• Home »
  • Sinhala Articles »
  • අරන්තලාව – දිගම්පතන සහ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කළ ඝාතකයන් නිදහස් වූයේ කෙසේද?

අරන්තලාව – දිගම්පතන සහ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කළ ඝාතකයන් නිදහස් වූයේ කෙසේද?

මෙරට හමුදා නිලධාරින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින් ඇමරිකානු කොන්ග‍්‍රසය හමුවේ යෝජනාවක් ඉදිරිපත්වී ඇති අවස්ථාවක බිහිසුණු අපරාධ සිදුකළ කොටි නිදහස් වී ඇතැයි කීවොත් ඔබ පුදුමයට පත්වනු නිසැකය.
 
 මෙලෙස බිහිසුණු අපරාධ සිදුකළ කොටි ත‍්‍රස්තයන් වැලිකඩ සහ බූස්ස සිරකඳවුරේ සිටි අතර ඔවුන්ගෙන් වැඩිදෙනා දැන් සිටින්නේ ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය සහ නෝර්වේ යන රටවලය. එහෙත් මේ කොටි යුධ අපරාධකරුවන් ලැයිස්තුවෙන් අහෝසිවී තිබේ.

* මඩකලපුවේ පොලිස් නිලධාරීන් 600ක් මරා වසර 31යි
 
 ඔවුන්ව යුධ අපරාධකරුවන් ලෙස නම් කිරීමට පසුගිය රජය හෝ යහපාලන රජය කි‍්‍රයාකර නැත. මේ තත්ත්වය මත නඩුවක් නැතිව නිදහස් වූ කොටි කවුද? අද අපි හෙළිකරන්නේ එලෙස නිදහස් වූ කොටි ඝාතකයන්ය. මේ මිනීමරුවන් පිළිබඳව රාජපක්‍ෂ පාලනය හෝ යහපාලන රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කිසිදු වාර්තාවක් ඉදිරිපත් කළේ නැත. එසේම කොටි නිදහස්වීමට තවත් හේතුවක් වූයේ ත‍්‍රස්ත මර්දන කාර්යාංශයේ අරාජික අයථා කි‍්‍රයාකලාපයයි.
 
 එහෙත් බලගතු කොටි නිදහස් වීම ගැන ජනතාවට හෙළිදරව් වූයේ නැත. එසේ වූවත් වැලිකඩ සහ බූස්සේ සිරකඳවුරේ සිටි පොලිස් නිලධාරියකු ඔවුන්ව හඳුනාගෙන තිබුණි. ශ‍්‍රී දළඳා මාලිගාවට බෝම්බ ලොරිය ගෙන ආ ඇන්ටන් ජෙයරාජ් ඇතුළු කොටි කණ්ඩායමත්, අරන්තලාව භික්‍ෂු ඝාතනයට සම්බන්ධ දෙදෙනකුත් දිගම්පතන ප‍්‍රහාරය, පල්ලියගොඩැල්ල, අලන්චිපතාන, බෝවත්ත ඇතුළු ගම්මාන රැසකට ප‍්‍රහාර එල්ල කළ කොටිද ඔවුන් අතර විය.
 
 මින් අරන්තලාව භික්‍ෂු ඝාතනයට සම්බන්ධ කොටි කණ්ඩායමේ දෙදෙනෙක් බූස්සේ සිට වැලිකඩට මාරුකර තිබුණි. අපි ඝාතනය කළ අරන්තලාවේ නායක හාමුදුරුවෝ බූස්සේ පදිංචි අයෙක්. ගම්වැසියන් බූස්ස කඳවුරට ප‍්‍රහාර එල්ල කර අපිව පැහැරගෙන යනු ඇතැයි අපි බියට පත්ව සිටියා. අරන්තලාව ඝාතනය මෙහෙයවූයේ රමේෂ් කියන කොටි හමුදා නායකයායි. අපි හාමුදුරුවන්ව කපලා වෙඩි තියලා මරනවා රමේෂ් බලාසිටියා යයි එම කොටි දෙදෙනා හෙළිකර ඇත.
 
