අලුත් ව්‍යවස්ථාව 20ට කැරට් අලයක් ද?

මෙම ලිපිය පලවන අවස්ථාව වන විට 20 වන සංශෝධනය පාර්ලීමේන්තුවේ කෙසේ හෝ සම්මත වී තිබෙනු ඇත. බලයේ සිටියදි කරන ලද කප්පරක් පවු වලට වන්දිගෙවීමක් ලෙස බිමට සමතලා වු විපක්ෂයට ගෝඨාභය රාජපක්ෂ රජය නවත්වා ගැනීමට පුංචි අඩයක් වත් තැබීමට නොහැකි වි ඇත. සාම්ප්‍රදායික සංදර්ශන විරෝධතාවයෙන් ඔබ්බට  20 වන සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳව හරයාත්මක විවේචනයක් කලේ ආණ්ඩුව තුලම සිටින ජාතිකවාදි කණ්ඩායම් සහ ඉන් පරිබාහිරව ජාතිකත්වය නියෝජනය කල මහ සංඝරත්නය සහ ජාතිකවාදි සංවිධාන විසිනි. නෙළුම් මාවතේ අහුමුළු වල  කසු කුසුවක් ව සහා ගම්වල ශාඛා සමිතිවල මාතෘකාවක්ව තිබු ගෝඨාභයගේ අපේක්ෂකත්වය , ජාතියේ අපේක්ෂාව බවට පත් කලේ එම ජාතිකවාදි බලවේග විසිනි.

කවුරුන් කෙසේ කීවත්, 20 වන සංශෝධනය අනපේක්ෂිත සිදුවීමකි. ජනාධිපතිවරණයේදි හෝ මහා මැතිවරණයේදි ආණ්ඩුව කියන ආකාරයේ සංක්‍රාන්ති ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව සාකච්ඡාවක් නොතිබිණි. 19 යට මුවාවී 18 සංශෝධනය බලාත්මක කර ගැනීමට ජනවරමක් ගෝඨාභයට කිසිසේත්ම ලබාදි නැති බව කිව යුතුය. යුද්ධය ජයග්‍රහණය කල ජනප්‍රිය නායකයා ගෙදර යැවීමට අත්තිවාරම දැමු ව්‍යවස්ථා මංකොල්ලය ලෙස 18 හැදින්විය හැකිය. මහින්ද රාජපක්ෂගේ අසීමීත ජනප්‍රියත්වය, සදාතනිකයැයි විශ්වාස කරන ලද දේශපාලන කඳ පණුවන් විසින් ගොතන ලද ප්‍රශස්ති වරුණා වලින් ඔහු විනාශය කරා ගෙන යන ලදි. යහාපාලන ආණ්ඩුවට 19 ය කොඩිවිනයක් වුයේ යම් සේද 18 වන සංශෝධනය 2010-2015 මහින්දගේ ආණ්ඩුවට පාරා වළල්ලක් විය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එක හා සමාන  ව්‍යවස්ථාමය අධිකාරයන් දෙකක් නිර්මාණය කිරිමෙන් ඇති කරන ලද  බල විකෘතිය, 19 යේ තිබු කේන්ද්‍රීය අර්බුදයයි. රාජ්‍යය දුර්වල කරන ලද එම ක්‍රියාවලියේ ප්‍රතිවිපාක යහපාලන කාලය තුලම ප්‍රායෝගිකව සනාථ කරන ලද්දෙ වගකිවයුත්තෙක් නැති පාස්කු ප්‍රහාරයෙනි. ජනාධිපතිවරණයේදි හා මහා මැතිවරණයේදි සටන් පාඨය වුයේ විධායකයේ බල අර්බුදය සහ එයින් මිදි රාජ්‍ය ස්ථාවරත්වය ඇති කිරිමයි. 20 වන සංශෝධනයේ විධායක ජනාධිපතිධූරය ප්‍රජාතන්ත්‍රවාදී සංවරණයන්ට යටත්ව ශක්තිමත් කිරිමට ජාතික ව්‍යාපාරයේ කිසිදු විරෝධයක් නැත. එය ඇත්ත වශයෙන්ම ජාතික ව්‍යාපාරයේ ප්‍රබල ඉල්ලීමකි.

පාස්කු ප්‍රහාරයට අයිතිකරුවකු සොයා ගැනීමට නොහැකි වුයේ යම් සේද 20 වන සංශෝධනයටද මුල් අවස්ථාවේ පිතෘවරයකු නොවිය. ඕපපාතිකව සමාජගත වු 20 ට ජනාධිපතිවරයා වගකීමට ඉදිරිපත් නොවුයේ නම් එය අවජාතකව මිය යෑමට ඉඩතිබුණි. ජනාධිපතිවරයාත් ඔහුට ලැබුණු ජාතිකවාදි ජනවරමත් බිල්ලට දුන් මේ උවමනාව පසුපස ඇති හස්තය හඳුනාගැනීම වැදගත් වේ.

