• Home »
  • Sinhala News »
  • අදටත් මහා රෑට පිරිත් ඇසෙන සපුමල්ගස්කඩ බොදු බිමට අසිරිමල් වැස්සක්… මතක ඇති කාලෙකට පස්සේ උතුරේ චෛත්‍යයක් ප‍්‍රතිසංස්කරණය කෙරෙන පළමු අවස්ථාව…

අදටත් මහා රෑට පිරිත් ඇසෙන සපුමල්ගස්කඩ බොදු බිමට අසිරිමල් වැස්සක්… මතක ඇති කාලෙකට පස්සේ උතුරේ චෛත්‍යයක් ප‍්‍රතිසංස්කරණය කෙරෙන පළමු අවස්ථාව…

– දළදා වහන්සේ ද වැඩ සිටි බවට මතයක්…
– පුරාවිද්‍යා කැණීම්වලින් ප‍්‍රතිමා හතරක් සොයාගෙන…

බොදු සිත් පුබුදුවන සුවිශේෂී පුවතක් කනවැකිණි. ඒ සියවස් ගණනාවකට පසු උතුරේ බොදුබිමක පිහිටි පුරාණ ස්තූපයක් සංරක්‍ෂණය කිරීමේ වැඩ ඇරඹීමය. වවුනියා දිස්ත‍්‍රික්කයේ වවුනියාව උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිවයිතකල්ලූ 221 ඒ, ග‍්‍රාමසේවා වසමේ පෙරියකච්චිකුලම් වන සංරක්‍ෂණ කලාපයට අයත් ප‍්‍රදේශයේ පිහිටා ඇති සපුමල්ගස්කඩ පුරාවිද්‍යා භූමියේ ස්ථාපිතව ඇති ඉපැරැුණි චෛත්‍ය රාජයාණන් වහන්සේය. මේ උතුම් පින්කමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරාධිපති, ශාසන කීර්ති ශ‍්‍රී සද්ධර්මවාගීශ්වර පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේය. ස්තූපය සංරක්‍ෂණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ වන්නේ එළැඹෙන ඇසළ පුන් පොහෝ දිනයේය.

මේ පුවත කන වැකුණු මොහොතේ සිට නිරාමිස සතුටක් විඳිමින් සිටින්නේ  ‘සපුමල්ගස්කඩ බොදුබිම’ සොයාගෙන ටික කාලයකට පසු අප එම ස්ථානයට ගොස්, රැයක් පහන් කර එම බොදුබිමේ ඉතිහාසයත් ආශ්චර්ය තොරතුරුත් ඇතුළත් කොට 2019 ජූලි මස 14 වැනිදා ‘දඩයක්කරුවන් සලිත කරවන, මහා ?ට පිරිත් ඇසෙන සපුමල්ගස්කඩ බොදුබිම’ මැයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙ’හි ලිපියක් පළ කිරීමට සමත් වූ නිසාය.

එදා අප මේ ඉසව්වට යන විට සපුමල්ගස්කඩ බොදුබිම කොළ රොඩුවලින් වැසී තිබුණි. එහෙත් එම බොදුබිම පිහිටි ස්වාභාවික භූමිය ස්තර දෙකක් සේ සකසා ඇති ආකාරය වැසී ගිය කොළ රොඩු අතරින් පැහැදිළිව දර්ශනය විය. එය පිටමළුව සහ ඇතුළු මළුව ලෙස හඳුනාගත හැකි විය. ඇතුළු මළුවේ කැටයම් සහිත මුරගල්, කොරවක්ගල්, සඳකඩ පහණ දැකගත හැකි විය. ඒ බෞද්ධ ස්මාරක අතරින් ඇවිද ගිය අපි පියගැට පෙළ නැඟ නිධන් හොරු විසින් ගර්භය හරා හානි කර වූ සෑය අසල නතර වීමු. ගඩොල්වලින් නිර්මාණය කර ඇති ස්තූපය උසින් අඩි පහළොවකට වැඩි ප‍්‍රමාණයක් ශේෂ වී තිබිණි. සෑය අසලට යෑමට සිව් දෙසින් පියගැට පෙළ හතරකි. සෑය අසල සිට එම බොදුබිම වටා දෙනෙත් යොමු කළ විට ඈතින්, ඈතට නටබුන් වූ තවත් බෞද්ධ ස්මාරක රාශියක් ඇස ගැටිණි. ශිලා ලකුණු සහිත ගොඩනැඟිලි සාධක, පැරැුණි ගඩොල් සහ පැරැුණි පෙති උළු, වළං කැබිලි තැන, තැන විසිරි තිබිණි. ස්තූපය, පොහොය ගෙය සහ පිළිම ගෙය පැහැදිළිව හඳුනාගත හැකි මේ බොදුබිම මෙරට තපෝවන ආරාම සම්ප‍්‍රදායට අයත් පබ්බතාරාම සිද්ධස්ථානයක් බවට ද හඳුනාගෙන තිබේ. එමෙන්ම ක‍්‍රි. ව. 1- 3 සියවස්වල මුල් ඓතිහාසික යුගයට අයත් නටබුන් සහිත සුවිශේෂී බොදුබිමක් බවද ඉතිහාසයේ සඳහන්ව වේ. එමෙන්ම

