REGIME CHANGE රෙජීම් චේන්ජ්

*රෙජීම් චේන්ජ්* (Regime Change) එකක දී භාවිතා කරන තවත් උපක්‍රමයක් තමයි *එන්වයර්මන්ටල් ඇක්ටිවිසම්* (Environmental Activism) නැත්නම් පාරිසරික ක්‍රියාවාදීත්වය. වරදවා වටහා ගන්න එපා. මා කියන්නේ නැහැ පරිසරය සුරැකීම වෙනුවෙන් සටන් කිරීම වැරදියි කියා. මා කියන්නේ රෙජීම් චේන්ජ් *Agentsලා* ඔවුන්ගේ උපක්‍රමයක් ලෙස ඒ සටන් භාවිතා කරන ආකාරය යි. මිනිස් වර්ගයාගේ සහ සියලුම ජීවීන්ගේ අනාගත පැවැත්ම වෙනුවෙන් ගංගා, වනාන්තර, මහමුහුද ආදී ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට අප කවුරුත් කැමතියි. විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරේ ඒ සඳහා වැඩි සටන්කාමීත්වයක් දකින්නට පුළුවන්.

පරිසරය වෙනුවෙන් සටන් කරන රාජ්‍ය නොවන (හරිම වචනය ආණ්ඩුව නොවන) සංවිධාන වලට කියන්නේ *ENGOs* කියලා (Environmental Non-Governmental Organisations). ඔවුන්ට ඒ සඳහා විදෙස් ආධාර ලබා ගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ඇතුළු විවිධ රාජ්‍ය සහ බහුජාතික සමාගම් මෙන්ම බිලියනපති දානපතීන්ගේ පෞද්ගලික Foundation ආධාර ඩොලර් බිලියන ගණන් සංසරණය වෙන ක්ෂේත්‍රයක් තමයි ENGO සෙක්ටර් එක. Green Activistsලා කියන්නේ ඒ අයට. අතළොස්සක් සමහරු එම ආධාර වලින් ඇත්තටම පරිසරය ආරක්ෂා කරනවා. බහුතරයක් සමහරු බොරුවට පරිසරය ආරක්ෂා කරනවා කියලා පෙන්වනවා. අන්න ඒ වගේ අය භාවිතා කරලා රෙජීම් චේන්ජ් එකකට අවශ්‍ය තත්ත්වයන් හදන්න පුළුවන්.

උදාහරණයක් හැටියට *විල්පත්තුව* ආශ්‍රිතව සිදුවෙමින් පවතින වන විනාශය මේකට කදිම අවස්ථාවක්. මහා වන විනාශයක් වෙන බව ඇස් දෙකට පේනවා. ඒකම ඇති සටන පටන් ගන්න. වන විනාශය ලොකු වෙන තරමට වාසිය වැඩියි. එතැනදි ඔවුන් නිර්මාණය කරන මතය තමයි “මේ වන විනාශයට එකම හේතුව දුෂ්ට පාලකයන් ය” යන මතය. (පාලකයා යන වචනය මෙතැනදී අවභාවිතා වෙනවා. තේරුම් ගැනීමේ පහසුව සඳහා එයම භාවිතා කරන්නම්).

දැන් එතකොට us vs them බෙදීමක් ඇති වෙනවා. පරිසරයේ සතුරා ජනතාවගේ සතුරා නිසා එම සතුරන්ට විරුද්ධව ජනතාව වන අප සටන් කළ යුතුයි කියන තැනට ජන මතය හදනවා. දැන් වන විනාශයට වඩා ගැටුම තියෙන්නේ ජනතාව සහ පාලකයන් අතර. ඒකත් තෝරාගත් පාලකයන් කිහිප දෙනෙක්ට *target* කරනවා. ඊට පස්සේ ඔවුන් කියන්නේ මේ අසාධාරණය නවත්වන්න නම් අර target පාලකයන් නෙරපිය යුතුයි කියලා. දැන් අර පරිසර සටන දන්නෙම නැතුව තනිකරම *දේශපාලන campaign* එකක් වෙලා ඉවරයි.

විල්පත්තු project එක ඊටත් වඩා රසවත්. මොකද එතන මැද්දේ ඉන්නවා *රිෂාර්ඩ් බදුඋදීන්*. ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසාත් කල්ලාරුවේ නැවත පදිංචි කරන්නේ මුස්ලිම් වැසියන් නිසාත් රෙජීම් චේන්ජ් Agentsලට මේක සුපිරි අවස්ථාවක්. බොහෝ විට එහෙම කරන්න ඇත්තෙත් රෙජීම් චේන්ජ් Agentsලම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ CIA එකයි ඉන්දියාවේ RAW එකයි වැඩ කරන්නේ වසර ගණනාවක් ඉදිරියට long con සැලසුම් කරලා. ඔවුන්ට අවශ්‍ය තත්ත්වයන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ හදනවා.

