• Home »
  • Sinhala Articles »
  • ඇමෙරිකාවේ මානව හිමිකම් ප‍්‍රශ්න කළ ෆ්ලොයිඞ් ඝාතනය

ඇමෙරිකාවේ මානව හිමිකම් ප‍්‍රශ්න කළ ෆ්ලොයිඞ් ඝාතනය

(Courtesy of  Diwaina)

 

මිනිසුන් අතර පවතින විවිධාකාර වූ නොගැළපීම් මත පිහිටා මානව හිතවාදී නොවන ක‍්‍රියාවන්වල නිරත වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු මානව ඉතිහාසයේ මොනවට සඳහන් වේ. එම ක‍්‍රියාවන් විවිධාකාර වූ නම්වලින් හඳුන්වා දී ඇති අතර එහි මෑතකාලීන සිදුවීම වන්නේ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයයි. ජාතිවාදය, ආගම්වාදය, වර්ණභේද වාදය ලෙස කුමන නමකින් හැඳින්වුවද ඒවා මානව හිතවාදී නොවන ක‍්‍රියා බවනම් සක්සුදක් සේ පැහැදිලිය.

ජාතිවාදය, ආගම්වාදය, වර්ණභේදවාදය වැනි මාතෘකා සමඟ ගැටෙන ක්ෂේත‍්‍රයක් ලෙස මානව හිමිකම් දැක්විය හැකිය. බොහෝ අවස්ථාවන්වලදී මෙවැනි ජාතිවාදී, ආගම්වාදී සහ වර්ණභේදවාදී ගැටුම් සහ මතභේද ඇතිවන සෑම අවස්ථාවකම පාහේ මානව හිමිකම් උල්ලංඝනය වීම් දක්නට ලැබේ. විශේෂයෙන්ම ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීමේදී ද ඔහුට හිමි මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව පෙනේ. ඒ පිළිබඳව මෙම ලිපිය හරහා සාකච්ඡුා කෙරෙන අතර පොදුවේ මෙවැනි ගැටුම් නිසා ඇති විය හැකි මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ද අවධානය යොමු වේ.

මානවයෙකු වීම හේතුවෙන්ම අපට හිමි වන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මඟින් 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කර ගන්නා ලද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ (Universal Declaration of Human Right) මූලිකම අරමුණ වූයේ සියලූ මිනිසුන්ට සමාන තත්ත්වයක් ළඟා කර දීමයි. මෙම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ වගන්ති 30 ක් පමණක් අන්තර්ගත වුවද එය ඉතා සාරගර්භ ලේඛනයකි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වර්ණභේද වාදය, ජාතිවාදය වැනි මතවාදයන්ට (Ideologi)* එරෙහි අදහසක් මෙම ප‍්‍රකාශනයේ අන්තර්ගත වේ. මෙම ප‍්‍රකාශනයේ පළමු සහ දෙවන වගන්ති ප‍්‍රකාරව සියලූම මිනිසුන්ට සමාන අයිතිවාසිකම් සහ ගරුත්වයක් ලැබීමට හිමිකම් ඇති බව සඳහන් වන අතර කිසිදු ආකාරයේ වාර්ගික, භාෂාමය, ලිංගික, වරණීය, ආගමික, දේශපාලන, සමාජ සම්භවය, උපත වැනි කිසිදු ආකාරයක පුද්ගල විශේෂීකරණයකින් තොරව මෙම විශ්ව ප‍්‍රකාශනයේ අන්තර්ගත නිදහස සහ අයිතිවාසිකම් මිනිසුන්ට හිමි වන බව දක්වා තිබේ.