සපුමල්ගස්කඩ බොදුබිමේ ආරාමික පරිශ‍්‍රයේ නටබුන් විසිර පවතින ප‍්‍රදේශය වර්ග මීටර් 22500 ක් පමණ වේ. එම බොදුබිම වටා දිය අඟලක් තිබූ බවට ද සාධක හමු වී තිබේ. එම දිය අගලට ජලය ගලාවිත් ඇත්තේ සපුමල්ගස්කඩ බොදුබිම කෙළවරේ පිහිටි සමනළ වැවෙනි. දිය පිරුණු විශාල වැවකි. එම වැව දෙමළ ව්‍යහාරයේ හඳුන්වනු ලබන්නේ චමලන්කුලම වැව යනුවෙනි.

එදින එම පින්බිමේ රැය පහන් කිරීමට පොල්අතු මඩුවක් තරමේ නිවහනක් අපට නොතිබිණි. අප සියලූදෙනාගේ නවාතැන්පොළ වූයේ බොදුබිම මත පිහිටි කුඩා ගල් පොත්තය. එදින සඳ එළියෙන් මුළු කැලයම ආලෝකවත් වූ අසිරිමත් රාත‍්‍රියකි. දැල් වූ ගිනි මැලයේ උණුසුම නොවෙන්නට බොදුබිම ඉහත්තෑවේ සමනළ වැව දෙසින් ගලන සීතල දරාගැනීමට නොහැකි වන තරම්ය. සපුමල්ගස්කඩ රජමහා විහාරාධිපති ගල්ගමුවේ ශන්ත බෝධි හාමුදුරුවන් වැඩහිඳීමට පුංචි කුටියක් එම පින්බිමේ ස්ථාපිතව තිබුණ ද එදින උන්වහන්සේ අප සමඟ නිදිවර්ජිතව රෑ පහන් කළහ. වව්නියාව බෝගස්වැව ගමේ පුරාවෘතයක් බඳු ජයකොඩි මාමා ද බොදුබිමේ අසිරිමත් විත්ති කියන්නට අප සමඟ රෑ පහන් කළේය. ගල්පොත්ත මත කුඩා අසුනක් මතට බර තබා සිටි ශන්ත බෝධි හාමුදුරුවෝ සපුමල්ගස්කඩ බොදුබිමේ කථිකාවට ප‍්‍රවේශය ලබාගත් හැටි දැනුදු මට මැවී පෙනේ. නිහැඬියාව බිඳිමින් උන්වහන්සේගේ මුවින් නැඟුණු වචන දැනුදු මගේ දෙසවනේ දෝංකාර දෙන්නේය.


