• Home »
  • Sinhala »
  • අපේ ඩී කණ්ඩායම පුනරීන් වලට

අපේ ඩී කණ්ඩායම පුනරීන් වලට

මෙි සිදුවීම වෙන්නෙ නච්චිකුඩා පහුකරල ලයින් එකේ යද්දි.  හොඳටම වැහි කාලෙ. අපි යන එන පාරෙත් අඩි හතරක් පහක් උසට වතුර මට්ටම නැගල තිබුනා. අපේ යුනිට් එක වගේම 11ගැහෙබ 11 ශ්‍රිලපාහ ඒකක කෑලිවලට කැඩිල තිබුනෙ. හේතුව වතුර නිසා. වැස්ස වැටුනු මුල් දවස් කීපයෙ ක්‍රියාන්විතයත් මන්දගාමී ලෙස  මුලින් මුලින් කරාගන ගියත් ප්‍රදේශය සහ ප්‍රධාන සැපයුම් මාර්ග ජලයෙන් යටවීම නිසා සම්පූර්ණයෙන්ම ඇන හිටියා.

අප් හිතුවට වඩා වැස්ස දරුණු වුනා. ගොඩක් පහත් බිම් ප්‍රදේශ මහා ජලාශ බවට පත්වෙමින් තිබුනා. අඩුම ගානෙ අපේ කණ්ඩායම්වල ඉදිරිපෙල සටන් කරුවන්ට ආහාර පවා ලබාදීමෙි ප්‍රධාන ගැටලුවට අපේ ඒකකය පවා මුහුන දුන්නු ප්‍රධාන ගැටලුවක් වුනා. බීමට පිරිසිදු ජලය ලබාගැනීම අන්තිම අමාරුවුනා. නමුත් මෙි ගැටලුවලට මුහුන දීමෙිදී වත්මන් හමුදාපතිගේ දැක්ම සහ එන ඔිනම ගැටලුවකට මුහුන දීමෙි ශක්තිය අපි හිතුවට වඩා සෑහෙන ඉදිරියෙන් තිබුනේ. දවස් දෙකක් යද්දි අපිට මදි නොකියන්න ඒ සෑම දෙයක්ම ලැබුනා. අපිට දැඩි විශ්වාසයක් තිබුනා එතුමා, බළසේනාධිපති වරුන් සහ අපගේ අණදෙන නිළධාරී තුමා ගැන. අපිට අත්‍යවශ්‍ය දේවල් ඔිනෑවට වඩා ලැබුනත් ඒවා ඉදිරිපෙලට සැපයීමෙි තවත් ගැටලුවක් තිබුනා. අපි හිටපු හරියත් වතුරෙන් යටවුනු නිසා අපිව මූලස්ථානයට කැඳවනු ලැබුවා. ඒ අපි ටිකක් ලඟින් හිටපු නිසා. ඒ පාරවල් හදල තිබුනෙ අපේම ඩෝසර් වලින් පස් ගොඩ කරල. ඒ වත් අලුත් පාරවල් නිසා “එරෙන” ගතියක් තිබුනා.

මෙි මඩ සහ වතුර අස්සේත් මහ වැසිවලදිත් අපි හොඳටම අසරණ වුනා.

අපේ ඩී කණ්ඩායම පුනරීන් වලට ටිකක් මෙහා මුහුද අයිනෙන් තමා ස්ථාන ගතවෙලා හිටියෙ.ඩී කණ්ඩායමෙි භඨ පිරිස් මුහුද අයිනෙන් තමා ඉදිරියට ඇදුනෙ.වැස්සත් එක්ක එයාලට අන්තිමට හිටපු තැන නවතින්න සිද්ධවුනා.