ගෝඨාභයගේ ජනවරමේ සැබෑ එන්ජීම වු ජාතික ව්‍යාපාරයේ සැබෑ ඉල්ලීම වුයේ  විධායකය ශක්තිමත් කරන  සහ 13 සපුරා අහෝසි කරන නව ව්‍යවස්ථාකි.  ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔහුගේ ධූරකාලයේ පළමු වසර තුල ගෙන එන බව ප්‍රකාශ කර ඇත. ඒ සම්භන්ධයෙන් ජනතා අදහස් ලබා ගන්නා කමිටුවක් මේ වන විට පත් කර පුවත් පත් මගින් ප්‍රසිද්ධ කර ඇත.

කෙසේ වුවද 20 වන සංශෝධනය ආණ්ඩුවට හා ජාතික ව්‍යාපාරයට ඔවුන්ගේ  හැසිරීම සහ භාවිතාව රටට කියන වැදගත් දර්ශකයක් සහ විභාගයක් බවට පත්ව ඇත.

ආණ්ඩුව තවමත් සිටින්නේ එහි නැවුම් මධුසමය තුලයි. පාර්ලිමේන්තුවේ 2/3 කට ආසන්න බලයක් රජයට ඇත. අගමැති ලොකු අයියා වන අතර, ඇමතිවරුන් ප්‍රේක්ෂකයන් වන සංවර්ධන හා තීරණ ගැනීමේ කමිටුවල පොඩි අයියා  මූලිකත්වය ගනි. විපක්ෂය සමතලා වි හීන් කෙඳිරියක් නැගීමට නොහැකි වී සිටියි. මහ සංඝරත්නයත් ජනතාවත් ගෝඨාභය කෙරෙහි දියසෙන් කුමාරයා යැයි සිතා ඔහු ජාතියට වරදක් නොකරනු ඇතැයි දැඩි විශ්වාසයක සිටිති. මේ සන්දර්භය තුල අලුත් ව්‍යස්ථා සංශෝධනයක් වසරක් ඇතුලත ගෙන එන්නේ නම් 19 වන සංශෝධනයේ ඇති කරන ලද විකෘතින් වර්තමාන ජනාධිපතිවරයාට බාධාවක් විය හැක්කේ කෙසේද යන්න දේශපාලනිකව තේරුම ගැනීම හෝ පැහැදිලි කිරිම දුෂ්කර තර්කයකි.

යහාපාලන ආණ්ඩුව, මැතිවරණ නීති සංශෝධනය හා ඔවුන්ගේ  20 වන සංශෝධනය කැරට් අලයක් දිමෙන් ,එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ සහයෝගය 19ට ලබා ගත් හ. ඉන් අනතුරුව මැතිවරණ සංශෝධන නොකෙරෙන වෙදකමක් බවට පත් විය.

අවුරුද්දක් ඇතුලත ගෙන ඒමට පොරොන්දු වන අලුත් ව්‍යවස්ථාව ගෝඨාභයගේ 20 වන සංශෝධනයට අත එසවීමට බලකරන කැරට් අලයක් නොවන වග සහතික වීම භික්ෂුන් වහන්සේලාගේ සහ ජාතික ව්‍යාපාරයේ වගකීමයි.

ඕනෑම ආන්ඩුවක ජනවරම කල් ගත වන විට විවිධ හේතු මත කුරුවල් විය හැකිය. දැනටමත්  විනයක් නැති කැලෑ පාළුවෝ ඇතුලු පිරිසක් ආණ්ඩුව පිරුළු කිරිමට ආයුධ සපයමින් සිටිති. නව ව්‍යවස්ථාව ගෙන ඒම ආණ්ඩුවේ මධුසමය තුල  කඩිනමින් කළ යුතු ප්‍රමුඛතාවක් වන්නේ එහෙයිනි.