‘‘මේ පින්බිමේ දළදා වහන්සේ වැඩ සිටි බවට ජනප‍්‍රවාදයක් තියෙනවා. ඒ කතාව සත්‍යයක් වෙන්න ඕනෑ. අදටත් මේ සෑය දෙසින් මහා ?ට පිරිත් ඇහෙනවා. දේවතා එළි පාත් වෙනවා. මේ සෑය තුළ අදටත් ධාතූන් වහන්සේලා වැඩසිටින බව මට විශ්වාසයි. අද මම මෙතැන රෑ පහන් කරන්න හිතාගත්තෙ මහත්තෙලාටත් පිරිත් ඇහෙයි කියන විශ්වාසයට…’’ එදින රාත‍්‍රිය පුරාවට ගිනිමැලය බුර, බුරා ඉහළට නැෙඟමින් තිිබිණි. සඳ එළිය මුළු කැලයම ආලෝකවත් කර තිබිණි. සපුමල්ගස්කඩ බොදුබිමේ මැවෙන ආශ්චර්යය දෑහින් දැක, දෙසවනින් ඇසීමේ ප‍්‍රාර්ථනාව පෙරදැරිව අපි සියලූ දෙනා පසු වීමු. ජයකොඩි මාමා ගිනිමැලයට දර කැබැලි කිහිපයක් එකතු කර අප අසළටවිත් ගල මතට බර තැබුවේය. ‘කොටි, වලස්සු වගේම අලියත් එන්න පුලූවන්. මහත්තෙලා බය වෙන්න එපා… උන්ගෙන් අපිට හිරිහැරයක් නෑ…’ ජයකොඩි මාමාගේ ඒ කතාවට නම් මගෙ සිතේ්  තැතිගැන්මක් ඇති විය. එහෙත් එවැනි ආශ්චර්යමත් බොදුබිමක, ස්වාමින් වහන්සේ නමක් වැඩහිඳින අතරේ, වනසතුන්ගෙන් කිසිදු හිරිහැරයක් නොවන බව මගේ සිත කීවේය.

‘‘මහත්තෙලාට කියන්න මේ කැලෑවේ හරියට සත්තු දඩයම් කරනවා. දඩයම වෘත්තිය කරගත් මිනිස්සු මේ අසල්වැසිගම්වල ජීවත් වෙනවා. ඒත් මහත්තයො ඔය කිසිම දඩයක්කාරයකුට මේ ඉසව්වේ රෑකට ඉන්න බෑ. මහ බිහිසුණු ශබ්ද ඇහෙනවලූ. කැලෑ රොදවල් අතරින් මතු වෙන ලොකු අත්වලින් තල්ලූ කරනවලූ. ඒ නිසා අපි දන්න කාලේ ඉඳලා මේ ඉසව්වට දඩයක්කරුවො එන්නෙ නෑ. මේ හරියේ සත්තු ගැවසෙනව වැඩියි. වලස්සු හරියට ඉන්නවා. මේ මෑතක දවසක වළහෙක්ව මද්දකට අහුවෙලා, ඌගේ කෑගැහිල්ලට තවත් වලස්සු පහළොවක් විතර එතැනට ඇවිත් ඉන්නවා අපේ ගමේ කොල්ලෙක් දැකලා. ඒ කොල්ලො බයේ දුවලා. මම මේ පූජාභූමියට ආපු ගොඩක් දවස්වලට අලින්ව දැකලා තියෙනවා. කොටියා මුණගැහෙනවා. මුව රංචු, ගෝන්නු නිතරම මුණගැහෙනවා. ඒ සත්තුන්ගෙන් අපිට කිසිම හිරිහැරයක් නෑ. පාඩුවේ අපි වැඳුම් පිදුම් කරගෙන ගියා…‘’ ජයකොඩි මාමාගේ හඬ විරාමයකට නතර විය. රැුහැයියන්ගෙ ඇඬියාව, කණාමැදිරින්ගේ කෙඳිරිය නොඇසෙන්නට ඒ පින්බිමෙන් කිසිදු හඬක් මතු නොවිණි. එතරම්ම පින්බිම නිහඬය. සමනළ වැව දෙසින් හමා එන සිසිල් සුළං රැුළි ගිනි මැලයේ උණුසුම බිඳගෙන ගත සිත සීත සළුවකින් පොරවපු අවස්ථා ද තිබිණි. එදින රාත‍්‍රියේ සීතල එතරම් දැඩිය.