 එහෙත් ත‍්‍රස්ත මර්දන බලධාරීන් අරන්තලාව ඝාතනය සිදුකළ කොටි ත‍්‍රස්ත කණ්ඩායමේ ත‍්‍රස්තයන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කර ඔවුන්ව අධිකරණය හමුවට ගෙන ආවේ නැත.
 
 මෙවැනි දේ සිදුවීම පුදුමයක් නොවේ. මැණික්ෆාම් පුනරුත්ථාපන කඳවුරේ සිටි කොටි 200 කට අධික සංඛ්‍යාවක් අයථා මාර්ගවලින් විදේශ ගතවූ අතර ඔවුන්ට විදේශගතවීමට සහය වූයේ කෙසේදැයි රජය විමර්ශනය කළේ නැත. එසේම හමුදා භටයන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ ති‍්‍රකුණාමලය කොටි හමුදා නායකයාවූ පදුමන් නැමැති මිනීමරුවාද නිදහස් විය.
 
 මගේ නම පදුමන් නොවෙයි සිවසුබ‍්‍රමනියම් වර්ධනාදන් යයි පදුමන් ති‍්‍රකුණාමල මහාධිකරණය හමුවේ කියා සිටියේය. පදුමන් මෙලෙස පැවසුවේ ත‍්‍රස්ත මර්දන ඒකකය ඔහුට නඩු පවරා තිබුණේ ‘පදුමන්’ යයි දක්වමිනි.
 
  මේ නිසා ති‍්‍රකුණාමල මහාධිකරණය ඔහුව මුදාහරිනු ලැබීය. මෙම නඩුවේදී පදුමන් වෙනුවෙන් පෙනී සිටියේ හිටපු පොලිස් නිලධාරියෙකි. පොලිසියෙන් විශ‍්‍රාම යාමෙන් පසු නීතිවේදියකුවූ ඔහු තම සේවාදායකයාගේ නම පදුමන් නොවේ යයි කියා සිටියේය. ඒ වනවිට ත‍්‍රස්ත මර්දන ඒකකය පදුමන්ගේ නියම නම දැන සිටියේ නැත. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන් ධර්මරත්නම් තායිලන්තයේ සිට ප‍්‍රභාකරන්ට අවි ආයුධ එවීමේ මූලිකයා විය. ඔහු යුධ අපරාධකරුවෙකි. අද ඔහු උතුරේ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවාගෙන සුවසේ සිටී. ඉන්දීය රජය කේ. පී ට එරටට බාරදෙන ලෙස ඉල්ලීමක් කළත් රජය ඊට එකඟවූයේ නැත.
 
 ඇමරිකාව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සලය ප‍්‍රමුඛ රටවල් පහක් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 ක් යුද අපරාධකරුවන් ලෙස නම්කරමින් සාක්‍ෂි එකතු කරද්දී කේ. පී ට එරෙහිව කිසිදු යුද අපරාධ නඩුවක් ගොනු නොවූයේ මන්ද? මෙවන් පසුබිමක් මැද අරන්තලාව, ශ‍්‍රී දළඳා මාලිගාව සහ දිගම්පතන ප‍්‍රහාර එල්ල කළ කොටි ත‍්‍රස්තයෝ නිදහස් වූහ. එසේම රජය කොටි ත‍්‍රස්තයන් 12000 කටද සමාව දීමට කි‍්‍රයාකරනු ලැබීය. මේ අතර වැලිකඩ සිරගෙදර සිටි තවත් ප‍්‍රබල කොටි ත‍්‍රස්තයකු වූයේ මැලේසියන් රාජන්ය. ඔහු මුදල් බලය නිසා නිදහස් වූ බව වැලිකඩ සිටි අනිකුත් කොටි ත‍්‍රස්තයන් හෙළිකර ඇත. වැලිකඩ සිටි බලගතු කොටි ත‍්‍රස්තයන් අතර ප‍්‍රදීප් මාස්ටර් හෙවත් කරුණාකරන් රාජේන්ද්‍රන් කනගරත්නම් කපිලන් හෙවත් කපිලන් හෙවත් ලන්ඩන් කපිලන්ද විය. මොවුන් දෙදෙනාම බි‍්‍රතාන්‍ය සහ මැලේසියා කොටි ජාලයන්හි ප‍්‍රධානින් වේ. උන්ඩියල් මුදල් හුවමාරුව යටතේ ඕනෑම රටකට මුදල් එවීමේ සහ යැවීමේ හැකියාවක් ඔවුන්ට ඇත. මේ ත‍්‍රස්තයන් දෙදෙනාද අධිකරණය වෙත යොමුවූයේ නැත. නඩුවක්ද නැත. ත‍්‍රස්ත මර්දන ඒකකයේ එවකට සිටි නිලධාරීහු ඔවුන්ට වධහිංසා පැමිණ වූයේ නැත. එහෙත් මැලේසියා රාජන් සහ ප‍්‍රදීප් මාස්ටර් නිදහස් විය.
 