මෙි අයට ආහාර හා ජලය සැපයීම සඳහා නාවික හමුදාවෙන් බෝට්ටු සේවයක් පවත්වාගෙන ගියත් භූමියේ තිබූ බාධක නිසා එසේ ආ බෝට්ටු දෙකක් කලපු⁣ව කොටසේදී පෙරලීගිය බවක් ආරංචි වුනත් එයාලට වුනු හානියක් ගැන අපිට හරි අවබෝධයක් තිබුනෙ නෑ. දැනගන්න ලැබුනෙත් නෑ. අපේ ඩී කණ්ඩායමට මෙි කියන දවසේ උදේ ආහාරයේ සිට ප්‍රධාන වෙිල් තුනක් මගහැරී තිබුනා. ඒක ලොකු ගැටලුවක් වුනත් පිරිසිදු ජලය නොමැතිවීම ඊටත් එහා ගියපු ලොකු ගැටලුවක් වුනා. සමහරු තල්ගස්වල,සමහරු කොහොඹ ගස්වල තවත් සමහරු එක එක ගස්වල සහ ටික දෙනෙක් වතුරෙන් යටවීමට ඔන්න මෙන්න තිබූ ගොඩබිමක් වූ කුඩා භූමියක කොටුවෙලා හිටියා. මෙි මොන ගැටලුව තිබුනත් ස්ථානගතවුනු භඨ පිරිස් කිසි ලෙසකින්වත් පස්සට ගන්නෙ නෑ.කොහොම හරි අත්‍යවශ්‍ය දේවල් ලඟට සපයා දෙනවා මිසක්.

ඒ තීරණ සහ තත්ත්ව එසේ වෙද්දි එදින සවස පහ වෙනකොට ඩී කණ්ඩායමෙි ගුවන්විදුලි සම්බන්ධ තාවයන් සම්පූර්ණයෙන්ම ඇණ හිටියා. එතනින් එහාට ඒ භඨ පිරිස් සම්බන්ධ කරගැනීමට කොතෙක් උත්සාහ කලත් බැරිවුනා.

අපිව සී කණ්ඩායමට එදින දහවල් අනුයුක්ත කර තිබුනත්  නැවත සවස හය වෙනකොට පණ්විඩයක් ආවා මගේ ටීම් එකටත් තව ටීම් දෙකකටත් මූලස්ථානය වෙත එන්න කියල.

අපි ඒ සැනින් මූලස්ථානයට ඇවිත් වෙන්නෙ මොකද්ද කියල බලාගෙන හිටියා. ඒ වෙනකොට අපි වතුරේ සිටි කාලය තුල වුනු විපිරියාසයක් හේතු කොට ගෙන යටි පතුල් ඉදිමෙන ගතියක් තිබුනා. දැනටමත් ඇඟිලිකරු සවුත්තු වී තිබුනෙ. අපි පස්සට ඇවිත් කකුල් සහ බූට් සපත්තු පිරිසිදු කරගෙන  කෝවිලක් ඇතුලට වෙලා හිටියෙ.

ඉතින් අපි රෑ කෑමත් කාල ඔිනම අවස්ථාවකට මුහුන දීමෙි අරමුණෙන් ටිකක් බිම ඇලවෙලා හිටියා. අපේ ඇඳුම් හැම එකක්ම තෙතබරි වෙලා තිබුනෙ.

හරියටම රෑ එකොලහට විතර පණිවිඩයක් ආවා මටත් තව තුන්දෙනෙකුටත් ඇවිත් වහාම උපානි තුමා හමුවෙන්න කියල.

අපි යන්තම් වතුර හිඳිල තිබුනු යුනිෆෝම් එක තෙත පිටින්ම සීතලේ ගැහි ගැහි දාගෙන ගිහින් එතුමා හමුවුනා.

*ආරච්චි ලොකු වැඩක් තියෙනව කරන්න.

*මොකද්ද සර්.

*ඩෙල්ටා එකට වතුරයි කෑමයි අරන් යන්න ඔින.මාත් එනව ඔිගොල්ලොත් එක්ක යන්න.
ලෑස්තිවෙලා එන්න.යුනිෆෝම් යන්න බෑ.ශෝටක් දාගෙන එන්න. කලපුවෙ වතුර පිරිල තියෙන්නෙ වතුරෙ යන්න වෙන්නෙ.

එක ගලවල ශෝටක් සහ  ටීශර්ට් එකක් දාගෙන මගේ බඩියත් තවත් පස්දෙනෙකුත් ගමනට එකතු කරගෙන ආව.