‘‘1980 අවුරුද්දට පෙර අපේ ගමේ සිංහල පවුල් තිස් දෙකක් හිටියා. ඒ කාලේ ඉඳලා අපේ මිනිස්සු කැලේ පන්සල කියලා මෙතැනට ආවා. එතකොට මම තරුණ වයසෙ. කොලූකමට අපි දවසගානෙ මෙතැනට එනවා. කවුරු අතු ගානවද දන්නෙ නෑ. චෛත්‍යය වටා වැලි මළුව හොඳට අතුගලා තියෙනවා. ඒ වගේම මෙතැන රෑකට තනියෙන් වුණත් ඉන්න පුළුවන්. කිසිම ගුප්ත බවක් දැනෙන්නෙ නෑ. හොඳ ආලෝකයක් තියෙනවා. මෙතැන ඉන්නකොට වේලාව ගත වෙනවා තේරෙන්නෙත් නෑ…’’ ජයකොඩි මාමාට වයස අවුරුදු හැත්තෑවකි. බෝගස්වැව ගමේ දැනමුත්තෙකි. ගොවිකම රජකම සේ සැලකූ ඔහු ප‍්‍රදේශයේ ගොවි රජෙකි.

‘‘මේ බොදුබිමේ පිළිම ගෙය ආසන්නයේ තිබිලා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් සහ කවන්ධ හිටි පිළිමයක් සොයාගෙන තියෙනවා. අදටත් ඒ පිළිම වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. නිධන් හොරු මේ බිමේ ගොඩක් තැන් හාරලා. තැන, තැන වළවල්. මේ ගමේ මිනිස්සු තමයි මේ සිද්ධස්ථානය දියුණු කරන්න මූලිකත්වය අරගෙන මාවත් හවුල් කරගත්තෙ. දැන් අපි දායක සභාවකුත් පිහිටුවලා තියෙන්නෙ. පොඩි කුටියක් හදලා හාමුදුරුනමකුත් වැඩ ඉන්නවා…’’ සන්තබෝධි හාමුදුරුවො උතුරේ බොදු උරුමය සුරක්‍ෂිත කරගැනීමට දිවිහිමියෙන් කැප වී සිටින තරුණ හිමිනමකි. සපුමල්ගස්කඩ විහාරාධිපති වහන්සේ ලෙස වැඩසිටින උන්වහන්සේ ප‍්‍රදේශයේ උතුරු පළාතේ සිංහල දරු දැරියන්ගේ නැණපහන් දැල්වීමට ද උපරිමව වෙහෙසන්නාහ.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ විවිධ ප‍්‍රදේශවල ප‍්‍රාග් ඓතිහාසික අවධියේ සිට මානව ජනාවාස පැවති බවට සාධක හමු වී තිබේ. ඒරුපොතාන, සෙට්ටිකුලම යන ප‍්‍රදේශවල ගල් ලෙන් බොහොමයක ප‍්‍රාග් ඓතිහාසික මානව ක‍්‍රියාකාරකම් සිදු වී ඇති බව දැකගත හැකිය. මාමඩුව, පාවක්කුලම යන ප‍්‍රදේශවල මූල ඓතිහාසික යුගයට අයත් මෙගලිතික් සොහොන් බිමක්ද හමු වී තිබේ. එමෙන්ම වැව කේන්ද්‍ර කරගත් වියළි කලාපීය ජනාවාස පිළිබඳ සාධක මේ ප‍්‍රදේශයේ බහුලව පවතී. ඒ ආශ‍්‍රිතව ආරාමික ස්ථාන ද විශාල වශයෙන් තිබූ බවට සාධක හමු වී ඇත. සපුමල්ගස්කඩ මේ සිද්ධස්ථානය ඇතුළුව ඒරුපොතාන, සෙට්ටිකුලම, රුවන්මඩුව ආරාමික සිද්ධස්ථාන ඊට නිදසුන්ය. එමෙන්ම ක‍්‍රි. පූ. 2 වැනි සියවසේ දුටුගැමුණු රජුගේ සෙන්පතියකු වූ නන්දිමිත‍්‍රගේ නම සඳහන් සෙල්ලිපි බොහෝමයක් ද හමු වී තිබේ. තෝනිගල ශිලා ලිපියට අනුව මෙම ප‍්‍රදේශය ‘උතරපස’ යනුවෙන් හඳුන්වා ඇත. වසභ සහ පළමුවැනි ගජබාහු යන රජවරුන්ගේ ශිලා ලේඛන අනුව ද, ගොඩනැඟිලි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ අනුව ද, ක‍්‍රි. ව. 10 වැනි සියවස දක්වා මේ ප‍්‍රදේශය අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගත් පාලනයක් පැවති බවට ද සාධක හමු වී තිබේ. ක‍්‍රි. ව. 10 වැනි සියවසෙන් පසුව ඇති වූ චෝල ආක‍්‍රමණයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ප‍්‍රදේශවල හින්දු බලය ව්‍යාප්ත වූ බව ආරාමික භූමීන් තුළ හින්දු ශිව දේවාල ඉදිවීමෙන් පැහැදිළි වේ. එමෙන්ම ක‍්‍රි. ව. 4 වැනි සියවසේ සිට ක‍්‍රි. ව. 10 වැනි සියවස දක්වා පැවති අනුරාධපුර රාජධානියේ ආධිපත්‍යය මෙම ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ද බලපා ඇත. එහෙත් පොලොන්නරු රාජධානි සමයේදී මෙම ප‍්‍රදේශ පිළිබඳ රාජ්‍ය අනුග‍්‍රහය සහ අවධානය ගිලිහී ගොස් ඇත. ඒ සමයේ මේ ප‍්‍රදේශය පිළිබඳ සඳහන් එකම ස්ථානය වනුයේ මාමඩුව වැව අසලින් හමු වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ පුවරු ලිපිය පමණි. ඒ මාමඩුව වැව ප‍්‍රතිසංස්කරණය කළ බවට දැක්වෙන ලිපියකි.

