• Home »
  • Articles »
  • ඉන්දු – ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුම්වල සැබෑ පසුබිම

ඉන්දු – ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුම්වල සැබෑ පසුබිම

මෙරට ජාතික ආරක්‍ෂාව පසුබිමේ සිදුවන්නේ කුමක්ද? ඉන්දියාව මෙරට ආරක්‍ෂාවට සෘජුව මැදිහත් වී ඇති අයුරු පහත දැක්වෙන ව්‍යාපෘතිවලින් තහවුරු වී ඇත.

  1. ඩොලර් මිලියන 20 ක් වැය කර පාවෙන නැව් තටාකයක් ඉදිකරදීම
  2. නාවික ගලවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් කොළඹ සහ දිවයින පුරා ඇති නාවික කඳවුරුවල ස්ථාපිත කිරීම
  3. එම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විද්යුත් පද්ධති ඇතුළු සියලු කටයුතු කරන්නේ ඉන්දීය භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගමය
  4. ඉන්දීය ඩෝනියර් නිරීක්‍ෂණ යානාවක් මෙරටට නොමිලේ ලබාදෙන අතර අනික් යානාව මිලයට ගත යුතුය.
  5. ගෝවේ තටාකයේ ඉදිවන පාවෙන තටාකය ත‍්‍රිකුණාමල වරායේ ස්ථාපිත කිරීම

මේ සඳහා ණය ආධාර සපයන්නේ ඉන්දීය රජයයි. මෙම ව්‍යාපෘතිවලින් ඩොලර් මිලියන 20 ක් වැය කර ඉදිකරන පාවෙන තටාකය උපාය මාර්ගික ත‍්‍රිකුණාමල වරායේ ස්ථාපිත කිරීම සහ නාවික ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවීමත් බරපතළ සැකයට තුඩුදෙන කරුණකි.

ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාවට විදේශ රටක තර්ජනයක් එල්ලවී නැති අතර ඉන්දියාව මෙලෙස ණය ආධාර දෙන්නේ කුමකටද?

ඒ වෙන කිසිවක් නිසා නොව ඉන්දියාව සම්බන්ධ ක්වෝඞ් ආරක්‍ෂක ගිවිසුම නිසාය. මෙම ගිවිසුම ඇමෙරිකානු රජය මෙරට රජයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට එකඟ වූයේ නැත. දැන් එය ඉන්දියාව හරහා ශී‍්‍ර ලංකාවට යොමු වී තිබේ. මේ පසුබිම මැද කොළඹ නාවික හමුදා මූලස්ථානය තුළ නාවික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මෙරට ආරක්‍ෂාවට තර්ජනයක් නොවේද? ඉන්දියානු රජය විශාකා පට්නම් නාවික කඳවුර ඇති කලාපයේ කිසිදු විදේශ ආයෝජනයකට ඉඩ දෙන්නේ නැත. එසේ නම් ශ‍්‍රී ලංකාවේ රජය කොළඹ නාවික හමුදා මූලස්ථානය තුළ භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගමට සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමට සහ නාවික කඳවුරුවල උප කාර්යාල ස්ථාපිත කිරීමට අවසර දී ඇත්තේ මන්ද?

එසේම නාවික හමුදා කඳවුරුවල සම්බන්ධීකරණ උපකාර්යාල ස්ථාපිත කරන්නේ කුමකටද? එහෙත් රජයේ ආරක්‍ෂක බලධාරීන් මේ ගැන දැඩි අවධානය යොමු කර නැත.

මෙයට පෙර චීන වරායේ තෙල් ටැංකි අර්බුදය මතුවිය. මෙම තෙල් ටැංකි සමූහය ඇමෙරිකාවට ලබාදීමට එවකට පැවැති රජය සැලසුම් කළ අවස්ථාවේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඊට එරෙහි විය.