රටක උත්තරීතර නීතිය වු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන සම්පාදනය කිරිම වැරදි පූර්වාදර්ශයකි. 19 වන සංශෝධනයේදි ද්විත්ව පුරවැසිබව ඇතුලු සමහර කරුණු රාජපක්ෂ පවුල දේශපාලන ගිලටීනයට යැවිමට අරමුණු කලත් එය යහාපාලන ආන්ඩුවට පැවරුණු කොන්ත්‍රාතුවේ සොච්චම් වැඩකි. 19 ය හුදෙක් රාජපක්ෂ වෛරයේ උපකරණය ලෙස අතිශෝක්තියට නැගීම , බටහිර රාජ්‍යයන්, දෙමළ ඩයස්පෝරාව සහා ඊනියා බෙදුම්වාදින්ගේ මහා සැලැස්ම සහා ඉන්දියානු සාගරයේ එක්සත් ජනපද භූ දේශපාලනික උපායමාර්ග අමතක කර දැමීමකි. රාජපක්ෂ වෛරය, ආණ්ඩු පෙරළිය සඳහා මාධ්‍යක් පමණක් වු අතර ජව්පේ වැනි කණ්ඩායම් වලට ප්‍රධාන නාට්‍ය වේදිකාගත වන තෙක් රස විඳිමට ලබා දුන් ටොෆියකි. මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කිරිම, අරලිය ගහ මන්දිරයේ රන්ජන්ගේ කඩු හරඹ සහ ලැම්බගිනි එම නාටකයේ සංදර්ශන පමණක් විය. යහපාලනය විසින් වෛරිසහගතව  රාජපක්ෂ පවුල ඉලක්ක කර ගැනිම මෙන්ම වත්මන් රජය විසින් ඊට ප්‍රතිඋත්තර දැක්වීම සඳහා රාජපක්ෂවරු වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කිරිමද වෙනසක් නැතුව බාල්දු කරන්නේ රටේ උත්තරීතර නීතියයි. ජනාධිපති , අගමැති හෝ පාර්ලීමේන්තු මන්ත්‍රිධූරයක් දැරිම අර්ධ කාලීන රැකියාවක් නොවේ. රටට සේවයක් කිරිමට ඒ තරම්ම ආසාවක් ඇත්නම් විදේශීය පුරවැසිබව කැප කිරිමට හැකි විය යුතුය. ගෝඨාභය යුද්ධයට නායකත්වය දුන්නේ ද්විත්ව පුරවැසියෙක් ලෙස නොවේදැයි යමෙක් තර්ක කරන්නේ නම් ගෝඨාභය ජනාධිපතිධූරය වෙනුවෙන් පුරවැසිබව අත් හැරීමද ආදර්ශයක් විය යුතුය. ගෝඨාභයලා එක් කෙනෙක් ද අර්ජුන් මහේන්ද්‍රන් ලා තොගයක් ද සිටින බව අමතක නොකළ යුතුය. නීතිය නැමීම පුජිත ජයසුන්දරට පමණක් ඇකැප වුවක් නොවේ. අනෙක් අතට රටක ව්‍යවස්ථාව තට්ටු මාරුවට බලයට පත්වන පක්ෂවල අතකොළුවක් නොවිය යුතුය.

සුමන්තිරන්ලා, විග්නේෂ්වරන් ලා බාල් නටන පාර්ලීමේන්තුවට ද්විත්ව පුරවැසි සිදුරෙන් රුද්‍රකුමාරන්ලා සුරෙන් සුරෙන්ද්‍රලා රිංගා ගතහොත් දැනට අවකාශයේ ක්‍රියාත්මක අන්තර් රාජ්‍ය දෙමළ ඊළාම් රාජ්‍ය අප දෙපා පාමුලටම එනු ඇත. අපේ පුරවැසි නීතිය අනුව මිලියන විසි පහක් ආයෝජනය කරන අයෙකුට පුරවැසිබව ගත හැකිය. නව නීදන් පිල්ලේටත්, ජීවත් ව සිටියා නම් ඔසාමා බින් ලාඩන්ටත් මිලියන 25ක් පුංචි ගාස්තුවකි.

හිටපු කතානායක කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් වු ජනතා ව්‍යාපාරයේ ලිපී ශීර්ෂයකින් ද්විත්ව පුරවැසිබාවය ඉවත් කිරිමට විරෝධතාව  දක්වා ඇත. යහපාලනයේ කසකරුවන්ගෙ වංචාසහගත විරෝධයේ සද්භාවය ප්‍රශ්න කල යුතුය. හිටපු කතානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු ප්‍රධාන උපදේශකවරයා එක්සත් ජනපද ආණ්ඩුවේ වැටුප් ලබන සේවකයෙක් නම්, ජාතික ආර්ථිකය හා ආරක්ෂාව සම්භන්ධයෙන් තීරණවලදි ඔහුගේ ලැදියාව කවුරුන් වෙනුවෙන් ක්‍රි‍යාත්මක වෙයිද? ඉන්දියානු සාගරය තුල ඇමරිකානු හා චීන බල තරඟය අභියස ද්ව්ත්ව පුරවැසියකු රාජ්‍ය යාන්ත්‍රණයේ කේන්ද්‍රය තුල ඉත්තකු ලෙස මෙහෙයවීමට ඇති ඉඩකඩ නොතකා හැරිය නොහැක. අනෙක් අතට අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු මහා මංකොල්ලයේ ප්‍රධාන වග උත්තරකරු දැන් ආගිය අතක් නැත. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන අයකු ජනතාවට වගවීම ද්විත්ව පුරවැසියන්ට වෙනත් රටකට පලායෑමට හැකි වීමෙන් නිරර්ථක ප්‍රයත්නයක් බවට පත්වේ. වගකීවයුත්තා ද්විත්ව පුරවැසියෙක් නම් ඔහු අධිකරණයට යොමු කිරිම වෙනුවට සිංගපුරුවෙන් නැවු පටවන තෙක් මුහුදට දත නියවා සිටිම හැර යමක් අසරණ ජනතාවට ඉතුරු  නොවේ.

රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර වැනි අයගේ ඉතිහාසය බැලු විට ද්විත්ව පුරවැසිබව පාවාදෙන්නකු වීමේ එකම ලක්ෂණය නොවන බව පැහැදිලිය. නමුත් දුම්බීම හෘද රෝග සඳහා එකම රෝග කාරකය නොවුනද ප්‍රධානතම හේතුවක් බව වෛද්‍ය මතයයි.

විධායකය ශක්තිමත් කිරිම හැර 20 වන සංශෝධනයේ බොහෝ දේ විපක්ෂයට කෙසේ වෙතත් ජාතික ව්‍යාපාරයට විවාද සම්පන්න වේ. ගෝඨාභය ආණ්ඩුව නාස්තික විවේචනයට ගොදුරුවීම වැලැක්වීම හැම විටම ජාතික ව්‍යාපාරයේ වගකීමක් වන්නේ විපක්ෂයට වඩා ජාත්‍යන්තර උකුසු ඇස්වලට රට ඇතුලත අභ්‍යන්තර ආණ්ඩු විරෝධයක් ඇති කිරිමට ඉඩ සලසන නිසාවෙනි. ආණ්ඩුවක් විසින් කරනු ලබන සෑම අහිතකර ක්‍රියාවක්ම වැල් පොලියට එකිනෙකට එකතු වේ. ආණ්ඩුවක් ගෙදර යන්නේ එවැනි සුළු ගැටලු වල සමුච්ච්ත අගයටයි. ශිරාණි බන්ඩාරනායක දෝශාභියෝගය, මර්වින් සිල්වාගේ හැසිරිම, වැව රැවුමේ කාර් රේස් මේ සියල්ල පාවෙන චන්ද දායකයාගෙ විගණනයට ලක් වේ. ඊළග මැතිවරණයේදි චන්දය භාවිත කිරිමට පෙර ආණ්ඩුවේ ශේෂ පත්‍රයේ හර සහ බැර පිළිබඳව ඔහු සැලකිලිමත් වනු ඇත.

ආණ්ඩුව විසින් ජාතික ව්‍යාපාරය විසින් පෙන්වා දෙන ලද යම් යම්කරුණු වලට සාධනීය ලෙස  ප්‍රතිචාර දක්වා තිබීම වැදගත් වේ. කෙසේ වුවද ද්විත්ව පුර්වැසිබව සම්භන්ධයෙන් රජය දක්වන අනම්‍ය ස්ථාවරය ජාතික ව්‍යාපාරය අසීරු තත්වයටකට පත් කර ඇති බව පෙනේ. ඉහත සංශෝධනයන්ට යටත්ව 20 සම්මත කල යුතුම බවට ජාතික ව්‍යාපාරයෙන්ම හඬක් නැගෙන්නේ, 20 නැත්නම්   අලුත් ව්‍යවස්ථාවක් ද නොවන බවට රජයෙන් ලැබි ඇති රතු එළියක් නිසාවෙන් විය යුතුය. ජාතික ව්‍යාපාරයේ සාන්ද්‍ර විරෝධය , යම් යම් එකඟතා මත  ත

අලුත් ව්‍යවස්ථාවකදි  පළාත් සභා අහෝසි කිරිම, මැතිවරණ ක්‍රියාවලිය වෙනස් කිරිම, ජාතිවාදි සීමා නීර්ණයන් අහෝසි කිරිමට බලපෑම් කල හැක්කේ දියාරු හඬකට නොව සැබෑ සටන්කාමීත්වයක් තුලයි. 20 වන සංශෝධනය  සහ නව ව්‍යවස්ථාව අතර කාලය සහ එහි අන්තර්ගතය  සම්භන්ධයෙන් ආණ්ඩුව හා ජාතික ව්‍යාපාරය එකිනෙකට ප්‍රතිචාර දක්වන ආකාරය , ඉදිරියෙදි මෙම දෙකොටෙසෙහිම පැවත්ම තීරණය කරනු ඇත.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව



85 Viewers