කාලයෙන්, කාලයට පැමිණි විවිධ සතුරු ආක‍්‍රමණ සමඟ මේ ප‍්‍රදේශවල පැවති වැව් අමුණු කැඞී බිඳී විනාශ වී යැපුම් මාර්ග අවහිර වී, විවිධ වසංගත පැතිර යෑමත් හේතුවෙන් මෙම ප‍්‍රදේශ ජනශූන්‍ය බවට පත් විය. ඒ සමඟ බෞද්ධ සිද්ධස්ථාන මහා කැලෑවට වැසී ගියහ. එමෙන්ම වසර තිහකට වැඩි කාලයක් පැවති ත‍්‍රස්තවාදී යුද්ධයෙන් ද මේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ අවධානය ගිලිහී ගියහ. නැවත මේ පුරාවිද්‍යා ස්ථාන ගැන සොයාබැලීම ආරම්භ කරනු ලැබුවේ 2009 ත‍්‍රස්තවාදී යුද්ධයේ අවසානයත් සමඟය. එම ප‍්‍රදේශ තුළදී පුරාවිද්‍යා නිලධාරීන් විසින් සොයාගන්නා ලද බොහෝ සිද්ධස්ථාන නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට නතුව විනාශ වී ගොස්ය. මේ උදා වී ඇත්තේ උතුර, නැගෙනහිර භූමියේදී අපේ උරුමය නැවත ප‍්‍රතිස්ථාපනය කරන කාලයයි. ඒ පුණ්‍යකර්මය ආරම්භ වූයේ බෝගස්වැව සපුමල්ගස්කඩ ඉපැරැුණි රජමහා විහාරයෙනි. ඒ සුබ ආරංචිය කනවැකුණු හැටියේ නැවත අපි වවුනියා සපුමල්ගස්කඩ රජමහා විහාරයට ගියෙමු. එදා කොළ රොඩුවලින් වැසී තිබූ ඒ බොදුබිම දියුණු වී ඇති ආකාරය දුටු විට මගේ සිතේ හටගත් සතුට කියා නිම කළ නොහැක. මෙතරම් ඉක්මණට මේ පින්බිම සංවර්ධනය කිරීමට අපරිමිත කැප කිරීම් කරන ශන්තබෝධි හාමුදුරුවන්ට දණ නමස්කාර කළෙමු.