 මෙලෙස නිදහස් වූ ප‍්‍රදීප් මාස්ටර් මුහුදු කොටි බළකායේ ප‍්‍රබලයෙකි. මේ හැර ප‍්‍රභාකරන්ගේ සමීපතම පුද්ගලයාවූ ඥානම්ද දැන් ස්විස්ටර්ලන්තයේ සිටී. ඔහු හමුදාවට අසුවී ත‍්‍රස්ත මර්දන ඒකකයට බාරදෙනු ලැබුවත් අයථා මාර්ගයකින් පැන ගියේය. මෙම සියළු සිදුවීම් වූයේ රහසිගතවය. එසේ වූවත් මෙරට ආණ්ඩු ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ගේ වත්කම් සොයා බැලූවේ නැත. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් මාස්ටර් හෙවත් දර්ශන් හෙවත් ගුශාන්තන් වැලිකඩින් නිදහස් වීමට පෙර තමා සමඟ සිරගතව සිටි පොලිස් නිලධාරියකුට පැවසුවේ ත‍්‍රස්ත මර්දන ඒකකය ව්‍යාපාරිකයන්ගේ ඒකකයක් බවයි.
 
 මෙවන් පසුබිමක් මැද ප‍්‍රදීප් මාස්ටර් වැලිකඩ සිරගෙදරදී තමා සමඟ සිටි පොලිස් නිලධාරියාට හෙළි කළේ 2007 වසරේ තමා යුරෝපයේ සිට එවූ නැවකින් පැරණි සෝවියට් අවි ප‍්‍රභාකරන්ට එවූ අතර එහි ප‍්‍රහාරක යානා 2 ක්ද තිබූ බවත්ය. එම නැව නාවික හමුදා ප‍්‍රහාරයෙන් විනාශ නොවුයේ නම් යුද්ධයේ තත්ත්වය වෙනස්වීමට ඉඩ තිබූ බව ඔහු කියා සිටියේය. තමාට මාෆියා කල්ලියක් විසින් පැරණි සෝවියට් ප‍්‍රාන්තයකින් එම ප‍්‍රහාරක යානා දෙක විකුණූ බවද ප‍්‍රදීප් මාස්ටර් තවදුරටත් පළ කළේය. එහෙත් වැලිකඩ සිටි කොටි ප‍්‍රබලයන්ගෙන් තොරතුරු දැන ගැනීම සඳහා ත‍්‍රස්ත මර්දන ඒකකය ඔවුන් අතරට ඔත්තුකරුවකු යොදවා නොතිබුණි. බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ කොටි ත‍්‍රස්තයන් සමඟ පොලිස් අධිකාරිවරයකුද සිරගත කර තිබූ බවයි. හිටපු අමාත්‍ය ජෙයාර්ජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනයට සහය වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි. මේ වනවිට ඔහු ඇප ලැබීමකින් තොරව වසර 12 ක් සිරගතවී සිටී. එහෙත් බිහිසුණු අපරාධකරුවන්වූ ගුශාන්තන් ඇතුළු කොටි ප‍්‍රබලයන් නඩු නැතිව නිදහස්වී ඇත. එසේම එම් අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටරයක් ති‍්‍රකුණාමලයේ පුල්මුඬේ ප‍්‍රදේශයේදී මිසයිල් ප‍්‍රහාරයකින් වැනසූ කොටි ත‍්‍රස්තයකු සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදුන් පාපොච්චාරණය පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කළ ති‍්‍රකුණාමල අධිකරණය ඔහුව මුදාහැරියේය. අධිකරණයේ මෙම තීන්දුව එරෙහිව නීතිපතිවරයා අභියෝග කළේ නැත. මේ අතර බස් බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ සේරා අම්මාන්ද නිදහස් විය. ඔහුව අමතරව මුලතිව් කොටි කඳවුරේ සිටි අංජන් නැමැති කොටි වෛද්‍යවරයාද නිදහස් වී ලන්ඩන් බලා ගියේය. ඔහු ලන්ඩන් නුවරදී පැවසුවේ තමා බලධාරීන්ට අල්ලස්දී ශ‍්‍රී ලංකාවෙන් පැනගත් බවය.
 
