ඊලම් සිහිනයට ඉතිහාසය විකෘති කිරීම්….

යාපනයට නව ඉතිහාසයක් ගොඩනැගීමට පුරෝගාමී වූවන්ගෙන් කෙනෙකි; මුදලි රාසනායගම් මහතා. එසේම රාසනායගම් මහතා ඉතිහාසය විකෘති කිරීමේ පුරෝගාමීන්ගෙන් කෙනෙක්ද විය. ඔහු ඉහත සඳහන් ලිපියද ” පුරාණ යාපනය” ග්‍රන්ථයද කියවීමට සිත් දෙන ලෙස ලියා තිබේ.

මෙම ලිපි හා පොත් අද්භූත නවකථා මෙන් ත්‍රාසයෙන් කියවිය හැකිය. එහෙත් ඒවායේ අඩංගු වන සාවද්‍ය කරුණු හඳුනා නොගත් පාඨකයන් නොමග යැවීමෙහිද සමත් විය.

සිංහල යන නම ඇතිවූ ආකාරය මුදලි රාසනායගම් මහතා ඔහුගේ “ද ටැමිල් කිංග්ඩම් ඔප් ජැප්නා ඇන්ඩ් ද අර්ලි ග්‍රීක් රයිටර්ස්” නැමැති ලිපියෙහි විස්තර කරන්නේ මෙසේය.

” ලංකාව පැරණි ද්‍රවිඩයන් දැන සිටියේ ඊලම් සහ ඊල මණ්ඩලම් යනුවෙනි. එය මේ දක්වාම ව්‍යවහාරයේ අඛණ්ඩව පවතී. ඊලම් යන වචනයෙන් සීලම්,සිංහලම් ඇති විය. සීලම් යන්නෙන් Zeilon පෘතුගීසි යන වචනයද, Ceilan සහ Zelon යන ඕලන්ද වචනයද ඉංග්‍රීසි Ceylon ද ඇති විය.

ඉහත සඳහන් ලිපියේ අඩංගු කරුණුද වෙනත් කරුණු ද අඩංගු කර මුදලි රාසනායගම් මහතා “පුරාණ යාපනය” නම් විශාල ග්‍රන්ථය ලියුවේය. ඒ මහතා මහාවංශය ආදී මූලාශ්‍රයන්හි සඳහන් වන දකුණු ඉන්දියානු දෙමළ ආක්‍රමණ හෝ එකල සෙල්ලිපි වලින් දැන සිටි බොහෝ කරුණු ද හිතා මතාම ඔහුගේ ග්‍රන්ථයට ඇතුළත් නොකළ බව, එය සැලකිල්ලෙන් කියවන විට පැහැදිලි වෙයි.

එහෙත් ඔහු ගොඩනැගූ පුරාණ දෙමළ රාජ්‍යය ඔහු සපයන තොරතුරු වලින්ම අවසානයේ බිඳ වැටෙයි.එහෙත් රාසනායගම් මහතාගේ සාවද්‍ය තොරතුරු වටහා ගැනීමට ලංකා ඉතිහාසය නොදත් කෙනෙකුට දුෂ්කර වේ.”

– සිංහල සිංහයා සහ මන්නාරමේ පුරාවස්තු –



181 Viewers