ඉන්පසු පැමිණ ආණ්ඩු තෙල් ටැංකි සමූහය ඉන්දියාවට බදු දුන්නේය. එහි විපාකය දැන් පැහැදිලි වී ඇත. ඉන්දියාව ගත වූ වර්ෂවලට වඩා ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට බරපතළ ලෙස මැදිහත් වී තිබේ.

එය දේශපාලනයට සීමා වී නැත. සෘජුව ජාතික ආරක්‍ෂාවටද මැදිහත් වී ඇත. එසේම ඉන්දීය එකොනමික් ටයිම්ස් පුවත්පත රජය මෙරටට වසන් කළ තොරතුරක්ද අනාවරණය කර ඇත. ඒ ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක ගිවිසුමක් කෙටුම්පත් කිරීමයි. මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්ට ආරක්‍ෂක ගිවිසුමක් කෙටුම්පත් කිරීමට බලය දුන්නේ කවුරුන්ද යන්නයි. මෙයට පෙර මෙවැන්නක් සිදුවී නැත. 2002 සටන්විරාම ගිවිසුමේ මූලිකයා ලෙස කටයුතු කළේද මෙම මහ කොමසාරිස්වරයායි. මේ පසුබිම මැද මෙරට ජාතික ආරක්‍ෂාවට ඉන්දියාව මැදිහත් වීම යහපත් ප‍්‍රවනතාවක් නොවේ.

මෙයට කලකට පෙර ඉන්දීය හමුදාපතිවරයෙක් පැවසූවේ අපේ අසල්වාසී රටවලට චීනය වෙත ඇදීයෑමට ඉඩ නොදෙන බවයි. එම ප‍්‍රකාශය අද තහවුරු වී ඇත. ඉන්දියාව අහස්කුස නිරීක්‍ෂණයට ඩ්‍රෝන යානාද ඇමෙරිකාව බීච්ක‍්‍රාෆ්ට් නිරීක්‍ෂණ යානාවක්ද මුහුදු විමර්ශනයට වෙරලාරක්‍ෂක යාත‍්‍රාද ඉන්දියාව ටොන් 4000 ක් බරැති පාවෙන තටාකයක්ද ලබාදීම සාමාන්‍ය සිද්ධියක් නොවේ.

එසේම ද්‍රවිඩ සංධානය තවත් උපක‍්‍රමයක් දියත් කර ඇතත් උතුරු නැගෙනහිරින් චීනය පලවාහැරීම සඳහා උතුරු නැගෙනහිරට බලය ඉල්ලා සිටීමයි. මේ බව ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී සුමන්තිරන් ඉන්දීය මාධ්‍ය අමතා පවසා තිබුණි. එවැනි තත්ත්වයක් මත ඉන්දියාවේ මේ ක‍්‍රියාවන් ජනතාව කිසිවිටෙක අනුමත කරන්නේ නැත.

ඉන්දියාව වසර ගණනකට පෙර මෙරටට ඉන්දීය හමුදාව එවනු ලැබීය. එය ශ‍්‍රී ලංකාවට බරපතළ ප‍්‍රශ්නයක් උදා කළේය. ඉන්පසු ඉන්දීය රෝ බුද්ධි සේවාවද මෙරට මැතිවරණවලට මැදිහත්විය. මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. එම අවස්ථාවේ ඉන්දියාව ණය ලබාදීමට ඉදිරිපත් විය. එම ණය සඳහා සියලු දේ මිලයට ගත යුත්තේ ඉන්දියාවෙනි. රජය ඉන්දීය ණය ආධාර මත අයි. ඕ. සී. සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමටද ඉදිරිපත් විය. අයි. ඕ. ස.ී සමාගම රුසියාවෙන් අඩු මිලට බොරතෙල් බැරල් මිලියන තුනක් ලබා ගත්තේය. එසේ නම් අයි ඕ සී මෙරටට අලෙවි කරන්නේ රුසියාවෙන් ලාබෙට ගත් බොරතෙල්ද?

