමට මාර්ගය විවෘත කර දී ඇත්තේ එසේය.

රජය දැන් 30/1 යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. නමුත් ඉන් ඉවත් වීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. මන්ද පසුගිය යහපාලන රජය මේ වන විටත් එම 30/1 යෝජනාවේ අඩංගු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇති බැවිනි. පසුගිය රජය ව්‍යවස්ථා සංශෝධනය මගින් රට පෙඩරල් කිරීමට තැත් කෙරුවේ එහි එක් නිර්දේශයක් මතය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද අහෝසි කොට වෙනත් පනතක් ගෙන ඒමට ක‍්‍රියා කළේ ද එහි නිර්දේශයක් අනුවය. තවද බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රතිපත්තියට අත්සන් කළේ ද ඒ අනුවය. එම ප‍්‍රතිපත්තිය කිසිදු බලගතු රටක් හෝ දකුණු ආසියාවේ එකදු අපේ අසල්වාසී රටක් හෝ අත්සන් කර නොමැත. එමගින් අපේ රටේ පුද්ගලයන් රණවිරුවන් විදේශ රටක අධිකරණ බලයට යටත් වන නිසාය. නමුත් දැන් එය කර හමාරය.

තවද, 30/1 යෝජනාවේ ප‍්‍රධාන නිර්දේශයක් අනුව දැනටමත් අතුරුදන්වීමේ කාර්යාලයක් විවෘත කර තිබේ. ඉහත සඳහන් පරිදි ඕනෑම අවශ්‍ය පුද්ගලයෙකුට එරෙහිව සාවද්‍ය සාක්ෂි ගොනු කළ හැක. තවත් බරපතළ කාරණාවක් වනුයේ තවමත් ජීවත් වන ත‍්‍රස්තයන්ගේ, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ මරාගෙන මැරුණු ත‍්‍රස්තයන්ගේ ඥාතීන්ට, ලංකා හමුදාවට ප‍්‍රහාර එල්ලකොට මියගිය ත‍්‍රස්තයන්ගේ ඥාතීන්ට, ලක්වැසියන්ගේ බදු මුදල්වලින් වන්දි ගෙවීමට කටයුතු කිරීමයි. එසේ මිය ගිය ත‍්‍රස්තයන්ගේ අනන්‍යතාව කිසිවෙක් නොදන්නා අතර, ඔවුන්ගේ ඥාතීන්ගේ පැමිණිලි වලට ඔවුන්ට වන්දි ගෙවයි. එසේම අතුරුදන්වී යැයි පැමිණිලි කළ බොහෝ දෙනෙක් අද වෙනත් රටවල ජීවත්වන බවට තොරතුරු සනාථ වී ඇත. උදාහරණයක් ලෙස කාර්දිවේල් ත්‍යාගරාජා නමැත්තා 2009 සැප්තැම්බර් 13 වැනිදා වද හිංසා කොට මරා දමන ලදැයි හෝ අතුරුදන් කර ඇතැයි හෝ පවසා එහි වගකීම යුද හමුදාවට පැවරූ අතර ඊට වසර පහකට පසුව එනම් 2014 දී එම තැනැත්තාව ඉන්දියානු පොලිසිය පොලිසිය මගින් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබිණ. එය එසේ වුවත් යුද හමුදාවට අපහාස/ චෝදනා කළ කිසිවෙක් ඉන්පසුව වත් හමුදාවට නිරපරාදයේ චෝදනා කළේ යැයි සිය කනගාටුව ප‍්‍රකාශ කළේ නැත.

කරුණු එසේ හෙයින් 30/1 යෝජනාවෙන් ඉවත් වන්නා වූ සේම එහි අඩංගු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමෙනුත් අප ඉවත් විය යුතුය. මන්ද එම යෝජනාවක් ගෙන ආවෙ අප විසින් කරන ලදැයි කියන යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාව මගින් බැවිනි. එසේම සම අනුග‍්‍රාහකත්වය දැක්වූ නිසා එම 30/1 යෝජනාව ජිනීවා හිදී සම්මත වූයේ එය කිසිදු වාදයකට භාජන නොකොට කිසිදු ඡන්දයකින් තොරවය. එය විවාදයට භාජන වූයේ නම් එම චෝදනා සියල්ල පදනම් රහිත බව මනාව සනාථ වනු ඇත. අප එය ”විත්තිවාචිකය” මගින් සනාථ කොට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංගමයේ තවත් එක් ශාඛාවක් පමණි. එවන් අතුරු ශාඛාවකට අප වන් ස්වාධීන රටකට නියෝග පැනවිය නොහැක. එසේම අප මීට පෙර සඳහන් කර ඇති පරිදි අපේ රටේ තිබෙන්නේ ”ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්” බැව් ඔවුන්ම පවසා තිබීමත් ඔවුන්ගේ ප‍්‍රඥප්තියට අනුව එවන් තත්ත්වයකදී බලපාන්නේ මානව හිමිකම් නීතිය නොව මානුෂීය නීතිය පමණක් බැවින් නිසා අපට එම යෝජනාවෙන් ඉවත් වී එහි නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම නවතා මේ පිළිබඳ වාදයක් ඉල්ලා ඒ බව ප‍්‍රකාශ කළ හැක. අපිට විරුද්ධව 30/1 ගෙන ආ ඇමෙරිකාවද දැන් මානව හිමිකම් කවුන්සිලය දේශපාලනයේ අසූචි වළක් යැයි කියමින් ඉවත්ව ගොස් ඇත. එදා ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක් අපට පක්ෂව පෙනී සිටියහ. වර්තමාන රජය තුළින් ඔවුන් නැවතත් අප සමග සිටිනු ඇත. ලොව දරුණුතම ත‍්‍රස්තවාදය නිම කළ අපට ඔවුන්ගේ ආශිර්වාදය නැවත හිමිවෙනු ඇත.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

240 Viewers