තවද එම ප‍්‍රකාශනයේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ‘වධහිංසාවන්ට හෝ කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලට හෝ දඬුවමකට භාජන නොවීමේ නිදහස’ පුද්ගලයන්ට ඇති බවයි. ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය සිදුවී ඇත්තේ ද කෲර අමානුෂික අවමන් සහගත වධහිංසාවලට ලක් නොවී සිටීමට ඔහුට ඇති මානව අයිතිවාසිකම ද උල්ලංඝනය කරමිනි. ෆ්ලොයිඞ් ඉදිරිපත් කළ මුදල් නෝට්ටුව ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනාගත් වෙළෙඳ සල් හිමියා කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකු මෝටර් රථයක අසුන්ගෙන සිටි ෆ්ලොයිඞ්ව බිමට බස්සවාගෙන ඔහුගේ විරෝධය මධ්‍යයේ ඔහුගේ දෑත් පිටුපසට කර මාංචු දැමූ බව වාර්තා වේ. පොලිස් ජීප් රථයට නැඟීම ප‍්‍රතික්ෂේප කළ විට ඩෙරෙක් ඩාවින් නමැති පොලිස් නිලධාරියා ෆ්ලොයිඞ් ඉවතට ඇද පෙරළා දමා ඔහුගේ බෙල්ලට තම දණහිස තබා ගෙන සිටිනු අන්තර්ජාලයේ සංසරණය වූ වීඩියෝ දර්ශනවල පැහැදිලිව දක්නට ලැබුණි. ග‍්‍රහණය ලිහිල් කරන ලෙස ෆ්ලොයිඞ් කළ ආයාචනය අතිශය සංවේදීජනකය. ‘I can’t breath’ ලෙස ඔහු කරන ලද ආයාචනය පසුව ලොවපුරා විරෝධතාවන්වල සුවිශේෂී සටන් පාඨයක් ලෙස භාවිත විය.

මෙම ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීම හා අදාළ කරගත හැකි මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ දැක්වෙන තවත් වැදගත් වගන්ති කිහිපයක් පහතින් දක්වා ඇත.

5. වන වගන්තිය- නීතිය ඉදිරියේ සියල්ලෝම සමානය. නීතියේ ආරක්ෂාව සියලූ දෙනාටම හිමි වේ.

6. වන වගන්තිය- මූලික නීතියෙන් හෝ වෙනත් නීති මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී බලධාරී ජාතික අධිකරණයකින් පිහිට පැතීමට සෑම පුද්ගලයෙකුටම හැකිය.

7. වන වගන්තිය – අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට හෝ පිටුවහල් කිරීමට කිසිදු පුද්ගලයෙකු භාජන නොකළ යුතුය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ දැක්වෙන තවත් කරුණක් වන්නේ අපක්ෂපාතී අධිකරණ විනිශ්චයන් සඳහා සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකමක් ඇත. යන්නත් විවෘත අධිකරණ විභාගයකින් වැරදිකරු බව තහවුරු වනතෙක් අදාළ පුද්ගලයා නිවැරදි පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවත් ය. මෙම මානව හිමිකම් සියල්ලම පාහේ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය සිදුවීම තුළ උල්ලංඝනය වී ඇති බව පෙනෙන්නට තිබේ.

ෆ්ලොයිඞ් මියගියේ පොලිස් අත්අඩංගුවේදීය. තවද ඔහුට මියයෑමට සිදු වූයේ ඉතා අමානුෂික ආකාරයකටය. එය තවදුරටත් එක් රටක එක් පුද්ගලයෙකුට ඇතිවූ අසාධාරණ අමානුෂික තත්ත්වයක් නොවේ. එය සමස්ත මානව වර්ගයාටම බලපාන මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලූවකි. එමනිසා ඇමරිකානු බලධාරීන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන ද ෆ්ලොයිඞ් ට සිදු වූ අසාධාරණයට එරෙහිව පියවර ගැනීමට මැදිහත් විය යුතුව ඇත. ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තුව අදාළ පොලිස් නිලධාරීන් සිවු දෙනාගේ වැඩ තහනම් කර ඇති අතර ෆ්ලොයිඞ් ට මරණය කැඳවූ ඩෙරෙක් ඩාවින් නමැති පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර ඇත. කෙසේ වුවත් වීඩියෝ දර්ශනවලින් පැහැදිලිව පෙනෙන දෙයක් වන්නේ එම සිදුවීම අතරතුර එයට විරෝධය දක්වන පිරිසගේ මඟ ඇහිරීමට එක් පොලිස් නිලධාරියෙකු කටයුතු කරන බවයි. මෙය මනුෂ්‍යත්වයට එරෙහි අමානුෂික ක‍්‍රියාවක් බවට තවත් සාධක අවැසිද? මෙය මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස සැලකීම වැරදි නොවේ. මිනිස් ජීවිතයක වටිනාකම කෙතරම් පහළ මට්ටමකට වැටී ඇත්දැයි මොහොතකට සිතා බලන්න. සදාචාරාත්මක අගයන් කොතෙක් දුරකට කඩාවැටීමකට ලක්ව ඇත්දැයි ඔබට පැහැදිලි වනු ඇත.