 එසේ නම් මුදල් ලබාගත් නිලධාරියා කවුරුන්ද?

 
 රැඳවුම් භාරයේ සිටි කොටි අබිරහස් කි‍්‍රයා මැද නිදහස් වන අවස්ථාවේ වැලිකඩ සිටින කොටින්ට මුදල් ලැබෙන්නේ ද්‍රවිඩ නීතිවේදීන්ගේ මාර්ගයෙන් බව හෙළිවිය.
 
 එම රැඳවියන්ට බන්ධනාගාරය තුළින් විවිධ භාණ්ඩ මිලයට ගැනීමට මුදල සපයන්නේ කොටි ඩයස්පෝරාවයි. ඩයස්පෝරාව එම මුදල් නීතිවේදීන් විසින් කොටි රැඳවියන්ට ලබාදෙන බව තවදුරටත් අනාවරණය වී ඇත. මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ යුද අපරාධ සිදුකළ කොටි දේශපාලන සිරකරුවන් බවට හඳුන්වමින් ඔවුන්ට නිදහස් කර ගැනීමට කොටි ඩයස්පෝරාව, ද්‍රවිඩ සන්ධානයේ මන්ත‍්‍රී සුමන්තිරන්, සන්තිවේල් පියනම සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානද දැඩි උත්සාහයක නිරත විය. එහෙත් මෙතෙක් එම උත්සාහය සාර්ථක වී නොමැත. මෙලෙස බිහිසුණු අපරාධ සිදුකළ කොටි මුදාගැනීමට උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ සාක්ෂි ඒකරාශිවීමට පෙර කොටි නිදහස් කර ගැනීමයි. ද්‍රවිඩ සන්ධානයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල එම සූක්‍ෂම කි‍්‍රයාදාමය දැන් තහවුරු වී ඇත. මේ වනවිට රැඳවුම් භාරයේ සිටින කොටි අතර මගීන් 55 ක් රැගත් ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කල තිල්ලරාජන්ද හමුදා මූලස්ථානය තුළ පිපිරීම් සිදුකිරීමට සහය වූ මොරිස්ද ගාලූ නාවික වරායට ප‍්‍රහාර එල්ල කිරීමට සහය වූ ගජවීර ගුණරත්නම්, නිශාන්ත එදිරිසිංහ වයිරමුත්තු සරෝජා සහ කන්දයියා ඉලංගෝද වේ. එසේම යුද සහ නාවික භටයන් 26 ක් වෙඩි තබා මරා දැමීමට සම්බන්ධ සුලක්ෂන් නැමැති කොටි මිනීමරුවාද අත්අඩංගුවේ පසුවේ.
 
 මේ ඝාතනය සියැසින් දුටු ත‍්‍රස්තයෙක් කැනඩාවේ සිටින අතර ඔහු එරට අධිකරණය හමුවේ පැවසුවේ තමා එම සමූල ඝාතනය දුටුබවයි.
 
 එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සලය මේ ත‍්‍රස්තවාදීන් යුද අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර නැති අතර යුද අපරාධ සාක්‍ෂි එකතු කර නැත. පසුගිය ජනපතිවරණ සමයේ මෙම කොටි මිනීමරුවන් මුදා ගැනීම සඳහා මනෝගනේෂන් නැමැත්තා කැබිනට් මණ්ඩලයට පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබූ බව හෙළිවිය. මේ අතර කොටි යුද අපරාධ සිදුකරන අයුරු සියැසින් දුටු පුදියන් කුරෙයිරාජා කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඇතත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ ඔහුගෙන් යුධ අපරාධ සාක්‍ෂි ලබාගැනීමට කි‍්‍රයාකර නැත. මේ අතර ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කර නැතැයි ජාත්‍යන්තර නීතිවේදී මහාචාර්ය මයිකල් නිව්ටන්, ඞී. එම්. කේ‍්‍රන්, ඩෙස්මන්ඞ් සිල්වා, ජෙප්රි නයිස් සහ රොඞ්නි ඩික්සන් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර ඇතත් එම වාර්තාව පිළිගෙන නැත. මින් සනාථ වන්නේ මානව හිමිකම් කවුන්සලයේ දේශපාලන කි‍්‍රයාමාර්ගයයි.
 
 මෙම පසුබිම මැද ඇමරිකානු කොන්ග‍්‍රසය ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ සිදුකළ බවට දැක්වෙන යෝජනාව බාරගනිද්දී යුද අපරාධ සිදුකළ ඇමරිකානු සෙබළුන් බේරාගැනීමට ජාත්‍යන්තර අධිකරණ විරෝධි පනත සම්මත කර තිබුණි. ඇමරිකානු සෙබළුන් ආරක්‍ෂා කිරීම සඳහා යයි හඳුන්වන මෙම පනතට එවකට සිටි ජනපති ජෝර්ජ් බුෂ් අත්සන් තැබීය. එහෙත් මෙවන් පනතක් ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වෙත ගෙනඒමට අදවනතුරු කි‍්‍රයාකර නැත

එසේ වූවත් යහපාලන රජය 2018 ඔක්තෝම්බර් මස හානිපූර්ණය සඳහා වන කාර්යාලය ස්ථාපිත කිරීමේ පනත සම්මත කරනු ලැබීය. එම පනත තුළින් මියගිය කොටින්ටද වන්දි ගෙවීමට කි‍්‍රයාකරන බවට චෝදනා එල්ල විය.
 
 මේ පනතට පක්‍ෂපාතී වූයේ කවුද? මේ එකී පිරිසයි. රනිල් වික‍්‍රමසිංහ, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, මලික් සමරවික‍්‍රම, තිලක් මාරපන, වජිර අබේවර්ධන, එස්. බී. නාවින්න, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, පී. හැරිසන්, අර්ජුන රණතුංග, චන්ද්‍රානි බණ්ඩාර, අබ්දුල් හලීම්, පයිසර් මුස්තාපා, රවින්ද්‍ර සමරවීර, ඒ. එච්. එම්. පවුසි, පියසේන ගමගේ, ලකී ජයවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර, වසන්ත අළුවිහාරේ, ශ‍්‍රියානි විජේවික‍්‍රම, අජිත් පී. පෙරේරා, වීරකුමාර දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ජේ. සී. අලවතුර, මුතුසිවලිංගම්, අශෝක් අබේසිංහ, සෙල්වම් අඩෙයිකලානාදන්, එම්. ඒ. සුමන්තිරන්, සසිදරන් කෝඬේමාරන්, ජී. ග‍්‍රිනේෂන් ආශු මාරසිංහ, ඉෂාන් රහ්මන්, මුජබිර් රහ්මන්, තුසිතා විජේමාන්න, රෝහිනි විජේරත්න, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, විජේපාල හෙට්ටිආරච්චි, මොහමඞ් නෂීර්, මොහොමඞ් ඉස්මයිල්, නලින් බණ්ඩාර, සිඞ්නි ජයරත්න, කේ. කේ. පියදාස, හෙක්ටර් අප්පුහාමි, වේළුකුමාර්, කවින්ද ජයවර්ධන, එම්. තිලකරාජ්, වසන්ත දිසානායක, සුජිත් සංජය පෙරේරා, හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර, ඉම්රාජ් මහරුප් සහ මාවයි සේනාධිරාජා. එහෙත් මොවුන්ගෙන් වැඩිදෙනා ජනතාව විසින් පසුගිය මැතිවරණයේදී පරාජය කරනු ලැබූ අතර යහපාලන එක්සත් ජාතික පක්‍ෂය ඇද වැටුණේ දෙකඩ කරමිනි.
 