අපේ ට්‍රක් එක ඒ වෙනකොට දුවන්න බැරි තත්වෙක තිබුනෙ. ස්ටාර්ට් වෙන්නෙ නෑ. ඒක හෙට උදේට තමා හදන්නෙ. ඒ වෙනුවට අපිට බළසේනාවෙන් ට්‍රක් එකක් ලබාදී තිබුනත් මෙි වෙන කොට ඒක ඇවිත් තිබුනෙ නෑ. අපි ඒක එනකං පකිස්ථාන් රෙෂන් පැකට් සහ වතුර බෝතල් ගුවන් විදුලි යන්ත්‍රවලට බැටරි,අලුත් ගුවන් විදුලි යන්ත්‍ර දෙකක් ලෑස්ති කරගත්තා. තව අඩුපාඩු තිබුනු ඒවත් සූදානම් කර ගත්තා. එකොලහ හමාර දොලහ වෙද්දි ට්‍රක් එක ආව.

උපානි තුමා ට්‍රක් එකේ කන්ඩිෂන් එක ගැන විස්තු ඇහුවා. එක හෙඩ් ලයිට් එකයි වැඩ.ඒ මදිවට තල්ලු ස්ටාර්ට්. හැබැයි ලොරිය ටිකක් උසයි.

උපානි තුමා කිව්වා කමක් නෑ.වෙලාවෙ හැටියට මෙිකෙන් කොහොම හරි ගේම ගොඩ දාමු නැත්තං අරුංට බඩගින්නෙ තමා හෙටත් ඉන්න වෙන්නෙ කියල.මම ඒ වෙලාවෙත් සර්ට කිව්වා මෙිව ආතල් වැඩ සර් කොහොම හරි ගේම ගහමු..කියල.

අපි බඩු පැටෙව්වා..

කියන්න අමතක වුනා. අපි පටවපු වතුර බෝතල් අස්සෙ මං දැක්ක එකක ලේබලයක අකුරු වගයක් ලියල තියෙනව. මං ඒක අතට අරං බැලුවා.
තිබුනු නමනං මතක නෑ.

හය වසර ඒ,බප/ගම්/ පස්යාල මධ්‍යමහා විද්‍යාලය, .(මගේ ගම කිට්ටුව ඉස්කෝලයක්)
යටින් ලියල තිබුනා සියළුම රණවිරුවන්ට බුදු සරණයි කියල.

මං ඒ බෝතලය ලොරිය ඉස්සරහින් දා ගත්තෙ.

අපි බඩුටික පටවල ලොරියෙ පස්සට නැග්ග.
නැගල අපේ “වෝටර් වර්ල්ඩ්” ක්‍රියාන්විතයේ පළවෙනි අධියරය ආරම්භ කලා.
මෙහෙම ලිස්ස ලිස්ස වලවල්වල වැටිවැටී කෙලින් පාරෙ ගිහින් ලොරිය වම් පැත්තට තියෙන පාරකට දැම්මා.දාල මීටර් සීයක් විතර යනකොට පාර වතුරට යටවෙලා. මෙි වෙනකොට ධාරානිපාත වරුසාව.ඒ වැස්ස පටන් ගත්තෙ හතට අටට විතර. නොකඩවාම වහිනව ඒ වෙලාවෙ ඉඳන්ම. වැස්ස කියන්නෙ සෙබළට ආශිර්වාදයක්.මොකද දාඩිය නැතුව සීතලේ ඉන්න පුලුවන්නෙ
ලොරිය නැවැත්තුව.අපි සියලුම දෙනා බැහැ ගත්තා.
මෙි පාරෙන්  තමා යන්න වෙන්නෙ.මොකද කරන්නෙ.
යමු සර්.අපි එක හඬින් කිව්වා.
උපානි තුමා රියැදුරාට කිව්වා කිසිම හේතුවකට ඇන්ජිම ස්ලෝ කරන්න එපා.පුලුවන් ආකාරයට හිමිට හිමිට යමු කියල.