දැන් වැඩේ තවත් ලෙහෙසියි. විල්පත්තුව හරහා *ජාතිවාදය* අවුස්සන්න අවශ්‍ය සාධක ටික සම්පූර්ණයි. ඔවුන් අර මතයට උඩින් දානවා මුස්ලිම් අන්තවාදය. ඔබ හොඳට බැලුවොත් පෙනේවි ඔය විල්පත්තු සටනේ ප්‍රධාන සටන් පාඨයට හැම වෙලාවෙම බදුඋදීන්ගේ (නැත්නම් ඔවුන් වැරදියට කියන බදුර්දීන්”) නම දානවමයි. මෙතැනදී සිංහල මිනිසුන් අතරේ මතයක් හදනවා විල්පත්තුවේ මුස්ලිම් ව්‍යාප්තියක් සිදු වෙනවාය කියලා. ඒ සඳහා ඔවුන් භාවිතා කරනවා *බෞද්ධ භික්ෂුවක්*. දැන් නියමයි. සිංහල බෞද්ධ සංකේතය එක පැත්තක; ඉස්ලාම් අන්තවාද සංකේතය තව පැත්තක. කොහොමද සැලැස්ම! බොදු බල සේනාව භාවිතා කළෙත් එම සිද්ධාන්තයෙන්ම තමයි. ඒ ගැන වෙනම ලියන්නම්.

දැන් වන විනාශය පැත්තක. ඒක දැන් *සිංහල-බෞද්ධ vs මුස්ලිම්-ඉස්ලාම්* ප්‍රශ්නයක් වෙලා. රෙජීම් චේන්ජ් එකකදී ඉස්ලාම් අත්නවාදය භාවිතා කෙරෙන ආකාරය වෙනම ලිවිය යුතුයි. ඔන්න දැන් උපක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි බදුඋදීන්ට සහය දුන්න අය සහ සහාය දෙන අය කියලා අර කලින් target කරන පාලකයන් ජනතාවට පෙන්වනවා. ඔබ හොඳට බැලුවොත් පෙනේවි මහින්ද, බැසිල්, මෛත්‍රිපාල අය තමයි එතැනදී target කරන්නේ. කවදාවත් රනිල්ව හෝ එජාපයේ වෙන කිසිවෙක් target කරන්නේ නැහැ. Campaign එක කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා ඔබට දැන් පැහැදිලි විය යුතුයි.

අනෙක් සමගාමී උපක්‍රමය තමයි බදුඋදීන්ට එරෙහිව සිංහල-බෞද්ධ target එකක් හදන එක. ඒ කියන්නේ දැන් හදනවා මතයක් ගෝඨාභය රාජපක්ෂ බදුඋදීන්ට විරුද්ධයි කියලා. ඔන්න දැන් ඒකෙන් වෙන්නේ මුස්ලිම් ජාතිකයන් අතරේ ගෝඨාභය ගැන අප්‍රසාදයක් ඇති වෙනවා. *කොහොමද වැඩේ!* එක පැත්තකින් කියනවා මහින්ද-බැසිල් තමයි බදුඋදීන්ට සහාය දුන්නේ කියලා. අනෙක් පැත්තෙන් කියනවා ගෝඨාභය බදුඋදීන්ට විරුද්ධයි කියලා. මිනිස්සු අන්දමන්ද වෙනවා. ගැටුමක් ඇතිකරන්න අත්‍යවශ්‍ය සාධකයක් තමයි ambiguity හෙවත් අවිනිශ්චිතතාවය. මම MBA සිසුන්ට Organisational Behaviour උගන්වන කාලයේදී කියලා දුන්නා ආයතනයක් ඇතුළේ වෙනසක් කිරීමේදී භාවිතා කරන උපක්‍රම ගැන. මේක කියවන මගේ සිසුන්ට මතක ඇති. මේවා නූතන කළමනාකරණයේ පවා භාවිතා වන ටක්කෙට වැඩ කරන උපක්‍රම.

කොහොම හරි මේ උපක්‍රම වලට මමත් රැවටුනා. ඔය විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් සංවිධානය කළ උද්ඝෝෂණ වලට පසුගිය වසර දෙකේම මාත් සහභාගී වුනා. මේ අර්බුදය විසඳීමට නිර්මාණශීලී, ප්‍රායෝගික, 21 වන සියවසට ගැලපෙන යෝජනා ඉදිරිපත් කළා. සතේකට ගණන් ගත්තේ නැහැ. ඔවුන් සමග සම්බන්ධ වෙන්න උත්සාහ කළ හැම අවස්ථාවකම ඔවුන් මග හැරියා. දැන් තමයි අවබෝධ වෙන්නේ. ලෝකයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ ඔවුන්ගේ සහචර ඉන්දියාව වැනි රටවල් රෙජීම් චේන්ජ් කරන ආකාරය හදාරනකොට මේ වෙන දේවල් තේරුම් ගන්න එච්චර අපහසු නැහැ.

අවසාන වශයෙන් භාවිතා කෙරෙන තවත් උපක්‍රමයක් කියන්නම්. ඒ තමයි මේ විදිහට සිදුවෙන දෙය Analyse කරන මිනිහට ගහනවා එක්කෝ බදුඋදීන්ගේ මිනිහෙක් කියලා. නැත්නම් ගහනවා රාජපක්ෂලගේ මිනිහෙක් කියලා. ඒකට නම් කමක් නැහැ. මොකද කාගේ මිනිහෙක් වුනත් උඩ ලියල තියෙන තාර්කික සත්‍යය වෙනස් වෙන්නේ නැති නිසා. තව ලියන්න බොහෝ දේ තිබෙනවා. මතුවට.

- එරන්ද ගිනිගේ



112 Viewers