අනුර සහ ආණ්ඩුව ඉල්ලා අස් විය යුතුයි..!!!
අනුර කුමාර දිසානායකගෙ ” L” බෝර්ඩ් ආණ්ඩුව සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව අතර ගිවිසුම් 07 ක් අත්සන් කර අදට දින 62 කි.
2025 අප්‍රේල් 05 වෙනි දින නරේන්ද්‍ර මෝදිගෙ ශ්‍රී ලංකාවෙ සංචාරය ඇතුලත අත්සන් කරපු මේ ගිවිසුම් වල අන්තර්ගතය මොනවාද යන්න තවමත් අභිරහසක්ය..
අවසානයේ දි මේ ගිවිසුම්වල ඇත්තේ මොනවා දැයි දැනගැනීමට මේ රටේ ජනතාවට අධිකරණයෙ පිහිට පැතීමට සිදුව ඇත. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක විලිලැජ්ජා සහගත කාරණයකි.
ඉන්දියාව සමග ඇතිකරගත් මෙම ගිවිසුම් වල තියෙන්නෙ අනුර කුමාර දිසානායකගෙ තඹුත්තේගම හරක් පට්ටියට බලපාන තීන්දු තීරණනම් අපට එය ගැටළුවක් නැත.
එහෙත් මේ ගිවිසුම් වල ඇත්තෙ..
🔴 01. විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම.
🔴 02- ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම.
🔴 03- ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම.
🔴 04- -ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
🔴 05- ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම.
🔴 06- ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම.
🔴 07- නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම.
මෙම ගිවිසුම්වල තියෙන්නෙ රාජ්‍යයක භූමිය, රාජ්‍යයෙ ජනතාව සහ රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හේතුවන වගන්තිය. රටක භූමිය, ජනතාව, භෞමික අඛණ්ඩතාවය අනුරට ඕන ඕන විදියට වෙන්දේසි කිරීමට ජනතාව ඔහුට බලයක් දී නැත..
මේ රටේ ජනතාව අනුරට සහ ආණ්ඩුවට දී ඇත්තෙ යම් නිශ්චිත කාලසීමාවක් වෙනුවෙන් තමන්ගෙ ස්වාධිපත්‍යය බලයයි. මිලියන 22 ක් වූ ජනතාවට සෘජූව රාජ්‍ය පාලනයට සම්බන්ධ විය නොහැකි බැවින් නිශ්චිත කාලසීමාවක් වෙනුවෙන් රාජ්‍යය වෙනුවෙන් තීරණ ගැනීමෙ බලයයි. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වනවා.
ජනතාව අනුර සහ ආණ්ඩුවට අවුරුදු 05 කට පැවරූ බලය තුළ ඔවුන්ට තවත් රාජ්‍යයක් සහ ගිවිසුම්ගත වීම අපට අභියෝගයට ලක් කල නොහැකි වුවත් ඒ ගිවිසුම් වල අන්තර්ගතය පිළිබඳව දැනගැනීමට හැකි රටේ ජනතාවට යුක්ති ධර්මයෙ අයිතියක් ඇත.
ජනතාව කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයවත් රටේ නීති සම්පාදනය කරන ව්‍යවස්දායක සභාව වන පාර්ලිමේන්තුවෙ මහජන නියෝජිතයන්වත් මේ ගිවිසුම් වල අන්තර්ගතය දන්නෙ නැත
◾ මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡා සහ දේශපාලන විවාද වලදි ප්‍රශ්ණ කරන විට ” නෑ අපි දෙන්නෙම නෑ. අපි කියන්නෙම නෑ ” කියන මට්ටමට අනුරගෙ ආණ්ඩුවෙ මැති ඇමතිවරුන් උද්දච්ච විය.
◾ විපක්ෂය පාර්ලිමේන්තුවේදි මේ පිළිබඳව විමසන විට කියන්නෙ “තොරතුරු දැන ගැනීමේ පනත යටතෙ විස්තර ලබා ගන්න” යන මං පොර න්‍යායෙ උත්තරයි.
මාගේ දැනුමෙ හැටියට රාජ්‍යයන් දෙකක් අතර ඇති ගිවිසුමක තොරතුරු ලබා දීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නොහැකිය.
◾ එසේත් නොමැති නම් පාර්ලිමේන්තුවෙ මේ පිළිබඳව විමසන සෑම විටකම උත්තර දීමට දින නියමයක් නොමැතිව කල් ඉල්ලයි. මෙය අතිශය ඛේදනීය තත්වයකි.
◾ රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් මේ පිළිබඳව විමසා සිටින විට ඔහු පවසන්නෙ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බවයි.
අවසානයේදී මේ රටේ ජනතාවට එම ගිවිසුමවල අන්තර්ගතය දැනගැනීමට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. වසර 76 ක පාදඩ දේශපාලන සංස්කෘතිය නිම කරනවා යැයි බලයට පැමිණි අනුරගේ ආණ්ඩුව ලෝකයට දෙන ආදර්ශය මෙයද…? දෙනවා යැයි කියූ සදාචාරාත්මක දේශපාලන සංස්කෘතිමය වෙනස මෙයද…?
🔴 දි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
➡️ මෙම පෙත්සමෙන් කියා සිටින්නේ, අප්‍රේල් 05 වෙනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.
➡️ මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
➡️ මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කරනවා..
➡️ මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
කිසිම සරණක් නැතුව අධිකරණයෙ පිහිට පැතූ ජනතාවටද රජයෙ නියෝජිතයන් වූ නීතිපති දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් මෙම පෙත්සමට විරෝධතා මතුකර තිබෙනවා.
අනුරගෙ ආණ්ඩුව මේ ගිවිසුම්වල අන්තර්ගතය ජනතාවගෙන් වසන් කරන්නේ ඇයි..? එයින් ගම්‍ය වන්නෙ එම ගිවිසුම් මෙරටට අහිතකර ගිවිසුම් බව නොවේද…?
කන්ටේනර් 323 ක් රේගුවෙන් පිට කිරීමෙ ප්‍රශ්නයෙන් කරවටක් ගිලී ඇති අනුරගෙ ආණ්ඩුව මෙම ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නයේදී නහයටත් උඩින් වතුර ගොස් ඇත.
සදාචාරසම්පන්න බව බිංදුවක් හෝ ඇත්නම් අනුරගෙ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය. මෙම ගිවිසුම් රටට හෙලි නොකිරීම පමණක් වුවත් එයට හොඳටම ප්‍රමාණවත්ය.
නිලන්ත සත්සර ගමගේ ✍️
10 Viewers