 මේ අතර පසුගිය සිකුරාදාට කොටි අම්පාර තිරුක්කෝවිල්හිදී පොලිස් භටයන් 600 ක් ඝාතනය කර වසර 31 ක් සපිරේ. මේ සමයේ ජනපති වූයේ ආර්. පේ‍්‍රමදාසයි. පොලිස්පති අර්නස්ට් පෙරේරාය. මෙම අතීතය බොහෝ දෙනෙකුට අමතක වී ඇත. එහෙත් මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වල අයට යුක්තිය ඉටුවූයේද? කිසිදු විදේශ තානාපති කාර්යාලයක් මේ ගැන හඬ
 නගන්නේ නැත. පොලිස් භටයන් 600 ක් බිහිසුණු ලෙස ඝාතනය වීමේ සිද්ධියේ අවාසනාවන්ත තත්ත්වය නම් 1990 සිට 2021 දක්වා පැවැති ආණ්ඩු ඒ ගැන කිසිම පරීක්‍ෂණයක් පැවැත්වීමට කි‍්‍රයා නොකිරීමයි.
 
 කොටි නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන වටකර යටත්වන ලෙස නියෝග කරද්දී කොළඹින් හමුදා බලඇණි යවා ඔවුන් ගලවා ගැනීමට පේ‍්‍රමදාස රජය කටයුතු කළේ නැත. ඒ වෙනුවට හිටපු ජනපතිවරයා පොලිස් භටයන්ට යටත්වන ලෙස නියෝග කළේය. එම නියෝගය කි‍්‍රයාත්මක කළේ හිටපු පොලිස්පතිවරයායි. මෙකී පොලිස් භටයන්ගේ සිද්ධිය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස හිටපු පොලිස් අධිකාරි ටාසි සෙනෙවිරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීන් ආණ්ඩුවලින්ද පසුව පොලිස්පති නලින් ඉලංගකෝන්ගෙන්ද කළ ඉල්ලීම අසාර්ථක විය. මෙය යුද අපරාධයකි. 1992 වසරේදී රහස් පොලිසිය පොලිස් භටයන් ඝාතනය ගැන පරීක්‍ෂණයක් ආරම්භ කළත් එය යටපත් විය.
 
 නැගෙනහිර කොටි නායකයන් විසින් පොලිස් භටයන්ට යටත්වන ලෙස කළ නියෝගය ප‍්‍රතික්‍ෂේප කළේ සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු පමණකි.
 
 දෑත් බැඳ තිරුක්කෝවිල් කැලෑවට ගෙනයනු ලැබූ පොලිස් භටයන්ට වෙඩි තබා මළ සිරුරු පුළුස්සා දමනු ලැබීය. එහෙත් කිසිදු වෝහාරික පරීක්‍ෂණයක් සිදුවූයේ නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වූ ලයනල් ගුණතිලක ඇතුළු කණ්ඩායමක්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුවූ ජනෙත් විමලද එම සමූල ඝාතනය වූ ස්ථානය නිරීක්‍ෂණය කරනු ලැබීය. මේ සමයේ විදේශ ඇමැති ෂාහුල් හමීඞ්ය. ඔහු කොටි න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම් අමතා පොලිස් භටයන් ගැන විමසූ විට පැවසුවේ ඔවුන්ව නිදහස් කරන බවයි. එහෙත් ඒ වනවිට පොලිස් භටයන්ට වෙඩිතබා තිබුණි. දිවිගලවා ගත් පොලිස් භටයන් දෙදෙනකු නිසා මෙම මහා මිනිස් ඝාතනයේ තොරතුරු හෙළිවිය.
 