මේ ගැන රජය කිසිදු ප‍්‍රකාශයක් කර නැත. එසේම ඩොලර් මිලියන 20 ක් වටිනා පාවෙන තටාකයක් මෙරටට කුමකටද? කොළඹ නැව් තටාකාංගනයක් තිබියදී පාවෙන තටාකාංගනයක් ලබාගන්නේ යුද නැව් සහ ඩිස්ට්‍රෝයර් අලුත්වැඩියා කිරීමට බව වාර්තා වී තිබේ. මේ තත්ත්වය මත මෙරට ජාතික ආරක්‍ෂාව කොයිබටද?

ඉන්දීය රජය විවිධ ගිවිසුම් මගින් ජාතික ආරක්‍ෂාවට යොමුවීම කිසිසේත් පිළිගත නොහැකිය.

මේ සතියේදී ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජායිශන්කර් ශ‍්‍රී ලංකාවට පැමිණි විට ද්‍රවිඩ සංධානය සහ මනෝගනේෂන් කල්ලිය ඔහුව හමුවිය. ඊට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ ජිනීවාහි ඉන්දීය තානාපතිවරයා 13 වැනි සංශෝධනය ඉටු කළ යුතු යැයි ප‍්‍රකාශ කර තිබුණි.

මේ අතර උතුරේ දූපත් තුනක සුළං බල ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉන්දියාව තීරණය කර ඇත. එම ව්‍යාපෘති චීනයට ලබාදීමට ශී‍්‍ර ලංකා රජය මුලින් තීරණය කර තිබුණි. එහෙත් ඉන් සිය ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වන බවට ඉන්දියාව ප‍්‍රකාශ කිරීම නිසා ශ‍්‍රී ලංකා රජය එකී ව්‍යාපෘති ඉන්දියාවට පවරනු ලැබීය. එහෙත් පසුගිය රජය හම්බන්තොට වරාය චිනයට බදු දුන්නේය. චීන සමාගමක් හම්බන්තොට වරායේ පාලනය භාර ගැනීමෙන් පසු ප‍්‍රංශ සහ ජපන් බලධාරීන් එම වරාය නිරීක්‍ෂණයට පැමිණියහ. ඊට සමගාමීව ශාන්තිකර කලාපීය ඇමෙරිකානු නාවික හමුදාවේ ප‍්‍රධානියා විශේෂ නාවික ගුවන් යානාවකින් මත්තලට පැමිණියේය. ඔහු ආපසු පිටට ගියේ චීනවරාය හරහායි.

එසේම මෙවර ඉන්දු ශී‍්‍ර ලංකා ආරක්‍ෂක ගිවිසුමට ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ද මැදිහත් වී ඇත. මාලදිවයිනේ පැවැති සමුළුව අමතා ඔහු නාවික ක්‍ෂේත‍්‍රයට එල්ල වී ඇති අභියෝග ගැන ප‍්‍රකාශ කර ඇත. මෙවන් පසුබිමක් මැද අශ්වයා පැන යෑමෙන් පසු ඉස්තාලය වසා දැමූවා යන කියමන සනාථ කරමින් ඉන්දු ශී‍්‍ර ලංකා ආරක්‍ෂක ගිවිසුම් ගැන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශක කර්නල් නලින් හේරත් හින්දු පුවත්පතට ප‍්‍රකාශයක් කර ඇත.

ඒ ඉන්දු ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුම්වලට මාර්තු 16 වැනිදා ආරක්‍ෂක ලේකම් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු අත්සන් කළ බව ඔහු තවදුරටත් පවසා තිබේ. එහෙත් එම නිලධාරියා කව්දැයි ඔහු හෙළි කර නැත. මේ ආරක්‍ෂක ගිවිසුම් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කළේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඒ බව අනාවරණය වුවත් ආරක්‍ෂක අමාත්‍යාංශය නිහඬ විය. මේ ගිවිසුම් ගැන ජනතාවට හෙළිවීමත් සමඟම මාර්තු 16 දා අත්සන් කළ බව කියන ගිවිසුම ගැන ආරක්‍ෂක අමාත්‍යාංශය ප‍්‍රකාශයක් කළේ මාර්තු 30 දායි.

මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ ඉන්දීය උපාය මාර්ගික යෝජනාවලට ශී‍්‍ර ලංකාව එකඟවීමෙන් ජයග‍්‍රාහකයා ඉන්දියාව බව සනාථ වේ. ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් ඉන්දියාවට අවාසිදායක ගිවිසුම්වලට කිසිදිනක අත ගසන්නේ නැත. ඩෙවොල්ගේ මෙහෙයුම් ගැන දන්නා ආරක්‍ෂක විශ්ලේෂකයන් ඔහු අතගැසූ කිසිදු මෙහෙයුමක් වැරදි නැති බව දනී. එසේ නම් ශ‍්‍රී ලංකාව සමඟ ඉන්දියාව අත්සන් කළ ගිවිසුම් ශ‍්‍රී ලංකාවේ යහපතට කෙටුම්පත් වුවක් යැයි කිවහැකිද?

ඩොලර් මිලියන 6 ක ණය මුදලක් ශ‍්‍රී ලංකාවට සපයා එම්. ආර්. සී. ඩී. හෙවත් නාවික ගලවා ගැනීම් මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන්නේ නාවික ගලවා ගැනීමේ මෙහෙයුම්වලටද? එවැනි යෝජනාවක් බංග්ලාදේශය හෝ මාලදිවයින වෙත ඉදිරිපත් වී නැත. එවන් පසුබිමක් මැද ඉන්දියාව දියත් කර ඇත්තේ භූ විද්‍යා උපාය මාර්ගික මෙහෙයුමකි.

ඉන්දියාවේ ප‍්‍රාන්තවල රෝගීන් මියයෑමෙන් පසු සිරුර නිවසට ගෙන යෑමට ගිලන්රථ නැත. ඒ වෙනුවට ශ‍්‍රී ලංකාවට ගිලන්රථ දුන්නේය. ශ‍්‍රී ලංකාව සතු ඇමෙරිකානු බීච්ක‍්‍රාෆ්ට් නිරීක්‍ෂණ යානාවක් තිබියදී ඉන්දියාවෙන් ඩ්‍රෝන යානාවක් මිලයට ගැනීම යනු ජනතාවගේ මුදල් වැය කිරීමකි.

මේ සියලු ගිවිසුම් පසුබිමේ ඇත්තේ චීන විරෝධී ක‍්‍රියාදාමයක ඉන්දීය රෝ ඔත්තු සේවාව හම්බන්තොට වරාය සහ කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය ගැනද නිරතුරුවම විමර්ශනයේ සිටින බව අවධාරණයෙන් සිහිපත් කළ යුතුය. එසේම ද්‍රවිඩ සංධානය තුළද රෝ ඔත්තුකරුවන් සිටියි.

කොටින්ගේ ගුවන් යානා දෙක වව්නියාව හරහා කොළඹට එන්නේද යන්න අසුකර ගැනීමට ඉන්දු රේඩාරය සැපයුවේ භාරත් ඉලෙක්ට්‍රොනික් ආයතනය. එහෙත් කොටි යානා අසුවූයේ චීන ත‍්‍රිමාණ රේඩාරයටය. මෙයට වසර කීපයකට පෙර චීන සබ්මැරීන් කොළඹ වරායට සම්ප‍්‍රාප්ත වන බවට ප‍්‍රචාරයක් දියත් කළේද විරුද්ධ පක්‍ෂයට සම්බන්ධ උපදේශකවරයෙකි. මේ චීන භීතිකාව අද උග‍්‍ර තත්ත්වයකට පත්ව තිබේ. එසේම ඉන්දියානුවන් 20000 ක් පමණ මෙරට සිටින බවද අප අමතක නොකළ යුතුය.

කීර්ති වර්ණකුලසූරිය



30 Viewers