රියැදුරත් ඔිකේ…අපිත් ඔිකේ.උපානි තුමත් ඔිකේ. එතුම යුනිෆෝම් කලිසමට යටින් ශෝටක් ඇඳල තිබුනෙ.එතුමත් කලිසම ගලවල ශෝට පිටින් අපිත් එක්ක වතුරට බැස්සා. මං ඔලුව හරවල බැලුව අපිට වතුරෙ කොච්චර දුරක් යන්න තියෙනවද කියල.මෙලෝ දෙයක් පේන්නෑ.ඇස්වලට වතුර වැටෙනව. ඒ වැහි බිංදු හුලගත් එක්ක ඇවිත් ඇගේ මූනෙ වදිනකොට පොලුවලින් ගහනව වගේ තමා වදින්නෙ. මූන උස්සන්න බෑ.ඉදිකටුවලින් අනිනව වගේ. ධාරානිපාත වරුසාවයි හුලගයි කියන්නෙ පට්ට ආතල් ⁣එකක්නෙ දෙන්නෙ.නමුත් ඔය දෙකට පුලුවන්ද සී ලැංකන් සෝලජර්ස්ලව මෙල්ල කරන්න. එහෙනං වලාහක දෙයියන්ටත් බුල වැදිල..

අපි බැහැල ටික දුරක් නිකන් පයින් ගියා ගැඹුර බලන්න.සමහර තැන්වල මගේ ඉනට විතර වතුර. පාර උස සමහර තැන්වල අඩියක් දෙකක් විතර වතුර.නමුත් පාරම යටවෙලා.

අපි ඒ ගියෙත් හරහට හරහට අත්වැල් අල්ලගෙන.එක අඩියක් තියන්න කකුල දෙපාරක් තියන්න ඔින.ඒ අන්ධයො පඩිපෙල් නගිනව වගේ  අපි එකපාරක් කකුලෙන් පාර හොයල දෙවෙනි පාර තමා අඩිය තියන්නෙ. නමුත් හැඟුනු එකම දේ තමා හුළඟත් එක්ක අමාරුයි කරන්න. හරි බරට අඩිය නොතිබ්බොත් හුලගටයි ටිකක් වෙන්න තිබුනු සැඩපාරටයි අනිත් කකුලත් ගැලවෙන්න පුලුවන්.එහෙම උනොත් නවතින්න වෙන්නෙ කුරුණෑගල ජයරත්න එකේ.මෙික හරි අවදානම් වගේම කල්පනාවෙන් හිමීට කරන්න ඔින දෙයක්.සෙල්ලං නෑ..පොල්තෙල් එක්ක හොඳේ.

අපි මීටර සීයක් විතර ඒ විදියට ගිහින් ආපහු ආව. අපි දෙකට බෙදුනා.මං ලොරියෙ වම් පැත්තෙනුත් අනික් තුන්දෙනා දකුණු පැත්තටත් ගියා.අපි පාරෙ අයිනෙන් අත්වැල් අල්ලගෙන හරිහට හරහට හරහට ගමන් කරනව.අපිට මැද්දෙන් ලොරිය හිමීට හිමීට හිමීට ඇදෙනව. මෙි විදිහට බොහොම අමාරුවෙන් මුල් මීටර් සීය එකසිය පනහ ආව.නොගැඹුරු තැනකට එනකං. එතනින් නැවතිලා ලොරියෙ තිබ්බ
නැව් බඳින පටිවගේ ඒව උන්ඩියක් දිගෑරල අරං මං ඉනේ එක කොනකුත් අනික් කොන පෙරේරා ලොරියෙ බෆර් එකේ පටලවල අරං එයත් ඉනේ බැඳගත්තා. මොකද මෙහෙම හිමීට යන්න ගියොත් දවස් දෙකක්වත් යන්න වෙනව.කිලෝ මීටර් දෙකහමරක් තියෙනව කිව්ව මෙි විදියට යන්න. ඒ නිසා ගමන ටිකක් වෙිගවත් වෙන්නත් එපායැ.

මං ඉනේ බැඳගත්තු බෙල්ට් එක දකුණු අතෙන්  පටලවගෙන  හයියෙන් අල්ල ගත්තා.මාව අතෑරුනෙත් හතර දෙනෙක් ජයරත්නෙ.පෙරේරට අතැරුනෙත් තුන්දෙනෙක් ජයරත්නෙ. ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලොන්..