‘‘මම මුලින්ම මේ පුරාවිද්‍යා ස්ථානයට පැමිණියේ මීට වසර කිහිපයකට පෙර. ඒ ඇවිත් ගමේ දායකයන් එකතු කරගෙන පුංචි කුටියක් හදාගෙන වැඩ වාසය කළා. ඊට ටික කාලයකට පස්සෙ තමයි ඔබතුමාලා මේ ස්ථානයට ඇවිත් ගිහින් ඉරිදා දිවයින පුවත්පතේ සපුමල්ගස්කඩ බොදුබිම ගැන ලිපියක් පළ කළේ. ඒ ලිපිය පළවීමත් එක්ක මේ ස්ථානයට පුදුමාකාර ප‍්‍රසිද්ධියක් ලැබුණා. මේ බොදුබිම ප‍්‍රතිසංස්කරණ කරන්න විවිධ පරිත්‍යාග ලබාදීමට දෙස් විදෙස් විශාල පිරිසක් මට කතා කළා. ඒ වගේම විවිධාකාර ආධාර ලැබුණා. මේ පින්බිමට බුදු පිළිමයක් වැඩැම්මුවා. රන්පත් බෝධියක් වඩම්මවා ගැනීමට අපිට පුළුවන් වුණා. භික්‍ෂූන් වහන්සේලාට වැඩ සිටීමට වගේම කැණීම් කටයුතුවල නියැළෙන පුරාවිද්‍යා නිලධාරීන්ට ඉන්න තාවකාලික ගොඩනැඟිලි කිහිපයක් හදාගෙන තියෙනවා. පොල්අතුවලින් පොඩි මුළුතැන් ගෙයක් සහ තාවකාලික දානශාලාවක් හදාගැනීමට අපිට පුළුවන් වුණා. ඒ වගේම මේ පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් කටයුතු තවමත් සිද්ධ වෙනවා. ඒ කැණීම් කටයුතුවලදී තවත් බෝධිසත්ව ප‍්‍රතිමාවක්, බුදු පිළිම වහන්සේගේ සිරස නිරුපද්‍රිතව සොයාගෙන තියෙනවා. ඊට අමතරව තාරා දෙවඟනගේ ප‍්‍රතිමාවක් සොයාගෙන තියෙනවා. තව නොබෝ දිනකින් පුරාවිද්‍යා කැණීම් කටයුතු අවසාන වෙනවා. ඇසළ පෝය දවසෙ චෛත්‍යයේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කරනවා. අපි මේ කටයුතු කරගෙන යන්නෙ රජයේ මුදල්වලින් නෙමෙයි. පින්වත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාරවලින්. මේ පින්බිමේ සංරක්‍ෂණ කටයුතු කරගෙන යෑමට තවදුරටත් අපට දායක ඔබගේ ආධාර උපකාර අවශ්‍ය බව සිහිපත් කරනවා. ඒ වගේම උතුරේ බෞද්ධ උරුමය සුරක්‍ෂිත කරගැනීමට අපිට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය අරගෙන අපේ උරුමය ආරක්‍ෂා කරගැනීමට අපි කරගෙන යන ව්‍යායාමයට දෙස්, විදෙස් බෞද්ධ ජනතාවගෙන් හැකි පමණින් සහාය වන්න කියා ඉල්ලා සිටිනවා…’’

හෙළ සිංහල ලේ ධාතුවෙන් පැවත එන බෞද්ධයන් එකතු වූ විට ‘සපුමල්ගස්කඩ බොදු බිම’ පමණක් නොව මුළුමහත් උතුර, නැගෙනහිර දෙපළාතේම ශ‍්‍රද්ධාවෙන් දෝවනය වූ අපේ පුදබිම් සංවර්ධනය කළ හැකිය. අවශ්‍ය ජාතියේ එකමුතුකම සහ මුරදේවතාවුන්ගේ ආශිර්වාදය පමණි. එහෙයින් වන සතුන් ගහන මහ කැලය මැදින් ගොස් වනඅරණ මැද පිරිත් ඇසෙන සෑය වන්දනා කරගෙන, ඒ පිං බිම පුරා ඈත, මෑත විසිරුණු බෞද්ධ ස්මාරක දෑසින් දැක බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුක්ත සිතින් ‘සපුමල්ගස්කඩ රජමහා විහාරය’ නැවත පිළිසකර කිරීමට දායක වන ලෙසට ඔබට අපි මතක් කර සිටිමු…

තරංග රත්නවීර



40 Viewers