මෙම ‘සුදු-කළු‘ වර්ණ භේදය වැඩි වශයෙන් පැතිරීම සිදු වූයේ යටත්විජිතකරණය සමඟයි. කළු ජාතිකයන් ‘කල්ලන්‘ ලෙස ද සුදු ජාතිකයන් ‘සුද්දන්‘ ලෙස හැඳින්වීමත්, සුදු ජාතිකයන්ගේ ආකල්ප මුල් බැස ගැනීමත් නිසා තවදුරටත් යටත් විජිත බවට පත්ව සිටි රටවල්වල මිනිසුන්ගේ ආකල්ප නිර්මාණය වන්නේ බටහිර රටවල් ඉලක්ක කරගෙනය. ආසියාතික සමේ පැහැය ප‍්‍රිය නොකරන බොහෝ පුද්ගලයන් සම ‘සුදු‘ කර ගැනීමට මහත් වෙහෙසක් දරන්නේ සහ විශාල මුදලක් වැය කරන්නේ එබැවිනි. රැුකියාවලට පවා ‘සුදු‘ සම වැදගත් ලෙස සලකන අවස්ථා ඇත්තේ එබැවිනි.

ඉංග‍්‍රීසි භාෂාව නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන්නේ එබැවිනි. විශේෂයෙන් ඇමෙරිකාවට ‘ග‍්‍රීන් කාර්ඞ්’ ලබා ගැනීමට ආසියාතිකයන් රැුසක් අයැදුම් කරන්නේ එබැවිනි. ‘සුද්දන්’ ලෙස සිටීමට පුද්ගලයන් වඩාත් ප‍්‍රිය කරන්නේ එබැවිනි. එවැනි අවස්ථාවලදී වචනයකින් පවා අනෙකාට ඇතිවන හිංසනය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව සහ ඒ හරහා සිදු වන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව අදහස් ප‍්‍රකාශ නොකරන බව ද පෙනේ. නමුත් ඒ ඉහත සඳහන් කළ ආකල්ප අගයන්නේ ‘ඇතැම්’ පුද්ගලයන් පමණි. පුදුමයට සහ හාස්‍යයට කරුණ නම් එවැනි පුද්ගලයන් ‘blacklivesmatter’ ලෙස සඳහන් කරමින් ජෝර්ජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් පෙනී සිටීමයි. රැුල්ලට යමින් ‘black lives matter” ලෙස සඳහන් කිරීම ද හාස්‍යයට කරුණකි. වර්ණභේද වාදය මතු නොව සියලූ ආකාරයේ භේදයන් මිනිස් සමාජයෙන් මුලිනුපුටා දැමීමට සමස්ත ලෝකයම එක් විය යුතු කාලය එළඹ ඇත. ඒ සඳහා ‘Blacklivesmatter’ යන්න ක‍්‍රියාවෙන්ම ඔප්පු කළ යුතුය.

ඉහත සඳහන් කළ කරුණුවලින් පැහැදිලි වන්නේ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතන සිදුවීම තුළ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු ව ඇති බවයි. ඒ මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වූ ප‍්‍රථම අවස්ථාව නොවේ. ඇමරිකානු බලධාරීන් විසින් බොහෝ අවස්ථාවල අනෙක් රටවල් ඉලක්ක කරගනිමින් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව විශාල වශයෙන් බලපෑම් එල්ල කරන අවස්ථා

දුලබ නොවේ. නමුත් දැන් ඔවුන් සැබවින්ම කළ යුත්තේ ඔවුන්ගේ රටේ සිදුවන මෙවැනි ජාතිවාදී/ වර්ණභේදවාදී ගැටුම් හා බැඳුනු මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව අවධානය යොමු කිරීමයි. මේ අවස්ථාවේ දී ඇමෙරිකානු බලධාරීන්ගේ වගකීම වන්නේ ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය සිදුවීමට සම්බන්ධ සියලූ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම සහ මෙවැනි කෲර අමානුෂික මනුෂ්‍ය ඝාතන තවදුරටත් සිදු නොවීම වළක්වා ගැනීමටත් කටයුතු කිරීමයි. එසේ නොවුනත් තවදුරටත් අනෙක් රටවල්වල මානව හිමිකම්වල ක‍්‍රියාකාරිත්වය පිළිබඳව ඇඟිල්ල දිගු කිරීමට ඇමෙරිකාවට කිසිදු ආකාරයක සදාචාරාත්මක අයිතියක් නොමැති බවද වටහා ගත යුතුය.

එන්. එම්. බුද්ධිනී කරුණාතිලක
දර්ශන අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය



106 Viewers