මොනාද හිතවතුනි අපි දෙන්න හැකි උපරිම හයියෙන් කේ බෙල්ට් එක බදාගෙන (ගුඹුරු තැන්වල) අනිත් අයට ඉස්සරහට යන්න අවස්ථාව දුන්නා. එක තැනක් හම්බුනා මීටර් පන්සීයක් විතර මෙි විදියට යන්න. අත හිරිවැටිල.කන් ඇහෙන්නෑ.එහෙං හුලඟ.ආයෙ පොල් ගෙඩි සයිස් වතුර බිංදු.මූනට වැලි වලින් ගහනව වගේ චට චට චට සද්දෙට වැහි බිංදු වදින්නෙ.ඊට වඩා සීතල. අපි ඔක්කොගෙම ඇවරි සටසට සට ගගා එකට වදිනව. ඔහොම කොහොම කොහොම හරි අපි මැද්දට ගියාම මගේ  ඇගේ තිබුනු අන්තිම ලේ බිංදුවත් හිරිවැටී තිබුනෙ.  දැං මං කේ බෙල්ට් එක අල්ලගෙනද ඉන්නෙ කියල හැඟිමක් නැතිවෙන ගානට. ඒ අස්සෙ  පෙරේරත්  කෙඳිරිගගා තමයි ආවෙ.

ඔහොම කොහොම කොහොම හරි

අපි පාන්දර හතර වෙනකොට පොට් එකට ආව.
ඇවිත් හති ඇරියා. අපි කිලෝමීටර් තුනක් ඇවිත් තිබුනා. ඩෙල්ටා ඔිසී තමා කිව්වෙ තියෙන දුර. වතුරෙ විතරක් කිලෝමිටර් දෙකකට වැඩී.
මංනං ගොඩබිම ලංවෙද්දි කෙබල් රෙද්දවල් ගලවල දාල කලපු වතුරේ ගිලිලම නෑව.

එදා ඩෙල්ටා ඔිසී..

මං දන්නව මොන හමුදාව නැතත් අපේ කොල්ලො අපිව හොයාගෙන එනව කියල..ඒක අද උඹල කරලම පෙන්නුව..සතුටුයි බං..සතුටුයි.

කොල්ලො ටික කෑම වලට ඉස්සෙල්ල බා ගත්තෙ වතුර. අපි දැක්කා පෝලිමට හෙල්මට්වලට වැහිවතුර එකතු වෙන්න තියල තියනව.

මං පස්නයක් අහන්නද ඔිගොල්ලොංගෙන්.
කලපුවක් මැද්දෙ පාරක් තියා පාරෙ කොනක්වත් පේන්නැතිව වතුරෙන් යටවුනු පාරක පට්ට කලුවරක ධාරිනිපාත වැස්සක, හීතලේ ගැහිගැහී..මූනට වැලිගහනව වගේ වතුරබිංදු වැටිල  මුලු මූනම දැවිල්ල අල්ලද්දි, ඉනක් කිට්ටුවෙන්න වතුර තියෙන සැඩ පාරෙ වතුරෙ බැහැගෙන තනි ලයිට් එකක් තියෙන තල්ලු ස්ටාර්ට් ලොරියක් අරගෙන ඒකත් රේස් එක අඩුකරගන්නැතුව (නැත්තං සයිලංසරෙන් වතුර ඇතුලට..)

මෙිවගේ ගමනක් කව්ද යන්නෙ. ඒත් කියන්න සංදෝෂයි අපි විතරක් නෙමෙි පස්සෙන් පහුවෙද්දි ලයින් එකේ හැම ඒකකයක්ම මෙි ක්‍රියාන්විතය කලා.  එකපාරක් නෙමෙි වැහිකාලෙ ඉවරවෙනකම්ම. සමහර විට ඔයාලාට මතක ඇති කරවටක් කොල්ලො වතුරෙ බැහැගෙන එහෙ මෙහෙ යනව.
ඒ තවත් සහෝදර සෙබලුන්ගේ තිබහට වතුරත් බඩට කෑමත් අරගෙන. වෙඩි තියන්න අවශ්‍ය කලමනත් අරගෙන.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි



33 Viewers