• Home »
  • Sinhala Articles »
  • ඉංග්‍රීසින් මහනුවර රාජකීය වස්තු කොල්ල කෑ සැටි

ඉංග්‍රීසින් මහනුවර රාජකීය වස්තු කොල්ල කෑ සැටි

දිනය මින් වසර 200 කට පෙර 1820 ජුනි 13 දාය. එදින මිල කල නොහැකි තරම් අගයකින් යුත් රනින් නිම කල මැණික් ඇල්ලු ස්වර්ණාභරණ තොගයක් එංගලන්තයේ ලන්ඩන් නුවර කොවන්ට් ගාඩ්න්හි රජ වීදියේ අංක 38 දරණ ස්ථානයේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී.  ඒවා හඳුන්වන ලද්දේ “රජතුමා විසින්  තමා අත්අඩංගුවට ගත්තවුන්ට ලබා දෙන ලද” වස්තුව ලෙසය. මෙහිදී රජතුමා යනු මෙරට අන්තිම රජ වූ මහනුවර සෙංකඩගල රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.

එහෙත් ඒවා රජතුමා විසින් ලබා දුන්නා නොව ඉංග්‍රීසින් විසින් පැහැරගන්නා ලද, ඔහු සතුව තිබු සම්පූර්ණ රාජ භාණ්ඩ වලින් කොටසකි.  ඊට රජුගේ ඔටුන්න, සිහසුන රජුගේ දෙපා තබන පාපුටුව සහ වසර 22ක් තිස්සේ මහනුවර රජවරුන් විසින් භාවිත කල අසිපතද ඇතුලත්විය.  සිහසුන වසර 1693 සිට භාවිත  කල අතර එම ඔටුන්න භාවිත කරන ලද්දේ 1737 සිටය.  ඔටුන්න වටා නිල් සහ රෝස පාට කොන් අටක් තිබු අතර ඒ මත රනින් කල රාජකීය ‘පුෂ්පයක්’ පළඳවා  එහි දියමන්ති, රතුකැට, මරකත, පද්මරාග යනාදී වටිනා ගල් සහ මුතු ඔබ්බවා තිබින.

සම්ප්‍රදායික සිංහල මෝස්‌තර ඇතුලත් කර නිර්මාණය කරන ලදුව විල්ලුද මෙට්ට සහිත සිහසුන සහ පාපුටුව පහතරට ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වැන් රී විසින් උඩරට දෙවන විමලධර්මසූරිය රජතුමාට තෑගී කරන ලද්දක් විය. ඒ  මහනුවර රාජධානිය සහ ඕලන්ද පාලනය අතර සාමය සහ සුහදත්වය  පැවති කාලයේදීය.  ලීයෙන් තැනු රාමුවකින් යුත් සිහසුන මතුපිටින් සැරසුනේ වුයේ වටිනා ගල් 243ක් ඔබ්බවන තුනී රත්රන් තහඩුවකිනි. අඩි පහක් දිග, අඩි දෙකයි අගල් දෙකක් පමණ පළල එම සිහසුනේ කැපී පෙනෙන ලක්ෂණය වුයේ සිංහ රූ සහිත ඇඳි දෙකය.  එම සිංහ ජෝඩුවේ දෑස් වලට දම්පාට මැණික් ගල් යොදා තිබුනි.

පැහැර ගන්නා ලද වස්තු අතර විවිධ වර්ගයේ රනින් කල වළලු,  කරේ පළඳින චේන්, පදක්කම්, කිනිස්සක් සහ  සටන් වලදී පළඳින ලෝහමය සැට්ටයක්ද විය. ඒවා සියල්ල විශිෂ්ට ලෙසින් කැටයම් කර නොයෙකුත් වටිනා ගල් වර්ග අල්ලා තිබින.

වෙන්දේසියේ විකිණීමට නියමිතව තිබු වස්තුන් 93ක් ඊට අදාල ලියවිල්ලට ඇතුලත් විය. ඔටුන්න ඇතුළු ඒ සියල්ල කැබලි වලට කඩා  අවුන්සය (ග්‍රෑම් 28ක් පමණ) බැගින් විකිණීමට නියමිත විය. එහෙත් වාසනාවකට ඔටුන්නට එය සිදුවුයේ නැත.

ශ්‍රී වික්‍රම රජු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහනුවර බ්‍රිතාන්‍ය මුලස්ථානය විසින් සකස් කරන ලද නිල ප්‍රකාශනයකට අනුව බ්‍රිතාන්‍යයන්ගේ පැත්තට පලා ගොස් සිටි ඇහැලේපොල අධිකාරම 1815 මාර්තු 13 දා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හමු විය.එහිදී  ඇහැලේපොල අධිකාරම කල සඥාවකින් පසු ඔහුගේ සේවකයන් ඉහත සඳහන් කල වස්තු වලින් කොටසක් පිරවූ මලු තුනක් ගෙනැවිත් ආණ්ඩුකාරයාට බාර දී ඇත. නමුත් රජුගේ ඔටුන්න සහ රාජ්‍ය සංකේතයක් වූ අසිපත එහි තිබී නැත.  ඒවා ඉංග්‍රීසින්ට විශේෂයන්ම අවශ්‍ය විය. ඊට හේතු වුයේ උඩරට නායකයෙකු වූ වෙල්ලස්සේ මිල්ලැව දිසාව පැවසු කරුණකි.

 එනම් ඔටුන්න සහ අසිපත ඉංග්‍රීසින් සතු නොවන තාක් පාලන බලය ඔවුන් සතු බව ජනතාව විශ්වාස නොකරන බවයි.

මෙහිදී බරපතල සැකයට පාත්‍ර වුයේ ඇහැලේපොල අධිකාරමය. බ්‍රිතාන්‍යයන් විසින් 1816  නොවැම්බර් 5 වනදා නිකුත් කරන ලද නිකුත් කරන ලද ලියවිල්ලකට අනුව ඇහැලේපොලට කරන ලද දැඩි බලපෑම නිසා අවසානයේදී ඌව සහ කොත්මලේ අතර කැලයක සඟවන ලද ඔටුන්න, මැණික්  සහ දියමන්ති ඔබ්බවන ලද රන් මිට සහිත අසිපත සහ රජුගේ තවත් වටිනා වස්තු ඔවුන්ට ලබාගතහැකි විය.

ජානක පෙරේරා



22 Viewers