 ද්‍රවිඩ සන්ධානය ද්‍රවිඩයන් සමූල ඝාතනය වී ඇතැයි පවසන අවස්ථාවේ මෙය සමූල ඝාතනයක් නොවේද?
 
 පොලිස් භටයන් ඝාතනය ගැන තොරතුරු වාර්තාවීමත් සමඟ එදා පේ‍්‍රමදාස රජය කුමක් කළේද?
 
 ඒ අම්පාරේ සිට බුල්ඩෝසරයක් තිරුක්කෝවිල් වෙත යවා සිරුරු පිළිස්සූ ස්ථානය පස් වලින් වසා දැමීමයි.
 
 වසර 31 කට පෙර තමන්ගේ රජය විසින් කොටි ත‍්‍රස්තයන්ව පාවාදුන් පොලිස් නිලධාරීන් 600 සැබැවින්ම වීරයන්වේ. ඔවුන්ව එදා සිට මේ දක්වාම ආණ්ඩුව විසින් අමතක කර ඇත.
 
 එහෙත් අතීතය වසන් කළ හැකිද? මෙම ඝාතනය ගැන නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණාට චෝදනා එල්ල විය. එහෙත් කරුණා පැවසුවේ ප‍්‍රභාකරන්ගේ නියෝගය මත පොට්ටුඅම්මාන් විසින් නිව්ටන් නැමැත්තාට පොලිස් නිලධාරීන්ව ප‍්‍රාණ ඇපයට ගන්නා ලෙසත් ඔවුන්ව වන්නියට ගෙන එන ලෙසත් නියෝග කළ බවයි. එසේම මේවන විට කොටි කණ්ඩායමක් කොළඹ ගලදාරි හෝටලයේ රැදී සිටි අතර ඔවුන්ට රැකවරණය සැපයුවේ විශේෂ කාර්ය බළකායයි. පොලිස් භටයන් 600 ක් කොටි අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොළඹ සිටි කොටි කණ්ඩායමට වන්නියට යෑමට ඉඩ දුන්නේ එවකට ජනපතිව සිටි ආර්. පේ‍්‍රමදාස විසිනි. ඉන්පසු සිදුවූ මහා මිනිස් ඝාතනය ගැන ආර්. පේ‍්‍රමදාස ජනතාවගෙන් හෝ ඝාතනය වූ පොලිස් භටයන්ගේ පවුල් වලින් සමාව අයැද සිටියේ නැත. මෙලෙස නැගෙනහිර පොලිස් භටයන් ඝාතනය වන අවස්ථාවේ රජය කොටින්ට අවි ආයුධ පවා ලබාදී තිබුණි. එපමණක් නොවේ. රුපියල් මිලියන ගණනක මුදල් අඩංගු පෙට්ටි ගණනාවක්ද සපයා තිබුණි. එහෙත් ජනතාවට මේ තොරතුරු වසන් විය. කල්කුඩා, කල්මුණේ, අක්කරපත්තු, කලවංචිකුඩි, පොතුවිල් යන පොලිස් ස්ථානවල සිටි පොලිස් නිලධාරීන් ආධාර ඉල්ලා තම ඉහල බලධාරීන් වෙතින් කළ ඉල්ලීමට ප‍්‍රතිචාරය වූයේ අවි බිම තබා යටත් වන ලෙසයි. එහි ප‍්‍රතිඵලය දෑත් බැඳ මී හරකුන් රංචුවක් ලෙස තිරුක්කෝවිල් වෙතට ගෙනගිය පොලිස් භටයෝ මුනින් වැතිර වීමට සලස්වා හිසට වෙඩි තැබීමයි.
 
 මෙම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවා ගන්නේ බණ්ඩාර තෙන්නකෝන් සහ නජිමුදින් නැමැති පොලිස් භටයන් දෙදෙනා පමණකි. ශ‍්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිදුවූ ඉතාමත් ඛේදනීය විපත මෙයයි.

 



16 Viewers